Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා පිල 20/20 ලෝක කුසලානයේ අවදානම් අඩියක

2022 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඕස්ට්‍රේලියාවේ දී ඊයේ දිනයේ ආරම්භ වුණා. එම තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පැවැත්වුණා.

Geelong හි කාඩිනියා පාක් පිටියේ දී පැවති එම තරගයෙන් ලකුණු 55ක පහසු ජයක් හිමි වුණේ නැමීබියා කණ්ඩායමට යි. අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් ICC තරගාවලියක දී ටෙස්ට් වරම් නොලැබූ කණ්ඩායමක් හමුවේ පරාජයක් ලැබුවේ මීට වසර 19කට පෙර යි. ඒ 2003 එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී කෙන්යාව හමුවේ යි. 

 ශ්‍රී ලංකා-නැමීබියා තරගයේ අවස්ථාවක් – gettyimages.com

 

එලෙස ලැබූ අනපේක්ෂිත පරාජයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම අවදානම් අඩියකට වැටී තිබෙනවා. එනිසා ඔවුන්ට තරගාවලියේ ඊළඟ වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ඉතිරි තරග දෙක ම ජයග්‍රහණය කළ යුතු යි. මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාව සහභාගි වන ඉතිරි තරගවලට වර්ෂාවෙන් බාධා එල්ල වීමේ අවදානමක් තිබෙනවා. එනිසා ශ්‍රී ලංකාවට තරගාවලිය තුළ ඉදිරියට යාමට වර්ෂාව සමඟ ද සටන් කිරීමට සිදු ව තිබෙනවා. මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන ඉතිරි තරග දෙක එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් හමුවේ පිළිවෙළින් එළඹෙන අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත යි.

20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අලුත් තොරතුරු

මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නැමීබියාව Geelong හි කාඩිනියා පාක් පිටියේ දී තරග වැදුණා. එම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ  ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දුවට මුලින් පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබා දුන්නා. ඉන් පසුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි නැමීබියා පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ප්‍රබල පීඩනයකට හසු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 14.2ක් අවසන් වෙද්දී නැමීබියා ලකුණු පුවරුව 93/6 ලෙසින් දිස් වුණා. 

 කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ – gettyimages.com

 

තරගයේ පාලනය ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතට පත් ව තිබුණු මොහොතක ක්‍රියාත්මක වුණු ජොනතන් ස්මිට් සහ ජෑන් ෆ්රයිලින්ක් වේගවත් පහරවල් එල්ල කරමින් ලකුණු වේගය වැඩි කිරීමට උත්සාහ කළා. එම අවස්ථාවේ කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නකුට ඔවුන් දෙදෙනා පාලනය කිරීමට හැකි වුණේ නැහැ. එනිසා ඔවුන් දෙදෙනා පන්දු 34කින් ලකුණු වේගවත් 70ක වේගවත් සබඳතාවක් ගොඩනැඟුවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් නියමිත පන්දුවාර 20 ඇතුළත නැමීබියා ඉනිම 163/7 ලෙසින් නිමාව දුටුවා. එහි දී නැමීබියා ඉනිමේ වැඩි ම ලකුණු ලාභියා වුණු ෆ්රයිලින්ක් පන්දු 28කින් නොදැවී ලකුණු 44ක් ලබා ගනිද්දී ඔහුට අනගි සහායක් ලබා දුන් ස්මිට් පන්දු 16කින් නොදැවී ලකුණු 31ක් ලබා ගත්තා. 

 ෆ්රයිලින්ක් සහ ස්මිට් පන්දුවට පහරදෙමින් – gettyimages.com

 

ඉන් පසුව ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් ඉනිම ආරම්භයේ සිට ම තරමක් අසීරුවෙන් පන්දුවට පහර දුන්නා. එයින් උපරිම ප්‍රයෝජන ගත් නැමීබියා පන්දු යවන්නන් ශ්‍රී ලංකා මුල් කඩුලු 4 ලකුණු 40ක් ඇතුළත දවා ගත්තා. ඒ මොහොතේ පිටියේ එක් වුණු දසුන් ශානක සහ භානුක රාජපක්ෂ පන්දු 24කින් ලකුණු 34ක සබඳතාවක් ගොඩනඟිමින් ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කිරීමට ප්‍රබල උත්සාහයක නිරත වුණා.

එම අවස්ථාවේ දී ලකුණු 20ක් ලබා සිටි භානුක දැවී යාමත් සමඟින් ශ්‍රී ලංකා ඉනිම කඩා වැටුණා. එහි අවසන් ප්‍රතිඵලය වුණේ ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19ක් ඇතුළත ලකුණු 108කට සීමා වීම යි. මේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

 නැමීබියා පන්දු යවන්නන් දක්ෂ ලෙස පන්දු යවමින් – gettyimages.com

 

කෙටි ලකුණු පුවරුව 

නැමීබියාව- 163/7 (20), (ෆ්රයිලින්ක්- 44*, ස්මිට්- 31*, බාර්ඩ්- 26, මදුෂාන්- 37/2, තීක්ෂණ- 23/1)

