Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් පන්දුව දිනාගත් සුපිරි තරු 10 දෙනෙක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ලොව පුරා සිටින පාපන්දු රසිකයන් අතර ඉතාමත් ම ජනප්‍රිය තරගාවලියක්. එම ජනප්‍රියත්වය නිසා ම පාපන්දු ක්‍රීඩාව එතරම් ජනප්‍රිය නැති රටවල පාපන්දු රසිකයන් පවා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ විශාල උනන්දුවක් දක්වනවා. එතරම් විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගන්නා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වීම සෑම පාපන්දු ක්‍රීඩකයෙකුගේ ම සිහිනයක් වන අතර, ඕනෑම පාපන්දු ක්‍රීඩකයෙකු සිය පාපන්දු ජීවිතය තුළ ඉහත සම්මානය ලබා ගැනීමට සිහින මවනවා. එලෙස සෑම පාපන්දු ක්‍රීඩකයෙකු ම ලබා ගැනීමට සිහින මවන එම පාපන්දු ලෝක කුසලාන තරගාවලියක දක්ෂතම ක්‍රීඩකයාට පිරිනමන සම්මානය රන් පන්දුව ලෙස හඳුන්වනු ලබනවා. එසේ නම් ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ එතරම් වටිනා සම්මානයක් දිනාගත් ක්‍රීඩකයන් පිළිබඳ ව ඔබ දැනගත යුතු නිසා ම ඔවුන් පිළිබඳ ව අපි මෙම ලිපියෙන් කතා කරමු.

ජෝස් නසාසි (උරුගුවේ)- 1930

1930 වසරේ පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළේ සත්කාරක උරුගුවේ පිලයි. එම උරුගුවේ පිලට නායකත්වය ලබා දුන් ආරක්ෂක පෙළ ක්‍රීඩක ජෝස් නසාසි, තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයාට හිමි රන් පන්දුව දිනා ගනු ලැබුවා. ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙකු රන් පන්දුව දිනාගත් එක ම අවස්ථාව මෙය වන නිසා, පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ නසාසි සුවිශේෂී ක්‍රීඩකයෙකු බවට පත්වෙනවා.

තරගාවලිය අතරතුර නසාසි ක්‍රීඩා කරමින් (gettyimages)

ගුසෙප් මීසා (ඉතාලිය)- 1934

1934 ලෝක කුසලාන තරගාවලියේ ඉතාලිය වෙනුවෙන් ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ මීසා, ස්පාඤ්ඤයට එරෙහිව තීරණාත්මක අර්ධ අවසන් පූර්ව තරගයේ දී ලබාගත් ගෝලය ඇතුළු ව ගෝල 2ක් ලබා ගත්තා. ඊට අමතර ව ඔහුගේ පිලේ ක්‍රීඩකයන් ලබාගත් ගෝල කිහිපයකට ම සහාය ද ලබාදුන් ඔහු, අවසානයේ දී තරගාවලියේ වීරයාට හිමි රන් පන්දුව ද දිනා ගත්තා.

ගුසෙප් මීසා (Altervista)

ලියෝනිඩාස් ද සිල්වා (බ්‍රසීලය)- 1938

බ්‍රසීලයෙන් බිහි වූ මුල්ම සුපිරි තරුව වූ ලියෝනිඩාස් 1938 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වූවා. බ්‍රසීලය මුලින්ම පැවති 16 දෙනාගේ වටයේ දී පෝලන්තයට එරෙහිව තරග වැදුණු අතර, නියමිත කාලය අවසන් වන විට දෙපිල ම ගෝල 4 බැඟින් ලබා ගෙන සම තත්ත්වයේ පසුවුණා. ඉන් අනතුරුව අතිරේක කාලය ආරම්භ වූ විගස ම ක්‍රියාත්මක වූ ලියෝනිඩාස්, ගෝල 2ක් ම වාර්තා කරමින් ත්‍රිත්ව ගෝලයක් වාර්තා කළේ 6-5ක තියුණු ජයක් බ්‍රසීලයට උරුමකර දෙමින්. ඉන් අනතුරුව චෙකොස්ලෝවැකියාව සමග පැවති අර්ධ අවසන් පූර්ව තරගයේ දී බ්‍රසීලය ලබාගත් එක ම ගෝලය ලියෝනිඩාස් වාර්තා කළ අතර, තරගය අවසානයේ දී 1-1 ලෙස අවසන් වුණා. එම අවදියේ ලකුණු සම වූ තරගවල ජයග්‍රාහකයා තේරීමට දඬුවම් පහර භාවිතා නොකළ නිසා, මෙම රටවල් 2ක අතර නැවතත් තරගයක් පැවැත්වුණා. එහි දී බ්‍රසීලය වෙනුවෙන් මුල්ම ගෝලය ලබාගත් ලියෝනිඩාස්, බ්‍රසීලයට 2-1ක ජයක් ලබා ගැනීම සඳහා සිය උපරිම දායකත්වය ලබාදුන්නා. ඉන් අනතුරුව ඉතාලිය සමග පැවති අවසන් පූර්ව තරගයේ දී ලියෝනිඩාස් දස්කම් නොදැක්වීම නිසා බ්‍රසීලය 2-1 ලෙස පරාජයට පත්වුණා. එම පරාජයෙන් අනතුරුව තෙවන ස්ථානය තේරීම සඳහා ස්වීඩනය සමග පැවති තරගයේ දී තවත් ගෝල 2ක් වාර්තා කළ ලියෝනිඩාස් සමස්ත තරගාවලිය තුළ ගෝල 7ක් ලබා ගනිමින් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි රන් පන්දුව දිනා ගත්තා.

