Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1990 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය දක්වා ආජන්ටිනාව ගිය අසීරු ගමන

1986 වසරේ පාපන්දු ලෝක ශූරයන් වීමෙන් අනතුරුව 1990 වසරේ ඉතාලියේ පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා දියාගෝ මැරඩෝනාගේ නායකත්වය සමගින්  ආජන්ටිනා පිල අවතීර්ණ වූයේ මෙවරත් ශූරතාවය දිනාගැනීමේ බලාපොරොත්තුවෙන්.

1934 වසරට පසු ව පාපන්දු ලෝක කුසලානයක සත්කාරකත්වය ඉතාලියට හිමිව තිබීම එරට පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට විශේෂ අවස්ථාවක් වුණා. එම නිසා ම ලෝක කුසලාන ජයග්‍රහණය කෙරෙහි ඔවුන් බලාපොරොත්තු තබාගෙන හිටියේ.

1990 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල පොස්ටරය (pinterest)

පළමු වටයේ දී ආජන්ටිනාව අසරණ වෙයි

පළමු වටයේ B කාණ්ඩය යටතේ තරග වැදුණු ආජන්ටිනා පිලට එහි දී රුමේනියාව, සෝවියට් රුසියාව, හා කැමරූන් යන කණ්ඩායම් සමග තරග වදින්නට සිදු වූ අතර, ආජන්ටිනාව කාණ්ඩයේ මුල්තැන පහසුවෙන් ම ලබාගනු ඇතැ යි බොහෝ දෙනා හිතුවා.

ආජන්ටිනාව හා කැමරූන් අතර තරගය

එතරම් ප්‍රබල කණ්ඩායමක් නොවූ කැමරුන් පිල සමග තරගය ආජන්ටිනා පිලට එතරම් අභියෝගයක් නොවනු ඇති බවට බොහෝ දෙනා සිතුව ද, පළමු භාගය අවසන් වන විට ලකුණු තත්ත්වය 0-0ක් ලෙස සටහන් වුණා. අනතුරුව ආරම්භ වූ දෙවන භාගයේ 61 වන විනාඩියේ දී ආජන්ටිනා ඉදිරිපෙළ ක්‍රීඩක කැනීගියාට අනිසි බලපෑමක් කළ කැමරූන්, ක්‍රීඩක ඇන්ඩ්‍රේ බික්ට රතු කාඩ්පත ලැබීම නිසා පිටියෙන් ඉවත් වීමට සිදුවුණා. මෙම සිදුවීමෙන් විනාඩි 6කට පසු ආජන්ටිනා දැල් රකින ක්‍රිඩක පම්පිඩෝගේ දුර්වල දැල් රැකීම නිසා කැමරුන් ඉදිරිපෙළ ක්‍රීඩක ඔමාම් බික් ලබාගත් ගෝලයත් සමගින් කැමරූන් පිල 1-0ක් ලෙස තරගයේ පෙරමුණ ගත්තා. ඉන් අනතුරුව නැවතත් 88 වන විනාඩියේ දී කැමරුන් ආරක්ෂක පෙළ ක්‍රීඩක බෙන්ජමින් මැසින්ට රතු කාඩ්පතක් ලැබුණ ද, කැමරූන් පිලේ ජයග්‍රහණය වැළැක්වීමට නොහැකි වූ අතර, අවසානයේ දී ප්‍රබල ආජන්ටිනා පිල තරගාවලියේ පළමු තරගයේ දී ම නොසිතූ පරාජයක් ලැබුවා.

කැමරුන් පිල ගෝලය ලබාගත් අවස්ථාව (gettyimages)

