Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවට 20/20 ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක් අවශ්‍ය ඇයි?

වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවෙහි යෙදෙන ප්‍රධාන රටවල් සියල්ලකම වාගේ ගුණාත්මක බවින් වැඩි 20/20 තරගාවලියක් ක්‍රියාත්මක වනවා. විදෙස් ක්‍රීඩකයන් රැසක් එවැනි තරගාවලි සඳහා සහභාගි වන නිසා බොහෝ රටවල ක්‍රිකට් ක්‍රීඩාව පසුගිය කාල සමයේ දී දියුණු තත්ත්වයකට පත් වුණා. එසේම මීට වසර 8කට පෙර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් නමින් 20/20 ලීග් තරගාවලියක් අප රට තුළ පැවැත්වුණා. විදෙස් ක්‍රීඩකයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති එම තරගාවලිය විවිධ ගැටලු යළි පැවැත්වීමට හැකි වුණේ නැහැ. එදා සිට අද දක්වා පැවති වසර 8ක දිගු නිහැඩියාව බිඳ දමමින් ලංකන් ප්‍රිමියර් ලීග් නමින් 20/20 තරගාවලියක් මෙම වසර තුළ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී තිබෙනවා.

2012 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය

2008 වසරේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වීමෙන් පසුව බොහෝ රටවල් එවැනි ආකාරයේ තරගාවලියක් සංවිධානය කිරීම උනන්දු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඕස්ට්‍රේලියාව 2011 වසරේ අග භාගයේ දී බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කළා. එසේම බංග්ලාදේශය 2012 වසරේ මුල භාගයේ දී බංග්ලාදේශ ප්‍රිමියර් තරගාවලිය ආරම්භ කළා. එලෙස රටවල් කිහිපයක් 20/20 ප්‍රිමියර් ලීග් තරගාවලි ආරම්භ කිරීමත් සමගම ශ්‍රී ලංකාවටත් එවැනි තරගාවලියක අවශ්‍යතාවය මතු වුණා. එදා එම අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කළ අප රටේ ක්‍රිකට් බලධාරීන් 2012 වසරේ අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පවත්වනු ලැබුවා. එහි දී ජනප්‍රිය දේශීය, සහ විදේශීය ක්‍රීඩකයන් කණ්ඩායම් 7ක් යටතේ තරග වැදුණා. එලෙස තරග වැදුණු කණ්ඩායම් හත අතුරින් හොඳින්ම දස්කම් දැක්වීමට සමත් වුණු වයඹ යුනයිටඩ්, කඳුරට වැරියර්ස්, නැගෙනහිර නාගාස්, සහ ඌව නෙක්ස්ට් යන කණ්ඩායම් අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලැබුවා. ඉන් පසුව පැවති අවසන් පූර්ව වටයෙන් ජයග්‍රහණය කළ ඌව නෙක්ස්ට් සහ නැගෙනහිර නාගාස් යන කණ්ඩායම් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා. එදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවති අවසන් තරගය සඳහා වර්ෂාවෙන් බාධා එල්ල වුණු නිසා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 19ක ජයක් හිමි වුණේ ඌව නෙක්ස්ට් කණ්ඩායමට යි. 

2012 SLPL අවසන් තරගයේ අවස්ථාවක් (espncricinfo)

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් අපට ලැබුණු ප්‍රතිලාභ

2012 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා දේශීය ක්‍රීඩකයන් රැසක් සහභාගි වුණා. තරගයක් සඳහා ක්‍රීඩා කළ අවසන් 11 දෙනා අතරට දේශීය ක්‍රීඩකයන් 7 දෙනෙකු ඇතුළත් වුණා. එසේම එම දේශීය ක්‍රීඩකයන් 7 දෙනාගෙන් කෙනෙකු වයස අවුරුදු 21ට අඩුවිය යුතුයැ යි නීතියක් පනවා තිබුණා. ඒ අනුව නම් දැරූ විදේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් සමග දේශීය ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබුණා. එමඟින් අපේ රටේ ක්‍රීඩකයන්ට අත්දැකීම් රැසක් ලැබුණා. එම තරගාවලිය තුළ විශිෂ්ටතම දස්කම් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් දෙදෙනා වුණේ අකිල ධනංජය සහ දිල්ෂාන් මුණවීර යි. එදා ඔවුන් යුගලය පෑ හපන්කම් නිසාම එම වසරේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද හිමි වුණා.

