ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන බොහෝ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඔවුන්ගේ ක්‍රීඩා දිවියේ සැඳෑ සමයට එළඹෙන විට ගිලිහී යනවා. එලෙස ඔවුන්ගේ දක්ෂතා ගිලිහී යාමට හේතුවක් වන්නේ ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව ක්‍රමයෙන් අඩු වීම යි. එම නිසා ම තරුණ අවධියේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විස්කම් පෑ ඇතැම් ක්‍රීඩකයන් සැඳෑ සමයට එළඹෙන විට ජාතික පිලෙන් පවා ඉවතට විසිවෙන අවස්ථාවන් බොහෝමයක් ඉතිහාසය තුළින් අපට හමුවෙනවා. නමුත් බොහෝ ක්‍රීඩකයන් එම ඉරණමට ගොදුරු වුවත්, සැඳෑ සමයේ දී පවා ක්‍රිකට් පිටියේ විස්කම් පෙන්වන ක්‍රීඩකයන් ද කලාතුරකින් ක්‍රිකට් පිටියේ දී දක්නට ලැබෙනවා. එලෙස කලාතුරකින් ක්‍රිකට් පිටියේ දක්නට ලැබෙන ක්‍රීඩකයන් කිහිපදෙනා අතරට එක්වන ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරිම පිතිකරුවෙකු වූ සනත් ජයසූරිය 39 හැවිරිදි වියේ දී 2008 ආසියානු කුසලාන තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වූයේ, ඔහුගේ වයසට ඔහු ම අභියෝග කරගනිමිනුයි. එදා ශ්‍රී ලංකා පිල ලබාගත් ජයග්‍රහණයේ දී තීරණාත්මක සාධකයක් වූ සනත්, තරගාවලිය තුළ දැක්වූ සුපිරි දස්කම් පිළිබඳ ව අපි මෙම ලිපිය තුළින් කතා කරමු.
මූලික වටයේ දී ඔහු ක්‍රීඩා කළ එකම තරගයේ දී ඔහුගෙන් සුපිරි ඉනිමක්
මුලික වටයේ තරගවල දී ශ්‍රී ලංකා පිලට, බංගලාදේශ පිල සහ එක්සත් අරාබි එමීර් පිල සමග තරග වදින්නට සිදුවුණා. එහි දී බංගලාදේශ තරගය පමණක් ක්‍රීඩා කළ ජයසූරිය, එම තරගයේ දී සුපිරි පිතිහරඹයක නිරත වූයේ ජවසම්පන්න තරුණයෙකු ලෙසින්. එදා කුමාර් සංගක්කාර සමග ඉනිම ඇරඹූ ජයසූරිය ආරම්භයේ සිට ම බංග්ලාදේශ පන්දු යවන්නන්ට කිසිදු ගරු සරුවකින් තොරව පහර එල්ල කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු පන්දු 47කින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමගින් ප්‍රවේගකාරී ලකුණු 72ක් ලබා ගත්තේ බංග්ලාදේශ පන්දු යවන්නන් අන්ත අසරණ කරමිනුයි. තරගාවලියේ මුල්ම තරගයේ දී ම එවැනි පිතිහරඹයක යෙදීමට හැකිවීම නිසා ජයසූරියගේ විශ්වාසය ඉහළ නැංවුණු අතර, එය ඔහුට තරගාවලිය පුරා ම සුපිරි දස්කම් දැක්වීමට සවියක් ද වුණා.
සුපිරි 4 වටයේ දී සනත්ගෙන් උපන්දින සාදයක්
මූලික වටයේ තරගවලින් පසුව පැවති සුපිරි 4 දෙනාගේ වටය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, සහ බංග්ලාදේශය සුදුසුකම් ලැබූ අතර, එහි දී එක් පිලකට අනිත් කණ්ඩායම් 3 සමග ම තරග වැදීමට සිදුවීම එම වටය තරගකාරී වටයක් වීමට හේතුවක් වුණා.
පකිස්තානයට එරෙහිව ජයසූරිය අසාර්ථක විය
මෙම තරගාවලියේ දී ජයසූරිය අසාර්ථක වූ එකම තරගය මෙය වූ අතර, එහි දී පන්දු 14කින් ලකුණු 8ක් ලබා සිටි ජයසූරිය සොහෙල් ටන්වීර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියා. ජයසූරියගේ සමස්ත ආසියානු කුසලාන වාර්තාව දෙස සලකා බලන විට ඔහු සෑම විට ම පකිස්තානය හමුවේ අසාර්ථක වී තිබීම ද සුවිශේෂී කරුණක් ලෙස දැක්විය හැකියි.