ආජන්ටිනාව හා සෝවියට් රුසියාව අතර තරගය

මෙම තරගය ජයග්‍රහණය කිරීම ආජන්ටිනාවට තරගාවලියේ ඉදිරියට යාමට ඉතා වැදගත් වුණා. එම නිසා මුලසිට ම ආජන්ටිනා පිල ඉතා ඕනෑකමින් මෙම තරගය ක්‍රීඩා කළා. නමුත් මෙම තරගයේ 11 වන විනාඩියේ දී ආජන්ටිනා පිලට බලවත් පාඩුවක් සිදුකරමින්, 1986 ලෝකශූර ආජන්ටිනා පිලේ දැල් රකින්නා මෙන්ම මෙම පිලේ ද දැල් රකින්නා වූ නෙරී පම්පිඩෝ, ආබාධයකට ලක්වීම නිසා පිටියෙන් ඉවත් වුණා. ඉන් අනතුරුව සර්ජියෝ ගොයිකොචී නම් දැල් රකින්නා ආජන්ටිනා දැල ආරක්ෂා කිරීමට පිටියට පිවිසුණා. මෙම සිදුවීමෙන් විනාඩි 16කට පසු එනම්, තරගයේ 27 වන විනාඩියේ දී පෙඩ්‍රෝ ට්‍රොග්ලියෝ, ආජන්ටිනාව වෙනුවෙන් මුල්ම ගෝලය ලබාගත්තේ පළමු භාගය නිමා වන විට ආජන්ටිනාව පෙරමුණේ තබමින්. දෙවන භාගය ආරම්භ වී විනාඩි 3 කින් එනම්, 48 වන විනාඩියේ දී රුසියානු නායක බෙසොනොව් ආජන්ටිනා ඉදිරිපෙළ ක්‍රීඩක කැනීගියාට සිදුකළ අනිසි බලපෑමක් නිසා බෙසොනොව්ට රතු කාඩ්පත ලැබී පිටියෙන් ඉවත් වීමට සිදුවුණා. ඉන් අනතුරුව 79 වන විනාඩියේ දී ආජන්ටිනාව වෙනුවෙන් බුරුචගා ලබාගත් ගෝලය නිසා අවසානයේ දී ආජන්ටිනාව 2-0ක ජයක් ලැබුවා.

තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු සතුටට පත් මැරඩෝනා (gettyimages)

ආජන්ටිනාව හා රුමේනියාව අතර තරගය

මේ වන විට ආජන්ටිනාව හා රුමේනියාව ප්‍රසාද ලකුණු සටහනේ සම ලකුණු ලබා සිටි නිසා දෙවන වටයට යාමට මෙම තරගයේ ජයග්‍රහණය දෙපිලට ම වැදගත් වුණා. පළමු භාගයේ දෙපිල ම කරට කර ක්‍රීඩා කළ ද, කිසිවෙකුට ගෝල ලබාගැනීමට බැරි වුණා. නමුත් තරගයේ 62 වන විනාඩියේ දී ආජන්ටිනා නායක මැරඩෝනා එල්ල කළ කෝනර් පහරකට හිසින් පහරදෙමින් ආජන්ටිනා ආරක්ෂක පෙළ ක්‍රීඩක පෙඩ්‍රෝ මොන්සෝන්, ආජන්ටිනාව වෙනුවෙන් තීරණාත්මක ගෝලයක් ලබාගත්තා. මෙම ගෝලය ලබාගැනීමෙන් විනාඩි 6කට පසු ව එනම්, 68 වන විනාඩියේ දී ක්‍රියාත්මක වූ රුමේනියා ඉදිරිපෙළ ක්‍රීඩක බැලින්ට් ලබාගත් ගෝලය නිසා අවසානයේ දී තරගය 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් වුණා.

ආජන්ටිනාව ගෝලය ලබාගත් අවස්ථාව (gettyimages)

ආජන්ටිනාව 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි

ආජන්ටිනාව මුල් වටය අවසානයේ දී සිය කාණ්ඩයේ තෙවන ස්ථානය ලබාගත්ත ද, එම අවදියේ කාණ්ඩ 6න් තෙවන ස්ථානය ලබාගත් රටවල් 4ක් ඊළඟ වටයට යැවීමේ ක්‍රමවේදය මත ආජන්ටිනා පිලට ඉතාමත් අසීරුවෙන් දෙවන වටයට සුදුසුකම් ලැබීමට හැකි වුණා.

