Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

LPL උණුසුමට පසු IPL උණුසුම කරළියට

2023 IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියාවේ කෝචි හිදී පසුගිය සිකුරාදා (23) පැවැත්වුණා. එම වෙන්දේසිය සඳහා රටවල් 14කින් ක්‍රීඩකයන් 405ක් ඇතුළත් කර තිබුණා. ඒ අතර ඉන්දීය ක්‍රීඩකයන් 273ක් සහ විදෙස් ක්‍රීඩකයන් 132ක් සිටියා.

එම විදෙස් ක්‍රීඩකයන් 132 අතරට එංගලන්තයෙන් 27ක්, දකුණු අප්‍රිකාවෙන් 22ක්, ඕස්ට්‍රේලියාවෙන් 21ක්, බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් 20ක්, ශ්‍රී ලංකාවෙන් 10ක්, නවසීලන්තයෙන් 10ක්, ඇෆ්ගනිස්තානයෙන් 8ක් ලෙස ක්‍රීඩකයන් ඇතුළත් කර තිබුණා. ඊට අමතර ව බංග්ලාදේශය, අයර්ලන්තය, සිම්බාබ්වේ, නැමීබියාව, නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල්වලින් ද ඉදිරිපත් කළ තවත් ක්‍රීඩකයන් 14ක් එහි සිටියා.

2023 IPL ක්‍රීඩක වෙන්දේසිය පැවති ආකාරය – twitter.com/NotFinished7

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩි ම ඉල්ලුමක් ලැබුණේ එංගලන්ත ක්‍රීඩකයන්ට යි. ඔවුන් මෙම වසරේ 20/20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම ඊට ප්‍රධාන හේතුව වුණා.

පසුගිය T20 ලෝක කුසලාන තරගාවලියේ වීරයා මෙන් ම අවසන් තරගයේ වීරයා බවට පත් වුණු එංගලන්තයේ සෑම් කරන් මෙවර IPL වෙන්දේසියේ දී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම මිල දී ගත්තේ ඉන්දියානු රුපියල් කෝටි 18.5ක ඉහළ මුදලකට යි. එය IPL තරගාවලි ඉතිහාසයේ යම් ක්‍රීඩකයෙක් වැඩිම මුදලකට අලෙවි වුණු අවස්ථාව බවට පත් වුණා.

එංගලන්ත ක්‍රීඩක සෑම් කරන් 2022 T20 ලෝක කුසලාන අවසන් තරගයේ දී දිනාගත් සම්මාන සමඟ – gettyimages.com

2023 IPL ක්‍රීඩකයන්ට ලැබුණු වටිනාකම්

2023 IPL ක්‍රීඩක වෙන්දේසියේ දී සෑම් කරන්ට පසුව ඉහළ ම මුදලකට අලෙවි වුණේ කැමරන් ග්‍රීන් නම් ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩකයා යි. එහි දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉන්දියානු රුපියල් කෝටි 17.5ක ඉහළ මුදලක් ඔහු වෙනුවෙන් වැය කළා.

එය IPL තරගාවලි ඉතිහාසයේ දී යම් ක්‍රීඩකයෙක් මිල දී ගැනීම වෙනුවෙන් වැය කළ දෙවන වැඩි ම මුදල යි. එලෙස ග්‍රීන්ට ඉහළ වටිනාකමක් ලැබුණේ පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඉන්දියාවේ පැවති ඉන්දු-ඕස්ට්‍රේලියා T20 තරගාවලියේ දී ඔහු පිත්තෙන් දැක්වූ සුවිශේෂී දස්කම් නිසා යි.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් ග්‍රීන් – gettyimages.com

2022 T20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වුණු බෙන් ස්ටෝක්ස්ට ද මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ වටිනාකමක් හිමි වුණා. එහි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඔහු මිල දී ගැනීම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 16.25ක මුදලක් වැය කළා.

