Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අමතක නොවන එක් දින මතක

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර මේ දිනවලදී තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙනවා. එම තරගාවලියට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර එක්දින තරග 57ක් පවත්වා ඇති අතර ම එයින් තරග 44 ක ජය ශ්‍රී ලංකාවට ද, තරඟ 11 ක ජය සිම්බාබ්වේට ද හිමි ව තිබෙනවා. තරග 2ක් විසඳුමකින් තොරව අවසන් වුණා. මේ ආකාරයෙන් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරග ඉතිහාසයේ අමතක නොවන මතක රැසක් අඩංගු තරග කිහිපයක් සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කිරීමට අප සිතුවා.

නිව් ප්ලිමත් හි හඹායෑම!

මෙය ශ්‍රී ලංකා සිම්බාබ්වේ එක්දින ඉතිහාසයේ වඩාත් වැදගත් සහ සුන්දර තරගයක් ලෙසින් සටහන් වනවා වගේ ම ලෝක ක්‍රිකට් පිටියේත් වාර්තා පිහිට වූ තරගයක් ලෙසින් නම් කළ හැකි යි. 1992 බෙන්සන් සහ හෙජස් ලෝක කුසලාන තරගාවලියේ තෙවන තරගය ලෙසින් නවසීලන්තයේ දී මෙම තරගය ක්‍රියාත්මක වුණා. මෙම තරගය සටහන් වූයේ 1992 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් දෙක ම සහභාගී වූ මංගල තරගය ලෙසිනු යි.

එහිදී පන්දුවට පළමුවෙන් පහර දීමට පිවිසියේ සිම්බාබ්වේ කණ්ඩායම යි. තරගය ආරම්භයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් හොඳින් පන්දු යැවූ අතර ම මේ හේතුව නිසා සිම්බාබ්වේ ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 82ක් තුළ බිඳ වැටුණා. ඉන් පසුව පිටියට පිවිසි කෙවින් ආනෝට්, ආරම්භක පිතිකරු ඇන්ඩි ෆ්ලවර්ට සහාය වෙමින් පන්දු 56ක් තුළ ලකුණු 52ක් රැස් කළා.

ආනෝට් ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ඇන්ඩි වොලර් පන්දු 45 ක දී හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් වේගවත් ලකුණු 83ක් රැස් කළා. ඔහු මෙම නොදැවී රැස් කළ ඉනිම මෙන් ම ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිස ඉනිම පුරාම නොදැ වී සිටි ඇන්ඩි ෆ්ලවර් පන්දු 152 ක දී හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් ද සමඟ රැස් කළ ලකුණු 115 ක විශිෂ්ට ඉනිම ද සිම්බාබ්වේ ලකුණු පුවරුව ඉහළ නැංවූවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කළ ආරම්භක පිතිකරු අතුල සමරසේකර පන්දුවට පහර දෙමින්
ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු අතුල සමරසේකර පන්දුවට පහර දෙමින් – ESPNCricinfo.com

නියමිත පන්දුවාර 50 අවසන දී නිව් ප්ලිමත් පිටියේ ලකුණු පුවරුව කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 312ක් බවට සටහන් කිරීමට සිම්බාබ්වේට හැකි වුණා. මීට ප්‍රථම එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මෙතරම් ලකුණු සංඛ්‍යාවක් හඹා යෑමට කිසිදු කණ්ඩායමක් සමත් වී තිබුණේ නෑ. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ අසංක ගුරුසිංහ කඩුලු 2 බැගින් බිඳ හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අතුල සමරසේකර සහ රොශාන් මහානාමට හැකි වුණා. පන්දු 61ක් තුළදී හතරේ පහර 11ක් සහ හයේ පහරක් ද සමඟින් අතුල සමරසේකර වේගවත් ලකුණු 75ක් රැස් කළා.

අර්ජුන රණතුංග සුපිරි ඉනිමක

රොශාන් මහානාම ලකුණු 59ක් රැස් කළත් විටෙක ලකුණු 128-0 ක් වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 167-4 ලෙසින් පරිවර්තනය වීමත් සමඟින් ඉලක්කය කරා ගමන් කිරීමට අපහසු බව පෙනෙන්නට තිබුණා. මේ මොහොතේදී සනත් ජයසූරිය කෙටි වේගවත් ලකුණු 32ක් රැස් කළා. ජයසූරිය ගේ දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකාවට තවත් ජයග්‍රහණය සඳහා ලකුණු 101ක් අවශ්‍යව තිබුණා. මේ මොහොතේදී සටන අත්නොහැරි අර්ජුන රණතුංග සුපිරි ඉනිමක් දියත් කරනු ලැබුවා ක්‍රීඩා කළා. අර්ජුන පන්දු 61 කදී හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් ද සමඟින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 88ක්.

