Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව ලබාගත් මංගල ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව මුල්ම වරට ටෙස්ට් තරගාවලියක දී හමුවුණේ 1983 වසරේ දී යි. නවසීලන්ත බිමේ පැවති එම ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුණේ අත්දැකීම් මඳකම නිසා යි. නමුත් ඉන් වසර 9කට පසුව, 1992 වසරේ දී තෙවන වරට නවසීලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කළා. එදා කිවියන් වසර 9ක් තිස්සේ ශ්‍රී ලංකාව හමුවේ ටෙස්ට් පිටිය තුළ රඳවාගෙන ගෙන සිටි අපරාජිතභාවය බිඳවැටුණේ ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පරාජය වීමෙන්. ශ්‍රී ලංකාව ලබාගත් සුවිශේෂී ටෙස්ට් ජයග්‍රහණය ගැන තොරතුරු දැනගැනීමට ඔබත් කැමති නිසා මෙම ලිපිය වෙන්වන්නේ 1992 ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන්.

තරගාවලියට පෙර පිපිරුණු බෝම්බය නිසා ටෙස්ට් තරගයක් අඩුවෙයි 

1992 ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලියට මුලින්ම තරග 3ක් ඇතුලත්ව තිබුණා. නමුත් 1992 වසරේ නොවැම්බර් 16 වැනි දා එවකට නාවික හමුදාපති අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දුට සිය ජීවිතය අහිමි කරමින් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගියේ නවසීලන්ත කණ්ඩායම නැවතී සිටි ටාජ් සමුද්‍රා හෝටලය අසලම යි. එලෙස පුපුරා ගිය බෝම්බයත් සමගින් තරගාවලිය අවලංගු වන තත්ත්වයක් උදාවුණේ මාක් ග්‍රේට්බැච්, රොඩ් ලේතම්, ගැවින් ලාසන්, දීපක් පටෙල්, සහ විලී වොට්සන් සිය පුහුණුකරු වොරන් ලීස්  සමගින් පෙරළා සිය රටට යාමත් සමග යි. නමුත් එම අවස්ථාවේ රටවල් දෙකේ ක්‍රිකට් පාලක මණ්ඩලවල සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසින් ටෙස්ට් තරගයක් අඩු කරමින් තරග 2ක ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට තීරණය කළා. බෝම්බය නිසා නවසීලන්තය බලා ගිය ක්‍රීඩකයන් වෙනුවට ජෝන් රයිට්, ජස්ටින් වෝගන්, මයිකල් ඔවෙන්ස්, සහ ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් යන ක්‍රීඩකයන් නවසීලන්ත කණ්ඩායමට එක්වුණා.

පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි 

තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී යි. අවසානයේ දී ජය පැරදුමෙන් තොරව නිමාවුණු මෙම තරගයේ වැඩි ගෞරවය හිමිවුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි.

පළමු දිනය 

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක අර්ජුණ මුලින්ම පන්දුවට පහරදීම සඳහා නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා. එහිදී දුලිප් ලියනගේ කඩුලු 2ක් ලබාගනිමින් සිදුකළ දක්ෂ පන්දු යැවීම නිසා නවසීලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 87ක් තුළ දැවීගියා. නමුත් ඉන් අනතුරුව පිටියේ එක්වුණු කෙන් රදර්ෆර්ඩ් සහ ක්‍රිස් හැරිස් ලකුණු 52ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනැගූ නිසා දිනය නිමාවන විට නවසීලන්ත ලකුණු පුවරුව 139/4 ලෙසින් දිස්වුණා. පළමු දිනයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා අඩු පන්දුවාර ප්‍රමාණයක් යැවුණු බවත් මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතු යි.

දුලිප් ලියනගේ (gettyimages)

දෙවන දිනය 

දෙවන දිනය ආරම්භයේ සිට ම රදර්ෆර්ඩ් සහ හැරිස් ඉතාමත් හොඳින් පන්දුවට පහරදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නවසීලන්ත ලකුණු පුවරුව 238/4ක් බවට පත්වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින්. එහිදී සිය ටෙස්ට් දිවියේ දෙවන ශතකය ලබාගැනීමට කෙන් රදර්ෆර්ඩ් සමත්වීම දිනයේ දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීමක් වුණා. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් නවසීලන්ත අවසන් කඩුලු 6ම ලකුණු 50ක් තුළ දවාගැනීම නිසා නවසීලන්ත කණ්ඩායමට පළමු ඉනිම සඳහා ලබාගැනීමට හැකිවුණේ ලකුණු 288ක් පමණ යි. අනතුරුව දෙවන දිනය නිමාවීමට සුලු මොහොතකට පෙර සිය පළමු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාකළේ කිසිවෙකු නොදැවී ලකුණු 10ක් ලබාගනිමින්.

