22 වන පාපන්දු ලෝක කුසලානය වූ 2022 තරගාවලිය පසුගිය වසරේ දෙසැම්බර් මස 20 වන දා නිමාව දුටුවා. ඒ ආජන්ටිනාව තුන්වන වතාවටත් ලෝක ශූරයන් බවට පත් කරමින්. එහිදී නව ලෝක කුසලාන වාර්තා ගණනාවක් ම බිහි වුණා.
මෙම ලිපියෙන් ලෝක කුසලාන 22 ක දී බිහි වූ වාර්තා සහ අලුත් වූ මතක පිළිබඳ ව නැවත විමසා බැලෙනවා.
ලෝක ශූරයන් බිහිවුණු අයුරු
1930 සිට මේ දක්වා පැවති ලෝක කුසලානවලදී පහත පරිදි කණ්ඩායම් දස්කම් දැක්වීමට සමත් වී තිබෙනවා.
වර්ෂය | ශූරතාව | අනුශූරතාව | තෙවන ස්ථානය | සිව්වන ස්ථානය |
1930 | උරුගුවේ | ආජන්ටිනාව | අමෙරිකාව | යුගොස්ලෝවියාව |
1934 | ඉතාලිය | චෙකොස්ලෝවැකියාව | ජර්මනිය | ඔස්ට්‍රියාව |
1938 | ඉතාලිය | හංගේරියාව | බ්‍රසීලය | ස්වීඩනය |
1950 | උරුගුවේ | බ්‍රසීලය | ස්වීඩනය | ස්පාඤ්ඤය |
1954 | බටහිර ජර්මනිය | හංගේරියාව | ඔස්ට්‍රියාව | උරුගුවේ |
1958 | බ්‍රසීලය | ස්වීඩනය | ප්‍රංශය | බටහිර ජර්මනිය |
1962 | බ්‍රසීලය | චෙකොස්ලෝවැකියාව | චිලී | යුගොස්ලෝවියාව |
1966 | එංගලන්තය | බටහිර ජර්මනිය | පෘතුගාලය | සෝවියට් දේශය |
1970 | බ්‍රසීලය | ඉතාලිය | බටහිර ජර්මනිය | උරුගුවේ |
1974 | බටහිර ජර්මනිය | නෙදර්ලන්තය | පෝලන්තය | බ්‍රසීලය |
1978 | ආජන්ටිනාව | නෙදර්ලන්තය | බ්‍රසීලය | ඉතාලිය |
1982 | ඉතාලිය | බටහිර ජර්මනිය | පෝලන්තය | ප්‍රංශය |
1986 | ආජන්ටිනාව | බටහිර ජර්මනිය | ප්‍රංශය | බෙල්ජියම |
1990 | ජර්මනිය | ආජන්ටිනාව | ඉතාලිය | එංගලන්තය |
1994 | බ්‍රසීලය | ඉතාලිය | ස්වීඩනය | බල්ගේරියාව |
1998 | ප්‍රංශය | බ්‍රසීලය | ක්‍රොඒෂියාව | නෙදර්ලන්තය |
2002 | බ්‍රසීලය | ජර්මනිය | තුර්කිය | දකුණු කොරියාව |
2006 | ඉතාලිය | ප්‍රංශය | ජර්මනිය | පෘතුගාලය |
2010 | ස්පාඤ්ඤය | නෙදර්ලන්තය | ජර්මනිය | උරුගුවේ |
2014 | ජර්මනිය | ආජන්ටිනාව | නෙදර්ලන්තය | බ්‍රසීලය |
2018 | ප්‍රංශය | ක්‍රොඒෂියාව | බෙල්ජියම | එංගලන්තය |
2022 | ආජන්ටිනාව | ප්‍රංශය | ක්‍රොඒෂියාව | මොරොක්කෝව |
මෙම ලෝක කුසලාන 22 අවසානයේ දී කණ්ඩායම් ජයග්‍රහණ සහ මුල් ස්ථාන 4 තුළ තම නම සටහන් කර ගැනීමට පහත පරිදි රටවල් සමත් වුණා.