මේ ඉනිම නිසා තවත් පන්දු 4ක් ඉතිරි ව තිබිය දී කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය වෙත ශ්‍රී ලංකාව ළඟා වුණා. එය සටහන් වූයේ එවකට එක්දින ක්‍රිකට් පිටියේ මෙන් ම ලෝක කුසලාන ඉතිහාසයේ ද වඩාත් සාර්ථක ම ලකුණු හඹා යාම ලෙසිනු යි. එය ශ්‍රී ලංකා සිම්බාබ්වේ ක්‍රිකට් තරග ඉතිහාසයේ වඩාත් සුන්දර තරගයක් බවට පත් වී තිබෙනවා.

අර්ජුන රණතුංග තරඟය ජයග්‍රහණය කරවීමට දියත් කළ ඉනිම අතරතුර
අර්ජුන රණතුංග තරඟය ජයග්‍රහණය කරවීමට දියත් කළ ඉනිම අතරතුර – www.indiatimes.com 

තරග සාරාංශය

සිම්බාබ්වේ 312-4 (50)

ඇන්ඩි ෆ්ලවර් 115(152)*, ඇන්ඩි වොලර් 83(45)*, කෙවින් ආනෝට් 52(56)

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ 50/2, අසංක ගුරුසිංහ 72/2

ශ්‍රී ලංකාව 313-7 (49.2)

අර්ජුන රණතුංග 88(61)*, අතුල සමරසේකර 75(61), රොෂාන් මහානාම 59(89)

එඩ්ඩො බ්‍රැන්ඩෙස් 70/3, ඩේව් හග්ටන් 19/1

ශ්‍රී ලංකාවට කඩුලු 3 ක ජයක්

එක්දින තරග ඉතිහාසයේ අඩුම ලකුණු!

2004 වර්ෂයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ හි එක්දින තරග 5කින් සමන්විත තරගාවලියකට එක් වුණා. එම තරගාවලියේ පළමු තරඟ ද්විත්වයේ ම ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වූ අතර ම මෙම ලිපියේ සඳහන් වන වාර්තාගත තරගය, තරගාවලියේ තුන්වන තරගය ලෙසින් හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා. 

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව මුලින් ම පන්දුවට පහර දීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළා. සිම්බාබ්වේ ක්‍රීඩකයන්ට අනපේක්ෂිත තර්ජනයක් එල්ල කිරීමට චමින්ද වාස්, දිල්හාර ප්‍රනාන්දු සහ ෆර්වීස් මහරූෆ් යන ශ්‍රී ලංකා පන්දු යවන්නන් තිදෙනාට හැකි වුණා. සිම්බාබ්වේ කඩුලු එක පිට එක බිඳ වැටුණු අතර ම බිඳ වැටෙන සිම්බාබ්වේ ඉනිම ගොඩ නැංවීමට කිසිවකුටත් හැකියාව ලැබුණේ නෑ.

සිම්බාබ්වේ කඩුල්ලක් දවා ගැනීමේ ප්‍රීතිය සමරන චමින්ද වාස්
සිම්බාබ්වේ කඩුල්ලක් දවා ගැනීමේ ප්‍රීතිය සමරන චමින්ද වාස්  – www.timesofsports.com 

විනාඩි 89 ක කාලයකදී පන්දුවාර 18ක් තුළ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 35කට දැවී ගියේ එදා මෙදා තුර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කරගනිමිනුයි. (මෙය තවමත් නොබිඳී පවතින වාර්තාවකි). සිම්බාබ්වේ කණ්ඩායම් කිසිදු ක්‍රීඩකයකුට ලකුණු 10 සීමාවට ළඟා වීමට නොහැකි වූ අතර ම ඉනිමේ වැඩි ම ලකුණු ලාභියා වූ ඩියොන් ඒබ්‍රහිම් රැස් කළ ලකුණු සංඛ්‍යාව 7ක්.

