ගෙවුණු සතියේ කෙළිබිම උණුසුම් කළ තොරතුරු

ජපානයේ ටෝකියෝ නුවර දී 32 වන ගිම්හාන ඔලිම්පික් උළෙල පසුගිය දිනවල පැවැති  නිසා ක්‍රීඩා ලෝකයේ බොහෝ දෙනකුගේ අවධානය යොමු ව තිබුණේ ඔලිම්පික් ක්‍රීඩා තරග ඉසව් පිළිබඳව යි. මේ වන විට ඔලිම්පික් උළෙල නිමාවට පත්ව තිබෙන නිසා ක්‍රිකට්, පාපන්දු ඇතුළු අනිකුත් ක්‍රීඩා  පිළිබඳ ව වැඩි දෙනෙකුගේ අවධානය යළිත් යොමු ව තිබෙනවා. ඒනිසා ගෙවුණු සතියේ එතෙර සහ මෙතෙර කෙළිබිමේ සිදුවුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳ ව තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කරනවා. 

බෙංගාලි කොටියන් හමුවේ කැංගරුවෝ දණ නමති 

බංග්ලාදේශය සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5කින් සමන්විත 20/20 තරගාවලියක් මීර්පූර් නුවර ශෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. එම තරගාවලියේ දී විශිෂ්ට දස්කම් දැක්වූ බංග්ලාදේශ ක්‍රීඩකයන් ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම 4-1ක් ලෙසින් පරාජය කරමින් තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගත්තා. එහි දී ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනකු නොමැති ව තරග බිමට පිවිසි ඕස්ට්‍රේලියානුවන් ප්‍රතිවාදී දඟ පන්දු යවන්නන් හමුවේ අන්ත අසරණ වන ආකාරය දැක ගන්නට ලැබුණා. ඒ අයුරින් තරගාවලිය පුරා ම දැඩි ලෙස අසාර්ථක වුණු ඕස්ට්‍රේලියා පිතිකරුවන්ට අවසන් 20/20 තරගයේ දී සියලු දෙනා ම දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 62ක් පමණ යි. එය ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් 20/20 තරගයක දී ලබා ගත් අඩුම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වීම කනගාටුදායක සිදුවීමක් වුණා. ඒ අයුරින් බංග්ලාදේශයට විශිෂ්ට ජයග්‍රහණයක් උරුම වුණු 20/20 තරගාවලිය යටතේ පැවති තරග පහේ ප්‍රතිඵල සටහන් වුණු ආකාරයයි මේ.

  • 1) පළමු තරගය- බංග්ලාදේශයට ලකුණු 23ක ජයක් 
  • 2) දෙවන තරගය- බංග්ලාදේශයට කඩුලු 5ක ජයක් 
  • 3) තෙවන තරගය- බංග්ලාදේශයට ලකුණු 10ක ජයක් 
  • 4) සිව්වන තරගය- ඕස්ට්‍රේලියාවට කඩුලු 3ක ජයක් 
  • 5) පස්වන තරගය- බංග්ලාදේශයට ලකුණු 60ක ජයක් 
ඕස්ට්‍රේලියා – බංග්ලාදේශ 20-20 තරගාවලියේ අවස්ථාවක් – getty images

ඕස්ට්‍රේලියා කණ්ඩායමක් හමුවේ මුල්ම වරට 20/20 තරගාවලි ජයග්‍රහණයක් ලබාගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට විශාල සහායක් ලබාදුන්නේ ශකිබ් අල් හසන් නම් සුපිරි ක්‍රීඩකයා යි. එහි දී ඔහු පිත්තෙන් ලකුණු 114ක් සහ පන්දුවෙන් කඩුලු 7ක් දවාගෙන තුන් ඉරියව්වෙන් ම දස්කම් දැක්වීමට සමත් වුණා. එනිසා ශකීබ්ට තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණා. මෙම තරගාවලිය අතරතුර ශකීබ් 20/20 පිටියේ තවත් කඩඉමක් පසුකර යාමට සමත් වුණා. ඒ 20/20 තරග ඉතිහාසයේ කඩුලු 100ක් දවාගත් මුල් ම දඟපන්දු යවන්නා බවට පත්වීම යි. එහි දී ශකීබ්ගේ 100 වන 20/20 ගොදුර බවට පත්වුණේ ඇෂ්ටන් ටර්නර් නම් පිතිකරුවා යි. 