කණ්ඩායම | ශූරතා | අනුශූරතා | තෙවන ස්ථාන | සිව්වන ස්ථාන | සමස්ථ අගය |
1. බ්‍රසීලය | 5 | 2 | 2 | 2 | 11 |
2. ජර්මනිය | 4 | 4 | 4 | 1 | 13 |
3. ඉතාලිය | 4 | 2 | 1 | 1 | 08 |
4. ආජන්ටිනාව | 3 | 3 | – | – | 06 |
5. ප්‍රංශය | 2 | 2 | 2 | 1 | 07 |
6. උරුගුවේ | 2 | – | – | 3 | 05 |
7. එංගලන්තය | 1 | – | – | 2 | 03 |
8. ස්පාඤ්ඤය | 1 | – | – | 1 | 02 |
9. නෙදර්ලන්තය | – | 3 | 1 | 1 | 05 |
10. චෙකොස්ලෝවැකියාව | – | 2 | – | – | 02 |
11. හංගේරියාව | – | 2 | – | – | 02 |
12. ස්වීඩනය | – | 1 | 2 | 1 | 04 |
13. ක්‍රොඒෂියාව | – | 1 | 2 | – | 03 |
14. පෝලන්තය | – | – | 2 | – | 02 |
15. පෘතුගාලය | – | – | 1 | 1 | 02 |
16. බෙල්ජියම | – | – | 1 | 1 | 02 |
17. ඔස්ට්‍රියාව | – | – | 1 | 1 | 02 |
18. අමරිකාව | – | – | 1 | – | 01 |
19. චිලී | – | – | 1 | – | 01 |
20. තුර්කිය | – | – | 1 | – | 01 |
21. යුගොස්ලෝවියාව | – | – | – | 2 | 02 |
22. සෝවියට් දේශය | – | – | – | 1 | 01 |
23. බල්ගේරියාව | – | – | – | 1 | 01 |
24. දකුණු කොරියාව | – | – | – | 1 | 01 |
25. මොරොක්කෝව | – | – | – | 1 | 01 |
ඉහත ලැයිස්තුවට අනුව පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රටවල් 25 ක් අවසන් කණ්ඩායම් 4 අතරට එක් වීමේ අවස්ථාව හිමි කර ගෙන තිබෙනවා. ඒ අතරින් අවසන් මහා තරගයට එක් වීමට කණ්ඩායම් 13ක් සමත් වෙද්දී පාපන්දු ලෝක ශූරතාව ජයග්‍රහණය කර තිබෙන්නේ රටවල් 8 ක් පමණ යි.
වැඩි ම ලෝක ශූරතාව දිනා ගත් රට වශයෙන් 5 වතාවක් කිරුළ දිනූ බ්‍රසීලය තවදුරටත් වැජඹෙනවා. රටවල් 6ක් මෙම දස්කම දෙවතාවක් හෝ ඊට වඩා ජයග්‍රහණය කිරීමට සමත් ව තිබෙනවා. වැඩි ම වතාවක් අවසන් කණ්ඩායම් 4 අතරට එක්ව සිටින ජර්මනිය අවස්ථා 13 ක දී එම දස්කම සිදු කිරීමට සමත් වුණා.
ලෝක කුසලාන ඉතිහාසයේ ම ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් ව තිබෙන්නේ යුරෝපා සහ දකුණු අමරිකානු කණ්ඩායම් පමණ යි. දකුණු කොරියාව අවසන් කණ්ඩායම් හතර තුළට ආ එක ම ආසියානු කණ්ඩායම සහ මොරොක්කෝව එකම අප්‍රිකානු කණ්ඩායම වනවා. මොරොක්කෝව පසුගිය 2022 ලෝක කුසලානයේ දී මෙම දස්කම දැක්වීම විශේෂත්වයක්.
වැඩිම ගෝල ලාභීහු
2022 පාපන්දු ලෝක කුසලානයේදී ගෝල 8ක් ලබා වැඩි ම ගෝල ලාභියාට හිමි රන් සපත්තුව හෙවත් ගෝල්ඩන් බූට් සම්මානය දිනා ගැනීමට ප්‍රංශයේ කිලියන් ම්බප්පේ සමත් වුණා. ඔහුට අමතර ව ලෝක කුසලාන 22 ක පහත ක්‍රීඩකයන් එම දස්කම දැක්වීමට සමත් වුණා.