ලියෝනිඩාස් තරගාවලිය අතරතුර (gettyimages)

සිසින්හෝ (බ්‍රසීලය)- 1950

1950 වසරේ බ්‍රසීලයේ දී පැවති ලෝක කුසලාන තරගාවලියේ බ්‍රසීල පිලේ මැදපෙළ ප්‍රහාරක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ සිසින්හෝ, තරගාවලිය තුළ ගෝල 2ක් පමණක් ලබා ගත්ත ද, සෙසු ක්‍රීඩකයන් ලබාගත් ගෝල කිහිපයකට ඔහු සහාය වුණා. එම තරගාවලිය තුළ ඔහු දැක්වූ දක්ෂතා නිසා ම ඔහුට තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයාට හිමි රන් පන්දුව හිමිවුණා. මෙම සිසින්හෝ නම් ක්‍රීඩකයා පිළිබඳ ව පසුකලෙක අදහස් දැක්වූ පේලේ  කියා සිටියේ, ඔහු පාපන්දු පිටියේ දුටු සෑම අතින් ම පරිපූර්ණ ක්‍රීඩකයන් අතුරින් ප්‍රමුඛස්ථානයක් සිසින්හෝට හිමිවන බව යි.

මෙම රූපයේ දකුණු පස සිටින ක්‍රීඩකයා සිසින්හෝ ය (gettyimages)

ෆෙරෙන්ක්  පුස්කාස් (හංගේරියාව)- 1954

1954 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මුල සිට ම ප්‍රබල ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළ හංගේරියානු පිල පහසුවෙන් ම තරගාවලිය ජය ගනු ඇතැ යි ලොව පුරා සිටි පාපන්දු ලෝලීන් විශ්වාස කළා. තරගාවලියේ මූලික වටයේ දී දකුණු කොරියාව 9-0 සහ බටහිර ජර්මනිය 8-3 ලෙස පරාජය කළ ජර්මනිය, ඉන්පසු ව පැවති අර්ධ අවසන් පූර්ව තරගයේ දී පසුගිය තරගාවලියේ අනුශූරයන් වූ බ්‍රසීලය 4-2 ලෙස පරාජය කරනවා. එම විශිෂ්ට ජයග්‍රහණයත් සමග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ හංගේරියාව, එහි දී පසුගිය තරගාවලියේ ශූරයන් වූ ප්‍රබල උරුගුවේ පිල 4-2 ලෙස පරාජය කරමින්, නැවතත් බටහිර ජර්මනිය සමග ම අවසන් තරගයට සුදුසුකම් ලබනවා. එම අවසන් තරගයේ 6 වන විනාඩියේ දී පුස්කාස් හංගේරියාව වෙනුවෙන් ගෝල ලබා ගැනීම ආරම්භ කළ අතර, 8 වන විනාඩිය වන විට හංගේරියාව 2-0 ලෙස ඉදිරියෙනුයි පසුවුණේ. නමුත් ඉන්පසු ව ඉක්මනින් ම ක්‍රියාත්මක වූ ජර්මානුවන් 18 වන විනාඩිය වන විට 2-2 ලෙස ලකුණු තත්ත්වය සම කිරීමෙන් ලැබූ පන්නරයත් සමගින් අවසානයේ දී 3-2 ලෙස ප්‍රබල හංගේරියානු පිල පරාජයට පත් කරමින් පාපන්දු ලෝක කුසලානය දිනා ගත්තා. ජර්මානුවන් එලෙස කුසලානය දිනා ගත්ත ද, තරගාවලිය පුරාවට ම විශිෂ්ට අයුරින් ක්‍රීඩා කරමින් ගෝල 4ක් ලබාගත් පුස්කාස් තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයාට හිමි රන් පන්දුව දිනා ගනු ලැබුවා.

පුස්කාස් ජර්මනිය සමග අවසන් තරගය අතරතුර (gettyimages)

ඩිඩි (බ්‍රසීලය)- 1958

බ්‍රසීලය මුල්මවරට පාපන්දු ලෝක ශූරතාවය දිනූ 1958 තරගාවලියේ දී මැදපෙළ ක්‍රීඩකයෙකු ලෙස ඩිඩි විශාල මෙහෙවරක් ඉටු කළා. ලෝක පාපන්දු පිටියේ එම දශකයේ සිටි සුපිරි ම මැදපෙළ ක්‍රීඩකයෙකු වූ ඩිඩි, එම අවදියේ පාපන්දු ලෝකයට හඳුන්වා දුන් ඇතැම් තාක්ෂණික ක්‍රම අදටත් පාපන්දු ලෝකය තුළ ජනප්‍රිය ව පවතිනවා. ඔහු තරගාවලිය තුළ ප්‍රංශයට එරෙහිව අවසන් පූර්ව තරගයේ පමණක් ගෝලයක් ලබා ගත්ත ද, සමස්ත තරගාවලිය තුළ ඔහු දැක්වූ දස්කම් නිසා ඔහුට තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයාට හිමි වූ රන් පන්දුව හිමිවෙනවා.