ශකීබ් තරගාවලියේ වීරයා සම්මානය දිනාගනිමින් – getty images

 

මංගල 20/20 තරගයේ දී ශිල්ප දැක් වූ කැංගරුවා 

බංග්ලාදේශය සහ ඕස්ට්‍රේලියාව අතර ශෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේ දී 2021 අගෝස්තු 6 වැනිදා පැවැත්වුණු 20/20 තරගයේ දී නේතන් එලිස් නම් ඕස්ට්‍රේලියා පන්දු යවන්නා 20/20 ක්‍රිකට් වරම් දිනා ගත්තා. සිය මංගල 20/20 තරගයේ දී දක්ෂ ලෙස පන්දු යැවූ එලිස් ලකුණු 34කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. එහි දී ඔහු පිට පිට ම යැවූ පන්දු 3කින් මහමදුල්ලා රියාද්, මුස්තෆිසුර් රහමාන් සහ මෙහෙදි හසන් යන පිතිකරු ත්‍රිත්වය දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් සම්පූර්ණ කළා. ඒ අනුව 20/20 තරග ඉතිහාසයේ සිය මංගල තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් එක ම පන්දු යවන්නා ලෙසින් නේතන් එලිස් ඉතිහාසගත වුණා. 

එලිස් කඩුලු ත්‍රිත්වය ලබා ගත් අවස්ථාව – getty images

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි 

2021/22 එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය පසුගිය අගෝස්තු 13 වැනිදා ආරම්භ වුණා. සුපුරුදු පරිදි කණ්ඩායම් 20ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරග වාරය ලබන වසරේ මැයි 22 දක්වා පැවැත්වීමට නියමිත යි. එම කාලය තුළ සෑම කණ්ඩායමකට ම තරග 38කට සහභාගි වීමට අවස්ථාව හිමි වනවා. මෙවර තරගාවලිය සඳහා එක් ව සිටින කණ්ඩායම් අතුරින් බ්‍රෙන්ට්ෆෝඩ් කණ්ඩායම කාගේත් අවධානය දිනා ගෙන තිබෙනවා. ඒ ඔවුන් වසර 75කට පසු ව එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත් නිසා යි. 

එලෙස දිගු කලකට පසු ව එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරග බිමට පිවිසි බ්‍රෙන්ට්ෆෝඩ් ක්‍රීඩකයන් සිය පළමු තරගයේ දී ප්‍රබල ආර්සනල් කණ්ඩායම හමුවේ ගෝල 2-0ක ජයක් හිමි කර ගත්තා. ඊට අමතර ව එංගලන්ත ප්‍රිමියර් ලීග් තරග බිමේ දී විශිෂ්ට ජයග්‍රහණ ලබාගැනීමට සමත් වුණේ මැන්චෙස්ටර් යුනයිටඩ්, චෙල්සි සහ ලිවර්පූර් යන කණ්ඩායම් ත්‍රිත්වය යි. 

බ්‍රෙන්ට්ෆෝඩ් කණ්ඩායම දස්කම් දක්වමින් – getty images

 

ඒ අතුරින් ලීඩ්ස් යුනයිටඩ් කණ්ඩායම හමුවේ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩකයන් ගෝල 5-1ක පහසු ජයක් හිමි කර ගත්තා. එහි දී බෘනෝ ෆර්නැන්ඩස් ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීම කැපී පෙනුණු සිදුවීමක් වුණා. මෙවර තරගාවලියේ පළමු ත්‍රිත්ව ගෝලය ලබා ගත් ක්‍රීඩකයා ලෙසින් ෆර්නැන්ඩස් වාර්තා අතරට එක් වුණා. මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩකයන් ඒ අයුරින් සුපිරි ජයග්‍රහණයක් ලබා ගනිද්දී ප්‍රබල ලිවර්පූල් කණ්ඩායම නෝවිච් සිටි කණ්ඩායම හමුවේ ගෝල 3-0ක ජයක් ද, චෙල්සි කණ්ඩායම ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම හමුවේ ගෝල 3-0ක ජයක් ද හිමි කර ගත්තා. 

බෘනෝ ෆර්නැන්ඩස් ලබාගත් ත්‍රිත්ව ගෝලයේ අවස්ථාවක්  – getty images

ඩයලොග්-SLC  ආරාධිත 20/20 ක්‍රිකට් තරගාවලියේ තොරතුරු 

ඩයලොග්-SLC ආරාධිත 20/20 ලීග් ක්‍රිකට් තරගාවලිය පසුගිය අගෝස්තු 13 වැනිදා මහනුවර පල්ලෙකැලේ පිටියේ දී ආරම්භ වුණා. එම තරගාවලිය සඳහා SLC ග්‍රේස්, SLC බ්ලූස්, SLC ග්‍රීන්ස් සහ SLC රෙඩ්ස් නමින් කණ්ඩායම් 4ක් එකතු වී සිටිනවා. එම කණ්ඩායම්වල නායකත්වය දරන ක්‍රීඩකයන්ගේ නම් පහතින් දක්වා තිබෙනවා.

