Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නවසීලන්තය මංගල රග්බි ලෝක කුසලානය දිනාගත් ආකාරය

රග්බි ක්‍රීඩාව සඳහා මුල්ම වරට ලෝක කුසලාන තරගාවලියක් ආරම්භ වුණේ 1987 වසරේ දී යි. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සත්කාරක රටවල් වුණු මෙම තරගාවලියට රටවල් 16ක් සහභාගි වුණා. එලෙස සහභාගි වුණු රටවල් දින 30ක් පුරාවට ක්‍රීඩාංගණ 11ක දී තරග වැදුණා. ඉතාමත් උද්වේගකර තරග රැසකින් පසුව මංගල රග්බි ලෝක කුසලාන අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ නවසීලන්තය සහ ප්‍රංශය යන කණ්ඩායම් දෙකයි. ඉතාමත් ප්‍රබල නවසීලන්ත කණ්ඩායම එම අවසන් තරගයේ දී ප්‍රංශය පහසුවෙන්ම පරාජය කරමින් මුල්ම රග්බි ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කළා. මේ ඔවුන් මංගල රග්බි ලෝක කුසලාන ජයග්‍රහණය දක්වා ගිය එම ගමන පිළිබඳව යි.

මූලික වටයේ තරගවල දී නවසීලන්තය සුපිරි දස්කම් දක්වයි 

මූලික වටයේ තරගවල දී ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට තරග වැදීමට සිදුවුණේ ඉතාලිය, ආජන්ටිනාව, සහ ෆිජී යන කණ්ඩායම් සමග යි. එහිදී නවසීලන්තය කිසිදු අපහසුවකින් තොරව එම කණ්ඩායම් තුනම පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවා.

නවසීලන්තය සහ ඉතාලිය අතර තරගය 

නවසීලන්තයට මූලික වටයේ පළමු තරගයේ දී තරග වැදීමට සිදුවුණේ ඉතාලි කණ්ඩායම හමුවේ යි. එම තරගයේ පළමු භාගයේ දී නවසීලන්තයට පහසුවෙන් ලකුණු ලබාගැනීමට හැකිවුණේ නැහැ. එම නිසාම පළමු අර්ධ අවසන් වන විට ඉතාලිය ලකුණු 3ක් ලබාගන්නා විට නවසීලන්තයට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 17ක් පමණ යි. නමුත් තරගයේ දෙවන භාගයේ දී වඩාත් ආක්‍රමණශීලී තරග රටාවක නිරතවුණු නවසීලන්ත ක්‍රීඩකයන් ලකුණු 53ක් ලබාගනිමින් සිය ලකුණු සංඛ්‍යාව 70 දක්වා ඉහළ නංවන විට ඉතාලියට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 3ක් පමණ යි. ඒ අනුව නවසීලන්තය එම තරගය 70-6ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත්වුණේ තරගාවලිය සඳහා හොඳ ආරම්භයක් ලබාගනිමින්.

නවසීලන්ත-ඉතාලි තරගයේ අවස්ථාවක් (gettyimages)

නවසීලන්තය සහ ෆිජී අතර තරගය 

නවසීලන්ත කණ්ඩායම තරග ආරම්භයේ සිටම ෆිජී කණ්ඩායමට කිසිදු බුරුලක් ලබාදුන්නේ නැහැ. එම නිසාම පළමු අර්ධය නිමාවන විට නවසීලන්තය 40-3ක් ලෙසින් ඉදිරියෙන් සිටියා. ඉන් පසුව ඇරඹුණු දෙවන භාගයේ දී ෆිජී කණ්ඩායම ලකුණු 10ක් ලබාගත්තත් ඔවුන්ට වඩා ප්‍රබල තරග රටාවක නිරතවුණු නවසීලන්ත ක්‍රීඩකයන් අවසානයේ දී ජයග්‍රහණය ලබාගත්තේ 74-13ක් ලෙසින්. එහිදී ගැල්ගර් සහ ග්‍රීන් උත්සාහක දිනුම් 4 බැගින් වාර්තා කරන විට ෆොක්ස් ලකුණු 26ක් ලබාගත්තේ ප්‍රවර්තන 10ක් සහ දඬුවම් පහර 2ක් සාර්ථක කරගනිමින්.