1930 සිට 2022 දක්වා වැඩි ම ගෝල ලාභීන්
තරගාවලිය | ක්‍රීඩකයා | රට | ලබාගත් ගෝල |
1930 | ගුලෙර්මෝ ස්ටැබිලේ | ආජන්ටිනාව | 08 |
1934 | ඕල්ඩ්‍රිච් න්යෙඩ්ලි | චෙකොස්ලෝවැකියාව | 05 |
1938 | ලියොනිඩාස් | බ්‍රසීලය | 08 |
1950 | ඇඩෙමිර් | බ්‍රසීලය | 08 |
1954 | සැන්ඩොර් කොක්සිස් | හංගේරියාව | 11 |
1958 | ජස්ට් ෆොන්ටෙයින් | ප්‍රංශය | 13 |
1962 | ෆ්ලොරින් ඇල්බර්ට් වැලෙන්ටින් ඉවොනොව් ගරීන්චා වාවා ඩ්‍රාසන් ජෙකොවිච් ලියොනල් සැන්චෙස් | හංගේරියාව සෝවියට් දේශය බ්‍රසීලය බ්‍රසීලය යුගොස්ලෝවියාව චිලී | 04 |
1966 | එයුසෙබියෝ | පෘතුගාලය | 09 |
1970 | ගර්ඩ් මුලර් | ජර්මනිය | 10 |
1974 | ග්‍රීසේගෝර්ස් ලටෝ | පෝලන්තය | 07 |
1978 | මාරියෝ කෙම්පෙස් | ආජන්ටිනාව | 06 |
1982 | පවෝලෝ රොස්සි | ඉතාලිය | 06 |
1986 | ගැරී ලින්කර් | එංගලන්තය | 06 |
1990 | සැල්වත්‍රෝ ශිලැශි | ඉතාලිය | 06 |
1994 | ඔලෙග් සැලෙන්කෝ හ්‍රිස්රෝ ෂ්ටොයිච්කොව් | රුසියාව හ්‍රිස්රෝ ෂ්ටොයිච්කොව් | 06 |
1998 | ඩෙවෝර් සුකර් | ක්‍රොඒෂියාව | 06 |
2002 | රොනාල්ඩෝ නසාරියෝ | බ්‍රසීලය | 08 |
2006 | මිරස්ලොව් ක්ලෝස් | ජර්මනිය | 05 |
2010 | තෝමස් මුලර් | ජර්මනිය | 05 |
2014 | හැමේස් රොද්රිගෙස් | කොලොම්බියාව | 06 |
2018 | හැරී කේන් | එංගලන්තය | 06 |
2022 | කිලියන් ම්බප්පේ | ප්‍රංශය | 08 |
තරගාවලියක දී වැඩි ම ගෝල ලබා ගැනීමේ වාර්තාව ප්‍රංශයේ ජස්ට් ෆොන්ටෙයින් සතු වනවා. ඔහු ලබා තිබෙන ගෝල සංඛ්‍යාව 13ක්. මෙයට අමතර ව කිසිදු ක්‍රීඩකයෙක් ලෝක කුසලාන ද්විත්වයක දී වැඩිම ගෝල ලාභියා බවට පත් වීමට සමත් වූයේ නෑ.
තරගාවලියේ දක්ෂත ම ක්‍රීඩකයා
තරගාවලියේ දක්ෂත ම ක්‍රීඩකයා තේරීම ආරම්භ වූයේ 1982 ලෝක කුසලානයේ සිට යි. ඔහුට රන් පන්දුව හෙවත් ගෝල්ඩන් බෝල් සම්මානය පිරිනමනවා. පාපන්දු ක්‍රීඩකයකුට තරගාවලියක දී ලබා ගත හැකි ඉහළත ම ගෞරවය වන්නේ මෙම ලෝක කුසලාන ගෝල්ඩන් බෝල් සම්මානය ලබා ගැනීම බවට ද සැලකෙනවා.
