Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බංග්ලාදේශ බිමේ දී ශ්‍රී ලංකාව පෑ ටෙස්ට් ක්‍රිකට් දස්කම්

2021-23 ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය එළඹෙන මැයි 15 වැනිදා චිතගොං හිදී ආරම්භ වීමට නියමිත යි. අවසන් වරට දෙරට අතර බංග්ලාදේශයේ දී ටෙස්ට් තරගාවලියක් පැවැත්වුණේ 2018 වසරේ දී යි. එම ටෙස්ට් තරගාවලිය තරග 1-0 ලෙසින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එපමණක් නොව එදා මෙදාතුර බංග්ලාදේශ බිමේ පැවති ටෙස්ට් තරගාවලි හතර ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. 

එහි දී ටෙස්ට් තරග 8ක් ක්‍රීඩා කරමින් තරග 6ක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව ඉතිරි තරග ද්විත්වය ජය පැරදුමෙන් තොර ව අවසන් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය හමුවේ ඔවුන්ගේ බිමේ දී තවමත් ටෙස්ට් තරග පරාජයක් උරුම කරගෙන නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම එදා සිට අද දක්වා බංග්ලාදේශයේ දී දැක්වූ ටෙස්ට් තරග දස්කම් පිළිබඳයි මේ ලිපිය.

අෂ්‍රෆුල් ශතකය වාර්තා කළ අවස්ථාව- gettyimages.com

මුරලිදරන්ගේ දස්කම් ඉස්මතු වුණු 2006 ටෙස්ට් තරගාවලිය

2006 ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය චිතගොං හි දී පැවැත්වුණා. එම තරගයේ පන්දුවට මුලින් ම පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 319ක් ලබා ගත්තා. එහි දී බංග්ලාදේශ ඉනිම වර්ණවත් කළ මොහොමඩ් අෂ්‍රෆුල් පන්දු 184කින් වේගවත් ලකුණු 136ක් රැස් කළා. ඉන් පසු සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට රිසි සේ ලකුණු ලබා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් ඉඩක් ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 338කට සීමා වුණා. 

පළමු ඉනිමේ දී ශ්‍රී ලංකාවට කරට කර සටනක් ලබා දුන් බංග්ලාදේශ පිතිකරුවන් දෙවන ඉනිමේ දී මුත්තයියා මුරලිදරන්ගේ ග්‍රහණයට නතු වුණා.  මුරලිදරන් එහි දී ලකුණු 55කට කඩුලු 6ක් බිඳ දමමින් සිදු කළ විශිෂ්ට පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ දෙවන ඉනිම ලකුණු 181කට සීමා වුණා. ඉන් පසුව ලකුණු 163ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. 

මුරලිදරන් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – gettyimages.com

 

කෙටි ලකුණු පුවරුව 

බංග්ලාදේශ පළමු ඉනිම- 319/10, (අෂ්‍රෆුල්- 136, ඉක්බාල්- 34, මාලිංග- 57/4, මුරලිදරන්- 87/3)

ශ්‍රී ලංකා පළමු ඉනිම- 338/10, (මහරුෆ්- 72, සංගක්කාර- 69, සමරවීර- 58, ෂහඩාත්- 83/4)

බංග්ලාදේශ දෙවන ඉනිම- 181/10, (රෆීක්- 40, නෆීස්- 38, මුරලිදරන්- 55/6, දිල්හාර- 10/2)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 164/2, (වැන්ඩෝට්- 64*, සංගක්කාර- 46, මහේල- 23*, රසල්- 18/1)

ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් 

තරගයේ වීරයා- මොහොමඩ් අෂ්‍රෆුල්   

ශ්‍රී ලංකාව තරගය ජයග්‍රහණය කළ මොහොත – gettyimages.com

 

තරගාවලියේ දෙවන තරගය බෝග්රා හි ෂහීඩ් චණ්ඩු පිටියේ දී ක්‍රියාත්මක වුණා. එම තරගයේ පන්දුවට මුලින් ම පහරදුන් බංග්ලාදේශ පිතිකරුවන් යළිත් වරක් මුරලිදරන්ගේ පන්දු හමුවේ දැඩි අසීරු තත්ත්වයකට පත්වුණා.