දිල්ෂාන් මුණවීර 2012 T20 ලෝක කුසලාන තරගාවලියේ දී (gettyimages)

තරගාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වුණේ ඇයි?

2012 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නැරඹීම සඳහා බලාපොරොත්තු වුණු තරම් ප්‍රේක්ෂකයන් පිරිසක් පැමිණ තිබුණේ නැහැ. එනිසා තරගාවලිය පැවැත්වීම තුළින් බලාපොරොත්තු වුණු ආදායම ලැබුණේ නැහැ. එසේම තරගාවලියේ එක් එක් කණ්ඩායම සඳහා අනුග්‍රහය දැක්වූ පාර්ශව ක්‍රීඩකයන්ට මුදල් ගෙවීමේ දී විවිධ අක්‍රමිකතා සිදු වුණු බව ද වාර්තා වුණා. එලෙස ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වීමෙන් පසුව ඇති වුණු සමහර ගැටලු නිසා ඊළඟ වසරේ දී එය පැවැත්වීම සඳහා තිබුණු උනන්දුව හීන වී ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස එම තරගාවලිය 2012 වසරෙන් පසුව නැවතත් පැවැත්වීමට හැකි වුණේ නැහැ. 

දැනට ලොව පුරා ක්‍රියාත්මක වන 20/20 තරගාවලි 

වර්තමානය වන විට ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් රැසක 20/20 ප්‍රිමියර් ලීග් තරගාවලි පැවැත්වෙනවා. එම තරගාවලි සඳහා විදෙස් ක්‍රීඩකයන් බහුලව සහභාගි වන ආකාරය දක්නට ලැබෙනවා. පහත දැක්වෙන්නේ දැනට ක්‍රියාත්මක වන ප්‍රධාන 20/20 තරගාවලි කිහිපයක් පිළිබඳව යි.

1) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය                                    

    ක්‍රියාත්මක වන රට – ඉන්දියාව

    ආරම්භක වසර – 2008

2) Big Bash

    ක්‍රියාත්මක වන රට – ඕස්ට්‍රේලියාව 

    ආරම්භක වසර – 2011

3) බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය 

    ක්‍රියාත්මක වන රට – බංග්ලාදේශය

    ආරම්භක වසර – 2012

4) කැරිබියන්  ප්‍රිමියර් ලීග් තරගාවලිය 

    ක්‍රියාත්මක වන රට – බටහිර ඉන්දීය කොදෙව් දූපත් 

    ආරම්භක වසර – 2013

5) Natwest T20 Blast

    ක්‍රියාත්මක වන රට – එංගලන්තය

    ආරම්භක වසර – 2014

6) Super Smash 

    ක්‍රියාත්මක වන රට – නවසීලන්තය

    ආරම්භක වසර – 2014

7) පාකිස්ථාන් සුපර් ලීග් තරගාවලිය

    ක්‍රියාත්මක වන රට – පාකිස්ථානය 

    ආරම්භක වසර – 2016

8) Global T20 Canada

    ක්‍රියාත්මක වන රට – කැනඩාව

    ආරම්භක වසර – 2018

9) ඇෆ්ගනිස්ථාන් ප්‍රිමියර් ලීග් තරගාවලිය

    ක්‍රියාත්මක වන රට – එක්සත් අරාබි එමීර් රාජ්‍යය 

    ආරම්භක වසර – 2018

2008 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ජයගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම (gettyimages)

ප්‍රධාන පෙළේ 20/20 තරගාවලි නිසා ක්‍රිකට් දියුණු වුණු හැටි 

ලොව පැවැත්වෙන ප්‍රධාන 20/20 තරගාවලි නිසා බොහෝ රටවල්වල ක්‍රිකට් ක්‍රීඩාවේ සීඝ්‍ර දියුණුවක් දක්නට ලැබුණා. ඉන්දියාව, එංගලන්තය, බංග්ලාදේශය වැනි රටවල් ඒ සඳහා හොඳම උදාහරණයන් වනවා. 2007 ලෝක කුසලාන තරගාවලියේ දී පළමු වටයෙන්ම ඉවත් වී අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබුණු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව යළි පිබිදුණේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හරහා යි. එම තරගාවලිය තුළින් මතුව ආ යොවුන් තරු පසුකලෙක ඉන්දියාවට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ජයග්‍රහණය රැසක් හිමිකර ගැනීමට දායකත්වය ලබාදුන්නා. එසේම 2015 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිවුණු එංගලන්තයට 2019 ලෝක කුසලානය දිනාගැනීම සඳහා පන්නරය ලබාදුන්නේ Natwest T20 Blast වැනි තරගාවලි හරහා ජාත්‍යන්තර පිටියට පිවිසි ක්‍රීඩකයන් විසිනුයි. පසුගිය කාල සමය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සීඝ්‍ර දියුණුවක් ලැබූ බංග්ලාදේශයට එම තත්ත්වයට පැමිණීමට විශාල සහායක් ලබාදුන්නේ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය යි. 

