සුද්දන්ගේ කාලෙ ලංකාවේ මුලින්ම ආරම්භ වුණු ක්‍රිකට් ක්‍රීඩාවේ ජයකෙහෙළි නංවන්නට පසුව ශ්‍රී ලංකාව සමත්වුණා. ටෙස්ට් ක්‍රිකට් තත්ත්වයට 1982 දි පත්වී ලෝක කුසලානය 1996 දී දිනාගැනීමෙන් පසුව ක්‍රිකට් ශ්‍රී ලංකාවේ ආගමක් බවට පත්වුණා. ලොව විශිෂ්ට ක්‍රිකට් තරු බිහිකළ අපේ රට නැවතත් ක්‍රිකට්වලින් පල්ලම් බහින ලකුණු පෙන්වමින් සුද්දන්ගෙන් යළිත් බැටකන්නට පටන් අරන්. මේ අපේ රටේ නිදහසට පෙර සුද්දන්ගේ පාලනය පැවති කාලේ ක්‍රිකට් ගහපු හැටි මතක් කරන්නට ගත් උත්සාහයක්.
ක්‍රිකට් අතීතේ
මුලින්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළී ඇත්තේ කොළඹ රැකියාවේ නියුතු සහ කෝපි සහ තේ වතු වගාවේ නිරත වූ ඉංග්‍රීසි ජාතිකයන්. ඔවුන් තම විවේකය ගතකිරීමට විනෝදාංශයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩා කිරීම ආරම්භ කර තිබෙනවා. මේ නිසා මෙරට මුල්ම ක්‍රිකට් ක්‍රිඩාංගණත් උඩරට කඳුකරයේ තේවතු ආශ්‍රිතව ආරම්භ වී තිබෙනවා.
අප රටේ පැරණිතම සහ මුල්ම ක්‍රිකට් සමාජය ලෙස සැලකෙන්නේ කොළඹ ක්‍රිකට් සමාජයයි. එය ආරම්භ කර ඇත්තේ 1832 සැප්තැම්බර් 5 වන දිනයි. එහි පළමු තරගය 1833 දී 97 වැනි රෙජිමේන්තුවට එරෙහිව පවත්වා තිබෙනවා. නමුත් 1969 දී කොළඹ ක්‍රිකට් සමාජය ආරම්භ වූ බව සමහර වාර්තාවල සඳහන් වෙනවා.
1860 මුල් භාගයේදී කොළඹ සහ කඳුරට පිහිටි ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති තරග ගැන නිතර සඳහන් වෙනවා. 1880 අග භාගය තෙක් ක්‍රිකට් කණ්ඩායම්වල වැඩි පිරිසක් බ්‍රිතාන්‍ය ජාතිකයන් වුවත් ක්‍රම ක්‍රමයෙන් දේශීය ක්‍රීඩකයින්ට ද කණ්ඩායමේ ස්ථානයක් හිමිවී තිබෙනවා.
තේවතුවල ගහපු ක්‍රිකට්
හැටන් නුවරඑළිය පාරේ පිහිටි රදැල්ල තේ වතුයායට අයත් රදැල්ල ක්‍රිකට් සමාජය ආරම්භ වුණේ 1858 දීයි. එය කඳුකරයේ අලංකාරම ක්‍රිකට් සමාජය වුණා. මේ ක්‍රීඩා පිටිය මෑත අතීතයේ දී ජාත්‍යන්තර තරග පැවැත්වීමටත් යොදාගත්තා. 1968 දී මෙහි ඓතිහාසික සමාජ ශාලාව දැවී ගියේ අතීත සිහිටවන රැසක් ද අහිමි කරමින්. පසුව එහි නවීන ක්‍රීඩාගාරයක් සහ සමාජ ශාලාවක් ඉදිකෙරුණා.
තේවතුවල සුද්දන්ගේ ක්‍රිකට් ආසාව සන්සිඳුවීමට 1868 දී මේ දරාවැල්ල ක්‍රිකට් සමාජය ආරම්භ වුණා. එය දික්ඔය සිට කි. මී. 3ක් දුරින් පිහිටා තිබුණා. වනරාජා තේවතුයායට නුදුරින් තමයි මෙහි ක්‍රීඩා පිටිය පිහිටා තිබුණේ. ඉතා අලංකාර වටපිටාවක තමයි මේ ක්‍රීඩාගංගණය සම සහාජ ශාලාව පිහිටා තිබුණේ. ක්‍රීඩා පිටියට නුදුරින් දොළ පහරක් ගලා යන අතර තුන් පැත්තකින් තේවගාවලින් එය වටව තිබෙනවා.
