මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ ඔබ නැරඹිය යුතුම තරඟ

ජූනි 14 වැනිදා සිට ජූලි 15 වැනිදා දක්වා රුසියාවේ දී පැවැත්වෙන මෙවර පාපන්දු ලෝක කුසලානයට මේ වනවිට සියළුම කටයුතු සූදානම්ය. ලොව පුරා සිටින ක්‍රීඩා ලෝලීන් ද ඉතා උද්‍යෝගයෙන් සහ ආශාවෙන් යුතුව බලාගෙන සිටින්නේ ලෝක කුසලානය ආරම්භ වනතුරු ය. මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා ආසියාවෙන් රටවල් 5 ක් ද, අප්‍රිකා මහද්වීපයෙන් රටවල් 5 ක් ද, උතුරු ඇමෙරිකානු කලාපයෙන් රටවල් 3 ක් ද, දකුණු ඇමෙරිකානු කලාපයෙන් රටවල් 5 ක් ද, යුරෝපා මහද්වීපයෙන් රටවල් 14 ක් ද ලෙසින් රටවල් 32 ක් සුදුසුකම් ලබාගෙන ඇත.

එම රටවල් 32 එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ 8 ක් යටතේ මූලික වටයේ දී තරඟ වදිනු ඇත. මූලික වටයේ පැවැත්වෙන තරඟ සංඛ්‍යාව 48 කි. ලෝක කුසලානයට පැමිණෙන සියලුම කණ්ඩායම් පාහේ ඉතා හොඳ කණ්ඩායම් වේ. ඉන් කණ්ඩායම් කිහිපයක් අනෙකුත් කණ්ඩායම් වලට සාපේක්ෂව ඉදිරියෙන් සිටියත් කිසිඳු කණ්ඩායමක් අවතක්සේරු කල නොහැක. 2006 ලෝක කුසලානයේ දී ශූරයින් සහ අනුශූරයින් වූ ඉතාලිය සහ ප්‍රංශය 2010 ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවිය. 2010 ලෝක ශූරයින් වූ ස්පාඤ්ඤයට ද පසුගිය 2014 ලෝක කුසලානයේ දී මූලික වටයෙන් ඉවත් වන්නට සිදුවිය. ඒ ආකාරයට ප්‍රබල කණ්ඩායම් අනෙකුත් කණ්ඩායම් හමුවේ මූලික වටයෙන්ම ඉවත් වී ගිය අවස්ථා කොතෙකුත් පිළිබඳව ඔබ දැනුවත් ඇති.

එසේනම් මෙවර පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ පැවැත්වෙන තියුණු තරඟ සහ මූලික වටයෙන් ඊළඟ  වටය හෙවත් අවසාන 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගන්නේ කුමන රටවල් ද යන්න “Roar සිංහල සමඟ 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් අද අපි සාකච්ඡා කරමු.


A කාණ්ඩය

“උරුගුවේ දේශයේ ලුයිස් සුආරෙස්” (sporten.com)

සත්කාරක රුසියාව, උරුගුවේ දේශය, සවුදි අරාබිය සහ ඊජිප්තුව A කාණ්ඩය යටතේ තරඟ කරයි. මෙම කාණ්ඩයෙන් අවසාන 16 දෙනාගේ වටයට පිවිසීමට උරුගුවේ දේශයට විශාල හැකියාවක් තිබෙන බව අප දනිමු. උරුගුවේ දේශය හැර ඊළඟ වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා සත්කාරක රුසියාව සහ ඊජිප්තුව අතර තියුණු සටනක් දැකගත හැකිවනු ඇත.

තියුණු තරඟ

ඒ අනුව A කාණ්ඩයේ වඩාත්ම තියුණු තරඟය රුසියාව සහ ඊජිප්තුව අතර ජූනි මස 19 වැනි අඟහරුවාදා රාත්‍රී 11.30 ට (මෙම ලිපියෙහි දැක්වෙන සියලුම වේලාවන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් දක්වා ඇත.) පැවැත්වෙනු ඇත. මෙම තරඟයෙන් ජයගන්නා කණ්ඩායමට අවසාන 16 දෙනාගේ වටයට පිවිසීමට බොහෝ දුරට හැකිවනු ඇත. ඒ එක් කාණ්ඩයකින් දෙවැනි වටයට සුදුසුකම් ලබන්නේ කණ්ඩායම් දෙකක් පමණක් බැවිනි.

එම තරඟයට අමතරව ජූනි 25 වැනි සඳුදා රාත්‍රී 7.30 ට රුසියාව සහ උරුගුවේ දේශය අතර පැවැත්වෙන තරඟය ද තියුණු තරඟයක් බවට පත්වනු ඇත.

