2018 පාපන්දු ලෝක කුසලානය – F කාණ්ඩය​

මෙවර පාපන්දු ලෝක කුසලානයෙහි කතාබහට ලක් වූ කාණ්ඩයක් ලෙස F කාණ්ඩය සැලකීමට පිළිවන්. මෙම කාණ්ඩය යටතේ 2014 ලෝක ශූර ජර්මනිය​, මෙක්සිකෝව, ස්වීඩනය, සහ දකුණු කොරියාව යන රටවල් තරග වැදුණා.

මෙම කාණ්ඩයේ පළමු තරගයෙන්ම මෙවර ලෝක කුසලානයේ බලාපොරොත්තු නොවූ පළමු පරාජය වාර්තා වුණා. ඒ ජර්මන් පිල මෙක්සිකෝව හමුවේ පරාජය වීම යි. ජූනි 17 වන දා මොස්කව්හි ලුෂ්නිකි ක්‍රීඩාංගණයෙදී පවත්වන ලද මෙම තරගයේ 35 වන විනාඩියේ දී එහි වාර්තා වූ එකම ගෝලය ලබාගත්තේ මෙක්සිකෝවේ හර්වින් ලොසානෝ විසින්. මෙම තරගයේ දී මෙක්සිකෝ දැල් රකින ගිලර්මෝ ඔචොආගේ දස්කම් කැපී පෙනුණා.

ඔචොආ (Getty Images)

ජූනි 18 වන දා නිෂ්නි නොව්ගොරොද්හි දී පැවති ස්වීඩනය සහ දකුණු කොරියා තරගයෙන් ස්වීඩනය ජය ගත්තේ 65 වන විනාඩියේ අන්ද්‍රියාස් ග්‍රන්ක්විස්ට් ලබාගත් දඬුවම් පහරක උපකාරයෙන්.

ස්වීඩනයේ අබින් එක්ඩාල් දකුණු කොරියාවට එරෙහිව (Getty Images)

මේ අතර ජූනි 23 වන දා රස්තොව් ඔන්-දොන් (දොන් නදීබඩ රස්තොව්) නගරයේ දී මෙක්සිකෝ පිල දකුණු කොරියානුවන් 2-1ක් ලෙස පරාජය කරමින් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා. ඒ සමගින් දකුණු කොරියාව ද තරගාවලියෙන් ඉවතට විසි වුණා. මෙම තරගයේ දී ද ඔචොආගේ දස්කම් ප්‍රකට වූ අතර දකුණු කොරියාව වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය සොන් හ්‍යුන්ග්-මින් 90+3 වන විනාඩියේ දී ලබාගත්තා. එය ඔචොආට වුව ද වැළැක්විය නොහැකි මනරම් ගෝලයක් වුණා.

කෲස් ජර්මනියට ජීවය දෙයි

මේ අතර ජර්මානු පිල ජූනි 23 වන දා සෝචි නගරයේ දී ස්වීඩනය සමග තරග වැදුණේ තරගාවලියෙන් ඉවත් වීමේ අවදානම ද සහිතව යි. තරගයේ 12 වන විනාඩියේ ස්වීඩනයට ලැබිය යුතු වූ දඬුවම් පහරක් නොලැබී ගිය බවට විශාල ආන්දෝලනයක් වූ නමුත් නීල්ස් ටොයිවොනෙන් 32 වන විනාඩියේ ස්වීඩනය වෙනුවෙන් පළමු ගෝලය ලබා ගත්තා. පළමු අර්ධය නිම වෙද්දී ලකුණු සංඛ්‍යාව වුණේ 1-0ක්.

දෙවන අර්ධය ආරම්භයේ මාර්කෝ රොයිස් ගෝලයක් වාර්තා කර ලකුණු සම කළ නමුත් එතැනින් පසු තරගයේ අවසාන මොහොත වනතුරුම දෙපිලටම ගෝල ලබාගත නොහැකි වුණා. මේ අනුව තරගය ජය පරාජයෙන් කෙළවර වී නම් ජර්මනියට ඊළඟ වටයට සුදුසුකම් ලැබීමේ හැකියාව සම්පූර්ණයෙන්ම පාහේ ඇහිරීමට ඉඩ තිබුණා.

