යම් කණ්ඩායමක් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලබාගැනීමේ දී කණ්ඩායම් නායකයා විශාල මෙහෙයක් ඉටුකරනවා. එලෙස සිය කණ්ඩායම අවසන් තරගය දක්වා රැගෙන එන නායකයෙකු අවසන් තරගයේ දී සිය උපරිම දස්කම් දැක්වීමට උත්සාහ කරන්නේ සිය රටට ලෝක කුසලානය උරුමකර දීමේ අරමුණ ඇතිව යි. මෙතෙක් කල් පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගවල දී එලෙස දස්කම් දැක්වූ නායකයන් කීපදෙනෙකුම අපට හමුවනවා. මේ ලිපිය මඟින් ඉදිරිපත් කරන්නේ, එම නායකයන් දැක්වූ දස්කම් පිළිබඳව යි.
ක්ලයිව් ලොයිඩ් (බටහිර ඉන්දීය කොදෙව්)
1975 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ බටහිර ඉන්දීය කොදෙව් සහ ඕස්ට්‍රේලියාව යන ප්‍රබල කණ්ඩායම් දෙක යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 50ක් තුළ දැවී ගියා. එලෙස සිය කණ්ඩායම අසීරු අඩියකට වැටුණු අවස්ථාවේ සිය වගකීම මැනවින් ඉටුකළ කොදෙව් නායක ලොයිඩ්, පන්දු 85කින් වේගවත් ලකුණු 102ක් ලබාගත්තේ හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් එල්ල කරමින්. එදා ලොයිඩ් දියත් කළ එම අගනා ඉනිම නිසාම නියමිත පන්දුවාර 60 අවසානයේ දී කොදෙව් ලකුණු පුවරුව 291/8 ලෙසින් දිස්වූයේ කැංගරුවන්ට අභියෝගාත්මක ඉලක්කයක් ලබාදෙමින්. පිත්තෙන් සුපිරි දස්කම් දැක්වූ ලොයිඩ් ඉන් නොනැවතී පන්දුවෙන් ද දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී ලොයිඩ්, සිය පන්දුවාර 12 තුළ ලකුණු 38ක් ලබාදුන්නේ ඩග් වෝල්ටර්ස් නම් පිතිකරුවාව දවාගනිමින්. එදා සමස්ත තරගය පුරාවටම සුපිරි දස්කම් දැක්වූ ලොයිඩ් තරගයේ වීරයා සම්මානය ද හිමිකර ගැනීමට සමත් වුණා.
ඉයන් චැපල් (ඕස්ට්‍රේලියාව)
1975 ලෝක කුසලාන අවසන් තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 292ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට සිදුවුණා. එදා කැංගරුවන්ගේ පළමු කඩුල්ල ලකුණු 25 දී බිඳවැටුණු අවස්ථාවේ පිටියට පිවිසි නායක ඉයන් චැපල්, පන්දු 93කින් ලකුණු 62ක් ලබාගත්තේ සිය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වෙමින්. එදා චැපල්, අවාසනාවන්ත අයුරින් දුවද්දී දැවී නොගියා නම් අවසන් තරගයේ ප්‍රතිඵලය වෙනස් වීමට වුණත් විශාල ඉඩකඩක් තිබුණා.
මයික් බෙයාර්ලි (එංගලන්තය)
1979 ලෝක කුසලාන අවසන් තරගයේ දී එංගලන්තයට ප්‍රබල කොදෙව් පන්දු යවන්නන් හමුවේ ලකුණු 287ක ඉලක්කයක් හඹා යාමට සිදුවුණා. එහි දී එංගලන්ත නායක මයික් බෙයාර්ලි, පන්දු 130කින් ලකුණු 64ක් ලබාගත්තේ ජෙෆ් බෝයිකොට් සමගින් ලකුණු 129ක සබඳතාවයක් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනගමින්. නමුත්, එදා බෙයාර්ලි මන්දගාමී අයුරින් පන්දුවට පහරදීම නිසා එංගලන්ත කණ්ඩායම දැඩි පීඩනයකට හසුවුණු බවත් මෙහි දී සඳහන් කළ යුතු යි.
ඇලන් බෝඩර් (ඕස්ට්‍රේලියාව)
1987 ලෝක කුසලාන අවසන් තරගය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර යි. එහි දී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් නායක ඇලන් බෝඩර්, පන්දු 31කින් ලකුණු 31ක් ලබාගත්තා. ඉන් අනතුරුව ලකුණු 254ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්තය එක් අවස්ථාවක කඩුලු 2ක් දැවී ලකුණු 135ක් ලබා සිටියේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් පීඩනයකට පත් කරමින්. එම තීරණාත්මක මොහොතේ ක්‍රියාත්මක වුණු බෝඩර්, ප්‍රතිවාදී නායක මයික් ගැටිංව ලකුණු 41කට දවාගත්තේ කැංගරු ජයග්‍රහණයට පාර කපමින්. එහි දී සිය පන්දුවාර 7 තුළ ලකුණු 38ක් ලබාදුන් බෝඩර්, කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා.