මැරඩෝනා හා කැනීගියා එක්ව බ්‍රසීලය ගෙදර යවයි

ඉතා අසීරුවෙන් 16 දෙනාගේ වටයට පිවිසි ආජන්ටිනාවට 16 දෙනාගේ වටයේ දී තරග වැදීමට සිදුවූයේ ප්‍රබල බ්‍රසීල පිල සමග යි. මෙම තරගය මුලසිට ම කරට කර තරගයක් වූ අතර, දෙපිල ම ගෝල ලබාගැනිමට උත්සාහ කළ ද තරගයේ 80 වන විනාඩිය වන තුරු ම ලකුණු තත්ත්වය 0-0ක් ලෙස සටහන් වුණා. නමුත් තරගයේ 81 වන විනාඩියේ දී මැරඩෝනාගේ සහාය ඇති ව ආජන්ටිනා ඉදිරිපෙළ ක්‍රීඩක කැනීගියා වාර්තා කළ ගෝලය නිසා ආජන්ටිනා පිල මෙතෙක් තරගාවලියේ අපරාජිත ව සිටි ප්‍රබල බ්‍රසීල පිල තරගාවලියෙන් ඉවත් කළා.

බ්‍රසීල-ආජන්ටිනා තරගයේ අවස්ථාවක් (gettyimages)

සර්ජියෝ ගොයිකොචී ආජන්ටිනාව බේරාගනියි

අර්ධ අවසන් පූර්ව වටයේ දී ආජන්ටිනාව හා යුගොස්ලෝවියාව අතර පැවති තරගයේ 31 වන විනාඩියේ දී යුගෝස්ලෝවියානු ආරක්ෂක පෙළ ක්‍රීඩක රෙෆික්ට රතු කාඩ්පතක් ලැබුණ ද, එහි වාසිය ආජන්ටිනා පිලට ලබාගැනීමට නොහැකිවීම නිසා නියමිත කාලය තුළ දෙපිලට ම ගෝල ලබාගැනීමට නොහැකි වුණා. එම නිසා දඬුවම් පහර වෙත යොමුවීමට දෙපිලට ම සිදුවුණා. මුල් දඬුවම් පහර දෙක අවසානයේ දී ආජන්ටිනාව 2-1ක් ලෙස ඉදිරියෙන් සිටිය ද, මැරඩෝනාට හා ට්‍රොග්ලියෝට දඬුවම් පහර 2ක ගිලිහීයාම නිසා ආජන්ටිනා පිල අසීරු තත්ත්වයකට පත් වුණා. නමුත් පම්පිඩෝ වෙනුවට ආජන්ටිනා පිලට එක්වූ ගොයිකොචී සුපිරි ක්‍රීඩා විලාශයක් පෙන්වමින් යුගෝස්ලෝවියනු අවසන් දඬුවම් පහර 2ම වළක්වමින් ආජන්ටිනාව අවසන් පූර්ව තරගය වෙත ගෙන ගියා.

ගොයිකොචී අවසන් දඬුවම් පහර වළක්වමින් (gettyimages)

සත්කාරක ඉතාලිය තරගාවලියෙන් ඉවතට

අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල ඉතාලි පිල සමග තරග කිරීමට ආජන්ටිනා පිලට සිදු වූ අතර, අවසන් පූර්ව තරගය දක්වා ම අපරාජිත ව පැමිණි ඉතාලිය මෙම තරගය ද ජයගනු ඇති බවට විචාරකයන් අනාවැකි පළ කළා. තරගය ආරම්භ වීමෙන් අනතුරුව 17 වන විනාඩියේ දී තරගාවලියේ ඉතාලි ගෝල මැෂිම වූ ෂිලාසි ක්‍රියාත්මක වෙමින් ඉතාලියට මුල්ම ගෝලය ලබාදුන් අතර, පළමු භාගය නිමා වන විට ඉතාලිය 1-0ක් ලෙස තරගයේ ඉදිරියෙන් පසුවුණා. නමුත් 2 වන භාගයේ තරගයට සාර්ථක ලෙසින් අවතීර්ණ වූ ආජන්ටිනා ඉදිරිපෙළ ක්‍රීඩක කැනීගියා, ආජන්ටිනාවට වටිනා ගෝලයක් ලබාදෙමින් ලකුණු තත්ත්වය සම කළා. ඉන් අනතුරුව දෙපිලට ම ගෝල ලබාගැනිමට නොහැකි වූ නිසා දඬුවම් පහරවලට යොමු වුණා. මෙහි දී ඉතාලිය මුලින්ම දඬුවම් පහර ලබාගැනීම ආරම්භ කළ අතර, දෙපිල ම පළමු දඬුවම් පහර 3 ම සාර්ථක කරගත්තා. නමුත් ඉතාලි ක්‍රීඩක රොබාර්ටෝ ඩොනඩොනී ලබාගත් 4 වන දඬුවම් පහර ගොයිකොචී සාර්ථක ව රැකගත් අතර, අනතුරුව මැරඩෝනා ආජන්ටිනාව වෙනුවෙන් 4 වන දඬුවම් පහර සාර්ථක කරගත්තා. අවසානයේ දී ඉතාලි ක්‍රීඩක සෙරෙන් එල්ල කළ අවසන් දඬුවම් පහර ද ඉතාමත් විශිෂ්ට ආකාරයට රැකගත් ගොයිකොචී ආජන්ටිනාව අවසන් තරගයට කැඳවාගෙන ගියා.