1982 සිට 2022 දක්වා ගෝල්ඩන් බෝල් ජයග්‍රාහකයෝ
1978 මාරියෝ කෙම්පෙස් (ආජන්ටිනාව)
1982 පවෝලෝ රොස්සි (ඉතාලිය)
1986 දියේගෝ මැරඩෝනා (ආජන්ටිනාව)
1990 සැල්වත්‍රෝ ශිලැශි (ඉතාලිය)
1994 රොමාරියෝ (බ්‍රසීලය)
1998 රොනාල්ඩෝ නසාරියෝ (බ්‍රසීලය)
2002 ඔලිවර් කාන් (ජර්මනිය)
2006 සිනේඩින් සිඩෑන් (ප්‍රංශය)
2010 දියේගෝ ෆෝර්ලෑන් (උරුගුවේ)
2014 ලියොනල් මෙසී (ආජන්ටිනාව)
2018 ලුකා මොඩ්රිච් (ක්‍රොඒෂියාව)
2022 ලියොනල් මෙසී (ආජන්ටිනාව)
1982 සිට මේ දක්වා මෙම සම්මානයෙන් දෙවතාවක් පිදුම් ලැබ ඇති එක ම ක්‍රීඩකා ආජන්ටිනාවේ ලියොනල් මෙසී යි. මෙයට අමතර ව ගෝල්ඩන් බූට් සහ ගෝල්ඩන් බෝල් යන සම්මාන ද්විත්වය ම 1978 දී මාරියෝ කෙම්පෙස්, 1982 පවෝලෝ රොස්සි සහ 1990 දී සැල්වත්‍රෝ ශිලැශි ජයග්‍රහණය කළා.
මෙම සම්මානය දිනා ගත් එකම දැල් රකින්නා වශයෙන් 2022 දී ජර්මනියේ ඔලිවර් කාන් ඉතිහාසගත වුණා. ඔහුද ද්විත්ව සම්මානයෙන් පිදුම් ලබමින් 2002 දී දක්ෂත ම දැල් රකින්නාට හිමි ගෝල්ඩන් ග්ලව් සම්මානය දිනා ගැනීම ද විශේෂත්වයක්.
දක්ෂත ම දැල් රකින්නෝ
ලෝක කුසලානයේ දක්ෂත ම දැල් රකින්නා සම්මානය ලබා දෙන්නේ 1994 වසරේ සිට යි. එයට රන් අත්වැස්ම හෙවත් ගෝල්ඩන් ග්ලව් සම්මානය ලබා දෙනවා. මෙතෙක් එය දෙවතාවක් ජයග්‍රහණය කිරීමට කිසිදු දැල් රකින්නෙක් සමත්වී නෑ.
1994 සිට මේ දක්වා ගෝල්ඩන් ග්ලව් සම්මාන ලාභීහු
1994 මිෂෙල් ප්‍රෙයුඩ්හොම් (බෙල්ජියම)
1998 ෆැබියන් බාර්තෙස් (ප්‍රංශය)
2002 ඔලිවර් කාන් (ජර්මනිය)
2006 ජියන්ලුයිජි බුෆොන් (ඉතාලිය)
2010 ඉකර් කැසිලස් (ස්පාඤ්ඤය)
2014 මැනුවෙල් නෝයර් (ජර්මනිය)
2018 තිබූ කෝටුවා (බෙල්ජියම)
2022 එමිලියානෝ මාර්ටිනෙස් (ආජන්ටිනාව)
අලුත් වූ තවත් වාර්තා
2022 පාපන්දු ලෝක කුසලානයේ දී වාර්තාගත දස්කම් දැක්වීමට කිලියන් ම්බප්පේ සහ ලියොනල් මෙසී සමත් වුණා. ම්බප්පේ ගෝල 8ක් වාර්තා කරද්දී ලියොනල් මෙසී ගෝල 7 ක් වාර්තා කර ගැනීමට සමත් වුණා. ඔවුන් දෙපළගේ මෙම දක්ෂතා නිසා ලෝක කුසලාන ඉතිහාසයේ වැඩි ම ගෝල ලාභීන්ගේ ලැයිස්තුව ද නැවත යාවත්කාලීන කිරීමට සිදු වුණා.