ශ්‍රී ලංකාව- 108/10 (19),(දසුන්- 29, වීසේ- 16/2, ෂෝල්ට්ස්- 18/2, ෂිකොන්ගෝ- 22/2, ෆ්රයිලින්ක්- 26/2) 

නැමීබියාවට ලකුණු 55ක ජයක් 

තරගයේ වීරයා- ජෑන් ෆ්රයිලින්ක් 

මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තවත් තරග 2ක්  ඊයේ සවස සහ අද උදෑසන පැවැත්වුණා. එම තරගවල දී නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළා. එහි දී සිදු වුණු විශාලත ම පෙරළිය වුණේ දෙවරක් 20/20 ලෝක කුසලානය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව්වන් ස්කොට්ලන්තය හමුවේ පරාජය වීම යි. මේ එම තරගවල කෙටි ලකුණු පුවරු යි.

නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය- 111/8 (20), (වසීම්- 41, ලීඩ්- 19/3, ක්ලාසන්- 13/2, ප්‍රිංගල්- 13/1)

නෙදර්ලන්තය- 112/7 (20), (ඕ’ඩවුඩ්- 23, ජුනයිඩ්- 24/3, හමීඩ්- 7/1, සහූර්- 11/1)

නෙදර්ලන්තයට කඩුලු 3ක ජයක් 

තරගයේ වීරයා- බාස් ඩි ලීඩ්

 නෙදර්ලන්ත කණ්ඩායම තරගය ජයග්‍රහණය කළ මොහොත – gettyimages.com

 

ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් 

ස්කොට්ලන්තය- 160/5 (20), (මන්සි- 66*, මැක්ලොයිඩ්- 23, හෝල්ඩර්- 14/2, ජෝශප්- 28/2)

බටහිර ඉන්දීය කොදෙව්- 118/10 (18.3), (හෝල්ඩර්- 38, වොට්- 12/3, ලිස්ක්- 15/2, වීල්- 32/2)

ස්කොට්ලන්තයට ලකුණු 42ක ජයක් 

 ස්කොට්ලන්ත-කොදෙව් තරගයේ අවස්ථාවක් – gettyimages.com

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියාවේ අනුශූරියන් වෙයි 

2022 ආසියා කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය බංග්ලාදේශයේ දී පසුගිය සෙනසුරාදා නිමාව දුටුවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති එම තරගයෙන්  කඩුලු 8ක පහසු ජයක් හිමි වුණේ ඉන්දීය කාන්තා කණ්ඩායමට යි. එම තරග ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකාවට අනුශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදු වුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් අවසන් වරට ආසියා කුසලාන අනුශූරතාවක් දිනා ගත්තේ 2008 වසරේ දී යි. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එවැනි ඉහළ ජයග්‍රහණයක් ලබා ගත්තේ 14 වසරකට පසුව යි. මේ ආසියා කුසලාන කාන්තා අවසන් තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 65/9 (20), (ඉනෝකා රණවීර- 18*, රේණුකා සිං- 5/3, ස්නෙහ් රානා- 13/2)

ඉන්දියාව- 71/2 (8.3), (ස්මිත්‍රි මන්දනා- 51*, හර්මන්ප්‍රීට් කාවුර්- 11, ඉනෝකා රණවීර- 17/1)

ඉන්දියාවට කඩුලු 8ක ජයක් 

තරගයේ වීරයා- රේණුකා සිං 

තරගාවලියේ වීරයා- දීප්ති ෂර්මා 

 ජයග්‍රාහී ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම  – gettyimages.com

 

ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 5ක් 

4 වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය ක්වේට් හි දී පසුගිය සැප්තැම්බර් 16 වැනිදා නිමාවට පත් වුණා. දින 4ක් පුරා පැවති එම තරගාවලිය සඳහා තරග ඉසව් 40ක් ඇතුළත් වුණා. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙක් සහභාගි වුණා. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය රටට රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා දුන්නා. මේ ඔවුන් පදක්කම් ජයග්‍රහණය කළ ආකාරය යි. 

1). ප්‍රවීන් ජයතිලක- පිරිමි මීටර් 400- රිදී පදක්කම 

2). දෙනෙත් අනුහස්- පිරිමි උස පැනීම- රිදී පදක්කම  

3). කසුනි නිර්මාලි- කාන්තා මීටර් 800- රිදී පදක්කම 

4). අවිශ්ක තේමින්ද- පිරිමි මීටර් 400- ලෝකඩ පදක්කම 

5). ලෙසඳු අර්ථවිදු- පිරිමි උස පැනීම- ලෝකඩ පදක්කම  

මෙවර ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලබා ගත් පදක්කම් 5 තරගාවලි ඉතිහාසය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබා ගත් වැඩි ම පදක්කම් ප්‍රමාණය යි. එහි දී ඔවුන් අභිබවා ගියේ 2015 දී රන් පදක්කම් 1ක් සහ රිදී පදක්කම් 3ක් ලබා ගනිමින් තබා තිබුණු වාර්තාව යි. එසේ  2022 ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව රටවල් 30ක් අතුරින් 16 වන ස්ථානය දිනා ගත්තා.  