කැනීගියා ගෝලය ලබාගත් අවස්ථාව(gettyimages)

අවාසනාවන්ත  ආජන්ටිනාව අවසන් තරගය පරාජය වෙයි

1986 පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ බටහිර ජර්මනිය ම මෙවර ද ආජන්ටිනාවට අවසන් තරගයේ දී හමුවුණා. ඉතා තියුණු මුහුණුවරකින් පැවති මෙම අවසන් තරගයේ මුල් භාගයේ දෙපිලට ම ගෝල ලබාගැනීමට නොහැකි වුණා. අනතුරුව ආරම්භ වූ දෙවන භාගයේ 65 වන විනාඩියේ දී ජර්මන් ක්‍රීඩක ජර්ගන් ක්ලින්ස්මාන්ට අනිසි බලපෑමක් කිරීම නිසා ආජන්ටිනා ආරක්ෂක පෙළ ක්‍රීඩක පෙඩ්‍රෝ මොන්සෝන්ට රතු කාඩ්පත ලබාදීම ආජන්ටිනා පිලේ පසුබෑම ආරම්භ කළා. ඉන් අනතුරුව තරගයේ 84 වන විනාඩියේ දී ජර්මානු ඉදිරිපෙළ ක්‍රීඩක රූඩි වොලර්ට, ආජන්ටිනා ක්‍රීඩක රොබාර්ටෝ සෙන්සිනී විසින් දඩුවම් සීමාව තුළ කරන ලද අනිසි බලපෑමක් නිසා ජර්මානු පිලට දඬුවම් පහරක් හිමිවුව ද, පසු ව නැවත එහි රූපරාමු නිරීක්ෂණය කරන විට එය වැරදි තීරණයක් බව පෙනී ගියා. අවසානයේ දී බ්‍රෙමි විසින් එලෙස ලැබුණු දඬුවම් පහර සාර්ථක කරගනිමින් 1974ට පසු ව බටහිර ජර්මනියට ලෝක පාපන්දු කිරුළ හිමිකර දුන්නා.

මොන්සෝන්ට රතු කාඩ්පත ලැබුණු අවස්ථාව (gettyimages)
අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)
දඬුවම් පහර වැළැක්වීමට උත්සාහ කරන ගොයිකොචී (FIFA.com)
බ්‍රෙමි දඬුවම් පහර සාර්ථක කරගැනීමෙන් අනතුරුව (FIFA.com)
ආජන්ටිනා ක්‍රීඩකයන් පරාජයෙන් අනතුරුව (FIFA.com)

මෙම තරගාවලියෙන් පසු පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ආජන්ටිනා ස්වර්ණමය යුගය අවසන් වූ අතර, නැවතත් ආජන්ටිනාවට ලෝක කුසලාන පාපන්දු අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලැබීමට හැකි වූයේ 2014 වසරේ ලියොනල් මෙසීගේ නායකත්වය යටතේ යි. නමුත්, එවර ද ආජන්ටිනාව ජර්මනිය වෙතින් අවසන් තරගය පරාජයට පත්වීම සුවිශේෂී සිදුවිමක්.

 

කවරයේ ඡායාරූපය: විනිසුරු තීරණයකට සිය නොසතුට පළකරන ආජන්ටිනා ක්‍රීඩකයෙක් (gettyimages)

මූලාශ්‍රය:

FIFA World Cup 1990-FIFA.com

Related Articles