නවසීලන්ත-ෆිජී තරගයේ අවස්ථාවක් (gettyimages)

නවසීලන්තය සහ ආජන්ටිනාව අතර තරගය 

ඉතාලිය සහ ෆිජී කණ්ඩායම් පහසුවෙන්ම පරාජය කළ නවසීලන්තයට ආජන්ටිනාවට එරෙහිව පැවති තරගය එතරම් ම පහසු එකක් වුණේ නැහැ. අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීමට නම් නවසීලන්තයට එරෙහිව වැඩි උත්සාහක දිනුම් ප්‍රමාණයක් වාර්තා කිරීමට ආජන්ටිනා ක්‍රීඩකයන්ට සිදුවුණා. ඒ අනුව පළමු අර්ධය අවසන් වන විට 19-9ක් ලෙසින් නවසීලන්තය ඉදිරියෙන් සිටියත් ආජන්ටිනාව ලබාදුන්නේ ප්‍රබල තරගයක්. නමුත් දෙවන අර්ධයේ දී සුපුරුදු රිද්මයට පැමිණි නවසීලන්තය 46-15 ලෙසින් ලබාගත් ජයග්‍රහණයේ නියමුවා වුණේ දඬුවම් පහර 6ක් සහ ප්‍රවර්තන 2ක් සමගින් ලකුණු 22ක් ලබාගත් ග්‍රාන්ට් ෆොක්ස් නම් ක්‍රීඩකයා යි. 

නවසීලන්ත ක්‍රීඩකයන් ආජයින්ටිනාවට එරෙහිව තරග වදිමින්.

ෆොක්ස්ගේ සුපිරි දස්කම් නිසා නවසීලන්තය අවසන් පූර්ව වටයට 

1987 රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය පැවැත්වුණේ නවසීලන්තය සහ ස්කොට්ලන්තය අතර යි. එදා නවසීලන්තය සමග තරග වැදුණු ස්කොට්ලන්ත කණ්ඩායම මූලික වටයේ තරග වලදී සිම්බාබ්වේ සහ රුමේනියාව පරාජය කරමින් ප්‍රබල ප්‍රංශ කණ්ඩායමට එරෙහිව පැවති තරගය 20-20 ලෙසින් අවසන් කළා. එම නිසාම පළමු අර්ධයේ දී ඉතාමත් සීරුවෙන් තරග වැදුණු නවසීලන්තය 9-3ක් ලෙස ඉදිරියෙන් සිටිමින් පළමු අර්ධය නිමා කළා. නමුත් දෙවන අර්ධයේ දී ප්‍රබල තරග රටාවක නිරතවුණු නවසීලන්තය තවත් ලකුණු 21ක් ලබාගන්නා විට ස්කොට්ලන්තයට කිසිදු ලකුණක් ලබාගැනීමට හැකිවුණේ නැහැ. ඒ අනුව නවසීලන්තය 30-3ක් ලෙසින් ලබාගත් එම ජයග්‍රහණය සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදුන් ෆොක්ස්, දඬුවම් පහර 6ක් සහ ප්‍රවර්තන 2ක් සාර්ථක කරගනිමින් ලකුණු 22ක් ලබාගත්තා. එම ජයග්‍රාහී දිනයේම ෆොක්ස් සිය 25 වැනි උපන්දිනය සැමරීමත් සුවිශේෂී සිදුවීමක් වුණා. 