 පිරිමි උස පැනීමේ ඉසව්වෙන් පදක්කම් දිනා ගත් දෙනෙත් සහ ලෙසඳු – athletics.asia.org

 

2022/23  පාපන්දු ලීග් තරගාවලිවල තොරතුරු 

2022/23 තරග වාරයේ යුරෝපා රටවල්වල ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලි මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. ඒ අතුරින් බොහෝ දෙනෙක් අවධානය යොමු කරන්නේ ස්පාඤ්ඤ ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය (La Liga), එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය (EPL), ජර්මානු ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය (Bundesliga), ප්‍රංශ ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය (Ligue 1), ඉතාලි ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය (Serie A) යන පාපන්දු තරගාවලි පිළිබඳ යි. 

La Liga පාපන්දු තරගාවලියේ 9 වන සතියේ තරග අවසන් වෙද්දී රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායම ජයග්‍රහණ 8ක් සමඟ ලකුණු 25ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා. ඔවුන් සමඟ කරට කර සටනක නිරත වන බාර්සිලෝනා කණ්ඩායම ලකුණු 22ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා. බාර්සිලෝනා කණ්ඩායම නියෝජනය කරන රොබට් ලෙවොන්ඩොස්කි ගෝල 9ක් ලබා ගෙන මේ වන විට තරගාවලියේ වැඩි ම ගෝල ලාභියා බවට පත්ව සිටිනවා. 

 රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායම දස්කම් දක්වමින් – gettyimages.com

 

Bundesliga පාපන්දු තරගාවලියේ 10 වන සතියේ තරග නිමා වෙද්දී යූනියන් බර්ලින් කණ්ඩායම ජයග්‍රහණ 7ක් සමඟින් ලකුණු 23ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා. ප්‍රබල බයෙන් මියුනික් කණ්ඩායම ජයග්‍රහණ 5ක් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා. වර්ඩර් බ්‍රිමන් කණ්ඩායමේ නිකලස් ෆුල්කෘග් ගෝල 8ක් වාර්තා කරමින් මේ වන විට තරගාවලියේ වැඩි ම ගෝල ලාභියා බවට පත් ව සිටිනවා.

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ 11 වන සතියේ තරග අවසන් වෙද්දී ආසනල් කණ්ඩායම ජයග්‍රහණ 9ක් සමඟ ලකුණු 27ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා. ඔවුන් සමඟ කරට කර සටනක නිරත වන මැන්චෙස්ටර් සිටි සහ ටොටෙන්හැම් හොට්ස්පර් යන කණ්ඩායම් ලකුණු 23 බැගින් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවන සහ තෙවන ස්ථානවල රැඳී සිටිනවා. මැන්චෙස්ටර් සිටි  කණ්ඩායම නියෝජනය කරන අර්ලින්ග් හාලන්ඩ්  ගෝල 15ක් ලබා මේ වන විට තරගාවලියේ වැඩිම ගෝල ලාභියා බවට පත් ව සිටිනවා.

  අර්ලින්ග් හාලන්ඩ්- gettyimages.com

 

Ligue 1 පාපන්දු තරගාවලියේ 11 වන සතියේ තරග අවසන් වෙද්දී PSG කණ්ඩායම ජයග්‍රහණ 9ක් සමඟ ලකුණු 29ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා. ලෝරියන්ට් කණ්ඩායම ජයග්‍රහණ 8ක් සමඟ ලකුණු 26ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා. ලිලී කණ්ඩායම නියෝජනය කරන ජොනතන් ඩේවිඩ් ගෝල 9ක් ලබා ගෙන මේ වන විට තරගාවලියේ වැඩි ම ගෝල ලාභියා බවට පත් ව සිටිනවා.

Serie A පාපන්දු තරගාවලියේ 10 වන සතියේ තරග අවසන් වෙද්දී නැපොලි කණ්ඩායම ජයග්‍රහණ 8ක් සමඟ ලකුණු 26ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා. ඇට්ලන්ටා කණ්ඩායම ජයග්‍රහණ 7ක් සමඟ ලකුණු 24ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටිනවා. ලිලී කණ්ඩායම නියෝජනය කරන ජොනතන් ඩේවිඩ් ගෝල 9ක් ලබා ගෙන මේ වන විට තරගාවලියේ වැඩි ම ගෝල ලාභියා බවට පත්ව සිටිනවා. බොලොග්නා කණ්ඩායමේ මාර්කෝ අර්නාව්ටොවිච්, ලාසියෝ කණ්ඩායමේ සිරෝ ඉමොබයිල්, යුවෙන්ටස් කණ්ඩායමේ ඩුසාන් ව්ලහොවිච් ගෝල 6 බැගින් ලබා ගෙන තරගාවලියේ වැඩි ම ගෝල ලාභීන් බවට පත්ව සිටිනවා.  

 නැපොලි කණ්ඩායමේ ක්‍රීඩකයන් ගෝලයක් ලබා ගැනීමේ සතුට සමරමින් – gettyimages.com

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා-නැමීබියා තරගයේ අවස්ථාවක් - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com

cricbuzz.com

premierleague.com

goal.com

athleticsasia.org

Related Articles