Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ පැරණිතම පාපන්දු ක්‍රීඩා සමාජය ගැන දැනගනිමු

1879 වසරේ ඉංග්‍රීසි ජාතිකයන් ලංකාවට පාපන්දු ක්‍රීඩාව හඳුන්වා දුන්නා. එම කාල වකවානුවේ දී ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව බොහෝ දෙනෙකු පාපන්දු ක්‍රීඩාවේ නිරත වුණා. 1880 වසරේ දී මෙරට පාපන්දු ක්‍රීඩාව නව දිශානතියකට යොමු කරමින් කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය ආරම්භ වුණා. මේ පාපන්දු සමාජයේ මුල්ම නිලධාරි මණ්ඩලය බවට පත්වුණේ කේව් බ්‍රවුන්, ජී. ප්ලැක්ස්ටන්, ඊ.සී. ඩේවිස්, එච්.ඩබ්ලිව්. බ්‍රැඩ්හර්ස්ට්, සහ රැල්ෆ් ටැට්හැම් යන ඉංග්‍රීසි ජාතිකයන් පස්දෙනා යි. 

ලංකාව තුළ ආරම්භ වුණු පළමු පාපන්දු ලීගය බවට පත්වුණේ කොළඹ පාපන්දු ලීගය යි. එච්. ප්‍රෙන්ච් සහ සී. ප්‍රිචට් යන ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනා 1911 වසරේ අප්‍රේල් 4 වැනිදා කොළඹ නගරය තුළ ක්‍රියාත්මක වුණු පාපන්දු ක්‍රීඩා සමාජ කිහිපයක නියෝජිතයන් කැඳවා බ්‍රිස්ටල් හෝටලයේ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. එම සාකච්ඡාවෙහි ප්‍රතිඵලයක් වශයෙන් කොළඹ පාපන්දු ලීගය ආරම්භ වුණා.

කොළඹ පාපන්දු ලීගය සඳහා කණ්ඩායම් 8ක් ඇතුළත් වුණා. ඒ රාජකීය ඉංජිනේරු දෙපාර්තමේන්තු ක්‍රීඩා සමාජය, සී.එච්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජය, කොටුව ක්‍රීඩා සමාජය, රාජකීය කාලතුවක්කු රෙජිමේන්තුව, එම්ස් ක්‍රීඩා සමාජය, පොලිස් ක්‍රීඩා සමාජය, රබ්බිලර්ස් ක්‍රීඩා සමාජය, තරුණ ක්‍රිස්තියානි සංගම් ක්‍රීඩා සමාජය යන පාපන්දු ක්‍රීඩා සමාජ යි. මෙරට පැවති පළමු සංවිධානාත්මක පාපන්දු තරගය 1911 වසරේ ජූනි 6 වැනිදා කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්වුණා. පොලිස් සහ තරුණ ක්‍රිස්තියානි සංගමය යන කණ්ඩායම් අතර පැවති එම තරගය 1-0ක් ලෙසින් ජයග්‍රහණය කළේ තරුණ ක්‍රිස්තියානි සංගම් කණ්ඩායම යි. එහිදී ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ ඊ. හෙසේ නම් ක්‍රීඩකයා යි.  

ගාලු මුවදොර පැරණි ඡායාරූපයක් (Lankapura)

1920 දශකය වන විට අප රට තුළ තවත් පාපන්දු ක්‍රීඩා සමාජ කිහිපයක් ආරම්භ වුණා. ඒ අනුව 1930 දශකය වන විට පාපන්දු ක්‍රීඩා සමාජ 10කට වැඩි ප්‍රමාණයක් ලංකාව තුළ ක්‍රියාත්මක වුණා. එලෙස ක්‍රියාත්මක වුණු පාපන්දු ක්‍රීඩා සමාජ අතරින් සෝන්ඩර්ස් පාපන්දු ක්‍රීඩා සමාජය අදටත් සක්‍රීයව පවතිනවා. අද වන විට ලංකාවේ ක්‍රියාත්මක වන පැරණිතම පාපන්දු ක්‍රීඩා සමාජය වන්නේ සෝන්ඩර්ස් පාපන්දු ක්‍රීඩා සමාජය යි.