Roar සිංහල අනාවැකිය​ – උරුගුවේ සහ රුසියාව 16 දෙනාගේ වටයට​


B කාණ්ඩය

“ස්පාඤ්ඤයේ ඉදිරිපෙළ ක්‍රීඩක මාර්කෝ ඇසෙන්සියෝ” (sporten.com)

B කාණ්ඩය යටතේ තරඟ වදින්නේ ස්පාඤ්ඤය, පෘතුගාලය, මොරොක්කෝව සහ ඉරානයයි. මෙම කාණ්ඩයෙන් ස්පාඤ්ඤය සහ පෘතුගාලය අවසාන කණ්ඩායම් 16 අතරට එකතු වනු ඇති බවට විශ්වාස කලහැක. මෙවර ලෝක කුසලානයට ඉරාන කණ්ඩායම ද හොඳ සූදානමකින් යුතුව පැමිණෙන නමුත් ස්පාඤ්ඤය හෝ පෘතුගාලය අභිබවා යාමට ඉරානයට හැකිවෙතැයි සිතිය නොහැක.

තියුණු තරඟ

සියලුම ක්‍රීඩා ලෝලීන් නොඉවසිල්ලෙන් යුතුව බලා සිටින තරඟයකි ස්පාඤ්ඤය සහ පෘතුගාලය අතර තරඟය. මෙම තරඟයෙන් ජයගන්නා කණ්ඩායම B කාණ්ඩයේ පෙරමුණ ගනු ඇත. මෙම තරඟය පැවැත්වෙන්නේ ජූනි 15 වැනි සිකුරාදා රාත්‍රී 11.30ට​ ය.

Roar සිංහල අනාවැකිය – ස්පාඤ්ඤය සහ පෘතුගාලය 16 දෙනාගේ වටයට


C කාණ්ඩය

“ප්‍රංශයේ පෝල් පොග්බා” (skysports.com)

C කාණ්ඩයෙන් තරඟ වදින්නේ ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, පේරු රාජ්‍යය සහ ඩෙන්මාකය යි. ප්‍රංශය ඉතා පහසුවෙන් මෙම කාණ්ඩයේ පෙරමුණ ගනු ඇත. අනෙකුත් රටවල් තුන අතරින් ඊළඟ වටයට සුදුසුකම් ලබන රට කුමක්ද? පේරු රාජ්‍යයට සහ ඩෙන්මාකයට ඒ සඳහා වැඩි ඉඩක් පවතින බව පෙනේ.

තියුණු තරඟ

ඒ අනුව ජූනි 16 වැනි සෙනසුරාදා රාත්‍රී 9.30 ට පැවැත්වෙන ඩෙන්මාකය සහ පේරු රාජ්‍යය අතර තරඟය ප්‍රේක්ෂකයින්ට ඉතා තියුණු අත්දැකීමක් ගෙනදෙනු ඇත. මෙම තරඟයෙන් ජයගන්නා කණ්ඩායමට ප්‍රංශය සමඟින් අවසාන කණ්ඩායම් 16 අතරට එකතු වීමට වැඩි අවස්තාවක් ඇත.

C කාණ්ඩයේ පැවැත්වෙන අනෙක් තියුණු තරඟය වන්නේ ජූනි 26 වැනි අඟහරුවාදා රාත්‍රී 7.30 ට පැවැත්වෙන ප්‍රංශය සහ ඩෙන්මාකය අතර තරඟයයි.

Roar සිංහල අනාවැකිය – ප්‍රංශය සහ පේරු රාජ්‍යය 16 දෙනාගේ වටයට


D කාණ්ඩය

“අයිස්ලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින්” (skysports.com)

“Group of death” ලෙසින් D කාණ්ඩය හැඳින්විය හැක. ආර්ජෙන්ටිනාව, අයිස්ලන්තය, ක්‍රොයේෂියාව සහ නයිජීරියාව D කාණ්ඩයෙන් තරඟ වදිනු ඇත. මෙම කාණ්ඩය ආර්ජෙන්ටිනාවට බොහෝ අභියෝගයක් වනු ඇති නමුත් ආර්ජෙන්ටිනාව අවසාන 16 දෙනාගේ වටයට පිවිසෙනු ඇත. ආර්ජෙන්ටිනාවට පසුව ක්‍රොයේෂියාවට වැඩිම අවස්තාව ඇති නමුත් අයිස්ලන්තය සහ නයිජීරියාව මෙවැනි අවස්ථා වලදී ඉතා භයානක කණ්ඩායම් දෙකකි.