මෙම තුන් ඉරියව් ක්‍රීඩකයාට IPL ක්‍රීඩක වෙන්දේසිවල දී කවදත් හොඳ ඉල්ලුමක් තිබුණා. 2017 දී රයිසින් පූනේ සුපර් ජයන්ට් කණ්ඩායම ඉන්දියානු රුපියල් කෝටි 14.50ක් ද, 2018 දී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම ඉන්දියානු රුපියල් කෝටි 12.50ක් ද ඔහු වෙනුවෙන් වැය කරමින් මෙම ක්‍රීඩකයා මිල දී ගත්තා.

එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් – gettyimages.com

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේ දී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන්ට සහ T20 ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ සාමාජිකයෙක් වන හැරී බෘක්ටත් ඉහළ වටිනාකම් ලැබුණා. එහි දී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඉන්දියානු රුපියල් කෝටි 16කට පූරන් මිල දී ගනිද්දී, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම බෘක් මිල දී ගත්තේ ඉන්දියානු රුපියල් කෝටි 13.25ක් වැය කරමින්.

එසේ බොහෝ රටවල්වල ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉහළ වටිනාකමක් ලැබෙද්දී මෙවර IPL වෙන්දේසියේ දී කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අලෙවි නොවීම කනගාටුදායක සිදුවීමක් වුණා. මේ 2023 IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ ම මුදලකට අලෙවි වුණු ක්‍රීඩකයන් 8 දෙනා පිළිබඳ තොරතුරු යි.

1). සෑම් කරන් (එංගලන්තය)- ඉන්දියානු රුපියල් කෝටි 18.5 (පන්ජාබ් කිංග්ස්)
2). කැමරන් ග්‍රීන් (ඕස්ට්‍රේලියාව)- ඉන්දියානු රුපියල් කෝටි 17.5 (මුම්බායි ඉන්දියන්ස්)
3). බෙන් ස්ටෝක්ස් (එංගලන්තය)- ඉන්දියානු රුපියල් කෝටි 16.25 (චෙන්නායි සුපර් කිංග්ස්)
4). නිකලස් පූරන් (බටහිර ඉන්දීය කොදෙව්)- ඉන්දියානු රුපියල් කෝටි 16 (ලක්නව් සුපර් ජයන්ට්ස්)
5). හැරී බෘක් (එංගලන්තය)- ඉන්දියානු රුපියල් කෝටි 13.25 (සන්රයිසස් හයිද්‍රාබාද්)
6). මයන්ක් අගර්වාල් (ඉන්දියාව)- ඉන්දියානු රුපියල් කෝටි 8.25 (සන්රයිසස් හයිද්‍රාබාද්)
7) ෂිවම් මාවි (ඉන්දියාව)- ඉන්දියානු රුපියල් කෝටි 6 (ගුජරාට් ටයිටන්ස්)
8). ජේසන් හෝල්ඩර් (බටහිර ඉන්දීය කොදෙව්)- ඉන්දියානු රුපියල් කෝටි 5.75 (රාජස්තාන් රෝයල්ස්)

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ දී ක්‍රීඩකයන් සිව් දෙනෙක් ඉන්දීය රුපියල් කෝටි 16කට වඩා වැඩි මිල ගණන්වලට අලෙවි වීම සුවිශේෂී සිදුවීමක් වුණා. මේ IPL තරගාවලි ඉතිහාසයේ ඉහළ ම වටිනාකමක් හිමි වුණු ක්‍රීඩකයන් 8 දෙනා යි.