ෆොක්ස් අර්ධ අවසන් පූර්ව තරගයේ තීරණාත්මක අවස්ථාවක (gettyimages) 

 අවසන් පූර්ව තරගය නවසීලන්තය පහසුවෙන් ජයග්‍රහණය කරයි 

නවසීලන්ත කණ්ඩායමට අවසන් පූර්ව තරගයේ දී වේල්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට සිදුවුණා. මෙම තරගාවලිය තුළ ප්‍රබල දස්කම් දැක්වූ වේල්ස් කණ්ඩායම මූලික වටයේ තරගවල දී අයර්ලන්තය, කැනඩාව, සහ ටොංගා යන කණ්ඩායම් පරාජය කළා. ඉන් පසුව අර්ධ අවසන් පූර්ව තරගයේ දී වේල්ස් කණ්ඩායම අතින් ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජය වුණේ 16-3ක් ලෙස යි. නමුත් අවසන් පූර්ව තරගය ආරම්භයේ සිටම වේල්ස් කණ්ඩායමට නවසීලන්තය හමුවේ දස්කම් දැක්වීමට නොහැකි වුණු නිසා පළමු අර්ධය නිමාවන විට නවසීලන්තය 27-0 ලෙසින් පෙරමුණ ගත්තා. දෙවන භාගයේ දී නැවතත් ලකුණු අතරට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයන් එම අර්ධයේ දී තවත් ලකුණු 22ක් ලබාගත් නිසා අවසානයේ දී 49-6ක් ලෙසින් තරගය ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත්වුණා.

නවසීලන්ත-වේල්ස් අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages) 

නවසීලන්තය මංගල රග්බි ලෝක කුසලාන තරගාවලිය ජයගනියි

1987 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී හමුවුණේ නවසීලන්ත කණ්ඩායම සහ ප්‍රංශ කණ්ඩායම යි. ප්‍රංශ කණ්ඩායම අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත්කරමින් අවසන් සටනට එක්වුණා. එම නිසාම මෙම අවසන් තරගය උද්වේගකර එකක් වනු ඇතැ යි විචාරකයන් අනාවැකි පළ කළා. නමුත් මෙම තරගය ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටි නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩ්‍රොප් ගෝලයක් මගින් මුල්ම ලකුණු 3 ලබාදුන්නේ ග්‍රාන්ට් ෆොක්ස් විසින්. එලෙස ෆොක්ස් ලබාදුන් සාර්ථක ආරම්භය නිසා පළමු භාගය අවසන් වන විට 9-0ක් ලෙසින් පෙරමුණේ සිටීමට නවසීලන්තයට හැකිවුණා. එලෙස පළමු භාගය ඉතාමත් හොඳින් අවසන් කළ නවසීලන්තය වෙනුවෙන් දෙවන භාගයේ දී නැවතත් ක්‍රියාත්මක වුණු ෆොක්ස් දඬුවම් පහර 4ක් සාර්ථක කරගනිමින් තවත් ලකුණු 12ක් ලබාදුන් නිසා නවසීලන්ත කණ්ඩායම මංගල රග්බි ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වුණේ ප්‍රංශ කණ්ඩායම 29-9ක් ලෙසින් පරාජය කරමින්.

නවසීලන්ත-ප්‍රංශ අවසන් තරගයේ අවස්ථාවක්  (gettyimages)

ෆොක්ස් විසින් තැබූ රග්බි ලෝක කුසලාන වාර්තාව 

1987 රග්බි ලෝක කුසලාන තරගාවලිය තුළ දී ග්‍රාන්ට් ෆොක්ස් විසින් ලබාගත් සමස්ත ලකුණු ප්‍රමාණය 126ක්. එහිදී ෆොක්ස් විසින් ප්‍රවර්තන 30ක්, දඬුවම් පහර 21ක් සහ ඩ්‍රොප් ගෝලයක් මඟින් එම ලකුණු වාර්තා කළා. එය රග්බි ලෝක කුසලාන තරගාවලියක තනි ක්‍රීඩකයෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් තවමත් වාර්තා අතර සටහන් වනවා. ඔහු මීට වසර 32කට පෙර එනම් 1987 වසරේ දී තැබූ වාර්තාව අදටත් කිසිවෙකුට බිඳ දැමීමට නොහැකි වීම පුදුමයට කරුණක්. 

කවරයේ ඡායාරූපය - නවසීලන්ත නායකයා ජයග්‍රාහී කුසලානය සමග (gettyimages)

Related Articles