1877 වසරේදී නිල නොවන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වූණා. මේ තරග තුන්දින තරග ලෙසයි පැවැත්වුණේ. පාසල් ක්‍රිකට් මුලින්ම ඇරඹෙන්නේ 1879 දී. එකල කොළඹ ඇකඩමිය ලෙස හැඳින්වූ වර්තමාන කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් දෙවිදුහල් අතර 1879 දී ක්‍රිකට් තරගාවලියක් ආරම්භ වෙනවා. ඉන්පසු පාසල් ක්‍රිකට් ද රට තුළ ක්‍රමයෙන් ව්‍යාප්ත වුණා.
ජාත්‍යන්තර ක්‍රිකට්
මුල් කාලයේ එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම් සූවස් ඇළ හරහා මව් රටවලට නැවෙන් සංචාරය කරන අතරතුර ශ්‍රී ලංකාවට ද පැමිණ දිනක් දෙකක් විවේකයෙන් ගත කිරීම සිරිතක් කරගෙන සිටියා. ඒ කාලයේ ඔවුන් මෙරට ජාතික කණ්ඩායම ( සිලෝන් පිල) ක්‍රිකට් තරගයකට සහභාගි වීමත් සිදු කළා. 1882 දී අයිවෝ බ්ලයිගේ නායකත්වයෙන් යුතු එංගලන්ත පිලක් කොළඹදී ක්‍රිකට් තරගයට සහභාගී වී තිබෙනවා. 1888 දී ජේජ් වර්නන්ගේ නායකත්වයෙන් පැමිණි එංගලන්ත පිල මහනුවරදී තරගයකට එක්වී තිබෙනවා.
1884 දි මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම ගාලු මුවදොර ක්‍රිකට් පිටියේදී තරගයකට සහභාගි වුණා. ඕස්ට්‍රේලියානු පිල නියෝජනය කරමින් සුවිශේෂී ක්‍රීඩකයෙක්ලෙස සැලකුණු ඇලෙක් බැනර්මන් ද එයට ක්‍රීඩා කළා. එම වසර අග භාගයේදී ද ඔවුන් නැවතත් සිලෝන් පිලට එරෙහිව තරග වැදුණු අතර එම තරග දෙක අතරතුර ඔවුන් ඕස්ට්‍රේලියාවේ අළු බඳුන තරගාවලියටද සහභාගී වුණා.
1892 වසරේදී දෙසැම්බර මාසයේ මෙරටට පැමිණි මැඩ්රාස් කණ්ඩායම කොල්ට්ස් කණ්ඩායම සහ සිලෝන් පිලට එරෙහිව තරග කළ අතර එම තරග දෙකම ඔවුන් පරාජය වීම විශේෂත්වයක්.
එවකට සිලෝන් පිල බුරුමය, ඉන්දියාව වැනි රටවල්වලටද සංචාරය කර තරග රැසකට සහභාගී වෙමින් ජයග්‍රහණ ද වාර්තා කර තිබෙනවා. නමුත් මේ කණ්ඩායම වෘත්තීය ක්‍රීඩකයන් සිටි කණ්ඩායමක් නොවෙයි. සෑම ක්‍රීඩකයෙකුම වෙනත් රැකියාවක් කරමින් තමයි විනෝදාංශයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩා කළේ.