1). සෑම් කරන් (එංගලන්තය)- ඉන්දියානු රුපියල් කෝටි 18.5 (පන්ජාබ් කිංග්ස්)- 2023
2). කැමරන් ග්‍රීන් (ඕස්ට්‍රේලියාව)- ඉන්දියානු රුපියල් කෝටි 17.5 (මුම්බායි ඉන්දියන්ස්)- 2023
3). බෙන් ස්ටෝක්ස් (එංගලන්තය)- ඉන්දියානු රුපියල් කෝටි 16.25 (චෙන්නායි සුපර් කිංග්ස්)- 2023
4). ක්‍රිස් මොරිස් (දකුණු අප්‍රිකාව)- ඉන්දියානු රුපියල් කෝටි 16.25 (රාජස්තාන් රෝයල්ස්)- 2021
5). නිකලස් පූරන් (බටහිර ඉන්දීය කොදෙව්)- ඉන්දියානු රුපියල් කෝටි 16 (ලක්නව් සුපර් ජයන්ට්ස්)- 2023
6). යුවරාජ් සිං (ඉන්දියාව) – ඉන්දියානු රුපියල් කෝටි 16 (දිල්ලි ඩෙයාඩෙවිල්ස්)- 2015
7). පැට් කමින්ස් (ඕස්ට්‍රේලියාව)- ඉන්දියානු රුපියල් කෝටි 15.50 (කොල්කටා නයිට් රයිඩර්ස්)- 2020
8). කයිල් ජේමිසන් (නවසීලන්තය)-ඉන්දියානු රුපියල් කෝටි 15 (රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්)- 2021

දකුණු අප්‍රිකා ක්‍රීඩක ක්‍රිස් මොරිස් – gettyimages.com

LPL ශූරතාව පිට පිට ම තෙවන වරටත් ජැෆ්නා කිංග්ස්ට

2022 LPL තරගාවලියේ අවසන් තරගය ජැෆ්නා කිංග්ස් සහ කළම්බු ස්ටාර්ස් යන කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පසුගිය සිකුරාදා (23) පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන් කළම්බු ස්ටාර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තා.

එහි දී කළම්බු ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සහ රවී බෝපරා පිළිවෙළින් ලකුණු 49ක් සහ නොදැවී ලකුණු 47ක් ලබා පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වුණා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රවී බෝපරා – gettyimages.com

ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා. පන්දුවාර 16.4ක් අවසන් වෙද්දී ජැෆ්නා කිංග්ස් ලකුණු පුවරුව 146/3 ලෙසින් දිස් වුණා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පහසුවෙන් ජයග්‍රහණය කරා යමින් සිටි ඒ මොහොතේ කළම්බු ස්ටාර්ස් පන්දු යවන්නන් ලකුණු 16ක් ඇතුළත කඩුලු 5ක් දවා ගැනීමත් සමඟින් තරගය තියුණු අතට හැරුණා. එම තීරණාත්මක මොහොතේ කසුන් රාජිත වයිඩ් පන්දුවක් යොමු කිරීම නිසා තරගයේ ජය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හිමි වුණා. මේ අවසන් තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

අර්ධ ශතකයක් ලබා ගත් අවිශ්ක ප්‍රනාන්දු – gettyimages.com

කෙටි ලකුණු පුවරුව

කළම්බු ස්ටාර්ස්- 163/5 (20), (චන්දිමාල්- 49, බෝපරා- 47*, අසලංක- 31, තිසර- 16/1, දුනිත්- 18/1)
ජැෆ්නා කිංග්ස්- 164/8 (19.2), (අවිශ්ක- 50, සදීර- 44, ගුර්බාස්- 36, ලක්මාල්- 23/3, හොවෙල්- 17/2)
ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට කඩුලු 2ක ජයක්
තරගයේ වීරයා- අවිශ්ක ප්‍රනාන්දු
තරගාවලියේ වීරයා- සදීර සමරවික්‍රම

ජයග්‍රාහී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම – gettyimages.com

පාපන්දු ලෝක ශූරයන්ට ආජන්ටිනාවෙන් උණුසුම් පිළිගැනීමක්

2022 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ ආජන්ටිනා කණ්ඩායම සිය රට පැමිණියේ පසුගිය අඟහරුවාදා (20) අලුයම යි. එසේ පැමිණි ලෝක ශූර ආජන්ටිනා පාපන්දු කණ්ඩායම පිළිගැනීමට එරට අගනුවර වුණු බුවනෝස් අයර්ස් හිදී විශේෂ උත්සව රැසක් පැවැත්වුණා.