තියුණු තරඟ

D කාණ්ඩයේ පැවැත්වෙන සියලුම තරඟ ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇත. ඒ අතරින් ජූනි මස 17 වැනි ඉරිදා උදෑසන 12.30 ට (සෙනසුරාදා රාත්‍රියේ) පැවැත්වෙන ක්‍රොයේෂියාව සහ නයිජීරියාව අතර තරඟය, ජූනි 21 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 11.30 ට පැවැත්වෙන ආර්ජෙන්ටිනාව සහ ක්‍රොයේෂියාව අතර තරඟය, ජූනි 26 වැනි සෙනසුරාදා රාත්‍රී 11.30 ට පැවැත්වෙන අයිස්ලන්තය සහ ක්‍රොයේෂියාව අතර තරඟය ප්‍රේක්ෂකයින්ට දැඩි ආශ්වාදයක් ගෙන දෙන තරඟ වනු නොඅනුමානයි.

Roar සිංහල අනාවැකිය – ආර්ජෙන්ටිනාව සහ ක්‍රොයේෂියාව 16 දෙනාගේ වටයට


E කාණ්ඩය

“බ්‍රසීලයේ මර්සෙලෝ” (skysports.com)

මෙවර පාපන්දු ලෝක කුසලානයේ E කාණ්ඩයෙන් තරඟ වදින්නේ බ්‍රසීලය, ස්විට්සර්ලන්තය, කොස්ටාරිකාව සහ සර්බියාවයි. මේ අතරින් බ්‍රසීලය නිසැක වශයෙන්ම කාණ්ඩයේ පෙරමුණ ගෙන අවසාන කණ්ඩායම් 16 අතරට එක්වනු ඇත. බ්‍රසීලය සමඟින් ඉදිරි වටයට සුදුසුකම් ලබන අනෙක් රට වන්නේ ස්විට්සර්ලන්තය ද සර්බියාව ද යන්න බොහෝ ක්‍රීඩා ලෝලීන් හමුවේ තිබෙන ප්‍රශ්නාර්ථයකි.

තියුණු තරඟ

එම ප්‍රශ්නයට විශ්වාසවන්ත පිළිතුරක් දීමට අප කිසිවෙකුට නොහැකි වන අතර ජූනි 22 සිකුරාදා රාත්‍රී 11.30 ට පැවැත්වෙන සර්බියාව සහ ස්විට්සර්ලන්තය අතර තරඟයෙන් එම ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනු ඇත.

එයට අමතරව බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය අතර ජූනි 17 ඉරිදා රාත්‍රී 11.30 ට පැවැත්වෙන තරඟයද හොඳ තරඟයක් වනු ඇත.

Roar සිංහල අනාවැකිය – බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය 16 දෙනාගේ වටයට


F කාණ්ඩය

“මෙක්සිකෝව වෙනුවෙන් වැඩිම ජාත්‍යාන්තර ගෝල ලාභියා වන හාවියෙර් හර්නෑන්ඩස් හෙවත් චීචරිටෝ” (sportingnews.com)

ලෝක ශූර ජර්මනිය, මෙක්සිකෝව, ස්වීඩනය සහ දකුණු කොරියාව F කාණ්ඩයෙන් තරඟ වදිනු ඇත. ජර්මනියේ මෙම කාණ්ඩයේ පෙරමුණ ගනු ඇත. මෙක්සිකෝව සහ ස්වීඩනය අතරින් ඊළඟ වටයට සුදුසුකම් ලබන රට පිළිබඳව අප කිසිවෙකුට නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි අතර එම රටවල් දෙක අතර පැවැත්වෙන තරඟයෙන් ජයගන්නා කණ්ඩායමට ඉදිරි වටයට පිවිසීමට අවස්තාව ලැබෙනු ඇත.

තියුණු තරඟ

ජූනි 23 වැනි සෙනසුරාදා රාත්‍රී 11.30 ට පැවැත්වෙන ජර්මනිය සහ ස්වීඩනය අතර තරඟය ඉතා උණුසුම් තරඟයක් වනු ඇත.

ජූනි මස 27 වැනි දින රාත්‍රී 7.30 ට පැවැත්වෙන මෙක්සිකෝව සහ ස්වීඩනය අතර තරඟය ඉතා තියුණු වනු ඇත. දෙපිලම කරට කර මට්ටමේ සිටින අතර මූලික වටයේ මෙම කණ්ඩායම් දෙකම මුහුණ දෙන අවසාන තරඟය මෙය බැවින් මෙම තරඟය වඩාත් උණුසුම් වනු ඇත.