ඉම්රාන් ඛාන් (පාකිස්ථානය)
1992 වසරේ එංගලන්තය සහ පාකිස්ථානය අතර පැවති ලෝක කුසලාන අවසන් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායමේ මුල් කඩුලු 2ම ලකුණු 24ක් තුළ බිඳවැටුණා. එලෙස සිය කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු නායක ඉම්රාන්, පන්දු 110කින් ලකුණු 72ක් ලබාගත්තේ මියැන්ඩාඩ් සමග අගනා ලකුණු 139ක සබඳතාවයක් ගොඩනගමින්. ඊට අමතරව එංගලන්ත පිතිකරුවන්ට එරෙහිව පන්දුවාර 6.2ක් යැවූ ඉම්රාන්, ලකුණු 43ක් ලබාදුන්නේ ජයග්‍රාහී කඩුල්ල දවාගනිමින්.
මාක් ටේලර් (ඕස්ට්‍රේලියාව)
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති 1996 ලෝක කුසලාන අවසන් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 1ක් පමණක් දැවී ලකුණු 137ක් ලබා සිටියා. නමුත්, එම අවස්ථාවේ දී පන්දු 83කින් ලකුණු 74ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු නායක මාක් ටේලර්ගේ දැවීයාමත් සමගම කැංගරු ඉනිම බිඳවැටුණා. එදා ටේලර් තවත් පන්දුවාර කිහිපයක් කඩුල්ලේ රැඳී සිටියා නම් තරගය ශ්‍රී ලංකාවට තරමක් අවාසිදායක එකක් වීමට පවා ඉඩ තිබුණා.
අර්ජුණ රණතුංග (ශ්‍රී ලංකාව)
1996 ලෝක කුසලාන අවසන් තරගයේ දී ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 242ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු තුන ලකුණු 148ක් තුළ දැවීගියා. ඉන්පසුව පිටියට පිවිසි අර්ජුණ රණතුංග, ප්‍රතිවාදී පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කරමින් පන්දු 37කින් නොදැවී ලකුණු 47ක් ලබාගත්තා. එහි දී ජයග්‍රාහී ලකුණු 4 අර්ජුණගේ පිත්තෙන් වාර්තා වීමත් සුවිශේෂී සිදුවීමක් වුණා.
රිකී පොන්ටිං (ඕස්ට්‍රේලියාව)
2003 ලෝක කුසලාන අවසන් තරගය පැවැත්වුණේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 359ක් ලබාගත්තේ ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්. එහි දී මනරම් ඉනිමක් ක්‍රීඩා කළ කැංගරු නායක රිකී පොන්ටිං පන්දු 121කින් නොදැවී ලකුණු 140ක් ලබාගත්තේ හතරේ පහර 4ක් සහ දැවැන්ත හයේ පහර 8ක් එල්ල කරමින්. එලෙස පොන්ටිං ලබාගත් ලකුණු 140 එක්දින ලෝක කුසලාන අවසන් තරගයක දී නායකයෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. එසේම එම තරගයේ වීරයා සම්මානයත් හිමි වුණේ රිකී පොන්ටිංට යි.
මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව)
2011 ලෝක කුසලාන අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 275ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 114ක් තුළ බිඳවැටුණා. එම අවස්ථාවේ දී පිටියට පිවිසි නායක දෝනි පන්දු 79කින් නොදැවී ලකුණු 91ක් ලබාගත්තේ හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් එල්ල කරමින්. එදා හයේ පහරක් එල්ල කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළ දෝනි, තරගයේ වීරයා සම්මානයත් හිමිකර ගනු ලැබුවා.
මයිකල් ක්ලාක් (ඕස්ට්‍රේලියාව)
2015 එක්දින ලෝක කුසලාන අවසන් තරගයේ දී නවසීලන්තය හමුවේ ලකුණු 184ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු 2ම ලකුණු 63ක් තුළ දැවීගියා. එම අවස්ථාවේ පිටියට පිවිසි නායක මයිකල් ක්ලාක් පන්දු 72කින් ලකුණු 74ක් ලබාගත්තේ සිය කණ්ඩායම ජය මාවතට යොමු කරමින්. එහි දී හතරේ පහර 10ක් සහ හයේ පහරක් එල්ල කරමින් ක්ලාක් දියත් කළ ඉනිම ඔහුගේ එක්දින දිවියේ අවසන් ඉනිම බවට ද පත් වුණා.