ක්‍රීඩකයා | රට | තරග ගණන | ගෝල සංඛ්‍යාව |
1. මිරස්ලොව් ක්ලෝස් | ජර්මනිය | 24 | 16 |
2. රොනාල්ඩෝ නසාරියෝ | බ්‍රසීලය | 19 | 15 |
3. ගර්ඩ් මුලර් | ජර්මනිය | 13 | 14 |
4. ජස්ට් ෆොන්ටෙයින් | ප්‍රංශය | 06 | 13 |
5. ලියොනල් මෙසී | ආජන්ටිනාව | 26 | 13 |
6. පේලේ | බ්‍රසීලය | 14 | 12 |
7. කිලියන් ම්බප්පේ | ප්‍රංශය | 14 | 12 |
මෙයට අමතර ව මෙවර ලෝක කුසලානයේ දී ලියොනල් මෙසී ගෝල ලබා ගැනීමට සහාය වීම් (Assists) 3ක් ද වාර්තා කිරීමට සමත් වුණා. ලෝක කුසලාන 5 ක එම දස්කම කළ එක ම ක්‍රීඩකයා වන්නේ ද ඔහු යි. ලෝක කුසලාන 5 ක ගෝල රැස් කළ එකම ක්‍රීඩකයා යන වාර්තාව මෙවර තරගාවලියේ දී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමන් සතු කර ගත්තා.
දකුණු අමෙරිකානු හෝ යුරෝපා මහද්වීපයෙන් පිටත ක්‍රීඩකයෙක් වශයෙන් ලෝක කුසලානය නියෝජනය කළ ඝනාවේ අසමෝහ් ජියාන් ගෝල 6 ක් ලබා ගැනීමට සමත් ව තිබෙනවා. එය දකුණු අමරිකා හෝ යුරෝපා කලාපයෙන් පිටත දී ක්‍රීඩකයෙක් ලබා ගත් වැඩි ම ගෝල වාර්තාවට ද හිමිකම් කියනවා. මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරු ව වැඩි ම ලෝක කුසලාන තරග ගණනකට ක්‍රීඩා කිරීමේ වාර්තාව ද ලියොනල් මෙසී සතු වුණා.
ක්‍රීඩකයෙක් නියෝජනය කළ වැඩි ම ලෝක කුසලාන තරග ගණන
1. ලියොනල් මෙසී (ආජන්ටිනාව) – තරග 26
2. ලොතර් මතායස් (ජර්මනිය) – තරග 25
3. මිරස්ලොව් ක්ලෝස් (ජර්මනිය) – තරග 24
4. පවෝලෝ මල්දිනි (ඉතාලිය) – තරග 23
5. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (පෘතුගාලය) – තරග 22
1930 සිට මේ දක්වා පැවති ලෝක කුසලානවල දී වැඩි ම ගෝල සංඛ්‍යාවක් වාර්තා වූ තරගාවලිය යන වාර්තාව ද 2022 ලෝක කුසලානයට හිමි වුණා. මෙවර තරගාවලියේ වාර්තා වූ ගෝල ගණන 172 ක්. අඩුම ගෝල ගණනක් වාර්තා වූ 1930 සහ 1934 ලෝක කුසලාන ද්විත්වයේ ම වාර්තා වී ඇත්තේ ගෝල 70ක් පමණ යි.
මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී වාර්තා වූ ත්‍රිත්ව ගෝල ගණන 2ක්. ඒ අතරට කිලියන් ම්බප්පේ අවසන් මහා තරගයේදී ලබා ගත් ගෝල ත්‍රිත්වය ද ඇතුළත් වනවා. අනෙක් ගෝල ත්‍රිත්වය අවසන් 16 දෙනාගේ වටයේදී ස්විට්සර්ලන්තයට එරෙහි ව පෘතුගාලයේ ගොන්සාලෝ රාමෝස් වාර්තා කළා. මේ වන විට ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වී ඇති සමස්ත ත්‍රිත්ව ගෝල ගණන 54ක්.