එම උත්සවවලින් අනතුරුව ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රිඩකයන් විවෘත බස් රථයක නැඟී නගරයේ වීදි පුරා සංචාරය කළා. ඔවුන්ට වීදිවලට රැස්ව සිටි ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණා. ඒ ඔවුන් වසර 36කට පසුව ආජන්ටිනාවට පාපන්දු ලෝක කුසලානයක් දින දුන් නිසා යි.

ආජන්ටිනා කණ්ඩායම බුවනෝස් අයර්ස් නගරයේ වීදි සංචාරය කළ ආකාරය – gettyimages.com

ආජන්ටිනා පාපන්දු කණ්ඩායමට සිය රටේ ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබෙද්දී අනුශූරතාව දිනාගත් ප්‍රංශ කණ්ඩායමට පමණක් නොව, තෙවන සහ සිව්වන ස්ථාන දිනා ගත් ක්‍රොයේෂියාව සහ මොරොක්කෝව යන කණ්ඩායම්වලට ද ඔවුන්ගේ රටවල්වලට ගිය විට ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබුණා.

මොරොක්කෝ පාපන්දු කණ්ඩායමට ලැබුණු උණුසුම් පිළිගැනීම – gettyimages.com

ඉන්දියාවට තවත් ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක්

තරග 2කින් සමන්විත වුණු ඉන්දු-බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය මීර්පූර් නුවර ශෙරේ බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ දී ඊයේ (25) නිමාවට පත් වුණා. එම තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් හිමි කර ගත් ඉන්දීය කණ්ඩායම තරග 2-0ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගත්තා.

එම තරගාවලි ජයග්‍රහණයත් සමඟින් 2021-23 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉහළට යාමට ඉන්දීය කණ්ඩායමට හැකි වුණා. මේ එම තරගාවලිය යටතේ පැවති ටෙස්ට් තරග දෙකේ කෙටි ලකුණු පුවරු යි.

තරගාවලිය ජය ගත් ඉන්දීය කණ්ඩායම – gettyimages.com

පළමු ටෙස්ට් තරගය

ඉන්දීය පළමු ඉනිම- 404/10, (පුජාරා- 90, අයියර්- 86, අශ්වින්- 58, මෙහිදි- 112/4, ටයිජුල්- 133/4)
බංග්ලාදේශ පළමු ඉනිම- 150/10, (රහීම්- 28, මෙහිදි- 25, කුල්දීප්- 40/5, සිරාජ්- 20/3)
ඉන්දීය දෙවන ඉනිම- 258/2, (ගිල්- 110, පුජාරා- 102*, අහමඩ්- 51/1)
බංග්ලාදේශ දෙවන ඉනිම- 324/10, (සකීර්- 100, ශකීබ්- 84, ෂැන්ටෝ- 67, අක්සාර්- 77/4, කුල්දීප්- 73/3)
ඉන්දියාවට ලකුණු 188ක ජයක්
තරගයේ වීරයා- කුල්දීප් යාදව්

පන්දුවෙන් දස්කම් දැක්වූ කුල්දීප් යාදව් – gettyimages.com

දෙවන ටෙස්ට් තරගය

බංග්ලාදේශ පළමු ඉනිම- 227/10, (මොමිනුල්- 84, රහීම්- 26, උමේෂ්- 25/4, අශ්වින්- 71/4)
ඉන්දීය පළමු ඉනිම- 314/10, (පන්ට්- 93, අයියර්- 87, ටයිජුල්- 74/4, ශකීබ්- 79/4)
බංග්ලාදේශ දෙවන ඉනිම- 231/10, (ලිටන්- 73, සකීර්- 51, අක්සාර්- 68/3, සිරාජ්- 41/2)
ඉන්දීය දෙවන ඉනිම- 145/7, (අශ්වින්- 42*, අක්සාර්- 34, මෙහිදි- 63/5, ශකීබ්- 50/2)
ඉන්දියාවට කඩුලු 3ක ජයක්
තරගයේ වීරයා- රවිචන්ද්‍රන් අශ්වින්
තරගාවලියේ වීරයා- චේතේෂ්වර් පුජාරා

ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල පෙරමුණ තවමත් බ්‍රසිලයට

2022 දෙසැම්බර් 22 වැනිදා ප්‍රකාශයට පත් කළ නවත ම ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්වලට අනුව බ්‍රසීලය තවමත් පෙරමුණේ පසු වෙනවා. දී ඔවුන්ට හිමි ව ඇති ප්‍රසාද ලකුණු ප්‍රමාණය 1840.77ක්. බ්‍රසීල කණ්ඩායම 2022 මාර්තු සිට මේ දක්වා ගෙවුණු මාස 9ක කාලය තුළ අඛණ්ඩව ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල පෙරමුණේ පසුවීම විශේෂත්වයක්.

2022 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල 3 වන ස්ථානයේ සිට 2 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා. ඔවුන් මේ වන ප්‍රසාද ලකුණු 1838.38ක් ලබා, බ්‍රසීලයේ ලකුණු ප්‍රමාණය සමීපයට ම පැමිණ තිබෙනවා. ඒ අනුව ආජන්ටිනාවට 2017 මාර්තු මාසයට පසුව ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල මුල් ස්ථානයට පැමිණීමට හොඳ අවස්ථාවක් උදා වී තිබෙනවා.

බ්‍රසීල පාපන්දු කණ්ඩායම – gettyimages.com

නවත ම ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්වලට අනුව මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාව දිනා ගත් ප්‍රංශය ශ්‍රේණිගතකිරීම්වල 4 වන ස්ථානයේ සිට 3 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ක්‍රොයේෂියාව 12 වන ස්ථානයේ සිට 7 වන ස්ථානය දක්වා ද, මොරොක්කෝව 22 වන ස්ථානයේ සිට 11 වන ස්ථානය දක්වා ද, ඕස්ට්‍රේලියාව 38 වන ස්ථානයේ සිට 27 වන ස්ථානය දක්වා ද පැමිණ තිබෙනවා.

බොහෝ කණ්ඩායම් පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල පෙරමුණට යද්දී ඩෙන්මාර්කය 10 වන ස්ථානයේ සිට 18 වන ස්ථානය දක්වා ද, කටාරය 50 වන ස්ථානයේ සිට 60 වන ස්ථානය දක්වා ද, වේල්සය 19 වන ස්ථානයේ සිට 28 වන ස්ථානය දක්වා ද පල්ලම් බැස තිබෙනවා.

ක්‍රොයේෂියා පාපන්දු කණ්ඩායම – gettyimages.com

ප්‍රකාශයට පත් කළ නවතම පාපන්දු ශ්‍රේණිගතකිරීම්වලට අනුව ශ්‍රී ලංකාවට රටවල් 211ක් අතුරින් 207 වන ස්ථානය හිමි වීම කනගාටුදායක සිදුවීමක්. 1998 අගෝස්තු වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල දී රටවල් 188ක් අතුරින් 122 වන ස්ථානයේ රැඳී සිටියා. ඒ වන විට ඉන්දියාව ද සිටියේ ශ්‍රේණිගතකිරීම්වල 115 වන ස්ථානයේ යි.

ගෙවුණු වසර 24ක කාලය තුළ ශ්‍රී ලංකා පාපන්දුව දැඩි පසුබෑමකට ලක්ව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානය වන විට ශ්‍රී ලංකාව ලොව දුර්වල ම පාපන්දු කණ්ඩායම් කිහිපය අතරට එකතුව තිබෙන බව කිව යුතු යි.

කවරයේ ඡායාරූපය- සෑම් කරන් 2022 T20 ලෝක කුසලානයේ දී - gettyimages.com
මූලාශ්‍ර:
espncricinfo.com
cricbuzz.com
iplt20.com
howstat.com
crickettimes.com
fifa.com

Related Articles