ඩිඩි (gettyimages )

ගරින්චා (බ්‍රසීලය)- 1962

1962 වසරේ චිලී දේශයේ දී පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්තය සමග පැවති අර්ධ අවසන් පූර්ව තරගයේ දී, සහ සත්කාරක චීලි කණ්ඩායම සමග පැවති අවසන් පූර්ව තරගයේ දී ගෝල 2 බැඟින් ලබාගත් ගරින්චා තරගාවලියේ වැඩි ම ගෝල ලාභියා වෙමින් බ්‍රසීලයට පාපන්දු ලෝක ශූරතාවය පිට පිට ම දෙවන වරටත් දිනා ගැනීමට විශාල දායකත්වයක් දැක්වූවා. ආබාධයක් නිසා තරගාවලිය අතරතුර ඉවත් වූ පේලේගේ අඩුපාඩුව එදා බ්‍රසීල පිලෙන් මකා දැමූ ගරින්චා අවසානයේ දී රන් පන්දුවේ උරුමක්කරු වුණා.

අර්ධ අවසන් පූර්ව තරගයේ දී එංගලන්ත ආරක්ෂක පෙළ ක්‍රීඩක රේ විල්සන් මඟ හරිමින් ඉදිරියට ඇදෙන ගරින්චා (gettyimages)

බොබී චාල්ටන් (එංගලන්තය)- 1966

1966 පාපන්දු ලෝක කුසලානය එංගලන්තයට දිනා දීම සඳහා අවසන් පූර්ව වටයේ දී ප්‍රබල පෘතුගාල පිලට එරෙහිව වාර්තා කළ ගෝල 2 ම චාල්ටන් විසින් ලබා ගත්තා. එම ගෝල 2ත් සමග තරගාවලිය තුළ ගෝල 3ක් ලබාගත් චාල්ටන්ට, අවසානයේ දී තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයා සම්මානය හිමිවුණා.

චාල්ටන් අවසන් තරගයේ දී ජර්මන් ක්‍රීඩක බෙකන්බවර් සමග පන්දුව ලබා ගැනීමට සටන් කරමින් (gettyimages)

පේලේ (බ්‍රසීලය)- 1970

මෙක්සිකෝවේ දී පැවති මෙම තරගාවලියට සහභාගි වූ බ්‍රසීල පිල පාපන්දු ඉතිහාසයේ බිහි වූ සුපිරිම පිල ලෙස විචාරකයන් හදුන්වනවා. තරගාවලියේ මුල සිට ම ආකර්ෂණීය ක්‍රීඩා රටාවක නිරත වූ බ්‍රසීල පිල වෙනුවෙන් මුල සිට ම සුපිරි දස්කම් දැක්වූ පේලේ තරගාවලිය පුරාවට ගෝල 4ක් ලබා ගනිමින් තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයාට හිමි රන් පන්දුව දිනා ගත්තා.

අවසන් තරගයේ දී පේලේ ක්‍රීඩා කරමින් (gettyimages)

ජොහාන් ක්‍රයිෆ් (නෙදර්ලන්තය)- 1974

1974 ලෝක කුසලාන තරගාවලියේ දී ශූරතාවය දිනා ගැනීමට ඉදිරියෙන් ම සිටි නෙදර්ලන්ත පිලේ ප්‍රබල ම ක්‍රීඩකයා වුයේ ජොහාන් ක්‍රයිෆ් .එම තරගාවලිය තුළ නෙදර්ලන්තය අවසන් වටයට ගෙන යාමට තීරණාත්මක සාධකයක් වූ ක්‍රයිෆ් 2 වන වටයේ දී ප්‍රබල ආජන්ටිනා පිලට එරෙහිව ගෝල 2ක් හා ප්‍රබල බ්‍රසීල පිලට එරෙහිව ගෝලයක් ලබා ගනිමින්, නෙදර්ලන්ත පිල අවසන් තරගයට ගෙන යාම නිසා ඔහුට තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයාට හිමි රන් පන්දුව හිමිවුණා.

ක්‍රයිෆ් තරගාවලිය අතරතුර (gettyimages)

 

කවරයේ ඡායාරූපය: පේලේ (TechnoBuffalo)

මූලාශ්‍රය:

FIFA.com

1978 වසරේ සිට 2018 වසර දක්වා රන් පන්දුව ජයග්‍රහණය කළ ක්‍රීඩකයන් පිළිබඳ ව මීළඟ ලිපියෙන් බලාපොරොත්තුවන්න.

Related Articles