කෙන් රදර්ෆර්ඩ් (gettyimages)

තෙවන දිනය 

තෙවන දිනයේ උදෑසන ම හතුරුසිංහ ලකුණු 10කට දැවීයාමෙන් පසුව මහානාමට එකතු වුණු ගුරුසිංහ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 164 දක්වා රැගෙන ගියා. නමුත් එම අවස්ථාවේ ලකුණු 43ක් ලබා සිටි ගුරුසිංහ දැවීයාමත් සමගම මහානාම සහ අරවින්ද පිටියේ එක්ව නවසීලන්ත පන්දු යවන්නන්ට කිසිදු ගරුසරුවක් නොමැතිව පහර එල්ල කිරීමට පටන්ගත්තා. එහිදී මහානාම සිය ටෙස්ට් දිවියේ මංගල ටෙස්ට් ශතකය  ලබාගනිමින් දියත් කළ සුපිරි ඉනිම නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව එක් අවස්ථාවක 297/2ක් ලෙසින් දිස්වුණා. නමුත් දිනය නිමාවීමට සුළු මොහොතකට පෙර අරවින්ද ලකුණු 62කට දැවීයාමෙන් පසුව මහානාම ලකුණු 153කට දුවද්දී දැවීගිය නිසා දිනය අවසානයේ හී ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුණේ 299/4ක් ලෙස යි.

මහානාම පළමු ටෙස්ට් ශතකය කරා ළඟාවෙමින් (වේදනාත්මක සමුගැන්ම පොතෙන්)

සිව්වන දිනය 

තරගයේ අතිරේක දිනයට පසුව තරගය ආරම්භ කළ සිව්වන දිනයේ උදෑසනම ශ්‍රී ලංකා කණ්ඩායම 327/6 ලෙසින් ලකුණු ලබාසිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඉන් පසුව සිය දෙවන ඉනිම ඇරඹූ නවසීලන්ත කණ්ඩායම දිනය නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 104ක් ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 65ක් ඉදිරියෙන් සිටිමින්. මෙම දිනයේ සිදුවුණු සුවිශේෂීම සිදුවීම වුණේ නවසීලන්ත ආරම්භක පිතිකරු ජෝන් රයිට් ටෙස්ට් ලකුණු 5000ක් ලබාගත් පළමු නවසීලන්ත පිතිකරුවා බවට පත්වීම යි.

ජෝන් රයිට් (gettyimages)

පස්වන දිනය 

අවසන් දිනයේ දී වරින් වර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා වැඩි පන්දුවාර ප්‍රමාණයක් යැවීමට හැකිවුණේ නැහැ. එම නිසාම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරන විට නවසීලන්ත දෙවන ඉනිම සටහන් වුණේ 195/5ක් ලෙසින් 

කෙටි ලකුණු පුවරුව 

නවසීලන්ත පළමු ඉනිම – 288/10 (133.5)

කෙන් රදර්ෆර්ඩ් – 105 (227)

ක්‍රිස් හැරිස් – 56 (192)

දුලිප් ලියනගේ – 82/4 (26.5)

ජයානන්ද වර්ණවීර – 46/2 (34)

ශ්‍රී ලංකා පළමු ඉනිම – 327/6 (92)

රොෂාන් මහානාම – 153 (297)

අරවින්ද ද සිල්වා – 62 (76)

මර්ෆි සූ’ආ’ – 62/2 (25)

මයිකල් ඔවෙන්ස් – 62/2 (17)

නවසීලන්ත දෙවන ඉනිම – 195/5 (103)

කෙන් රදර්ෆර්ඩ් – 53 (62)

බ්‍රයන් හාට්ලන්ඩ් – 52 (161)

චම්පක රාමනායක – 27/2 (17)

දොන් අනුරසිරි – 32/2 (26)

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා 

තරගයේ වීරයා – රොෂාන් මහානාම 

දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක විශිෂ්ඨ ජයක් 

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලබාගත් තුන්වෙනි ජයග්‍රහණය වාර්තා කළා. ඊට අමතරව 1985 වසරේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව මංගල ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ලැබීමෙන් පසුව ලබාගත් එකම ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයත් මෙය වුණා.

පළමු දිනය 

කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු යුගලය වුණු මහානාම සහ හතුරුසිංහ ලකුණු 102ක සාර්ථක ආරම්භයක් ලබාදුන්නා. ඔවුන් දෙදෙනා ගොඩනැගූ එම සාර්ථක අඩිතාලම ඔස්සේ ඉනිම ගොඩනැගූ ශ්‍රී ලංකා පිතිකරුවන් දිනය නිමාවන විට කඩුලු 6ක් දැවී ලකුණු 303ක් ලබා සිටියා. එහිදී නැවතත් පිත්තෙන් දස්කම් දැක්වූ මහානාම ලකුණු 109ක් ලබාගන්නා විට ඔහුට අනගි සහයක් ලබාදුන් අර්ජුණ ලකුණු 76ක් ලබාගත්තා.