Roar සිංහල අනාවැකිය – ජර්මනිය සහ මෙක්සිකෝව 16 දෙනාගේ වටයට


G කාණ්ඩය

“මෙවර ලෝක කුසලානයේ තවත් එක් ප්‍රබල කණ්ඩායමක් වන බෙල්ජියම” (Getty Images)

මූලික වටයේ අවසාන කාණ්ඩ දෙක වන G සහ H කාණ්ඩ දෙකෙහි හොඳ කණ්ඩායම් කිහිපයක්ම සිටියි.බෙල්ජියම, එංගලන්තය, ටියුනීසියාව සහ පැනමාව G කාණ්ඩයෙන් තරඟ කරයි. බෙල්ජියම සහ එංගලන්තය ඉදිරි වටයට පිවිසීමට සුදුසුම රටවල් දෙක වූවත් බෙල්ජියම සහ එංගලන්තය අනෙක් කණ්ඩායම් දෙක අවතක්සේරු නොකර ක්‍රීඩා කරනු ඇතැයි ක්‍රීඩා ලෝලීන් ලෙසින් අප බලාපොරොත්තු වෙමු.

තියුණු තරඟ

ජූනි 28 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 11.30 ට එංගලන්තය සහ බෙල්ජියම අතර පැවැත්වෙන තරඟය මූලික වටයේ පැවැත්වෙන උණුසුම්ම තරඟයක් යැයි හැඳින්වීම වරදක් නැතැයි සිතමි. මෙය මඟ නොහැරිය යුතු තරඟයකි. (නමුත් මෙම තරඟය පැවැත්වෙන විට මෙම කණ්ඩායම් දෙකම ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබා තිබුණහොත් මෙය මූලික වටයේ පැවැත්වෙන නීරසම තරඟය වීමටත් ඉඩ තිබේ.)

Roar සිංහල අනාවැකිය – බෙල්ජියම සහ එංගලන්තය 16 දෙනාගේ වටයට


H කාණ්ඩය

“පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම ගෝල ලාභියා වන කොලොම්බියාවේ හැමස් රොඩ්රිගුවෙස්” (AP:Associated press)

H කාණ්ඩයෙන් ද ඉතාමත් හොඳ කණ්ඩායම් කිහිපයක් තරඟ කරයි. පෝලන්තය, කොලොම්බියාව, සෙනගාලය සහ ජපානය H කාණ්ඩයේ තිබෙන රටවල් වේ. බැලූ බැල්මට පෝලන්තය සහ කොලොම්බියාව ඉදිරියෙන් සිටියත් D කාණ්ඩයට පසුව තියුණුම කාණ්ඩය ලෙසින් H කාණ්ඩය හැඳින්වීමට අපිට හැකිය. පෝලන්තය සහ කොලොම්බියාව මීළඟ වටයට පිවිසීම සඳහා බොහෝ බලාපොරොත්තු තබා සිටින අතර මෙය පෙරලියක් සිදුවීමට වැඩිම ඉඩකඩ තිබෙන කාණ්ඩය ද වේ. ජපානය සහ සෙනගාලය යනු කිසිවිටෙක අවතක්සේරු නොකළ යුතු කණ්ඩායම් දෙකකි.

තියුණු තරඟ

මෙම කාණ්ඩයේ ද සියලුම තරඟ උණුසුම් තරඟ වනු ඇත. ඒ අතරින් ජූනි 24 වැනි ඉරිදා රාත්‍රී 1.30 ට පෝලන්තය සහ කොලොම්බියාව අතර පැවැත්වෙන තරඟය ඉතා උණුසුම් එකක් වනු ඇත. මෙම තරඟය මෙම කණ්ඩායම් දෙක මුහුණදෙන දෙවැනි මූලික වටයේ තරඟය බැවින් ඒ වනවිට කිසිඳු කණ්ඩායමක් දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබා නොසිටිනු ඇති අතර ඒ අනුව මෙම ද්වන්ධ සටන ඉතා තියුණු සටනක් වනු ඇත.

එයට අමතරව ජූනි 19 වැනි අඟහරුවාදා රාත්‍රී 8.30 ට පැවැත්වෙන පෝලන්තය සහ සෙනගාලය අතර තරඟයද නරඹන්නට වටිනා තරඟයකි.

Roar සිංහල අනාවැකිය – කොලොම්බියාව සහ පෝලන්තය 16 දෙනාගේ වටයට

Cover – steemkr.com

Related Articles

Exit mobile version