  • SLC ග්‍රේස්- දසුන් ශානක 
  • SLC ග්‍රීන්ස්- අෂාන් ප්‍රියන්ජන 
  • SLC රෙඩ්ස්- දිනේෂ් චන්දිමාල් 
  • SLC බ්ලූස්- ඇන්ජලෝ පෙරේරා 

මෙම තරගාවලිය යටතේ අගෝස්තු 13 සහ 14 දිනවල දී තරග 4ක් පැවැත්වුණා. එම තරගවලින් ජයග්‍රහණය හිමිවුණේ SLC ග්‍රේස් සහ SLC බ්ලූස් යන කණ්ඩායම් ද්විත්වයට යි. තරගාවලියේ පළමු තරග 4හි ප්‍රතිඵල පහත දක්වා තිබෙනවා.

1) පළමු තරගය- SLC ග්‍රේස් සහ SLC ග්‍රීන්ස්

SLC ග්‍රේස්- 167/7 (20)

  • දසුන් ශානක- 84 (41)
  • අශාන් ප්‍රියංජන- 18/1 (2)

SLC ග්‍රීන්ස්- 166/6 (20)

  • කමිඳු මෙන්ඩිස්- 74 (48)
  • පැතුම් නිස්සංක- 45 (36)
  • පුලින තරංග- 22/3 (4)
  • අෂේන් ඩැනියල්- 23/2 (3)

SLC ග්‍රේස් කණ්ඩායමට ලකුණු 1ක ජයක් 

2) දෙවන තරගය- SLC බ්ලූස් සහ SLC රෙඩ්ස්

SLC බ්ලූස්- 148/9 (20)

  • අෂේන් බණ්ඩාර- 45 (25)
  • අකිල ධනංජය  27/3 (4)
  • සීක්කුගේ ප්‍රසන්න- 34/2 (4)

SLC රෙඩ්ස්- 92/10 (17)

  • නිපුන් ධනංජය- 14 (14)
  • ඇන්ජලෝ පෙරේරා- 6/2 (2)
  • ප්‍රවීන් ජයවික්‍රම- 12/2 (4)

SLC බ්ලූස් කණ්ඩායමට ලකුණු 56ක ජයක් 

3) තෙවන තරගය- SLC ග්‍රේස් සහ SLC රෙඩ්ස් 

SLC ග්‍රේස්- 154/8 (20)

  • දසුන් ශානක- 48 (38)
  • සීක්කුගේ ප්‍රසන්න- 9/2 (4)
  • ප්‍රභාත් ජයසූරිය- 29/2 (4)

SLC රෙඩ්ස්- 119/9 (20)

  • ඕෂධ ප්‍රනාන්දු- 52 (49)
  • අෂේන් ඩැනියල්- 18/2 (4)
  • ළහිරු මදුසංක- 21/2 (3)

SLC ග්‍රේස් කණ්ඩායමට ලකුණු 35ක ජයක් 

4) සිව්වන තරගය- SLC බ්ලූස් සහ SLC ග්‍රීන්ස්

SLC ග්‍රීන්ස්- 180/2 (20)

  • පැතුම් නිස්සංක- 76 (54)
  • කමිඳු මෙන්ඩිස්- 53 (25)
  • මහේෂ් තීක්ෂණ- 12/2 (4)

SLC බ්ලූස්- 181/5 (19.3)

  • සදීර සමරවික්‍රම- 47 (38)
  • සහන් ආරච්චිගේ- 38 (22)
  • අෂේන් බණ්ඩාට්‍ර- 36* (18)
  • ඉෂාන් ජයරත්න- 26/1 (3.3)

SLC බ්ලූස් කණ්ඩායමට කඩුලු 5ක ජයක් 

තරග දෙකේදීම දස්කම් දැක්වූ SLC ග්‍රේස් නායක දසුන් ශානක – newsradio.lk

 

කවරයේ ඡායාරූපය: ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් පරදවා 20/20 තරගාවලි ශූරතාව දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායම 

මූලාශ්‍ර-

espncricinfo.com

epl.com

Related Articles

Exit mobile version