ටෙස්ට් පිටියේ සිටි සුපිරි ප්‍රහාරකයෙකුගේ වේගවත්ම ටෙස්ට් ශතක 10

ටෙස්ට් තරගවල දී පිතිකරුවන් මන්දගාමී අයුරින් පන්දුවට පහරදෙන නිසා වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිව තිබෙන්නේ එක්දින සහ 20/20 තරග රටාවලට යි. නමුත් ටෙස්ට් තරගවල දී වේගයෙන් පන්දුවට පහරදෙන පිතිකරුවන් ද හමුවනවා. එලෙස හමුවන පිතිකරුවන් අතුරින් විරේන්ද්‍ර ෂෙවාග්ට සුවිශේෂී ස්ථානයක් ලැබී තිබෙන්නේ ඔහු වේගවත්ම ටෙස්ට් ශතකයේ හිමිකරුවා නිසා යි. එසේ නම් මෙම ලිපිය මඟින් ඉදිරිපත් කරන්නේ ෂෙවාග් සිය ටෙස්ට් දිවිය තුළ ලබාගත් වේගවත්ම ශතක 10 පිළිබඳව යි.

254(247)- පාකිස්ථානයට එරෙහිව 2006 වසරේ දී 

2006 වසරේ පැවති ඉන්දු-පාකිස්ථාන් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ක්‍රියාත්මක වුණේ ලාහෝර් නුවර, ගඩාෆි පිටියේ දී යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 679ක් ලබාගත්තේ යුනිස් ඛාන්, මොහොමඩ් යූසුෆ්, ෂයිඩ් අෆ්රිඩි, සහ කම්රන් අක්මාල් ලබාගත් ශතක නිසා යි. පාකිස්ථානුවන් ලබාගත් එම දැවැන්ත ලකුණු ප්‍රමාණයට පසුව සිය පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ෂෙවාග්, හතරේ පහර 47ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 254ක් ලබාගත්තේ පන්දු 247කට පමණක් මුහුණදෙමින්.

ෂෙවාග් ද්විත්ව ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

180(190)- බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2006 වසරේ දී 

2006 වසරේ දී ශාන්ත ලුසියාහි දී පැවති ඉන්දු-කොදෙව් ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම, පළමු දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී ලකුණු 361ක් ලබා සිටියා. එහි දී ඉන්දීය පිලට වේගවත් ආරම්භයක් ලබාදුන් ෂෙවාග්, පන්දු 190කින් ලකුණු 180ක් ලබාගත්තේ අලංකාර හතරේ පහර 20ක් සහ දැවැන්ත හයේ පහර 2ක් එල්ල කරමින්.

ෂෙවාග් පහරක් එල්ල කරමින් (gettyimages)

319(304)- දකුණු අප්‍රිකාවට එරෙහිව 2008 වසරේ දී 

2008 වසරේ චෙන්නායි නුවර චිදම්බරම් පිටියේ දී ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරගයක් පැවැත්වුණා. එම තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම, සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 540ක් ලබාගත්තේ හෂීම් අම්ලාගේ පිත්තෙන් වාර්තා වුණු අගනා ලකුණු 159 නිසා යි. එලෙස දකුණු අප්‍රිකානුවන් ලබාගත් ලකුණු 327ට පිළිතුරු ලෙසින් සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 627ක් ලබාගත්තා. එහි දී ඉන්දීය ඉනිම වර්ණවත් කළ ෂෙවාග්, හතරේ පහර 42ක් සහ හයේ පහර 5ක් එල්ල කරමින් පන්දු 304කින් ලකුණු 319ක් ලබාගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින්. එසේම එම ඉනිමේ දී පන්දු 278කින් සිය ත්‍රිත්ව ශතකය සම්පූර්ණ කරගත් ෂෙවාග්, අඩුම පන්දු ගණනකින් ටෙස්ට් ත්‍රිත්ව ශතකයක් ලබාගත් පිතිකරුවා ලෙසින් ඉතිහාසගත වුණා.

ෂෙවාග් ත්‍රිත්ව ශතකය සම්පූර්ණ කළ මොහොත (gettyimages)

201(231)*- ශ්‍රී ලංකාවට එරෙහිව 2008 වසරේ දී 

2008 වසරේ ගාලු ක්‍රිකට් පිටියේ දී පැවති ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන්නේ ඉන්දීය කණ්ඩායම යි. එහි දී ඉන්දියානුවන් එක් අවස්ථාවක කිසිවෙකු නොදැවී ලකුණු 167ක් ලබා සිටියත්, ඔවුන්ගේ කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 11ක් තුළ දැවීගියේ ලකුණු පුවරුව 178/4 බවට පත් කරමින්. එලෙස ඉන්දීය ඉනිම බිඳවැටෙමින් තිබුණු අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ෂෙවාග්, හතරේ පහර 22ක් සහ හයේ පහර 4ක් සමගින් පන්දු 231ක් තුළ නොදැවී ලකුණු 201ක් ලබාගත්තේ ඉන්දීය ලකුණු පුවරුව 329ක් දක්වා ඉහළ නංවමින්. 