වැඩි ම දඬුවම් පහර වට සඳහා ගමන් කළ තරගාවලිය බවට ද 2022 ලෝක කුසලානය වාර්තා වුණා. මෙවර තරගාවලියේ දඬුවම් පහර වට 5 ක් වාර්තා වුණා. ඒ අතරින් ආජන්ටිනාව සහ ක්‍රොඒෂියාව තරග දෙක බැගින් ජයග්‍රහණය කිරීම ද විශේෂත්වයක්. ආජන්ටිනාව මේ වන විට ලෝක කුසලාන ඉතිහාසයේ හත් වතාවක් දඬුවම් පහර වට දක්වා ගමන් කර තිබෙනවා.
එම 7 වතාවෙන් 6 වතාවක් ම ජයග්‍රහණය කළ ආජන්ටිනාව වැඩි ම දඬුවම් පහර වට ජයග්‍රහණය කළ කණ්ඩායම ලෙසින් ඉතිහාසගත වුණා. ලියොනල් මෙසී සහ ලුකා මොඩ්රිච් දෙපළ ම දඬුවම් පහර වට 3 ක දී ගෝල වාර්තා කිරීමට සමත් ව තිබෙනවා. එයද 2022 දී අලුත් වූ නව වාර්තාවක්.
බ්‍රසීලය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය 5 වතාව බැගින් දඬුවම් පහර වටවලට මුහුණ දුන්නා. ඒ අතරින් බ්‍රසීලය 3ක් සහ ප්‍රංශය 2 ක් ජයග්‍රහණය කොට තිබෙනවා. ඉතා ම අසාර්ථක දඬුවම් පහර වට වාර්තාවක් හිමි ස්පාඤ්ඤය ජයග්‍රහණය කොට ඇත්තේ එක් අවස්ථාවක දී පමණ යි.
දඬුවම් පහර වට එකකට වඩා ක්‍රීඩා කළ කණ්ඩායම් අතරින් 100% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් පවත්වා ගැනීමට ජර්මනිය සහ ක්‍රොඒෂියාව සමත් වී තිබෙනවා. මෙම කණ්ඩායම් ද්විත්වය ම අවස්ථා 4 කදී ලෝක කුසලාන තරගවල දඬුවම් පහර වටවලට ගමන් කළ අතර ම එම සියල්ල ම ජයග්‍රහණය කිරීමට ද සමත් වුණා.
2022 ලෝක කුසලාන අවසන් තරගය
2022 ලෝක කුසලාන අවසන් මහා තරගය ලොව පුරා ම මෑතක දී වැඩි ම අවධානය දිනා ගත් ක්‍රීඩා ඉසව්ව බවට පත් වුණා. එය පාපන්දු හැරුණු විට වෙනත් ක්‍රීඩකයන්ගේ මෙන් ම රාජ්‍ය නායකයන්ගේ, නළු නිළියන්ගේ පවා අවධානයට පත් වීම විශේෂත්වයක්. මෙම අවසන් මහා තරගය වාර්තා කිහිපයක් ම තැබීමට ද සමත් වුණා.
ලෝක කුසලාන අවසන් තරගයක් දඬුවම් පහර තෙක් ගමන් කළ තෙවන අවස්ථාව මෙවර සටහන් වුණා. 1994 දී ඉතාලිය සහ බ්‍රසීලයත්, 2006 දී ප්‍රංශය සහ ඉතාලියත් මෙයට ප්‍රථම ව එම අවස්ථාවට මුහුණ දුන්නා. 1994 දී බ්‍රසීලය සහ 2006 දී ඉතාලිය දඬුවම් පහරවලින් ලෝක කුසලානය ජයග්‍රහණය කළා. 2022 වසරේ දී දඬුවම් පහරවලින් ප්‍රංශය පරාජයට පත් වීමත් සමඟ ම එලෙස ලෝක කුසලාන අවසන් මහා තරග ද්විත්වයක් පරාජයට පත් වූ පළමු රට බවට ඔවුන් වාර්තාගත වුණා.