කෲස්ගේ ගෝලය (Getty Images)

මෙම ඉරණමෙන් ඔවුන් ගලවා ගන්නා ලද්දේ තරගයේ අවසන් මොහොතේ, 90+5 විනාඩියේ දී ටෝනි කෲස් ලබාගත් මනරම් නිදහස් පහරක්. මේ අනුව ජර්මනියට ඊළඟ වටයට සුදුසුකම් ලැබීම පිළිබඳ බලාපොරොත්තු අලුත් වුණා.

ජර්මන් සිහින බොඳ වෙයි

නමුත් ජර්මනියේ සිහින මීළඟ තරගයේ දී සම්පූර්ණයෙන්ම බොඳ වී ගියේ දකුණු කොරියානු දැල් රකින්නාගේ දක්ෂතා ද හමුවේයි. කසාන් නගරයේ දී ජූනි 27 වන දා පවත්වන ලද තරගයේදී මුලින් දකුණු කොරියානු ඉදිරිපෙළ අවස්ථා කිහිපයකදීම ජර්මනියට තර්ජනය කළා. ඉන්පසු ජර්මනිය අවස්ථා කිහිපයකදීම දකුණු කොරියානු දැල ආක්‍රමණය කළ නමුත් ඒ උත්සාහයන් අසාර්ථක වුණා. ඇතැම් පහරවල් දැලට එපිටින් ඇදී යද්දී, ඇතැම් පහරවල් දැල් රකින්නා වූ චෝ හ්‍යුන්-වෝ විසින් වළක්වනු ලැබුණා.

තරගයේ විනාඩි 90 අවසන් වූ පසුවත් ගෝල වාර්තා නොවී තිබුණ අතර මීට සමගාමීව පැවති ස්වීඩන්-මෙක්සිකෝ තරගයෙන් ස්වීඩනය 3-0ක් ලෙස ඉදිරියෙන් සිටින බව ඒ වනවිට වාර්තා වී තිබුණා. ඒ අනුව මීළඟ වටය කරා යාමට නම් ජර්මනිය මෙම තරගය ජයගත යුතුව තිබුණා.

ස්වීඩනයේ මාර්කස් බර්ග් මෙක්සිකෝවට එරෙහිව (AP)

නමුත් 90+3 වන විනාඩියේ දී කොන් පහරක් ආශ්‍රයෙන් කිම් යංග්-ග්වොන් ලබාගත් ගෝලය සමග දකුණු කොරියාව තරගයේ පෙරමුණට පැමිණියා. මේ අවස්ථාවේ ජර්මන් නායක සහ දැල් රකින්නා වූ මැනුවෙල් නොයර් ද මැද පෙළ ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කිරීමට වූයේ කෙසේ හෝ ගෝලයක් ලබා ගන්නා අටියෙන්. නමුත් මෙම අවස්ථාවේ දකුණු කොරියානු ක්‍රීඩක සොංග් හ්‍යුන්ග් – මින් ආරක්ෂාවක් නොවූ ජර්මන් දැල නැවතත් ආක්‍රමණය කරමින් ගෝලයක් ලබාගත්තා. මෙහි ප්‍රතිඵලය වූයේ 1938 න් පසු තමන් සහභාගී වූ ලෝක කුසලානයකින් පළමු වටයේදීම ජර්මනිය ඉවතට විසි වී යාම යි.

මේ අතර අනෙක් තරගය ස්වීඩනය විසින් 3-0ක් ලෙස ජයගත්තේ යෙකටරින්බර්ග් නගරයේ දී යි.

F කාණ්ඩයේ තරග ප්‍රතිඵල සටහන සහ ප්‍රසාද ලකුණු සටහන පහත දැක්වෙනවා.

තරග ප්‍රතිඵල​
ප්‍රසාද ලකුණු සටහන​

මෙහි ප්‍රසාද ලකුණු සටහනේ GF යනු ලබා ගත් ගෝල ය​. GA යනු ලබා දුන් ගෝල වන අතර ඒවායේ වෙනස +/- මගින් දැක්වෙනවා

Cover Image: ජර්මනිය පරාජය කළ දකුණු කොරියාව (EPA)

Related Articles

Exit mobile version