සෝන්ඩර්ස් පාපන්දු ක්‍රීඩා සමාජය ආරම්භ වුණු හැටි 

1910 දශකයේ අග භාගයේ දී කොළඹ ප්‍රයිස් උද්‍යානය තුළ පාවහන් නොමැතිව පාපන්දු ක්‍රීඩාවේ යෙදුණු තරුණයන් පිරිසක් සිටියා. දිනක් ඔවුන් නව පාපන්දු සමාජයක් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1918 වසරේ දී සෝන්ඩර්ස් පාපන්දු ක්‍රීඩා සමාජය බිහිවුණා. එහි ආරම්භක සාමාජිකයන් බවට පත්වුණේ රිචඩ් ඩයස්, කේ. නගූර්, පීටර් පෙරේරා, මාෂල් ඩයස්, පිලිප් ඩයස්, සහ ජෝර්ජ් ඩයස් යන තරුණයන් පිරිස යි. සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ ආරම්භක සභාපතිවරයා ලෙස රිචඩ් ඩයස් පත්වන විට එහි ලේකම්වරයා බවට පත්වුණේ පීටර් පෙරේරා යි. රිචඩ් ඩයස් තරුණයාගේ පියා වුණු ගිරිගෝරිස් ඩයස් එකල ධනවත් ව්‍යාපාරිකයෙකු බවට පත්ව සිටියා. එම නිසා ඔහු පාපන්දු ක්‍රීඩා සමාජය ආරම්භ කිරීම සඳහා අනුග්‍රහය ලබාදුන්නා. 

ප්‍රබල කණ්ඩායමක් බවට පත්වීම 

මුල් යුගයේ දී මෙම පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ප්‍රබලතම ක්‍රීඩකයන් කිහිපදෙනා අතරට ඩයස් සොහොයුරන්, මෙල්ඩර්, දොන් ජෝශප්, අර්වින් පෙරේරා, සබ්රීන්, වේලායුදම් වැනි ක්‍රීඩකයන් අයත් වුණා. එවකට පාපන්දු ක්‍රීඩා උපදේශකවරයෙකු ලෙසින් කටයුතු කළ පී.ජී. ද සිල්වා සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ තරුණයන්ට උදව් උපකාර කළා. 1928 වසරේ දී පී.ජී. ද සිල්වා නම් උපදේශකවරයා සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ මුල්ම විදෙස් පාපන්දු සංචාරය සැලසුම් කළා. එහි දී සෝන්ඩර්ස් කණ්ඩායම පාපන්දු තරග කිහිපයක් සඳහා සහභාගි වීමට සිංගප්පූරුව බලා පිටත් වුණා. එදා සිංගප්පූරු බිමේ පැවති තරගවල දී සෝන්ඩර්ස් ක්‍රීඩකයන් පාවහන් නොමැතිව ක්‍රීඩා කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. එලෙස ක්‍රමයෙන් දියුණු වුණු සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 1940 දශකය අවසන් වන විට මෙරට ක්‍රියාත්මක වෙමින් තිබුණු ප්‍රබලම පාපන්දු ක්‍රීඩා සමාජ කිහිපය අතරට අයත්ව තිබුණා. එම නිසා 1949 වසරේ දී FA කුසලාන තරගාවලියේ ශූරතාවය දිනාගත්තේ ප්‍රබල සෝන්ඩර්ස් කණ්ඩායම යි. එහි දී සෝන්ඩර්ස් කණ්ඩායම අතින් ගෝල 1-0ක පරාජයක් ලැබුවේ පොලිස් කණ්ඩායම යි.

FA කුසලාන ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම 

1948 වසරේ සිට මේ දක්වා ක්‍රියාත්මක වුණු FA කුසලාන තරගාවලිවල දී වැඩිම වතාවක් ශූරතාවය දිනාගනු ලැබුවේ සෝන්ඩර්ස් කණ්ඩායම යි. ඒ 1949, 1952, 1954, 1955, 1960, 1963, 1964, 1982, 1983/84, 1984/85, 1987/88, 1991/92, 1992/93, 1996/97, 1998/99, 2000/01 යන තරගවාරවල දීයි. ඉහත සඳහන් කළ තරගවාර අතුරින් 1960 වසරේ පැවති අවසන් තරගයේ දී සෝන්ඩර්ස් කණ්ඩායමේ පී.ඩී. සිරිසේන නම් ක්‍රීඩකයා වැල්ලවත්ත කණ්ඩායමට එරෙහිව ගෝල 6ක් වාර්තා කිරීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. ඔහු එම තරගවාරය තුළ ගෝල 24ක් ලබාගනිමින් දැක්වූ දස්කම අමතක කරන්නට බැහැ. එසේම සෝන්ඩර්ස් කණ්ඩායම අවස්ථාවන් 6කදී අනුශූරතාවය දිනාගැනීමට සමත් වුණා. ඒ 1988/99, 1999/00, 2005,2007, 2018, 2019/20 යන තරගවාරවල දී යි. 