රොෂාන් මහානාම   (gettyimages)

දෙවන දිනය 

දෙවන දිනයේ දී හෂාන් මැනවින් පන්දුවට පහරදෙමින් පසුපෙළ පිතිකරුවන් සමග එක්ව සටන්කාමී ඉනිමක් ගොඩනැගුවත් ඔහු මංගල ටෙස්ට් ශතකය අභියස සිටිය දී ලකුණු 93කට දැවීයාම ඉතාමත් කණගාටුදායක සිදුවීමක් වුණා. හෂාන්ගේ දැවීයාමත් සමගම අවසන් කඩුලු 2ත් ඉක්මනින් දවාගත් නවසීලන්ත පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 394කට සීමාකළා. අනතුරුව සිය පළමු ඉනිම ඇරඹූ නවසීලන්ත කණ්ඩායම එක් අවස්ථාවක කිසිවෙකු නොදැවී ලකුණු 58ක් ලබාසිටියේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමින්. නමුත් එම අවස්ථාවේ කිසිවෙකු නොසිතූ අයුරින් ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් යුගලය වුණු මුරලිදරන් සහ වර්ණවීර දිනය නිමාවන විට නවසීලන්ත ලකුණු පුවරුව 100/7ක් බවට පත්කළා.

මුරලිදරන් සහ  වර්ණවීර (gettyimages)

තෙවන දිනය 

තෙවන දිනය ආරම්භයේ දී ම නවසීලන්ත පළමු ඉනිම ලකුණු 102කට සීමාවුණා. ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 292ක් පිටුපසින් සිටි නිසා ඔවුන්ට නැවත වරක් පන්දුවට පහරදීමට සිදුවුණා. ඒ අනුව සිය දෙවන ඉනිම ආරම්භ කළ නවසීලන්ත කණ්ඩායම දිනය නිමාවට පත්වන විට කඩුලු 7ක් දැවී ලකුණු 277ක් ලබාසිටියේ මාටින් ක්‍රෝ පන්දු 121කින් ලබාගත් වේගවත් ලකුණු 107 නිසා යි.

මාටින් ක්‍රෝ (gettyimages)

සිව්වන දිනය 

සිව්වන දිනයේ දී ඇඩම් පැරෝරේ සටන්කාමී ලකුණු 60ක් ලබාගනිමින් නවසීලන්ත දෙවන ඉනිම ලකුණු 361ක් දක්වා රැගෙන ගියා. නවසීලන්ත දෙවන ඉනිමේ දී උඩපන්දු 4ක් ලබාගත් හෂාන් සමස්ත තරගයේ දී උඩපන්දු 7ක් ලබාගෙන ලෝක වාර්තාවක් සම කළා. ඒ පන්දු රකින්නෙකු ටෙස්ට් තරගයක ලබාගත් වැඩිම උඩපන්දු ප්‍රමාණය ලෙසින් ඕස්ට්‍රේලියාවේ ග්‍රේග් චැපල් සහ ඉන්දියාවේ යජුර්වින්ද්‍ර සිං සතුවුණු සම  වාර්තා යි.

එලෙස නවසීලන්ත ඉනිම නිමාවීමෙන් පසුව ලකුණු 70ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබාගත්තා. 

හෂාන් තිලකරත්න (gettyimages)

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම – 394/10 (130)

රොෂාන් මහානාම – 109 (254)

හෂාන් තිලකරත්න – 93 (225)

අර්ජුණ රණතුංග – 76 (135)

මයිකල් ඔවෙන්ස් – 101/4 (30)

ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් – 134/3 (37.4)

නවසීලන්ත පළමු ඉනිම – 102/10 (52.1)

ජෝන් රයිට් – 30 (70)

ජයානන්ද වර්ණවීර – 25/4 (14)

මුත්තයියා මුරලිදරන් – 22/3 (12.1)

දුලිප් ලියනගේ – 9/2 (9)

නවසීලන්ත දෙවන ඉනිම – 361/10 (119)

මාටින් ක්‍රෝ – 107 (121)

ඇඩම් පැරෝරේ – 60 (184)

ජෝන් රයිට් – 50 (168)

මුත්තයියා මුරලිදරන් – 134/4 (40)

ශ්‍රී ලංකා දෙවන ඉනිම – 73/1 (14.4)

රොෂාන් මහානාම – 29 (27)

චන්දික හතුරුසිංහ – 26 (42)

මයිකල් ඔවෙන්ස් – 36/1 (6)

ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක් 

තරගයේ වීරයා – හෂාන් තිලකරත්න

ගුරුසිංහ තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව (Essaying Cricket Sri Lanka And Beyond)

කවරයේ ඡායාරූපය - රොෂාන් මහානාම (gettyimages)

Related Articles