39 වන උපන්දිනයේ දී බංගලියන්ට සංග්‍රහයක් කළ ජයසූරිය
සුපිරි 4 දෙනාගේ වටය යටතේ පැවති ශ්‍රී ලංකා- බංග්ලාදේශ තරගය යෙදී තිබුණේ ජයසූරියගේ 39 වන උපන්දිනය දා යි. එදා බංගලියන්ට විශේෂ සංග්‍රහයක් ලබා දීමේ අරමුණෙන් සංගක්කාර සමග පිටියට පිවිසුණු ජයසූරිය ආරම්භයේ සිට ම ප්‍රචණ්ඩකාරී ඉනිමක් දියත් කළා. එදා ජයසූරියගේ දරුණු ප්‍රහාරය හමුවේ අන්ත අසරණ වූ මොර්ටාසා, අබ්දුර් රසාක්, සහ ෂඩාට් හොසේන් වැනි බංග්ලාදේශ ප්‍රධාන පන්දු යවන්නන්ට ඔහුව නැවැත්වීමට හැකියාවක් තිබුණේ නැහැ. එම නිසා ම එදා පන්දු 88කින් හතරේ පහර 16ක් සහ හයේ පහර 6ක් සමගින් ලකුණු 130ක් ලැබූ ජයසූරිය, ආලෝක් කපාලිගේ පන්දුවක් හමුවේ දැවී ගියේ සංගක්කාර සමගින් පන්දු 167කින් අගනා ලකුණු 201ක සබඳතාවයක් ගොඩනැඟීමෙන් අනතුරුව යි. එලෙස ජයසූරිය ලබාගත් ශතකය ආසියානු කුසලාන තරගාවලි ඉතිහාසයේ ඔහු බංග්ලාදේශයට එරෙහිව ලබාගත් 3 වන ශතකය වුණත් එය ඔහුගේ 39 වන උපන්දිනය යෙදී තිබුණ දිනයේ ලබා ගත් නිසා එය, ජයසූරියට අමතක නොවන ශතකයක් වුණා.
ඉන්දියානුවන්ට එරෙහිව ජයසූරියගෙන් වේගවත් ඉනිමක්
අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ඉන්දීය පිලට මෙම තරගය අනිවාර්යෙන් ම ජයග්‍රහණය කළ යුතු ව තිබුණත්, ශ්‍රී ලංකා පිල ඒ වන විටත් අවසන් තරගයට සුදුසුකම් ලබා තිබූ නිසා තරගයේ පීඩනය සෑම අතින් ම ඉන්දියානුවන් දෙසට එල්ල වන්නට වුණා. එවැනි වටපිටාවක ආරම්භ වූ මෙම තරගයේ දී ජයසූරිය නැවතත් සුපුරුදු රිද්මයට පැමිණෙමින් පන්දු 37ක දී හතරේ පහර 8ක් සමගින් ලකුණු 43ක් ලබාගෙන දිගු ඉනිමක් කරා යාමට සූදානම් වුවත්, ඔහු කිසිවෙකු නොසිතූ ලෙසින් ඉෂාන්ත් ෂර්මාගේ පන්දුවක් හමුවේ මහේන්ද්‍ර සිං දෝනි අතට උඩපන්දුවක් ලබා දී දැවී ගියා. එලෙස ජයසූරිය දිගු ඉනිමක් කරා නොයෑම නිසා ම අවසානයේ දී ඉන්දීය පිල හමුවේ පරාජය වූ ශ්‍රී ලංකා පිලට අවසානයේ දී ඉන්දියානුවන් සමග ම අවසන් තරගයේ දී තරග වදින්නට සිදුවුණා.