එක්දින ක්‍රිකට් පිටියේ අඩුම ලකුණු

ඉනිමේ දෙවනියට වැඩි ම ලකුණු සංඛ්‍යාව ලෙසින් අතිරේක ලකුණු 7ක් සටහන් වී තිබීම ද විශේෂත්වයක්. ඉනිමේ පිතිකරුවන් 4 දෙනකු ලකුණු නොලබා දැවී ගිය අතර ම ඒබ්‍රහිම් රැස් කළ ලකුණු 7න් අනතුරු ව පිතිකරුවන් 10 දෙනකු ම ලකුණු 5 සීමාවට ළඟා වීමට ද අපොහොසත් වුණා.

විශිෂ්ට පන්දු යැවීමක් සටහන් කළ චමින්ද වාස් ලකුණු 11 කට කඩුලු 4ක් බිඳ හෙළූ අතර ම ඔහුට මනා සහායක් ලබා දුන් ෆර්විස් මහරූෆ් කඩුලු 3ක් සහ දිල්හාර ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳ හෙළුවා. ලකුණු 36 ක පහසු ඉලක්කයක් හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 9.2ක් තුළ ජයග්‍රාහී ඉලක්කය වෙතට ළඟා වුණා. එම ජයග්‍රහණයත් සමඟින් එක්දින තරගාවලියේ ජයග්‍රහණය ද තවත් තරග 2ක් ඉතිරි ව තිබියදී ම ශ්‍රී ලංකාව සතු වුණා.

සිම්බාබ්වේ ඉනිමේ කඩුලු 3ක් බිඳ හෙලූ ෆර්වීස් මහරූෆ්
සිම්බාබ්වේ ඉනිමේ කඩුලු 3ක් බිඳ හෙලූ ෆර්වීස් මහරූෆ් – timesofindia.indiatimes.com 

තරග සාරාංශය

සිම්බාබ්වේ 35-10 (18)

ඩියොන් ඒබ්‍රහිම් 7(10), අතිරේක 7

චමින්ද වාස් 11/4, ෆර්විස් මහරූෆ් 3/3, දිල්හාර ෆර්නෑන්ඩො 18/2

ශ්‍රී ලංකාව 40/1 (9.2)

සනත් ජයසූරිය 28(26)*

ඩග්ලස් හොන්ඩෝ 11/1

ශ්‍රී ලංකාවට කඩුලු 9 ක ජයක්

ඉතිහාසගත සිම්බාබ්වේ!

සිම්බාබ්වේ කණ්ඩායමක් එක්දින තරග 5ක් සඳහා ශ්‍රී ලංකාවේ අවසන් වතාවට සංචාරය කළේ 2017 වර්ෂයේදී යි. එවර තරගාවලියේ මුල් තරගයේ ජය සිම්බාබ්වේ සතු වූ අතර ම දෙවන සහ තෙවන තරග ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා. නැවතත් සිව්වන තරගය ජයග්‍රහණය කළ සිම්බාබ්වේ කණ්ඩායම තරග 2-2 ක් ලෙසින් තරගාවලිය සම කරමින් අවසන් තරගයට එක් වූ අතර ම තරගය හම්බන්තොට දී පැවත්වුණා. 

කාසියේ වාසිය ජයග්‍රහණය කළ සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් ගේ ආරාධනයෙන් පන්දුවට මුලින් ම පහර දීමට පැමිණි ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය එතරම් සාර්ථක වූයේ නෑ. ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 3ක් ලකුණු 31ක් ඇතුළත දැවී ගියා. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 78 දී නායක ඇන්ජලෝ මැතිව්ස් ගේ දැවී යාම නිසාවෙන් ශ්‍රී ලංකාව තවත් අසීරුතාවට පත් වී සිටියා. මේ මොහොතේදී ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක පන්දු 86ක් තුළ දී හතරේ පහර 5ක් ද සමඟින් ලකුණු 52ක් රැස් කළා. ලකුණු 151 කට කඩුලු 8ක් බිඳ වැටී අතිශය අසීරුතාවකට පත් වී සිටි ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ අසේල ගුණරත්න පන්දු 81ක් තුළ හතරේ පහර 4ක් ද සමගින් නොදැවී ලකුණු 59ක් රැස් කළා.