PD සිරිසේන (gagana.lk)

ශූරයන්ගේ කුසලානය වැඩිම වාර ගණනක් දිනාගැනීම 

1985 වසරේ දී ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වුණා. එවර තරගාවලිය ජයග්‍රහණය කළේ සෝන්ඩර්ස් කණ්ඩායම යි. එදා සිට ශූරයන්ගේ කුසලාන තරගාවලිය තුළ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණේ සෝන්ඩර්ස් කණ්ඩායම යි. ඔවුන් මේ දක්වා 12 වතාවක් ශූරතාවය දිනාගැනීමට සමත් වුණා. ඒ 1985, 1986, 1987, 1989, 1991, 1992, 1996, 1997, 1998/99, 2000/01, 2001/02, 2004/05 යන තරගවාරවල දී යි.

ආසියානු ක්‍රීඩා සමාජ තරගාවලි නියෝජනය කිරීම 

සෝන්ඩර්ස් පාපන්දු කණ්ඩායම ආසියානු ක්‍රීඩා සමාජ තරගාවලිය 7 වරක් නියෝජනය කර තිබෙනවා. ඒ 1985, 1986/87, 1988/89, 1995/96, 1997/98, 1998/99, 2001/02 යන තරගාවලිවල දී යි. ඒ අතරින් 1986/97, 1998/99, 2001/02 යන තරගාවලි 3 දී ඔවුන් දෙවන වටයට සුදුසුකම් ලැබුවා. එහි දී 2001/02 තරගාවලියේ දෙවන වටය යටතේ පැවති තරගයක දී සෝන්ඩර්ස් කණ්ඩායම දකුණු කොරියාවේ සුවොන් සැම්සුන්ග් බ්ලූවින්ග්ස් කණ්ඩායම හමුවේ ගෝල 18-0ක පරාජයක් ලැබීම අමතක නොවන සිදුවීමක් වුණා. සෝන්ඩර්ස් කණ්ඩායම 2002/03 ආසියානු ශූරයන්ගේ කුසලාන තරගාවලිය නියෝජනය කළා. නමුත් ඔවුන්ට සුදුසුකම් ලබාගැනීමේ තරග වටයෙන් ඉදිරියට යාමට හැකිවුණේ නැහැ. එහි දී සෝන්ඩර්ස් කණ්ඩායම පරාජයට පත්වුණේ ඉන්දියාවේ මෝහන් භගන් කණ්ඩායම හමුවේ යි. 

සෝන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයන් 

1918 වසරේ සිට ක්‍රියාත්මක වන සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය දක්ෂ ක්‍රීඩකයන් රැසක් බිහිකර තිබෙනවා. පී.ඩී. සිරිසේන, සුමිත් වල්පොල, කසුන් ජයසූරිය, පී. සැම්සන්, කේ.ඒ. ප්‍රේමදාස, සැබ්රින්, තබ්බා, ඉසෙඩ් අසීස්, කේ.එස්. රිචඩ් වැනි ක්‍රීඩකයන් ඒ අතුරින් විශේෂ යි. සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය මීට දශක 2කට පමණ පෙර දේශීය පාපන්දු පිටිය තුළ සිටි ප්‍රබලම කණ්ඩායමක් බවට පත්ව සිටියා. නමුත් පසුගිය කාල සමයේ දී සෝන්ඩර්ස් කණ්ඩායම දේශීය පාපන්දු පිටිය තුළ යම් පසුබෑමකට ලක් වුණා. නමුත් අවසන් වරට පැවති FA කුසලාන තරගාවලි 2 දී සෝන්ඩර්ස් කණ්ඩායම අවසන් තරගයට පිවිසීම ඔවුන් ලබාගත් විශේෂ ජයග්‍රහණයක් බවට පත්වුණා. ඔවුන් ඊළඟ තරගවාරයේ දීත් යළි දස්කම් අතරට පැමිණියොත්  වසර 20කට පසුව FA කුසලානය දිනාගැනීමට හැකිවනු ඇති. 

කසුන් ජයසූරිය (Papare.com)

කවරයේ ඡායාරූපය- 2018 වසරේ දී සෝන්ඩර්ස් කණ්ඩායම (foogue.com)

මූලාශ්‍රයයන්- පාපන්දු විශ්වයේ ජනප්‍රියම ක්‍රීඩාව 

                       Rsssf.com 

Related Articles