මුල්ම නිල නොවන ක්‍රිකට් තරගය
ශ්‍රී ලංකාව මුල්ම වරට නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයකට සහභාගි වුණේ 1927 දියි. ආතර් ගිලිගන් තමයි එංගලන්ත මාලිබෝන් ( ඇම්. සී. සී. ) කණ්ඩායමට නායකත්වය දී තිබෙන්නේ. සමස්ත ලංකා කණ්ඩායම මෙහෙයවූයේ මේජර් එෆ්. ආර්. බ්රූක් විසින්. තුන් දින ක්‍රිකට් තරගය 1927 පෙබරවාරි 5 දා ගෝල්පේස් පිටියේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ කෙරුණා. මුල් දිනයේ වර්ෂාව නිසා තරගයට බාධා එල්ල වූ අතර ඉන් දින දෙකකට පසුවයි නැවත ක්‍රීඩා වාරය ආරම්භ කළේ. එයට හේතුව සබත් ඉරු දින ක්‍රීඩා පැවැත්වීම එකල සිදු නොකළ නිසයි. ක්‍රීඩාවේ නිවාඩු දින හංවැල්ලට ගිය එංගලන්ත ක්‍රීඩකයන් එහි රබර් වත්තක පොල්පිතිවලින් ක්‍රීකට් ගැසූ බවත් පන්දුව ලෙස කඳුරු ගෙඩි යොදාගත් බවත් එකල පුවත්පත් වාර්තා කර තිබුණා. මෙම තරගයෙන් සිලෝන් කණ්ඩායම ඉණිමකින් පරාජයට පත්ව තිබෙනවා. පසුව නායක ගිලිගන් ලංකා ගුවන් විදුලියේ කතාවකුත් පවත්වා තිබෙනවා. එහිදී තරගය විනිශ්චය කළ ඔන්ඩච්චි සහ ප්‍රින්ඩෝල් යන විනිසුරන් ඉස්තරම් ගණයේ විනිසුරන් බව ඔහු කියා තිබෙනවා.
සිලෝන් කණ්ඩායම සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරන්නේ 1932 – 1933 වසරවලදී පැටියල (Patiala) කණ්ඩායමට එරෙහිවයි. එම තරග පවත්වා ඇත්තේ ඩ්රූව් ‘පැන්ඩෝව්’ ක්‍රීඩාංගණයේදීයි.
සිංහල ක්‍රිකට් පුවත්
මුල් කාලයේ ක්‍රිකට් විස්තර පළ වුණේ ඉංග්‍රීසි පත්තරවල විතරයි. නමුත් 1934 දී ඩග්ලස් ජාර්ඩින් මෙහෙය වූ එංගලන්ත ඇම්. සී. සී. කණ්ඩායම කෙටි සංචාරයක් සඳහා මෙහි පැමිණි අවස්ථාවේ එම සංචාරය පිළිබඳ පළමු වරට සිංහල පුවත්පත්වල වාර්තා පළ වී තිබෙනවා. 1934 පෙබරවාරි 16 දා දිනමිණ පුවත්පතේ මුල් පිටුවේම අද ආරම්භ කෙරෙන මහා තරගය – ඇම්. සී. සී. ක්‍රීඩකයන් සාදරයෙන් පිළිගැනේ යනුවෙන් දක්වා තිබුණා. එම පුවත්පත් වාර්තාවේ මෙසේ ද සඳහන් වුණා:
ඉන්දියාවේ සිට තලේමන්නාරමේ දුම්රියෙන් ඊයේ උදෑසන කොටුවේ දුම්රිය ස්ථානයට පැමිණි ඩී. ආර්. ඩර්වින් මහතා ඇතුළු ඇම්. සී. සී. කණ්ඩායම සාදරයෙන් පිළිගන්නා ලදී. මුළු ලෝකයේම විශේෂ කීර්තියක් උසුලන මේ ක්‍රිකට් කණ්ඩායම බැලීම සඳහා විශාල පිරිසක් කොටුවේ දුම්රිය ස්ථානයට පැමිණ සිටියහ. ක්‍රිඩාකරුවන්ට හිරුහැරයක් නොවන පරිදි මහජනයා හැසිරවීම සඳහා පොලිස් භට කණ්ඩායමක් හා නිලධාරින් කිහිප දෙනෙක් ද පැමිණ සිටියහ -මගේ ඉරිදාව – නීල් විජේරත්න
මෙම තරගය පැවැත්වුණේ කුරුඳුවත්තේ සී. සී. සී. ක්‍රීඩාපිටියේයි. ලංකා කණ්ඩායමේ නායකයා වූයේ දොස්තර ගුණසේකරයි. කෙසේවුවත් එංගලන්ත නායක ජාර්ඩින්ගේ දරදඬු හැසිරීම පුවත්පත් වාර්තාවල විවේචනය කර තිබෙනවා. ඉන්පසු ක්‍රමයෙන් සිංහල පුවත්පත්වල ද ක්‍රිකට් ප්‍රවෘත්තිවලට වැදගත්කමක් ලබාදෙන්නට වුණා.