ශ්‍රී ලංකා කඩුල්ලක් දවා ගැනීමේ ප්‍රීතිය සමරන සිකන්දර් රාසා
ශ්‍රී ලංකා කඩුල්ලක් දවා ගැනීමේ ප්‍රීතිය සමරන සිකන්දර් රාසා – ESPNCricinfo.com

ඔහු දුෂ්මන්ත චමීර සමඟින් 9 වන කඩුල්ල සඳහා එක් කළ නොබිඳුණු ලකුණු 50ක සබඳතාව නිසා ශ්‍රී ලංකාව කඩුලු 8කට නියමිත පන්දුවාර 50 අවසන් කළේ ලකුණු 203ක් සටහන් කරමිනුයි. පන්දු යැවීමේ දී සිකන්දර් රාසා කඩුලු 3ක් සහ ග්‍රැහැම් ක්‍රීමර් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට ආ සිම්බාබ්වේ වෙනුවෙන් හැමිල්ටන් මසකඩ්සා සහ සොලමන් මීරේ විසින් වේගවත් ආරම්භයක් ලබාගත් අතර ම ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ල සඳහා පන්දුවාර 14.1 තුළදී ලකුණු 92ක් එක් කළා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ හැමිල්ටන් මසකඩ්සා පන්දු 86 කදී හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් ද සමඟින් ලකුණු 73ක් රැස් කිරීමට සමත් වුණා. විටෙක කඩුලු 2ක් දැවී ලකුණු 148ක් රැස්කර ගෙන සිටි සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය වෙත පහසුවෙන් ගමන් කරන බවක් පෙනෙන්නට තිබුණ ද අකිල ධනංජය ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගය නැවත ශ්‍රී ලංකාව දෙසට රැගෙන යාමට උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් ලෙසින්සිම්බාබ්වේ කඩුලු කිහිපයක් ම  ඉක්මනින් බිඳ වැටුණ අතර සිම්බාබ්වේ ඉනිම කඩුලු 7ක් බිඳ වැටී ලකුණු 175ක් බවට පරිවර්තනය වුණා.

ඉවසිලිවන්ත ඉනිමක්

මේ මොහොතේ දී තත්ත්වය වටහා ගෙන තණතීරුවේ ස්ථාවර වෙමින් ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ සිකන්දර් රාසා පන්දු 27 කදී නොදැවී ලකුණු 27ක් රැස් කළේ සිම්බාබ්වේ ජයග්‍රහණය තහවුරු කරමිනුයි. එය ඔවුන්ට ඉතිහාසගත ජයග්‍රහණයක් වූ අතරම සිම්බාබ්වේ කණ්ඩායමක් එක්දින තරගාවලියක දී ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් ලද පළමු තරගාවලි ජයද වූවා. 2009 වර්ෂයෙන් පසු ව තම මවුබිමෙන් පිටත දී සිම්බාබ්වේ කණ්ඩායම එක්දින තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද එය වුණා.

වසර අටකට පසුව තම මවුබිමෙන් පිටතදී ලැබූ එක්දින තරඟාවලි ජය සමරන සිම්බාබ්වේ ක්‍රීඩකයෝ!
වසර අටකට පසුව තම මවුබිමෙන් පිටතදී ලැබූ එක්දින තරඟාවලි ජය සමරන සිම්බාබ්වේ ක්‍රීඩකයෝ – ESPNCricinfo.com

තරග සාරාංශය

ශ්‍රී ලංකාව 203-8 (50)

අසේල ගුණරත්න 59(81)* ධනුෂ්ක ගුණතිලක 52(86)

සිකන්දර් රාසා 21/3, ග්‍රැහැම් ක්‍රීමර් 23/2

සිම්බාබ්වේ 204-7 (38.1)

හැමිල්ටන් මසකඩ්සා 73(86), සොලමන් මීරේ 43(32), ටරිසායි මුසකන්ඩා 37(49)

අකිල ධනංජය 47/4, ලසිත් මාලිංග 44/2

සිම්බාබ්වේට කඩුලු 3 ක ජයක් 

කවරයේ ඡායාරූපය -ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගයක් - ESPN Cricinfo 

මූලාශ්‍ර:

www.espncricinfo.com 

 www.espncricinfo.com 

 www.espncricinfo.com 

Related Articles