ෂෙවාග් පහරක් එල්ල කරමින් (gettyimages)

131(122)- ශ්‍රී ලංකාවට එරෙහිව 2009 වසරේ දී 

2009 වසරේ දී කාන්පූර් නුවර, ග්‍රීන් පාක් පිටියේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගයෙන් ඉන්දීය කණ්ඩායම ඉනිමක සහ ලකුණු 144ක ජයක් ලැබුවා. එලෙස ඉන්දීය කණ්ඩායමට දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට පන්නරය ලැබුණේ ඔවුන් පළමු දිනය අවසන් වන විට කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 417ක් ලබා සිටි නිසා යි. එහි දී ෂෙවාග් හතරේ පහර 18ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 122ක් තුළ වේගවත් ලකුණු 138ක් ලබාගත්තේ ඉන්දීය ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදෙමින්.

ෂෙවාග්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

293(254)- ශ්‍රී ලංකාවට එරෙහිව 2009 වසරේ දී 

2009 වසරේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ තෙවන ටෙස්ට් තරගය ක්‍රියාත්මක වුණේ මුම්බායි නුවර, බ්‍රැබෝන් පිටියේ දී යි. එම තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 393ක් ලබාගත්තේ දිල්ෂාන්ගේ පිත්තෙන් වාර්තා වුණු ශතකය නිසා යි. ඉන්පසුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ප්‍රචණ්ඩකාරී ඉනිමක් ක්‍රීඩා කළ ෂෙවාග්, පන්දු 254කින් වේගවත් ලකුණු 293ක් ලබාගත්තේ හතරේ පහර 40ක් සහ දැවැන්ත හයේ පහර 7ක් එල්ල කරමින්. එහි දී අවාසනාවන්ත ලෙසින් ෂෙවාග්ට ත්‍රිත්ව ශතකය අහිමි නොවුණා නම් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ත්‍රිත්ව ශතක 3ක් ලබාගත් මුල්ම පිතිකරුවා බවට පත් වීමේ අවස්ථාව ඔහුට හිමිව තිබුණා. 

 ෂෙවාග් අලංකාර පහරක් එල්ල කරමින් (gettyimages)

165(174)- දකුණු අප්‍රිකාවට එරෙහිව 2010 වසරේ දී 

2010 වසරේ දී කල්කටා නුවර, ඊඩ්න් ගාඩ්න් පිටියේ පැවති ඉන්දු-දකුණු අප්‍රිකා ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානුවන් එක් අවස්ථාවක කඩුල්ලක් දැවී ලකුණු 218ක් ලබා සිටියා. නමුත් එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු ඉන්දීය පන්දු යවන්නන් අප්‍රිකානු පළමු ඉනිම 296කට සීමා කළේ තරගයේ වාසිය ලබා ගනිමින්. ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා දුන් ෂෙවාග්, පන්දු 174කින් ලකුණු 165ක් ලබාගත්තේ හතරේ පහර 23ක් සහ හයේ පහර 2ක් එල්ල කරමින්.

ෂෙවාග්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

109(118)- ශ්‍රී ලංකාවට එරෙහිව 2010 වසරේ දී 

2010 වසරේ දී ගාලු පිටියේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක ජයක් ලැබුවා. එලෙස ඉන්දියානුවන් තරගය පරාජය වුණත් ඔවුන්ගේ පළමු ඉනිමේ දී වේගවත් ශතකයක් වාර්තා කළ ෂෙවාග්, පන්දු 118කින් ලකුණු 109ක් ලබාගත්තේ හතරේ පහර 19ක් සහ හයේ පහරක් එල්ල කරමින්.

ෂෙවාග් ශතකය ලබාගත් මොහොත (gettyimages) 

109(105)- ශ්‍රී ලංකාවට එරෙහිව 2010 වසරේ දී 

2010 ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ තෙවන ටෙස්ට් තරගය පැවැත්වුණේ කොළඹ පී සරා ඕවල් පිටියේ දී යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 425ක් ලබාගත්තේ තිලාන් සමරවීරගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු 137 නිසා යි. ශ්‍රී ලංකා ඉනිම අවසන් වීමෙන් පසුව ඉන්දීය පළමු ඉනිම ආරම්භ වුණු අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ෂෙවාග්, සිය කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන්නේ පන්දු 105ක් තුළ ලකුණු 109ක් ලබා ගනිමින්.

ෂෙවාග් පහරක් එල්ල කරමින් (gettyimages) 

117(117)- එංගලන්තයට එරෙහිව 2012 වසරේ දී 

2012 වසරේ දී සර්දාර් පටෙල් පිටියේ දී පැවති ඉන්දු-එංගලන්ත ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පළමු දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී ලකුණු 323ක් ලබා සිටියා. එහි දී ඉන්දීය පිලට වේගවත් ආරම්භයක් ලබාදුන් ෂෙවාග්, පන්දු 117කින් ලකුණු 117ක් ලබාගත්තේ අලංකාර හතරේ පහර 15ක් සහ දැවැන්ත හයේ පහරක් එල්ල කරමින්.

ෂෙවාග් වේගවත් පහරක් එල්ල කරමින් (gettyimages)

කවරයේ ඡායාරූපය- ෂෙවාග් වේගවත්ම ටෙස්ට් ශතකය ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

Related Articles

Exit mobile version