ලෝක කුසලාන අවසන් තරගයක් සම වීමේ දී වැඩි ම ගෝල ගණනක් වාර්තා වූයේ ද 2022 තරගයේදී යි. 1994 දී 0-0 ක් හා 2006 දී 1-1 ක් ලෙසින් අවසන් තරග නිමා වෙද්දී 2022 තරගය 3-3 ක් දක්වා ගමන් කළා. එහිදී ප්‍රංශය වෙනුවෙන් කිලියන් ම්බප්පේ ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීම ද විශේෂත්වයක්. එය 1966 වසරේ දී එංගලන්තේ ජෙෆ් හර්ස්ට් ගෙන් පසුව ලෝක කුසලාන අවසන් මහා තරගයක ගෝල ත්‍රිත්වයක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව වුණා.
ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ ද, එම ගෝල ත්‍රිත්වය ලැබූ ක්‍රීඩකයා නියෝජනය කළ කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරගයක් පරාජයට පත් වීම ඉතිහාසයේ වාර්තා වූයේ මුල් ම වතාවට යි. එය සියවසකට වරක් වන දුර්ලභ සිදුවීමක් බවට පාපන්දු විචාරකයන් හඳුන්වා දෙනවා. මෙයට අමතර ව පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගවල වැඩි ම ගෝල ලැබූ ක්‍රීඩකයා වාර්තාව ද කිලියන් ම්බප්පේ අලුත් කළා.
අවසන් තරගවල වැඩි ම ගෝල වාර්තාවත් ම්බප්පේට
මෙම තරගයට ප්‍රථමයෙන් බ්‍රසීලයේ වාවා, එංගලන්තයේ ජෙෆ් හර්ස්ට්, බ්‍රසීලයේ පේලේ සහ ප්‍රංශයේ සිනේඩියන් සිඩෑන් ලෝක කුසලාන අවසන් මහා තරගවල ගෝල 3 බැගින් ලබා සිටියා. 2018 ලෝක කුසලාන අවසන් තරගයේ ලබා ගත් ගෝලයත් සමඟින් ම්බප්පේ මේ වන විට ලබා සිටින ගෝල සංඛ්‍යාව 4ක්. තරගාවලියේ ගෝල 7ක් ලැබූ ලියොනල් මෙසී 21 වන සියවසේ ලෝක කුසලාන ඉතිහාසයේ ගෝල්ඩන් බූට් සම්මානය ලබා ගැනීමට නොහැකි ව වැඩි ම ගෝල ගණනක් ලැබූ ක්‍රීඩකයා ලෙසින් ද වාර්තා වුණා.
1962 වසරෙන් පසුව මුල් ම වතාවට පිට පිට ම ලෝක ශූරතාව දිනා ගැනීමේ අවස්ථාව ප්‍රංශයට හිමි වුවත් ඔවුන්ට එය සාර්ථක කරගැනීමට හැකියාව ලැබුණේ නෑ. 21 වන සියවසේ වැඩි ම ලෝක කුසලාන අවසන් තරග නියෝජනය කළ වාර්තාව ද ප්‍රංශය සතු යි. ඔවුන් 3 වතාවක් මේ වන විට 21 වන සියවසේ දී ලෝක කුසලාන අවසන් මහා තරග නියෝජනය කිරීමට සමත් වුණා.
ලෝක කුසලාන අවසන් තරගයක තරග කාලයේ දී වැඩි ම දඬුවම් පහර සංඛ්‍යාවක් ද 2022 දී පිරිනැමුවා. ඒ ආජන්ටිනාවට 1ක් සහ ප්‍රංශයට 2ක් වශයෙන් දඬුවම් පහර 3ක්. අවසන් වශයෙන් ආජන්ටිනාව ලෝක කුසලානය තුන්වන වතාවට ජයග්‍රහණය කළා. එලෙස තුන්වන වතාවට ලෝක කුසලානය ජයග්‍රහණය කළ සිවු වන රට වශයෙන් ඔවුන් ඉතිහාසගත වුණා.