අවසන් තරගයේ දී ඉන්දියානුවන් ව හැඬවූ ජයසූරිය
කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි, ශ්‍රී ලංකා පිලට මුලින්ම පන්දුවට පහරදීමට ඇරයුම් කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වූ ජයසූරිය සහ සංගක්කාරට මෙවර දිගු සබඳතාවයක් ගොඩනැඟීමට නොහැකි වූයේ දෙවන පන්දුවාරයේ දී ම සංගක්කාර දුවද්දී දැවී යාම නිසා යි. එම වටිනා කඩුල්ල ඉක්මනින් ම දැවීයාමෙන් පසුව ඉතාමත් හොඳින් පන්දු යැවූ ඉෂාන්ත් ෂර්මා මහේල, කපුගෙදර, සහ චාමර සිල්වා යන පිතිකරුවන් තිදෙනාව ම දවාගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 66/4 බවට පත් කරමිනුයි. එලෙස එක්වර ම ශ්‍රී ලංකා පිල අසීරු අඩියකට වැටුණත් එය තඹ දොයිතුවකට මායිම් නොකළ ජයසූරිය, ඉන්දීය පන්දු යවන්නන්ට එලව එලවා පහර දීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු රුද්‍රා ප්‍රතාප් සිංගේ එක් පන්දුවාරයක දී ලකුණු 26ක් ලබා ගැනීම අමතක කළ නොහැකි සිදුවීමක් වුණා. එදා ජයසූරිය පිටියේ දියත් කළ සටනේ දී ඔහුට අත්වැලක් වුණු තිලකරත්න දිල්ෂාන්, එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් පිතිකරණයේ යෙදුණේ ජයසූරියට සිත්සේ පහරවල් එල්ල කිරීමට අවශ්‍ය වටපිටාව සකස්කර දෙමිනුයි. ඔවුන් දෙදෙනා එදා ඉතාමත් අවබෝධයෙන් පන්දු 141කින් ගොඩනැඟූ ලකුණු 133ක සබඳතාවය නිසා ශ්‍රී ලංකා පිල අවදානම් තත්ත්වයෙන් මිදුණු අතර, එහි දී ජයසූරිය පන්දු 114කින් හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමගින් ලැබූ 125 ජයසූරිය ක්‍රීඩා කළ විශිෂ්ටතම ඉනිම් අතුරින් එකක් බවට පත්වුණා. එලෙස ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ජයසූරිය ක්‍රීඩා කළ විශිෂ්ඨ ඉනිම නිසා ඉන්දියානුවන්ට ලකුණු 274ක ඉලක්කයක් ලබා දීමට ශ්‍රී ලංකා පිලට හැකි වූ අතර, ඉන්පසුව එම ඉලක්කය හඹායාමට පිටියට පිවිසි ඉන්දියානුවන් අජන්ත මෙන්ඩිස් 13/6ක් ලෙස කළ සුපිරි පන්දු යැවීම ඉදිරියේ සියලුදෙනා ම දැවී ලබාගත්තේ ලකුණු 173ක් පමණයි.
තරගාවලිය තුළ ජයසූරියගේ පිතිකරණ දත්තයන්
ක්‍රීඩා කළ ඉනිම් ප්‍රමාණය- 5
ලබාගත් ලකුණු ප්‍රමාණය- 378
පිතිකරණ සාමාන්‍ය- 75.60
මුහුණදුන් පන්දු ප්‍රමාණය- 300
ප්‍රහාරාත්මක වේගය- 126.00
හතරේ පහර ප්‍රමාණය- 44
හයේ පහර ප්‍රමාණය- 14
හොඳම ඉනිම- බංගලාදේශයට එරෙහිව 130(88)
අර්ධශතක- 1
ශතක- 2
වයසට අභියෝග කළ සිංහයෙකු වූ ‘සනා’
පිතිකරුවෙකුගේ ක්‍රිකට් දිවියේ සැඳෑසමයේ දී මෙලෙස දස්කම් දැක්වීම තුළින් අපට වටහා ගත හැක්කේ ඔහු තුළ පවතින මනා ශාරීරික යෝග්‍යතාවය යි. එලෙස ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීම තුළින් ජයසූරියට පිතිකරණයේ දී ඔහුගේ සුපුරුදු රිද්මය පවත්වා ගන්නට හැකි වුණා. එම නිසා ම ඔහු 39 හැවිරිදි වියේ දීත් එක්දින ක්‍රිකට් පිටියේ සුපිරි දස්කම් දැක්වූයේ වයසට අභියෝග කළ සිංහයෙකු ලෙසිනුයි.