අප රටට 20/20 ලීග් තරගාවලියක අවශ්‍යතාව 

2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යම් පසුබෑමක් දක්නට ලැබුණා. ජේෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු එක්වරම ක්‍රිකට් පිටියෙන් සමුගැනීම, කණ්ඩායමේ නායකත්වය පිළිබඳව ඇති වුණු අර්බුද, තේරීම් කමිටුවේ සහ ක්‍රිකට් පරිපාලනයේ තිබුණු ගැටළු එලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමට හේතු වුණා. ඒ අනුව වර්තමානය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ගෙන් බහුතරයක් අත්දැකීම් අඩු තරුණ ක්‍රීඩකයන්. ශ්‍රී ලංකාව තුළ 20/20 ප්‍රිමියර් ලීග් තරගාවලියක් පැවැත්වීම තුළින් එවැනි ක්‍රීඩකයන්ට අත්දැකීම් සම්භාරයක් ලබාගත හැකියි. විශේෂයෙන්ම දක්ෂ විදේශීය ක්‍රීඩකයන් සමග එකම කණ්ඩායමක ක්‍රීඩා කිරීමට ලැබීම තුළින් එම තරුණ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා දිවිය ආලෝකමත් කර ගත හැකියි. එසේම අනාගතයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින යොවුන් ක්‍රීඩකයන්ටත්, දේශීය තරග බිමේ දස්කම් දක්වන ක්‍රීඩකයන්ටත් මෙවැනි තරගාවලියක් තුළින් ප්‍රතිලාභ රැසක් ලැබෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි තරගාවලි සඳහා සහභාගි වන කණ්ඩායම් පුහුණු කිරීම සඳහා ප්‍රසිද්ධ ක්‍රිකට් පුහුණුකරුවන් යොදාගන්නවා. එවැනි පුහුණුකරුවෙකුගෙන් ගුරුහරුකම් ලබාගැනීමට ලැබීමම දේශීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලබාගන්නා විශාල ජයග්‍රහණයක්. එම නිසාම 20/20 ප්‍රිමියර් ලීග් තරගාවලියක් ලංකාව තුළ ආරම්භ වුණොත් එය අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා රුකුලක් වනු ඇති.

ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය 

ලංකන් ප්‍රිමියර් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලිය ලබන අගෝස්තු මස 15 සිට සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා පැවැත්වීමට ක්‍රිකට් ආයතනය අවධානය යොමුකර තිබෙනවා. කණ්ඩායම් 6ක් සහභාගි වීමට නියමිත මෙම තරගාවලිය සඳහා තරග 23ක් ඇතුළත් වනවා. එම තරග කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලෙකැලේ, රංගිරි දඹුලු, සහ සූරියවැව මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගණවල පැවැත්වීමට නියමිත යි. එම තරගාවලිය වෙනුවෙන් එක්වන සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයන් 6 දෙනා බැගින් ගෙන්වා ගැනීමේ අවස්ථාව හිමිව තිබෙනවා. එසේම සෑම කණ්ඩායමක් සඳහාම ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවන් එක් කර ගැනීම සංවිධායකයන්ගේ අරමුණ යි. ඉදිරි මාස කිහිපය තුළ ලංකාවේ කොරෝනා තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය වුණොත් වැඩි ප්‍රේක්ෂක පිරිසකට තරග නැරඹීය හැකියි. ඒ අනුව නුදුරේ දීම ලංකාවට යළි ක්‍රිකට් වසන්තය උදාවනු ඇති. 

කවරයේ ඡායාරූපය- 2012 SLPL තරගාවලියේ ශූරතාවය දිනූ ඌව නෙක්ස්ට් කණ්ඩායම (sportzpics)

Related Articles