සිලෝන් ක්‍රිකට් තරු
සුද්දන්ගෙ කාලෙ ක්‍රිකට් නායකයන් විදිහට කටයුතු කරපු කිහිප දෙනෙක් තමයි මේ.
එවකට ක්‍රිකට් කණ්ඩායමේ ඉංග්‍රීසි ජාතිකයන් බහුතරයක් ක්‍රීඩා කළා. ඩී.එල්. ද සේරම් ( 1922-1924 දක්වා), වෛද්‍ය සී. එච්. ගුණසේකර( 1927-1934), එඩ්වඩ් කෙලාර්ට්( 1932), එල්. ඩී. එස්. ගුණසේකර( 1935), එස්. සරවනමුත්තු( 1937-1938), එස්. එස්. ජයවික්‍රම ( 1940-1950), එම්. සතාසිවම් ( 1948)
මේ අතරින් එස්. එස්. ජයවික්‍රම ලංකාවේ බිහිවූ හොඳම පිතිකරුවෙකු ලෙස සැලකෙනවා. ඔහු හැඳින්වුණේ සාගෝ යන නමින්. රාජකීය විද්‍යාලයෙන් බිහිවුණු සාගෝ 1931 දී ඉන්දියාවේ පැවති නිලනොවන ටෙස්ට් තරගයකින් ජාත්‍යන්තර පිටියට පිවිසුණා.
රටවල් තුනකට නායකත්වය දුන් සතාසිවම්
හතළිහ දශකයේ අගභාගයේ සහ පනහ දශකයේ මුල් භාගයේදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට රැගෙන යාමට දායකවූ විශිෂ්ටයෙකු ලෙස මහාදේවන් සතාසිවම් සැලකෙනවා. ශාන්ත ජෝශප් විදුහලෙන් ක්‍රිකට්වලට අත්පොත තබන ඔහු පසුව වෙස්ලි විදුහලට ඇතුළත් වෙනවා. එහිදී ක්‍රිකට් දක්ෂතා වර්ධනය කරගන්නා ඔහු එවකට කැම්බල් පිටියේ වාර්තා රැසක් අලුත් කිරීමට සමත් වෙනවා. එවකට ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට එරෙහිව ඔහු ලැබූ ලකුණු 142 ඉනිම අදටත් වෙස්ලි විදුහල සතු අගනා මතකයක් වෙනවා. 1947 දී මදුරාසි නගරයේ දී දකුණු ඉන්දීය ක්‍රිකට් පිල සමඟ චෙපොක් පිටියේ පැවැති තරගයේ දී දකුණු ඉන්දීය පන්දු යවන්නන් කිසි ලෙසකින්වත් නොසලකා හිතේ හැටියට පිත්ත හැසිරවූ සතාසිවම් ද්විත්ව ශතකයක් ලබාගත්තේ ඉන්දියානුවන් පුදුමයට පත්කරවමින්. මේ ද්විත්ව ශතකය චෙපොක් පිටියේ ලාංකිකයකුගේ සුපිරිම ඉනිම බව අදටත් පිළිගැනීමයි.
අනතුරුව 1948 දී සමස්ත ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට මහදේවන් සතාසිවම් තෝරා ගත්තා. සතාසිවම් 1940 දශකයේ සිට 1960 දශකය දක්වා ක්‍රිකට් ක්‍රීඩා කළා. ජාතික කණ්ඩායම් තුනකට නායකත්වය දුන් ලොව සිටි පළමු සහ එකම ශ්‍රී ලාංකිකයා සතාසිවම් බවට සැලකෙනවා. ඔහු 1948 දී ලංකාවේ කණ්ඩායමේ නායකයා වූ අතර පසුව සිංගප්පූරු කණ්ඩායමේ නායකයා වී අවසානයේ මැලේසියාවට ගොස් එහි ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වුණා. පසුව සිය බිරිය මරණයට පත් කළා යන චෝදනාව ද ඔහුට එල්ල වුණත් නඩු විභාගයෙන් ඔහු නිදහස් වුණා.