එහි දී මුරලිදරන් ලකුණු 79කට බිඳ දැමූ කඩුලු 5 නිසා බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 234කට සීමා වුණා. 

මුරලිදරන් කඩුලු 5ක් බිඳ දැමීමෙන් පසු – gettyimages.com

 

 පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 43ක් තුළ බිඳ වැටුණා. එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු ආරම්භක පිතිකරු උපුල් තරංග අගනා ලකුණු 165ක් ලබාගනිමින් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළා.

එනිසා ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 316ක් ලබාගැනීමට හැකි වුණා.   

උපුල් තරංග සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත් අවස්ථාව – gettyimages.com

 

ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 82ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යැවීමේ බළ ඇණිය හමුවේ නැවත වරක් අසාර්ථක වුණා. එහිදී බංග්ලාදේශ දෙවන ඉනිම ලකුණු 201කට සීමා වුණා. ඉන් පසු ලකුණු 120ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 10ක පහසු ජයග්‍රහණයක් වාර්තා කළා. එහි දී පිත්තෙන් සුපිරි දස්කම් දැක්වූ උපුල් තරංග නොදැවී ලකුණු 71ක් ලබා ගත්තා. 

කෙටි ලකුණු පුවරුව 

බංග්ලාදේශ පළමු ඉනිම- 234/10, (බෂාර්- 69, ඔමාර්- 35, මුරලිදරන්- 79/5, දිල්හාර- 24/2)

ශ්‍රී ලංකා පළමු ඉනිම- 316/10, (තරංග- 165, මහේල- 49, ෂහඩාත්- 86/5, එනමුල්- 71/2)

බංග්ලාදේශ දෙවන ඉනිම- 201/10, (බෂාර්- 73, රෆීක්- 64, දිල්හාර- 51/3, මාලිංග- 51/3)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 120/0, (තරංග- 71*, වැන්ඩෝට්- 40*)

ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක් 

තරගයේ වීරයා- උපුල් තරංග 

තරගාවලියේ වීරයා- මුත්තයියා මුරලිදරන්

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages.com

 

තිලකරත්න දිල්ෂාන් දස්කම් දැක්වූ 2009 ටෙස්ට් තරගාවලිය

2008-09 ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මීර්පූර් නුවර ෂෙරේ බංග්ලා පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 293ක් පමණ යි. එහි දී ශ්‍රී ලංකා ඉනිම කඩා බිඳ දැමූ ශකීබ් අල් හසන් ලකුණු 70කට කඩුලු 5ක් දවා ගත්තා.

ඉන් අනතුරුව පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ පිතිකරුවන් මුරලිදරන්ගේ ප්‍රබල දඟපන්දු යැවීම හමුවේ අසීරු අඩියකට වැටුණා. එහි දී මුරලිදරන් ලකුණු 79කට දවාගත් කඩුලු 6 නිසා බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 178කට සීමා වුණා. 

මුරලිදරන් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – gettyimages.com

 

බංග්ලාදේශයට වඩා ලකුණු 115ක් ඉදිරියෙන් සිට දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 6ක් දැවී ලකුණු 405ක් ලබා සිටිය දී සිය ඉනිම අත්හිටවූවා. එහි දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මහේල ජයවර්ධන අගනා ලකුණු 166ක් ලබා ගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 521ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ පිතිකරුවන් සටන්කාමී පිතිහරඹයක නිරත වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් බංග්ලාදේශ දෙවන ඉනිම ලකුණු 413කට සීමා වුණා. ඒ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 107ක ජයක් හිමි වුණා.

මහේල ජයවර්ධනගේ අගනා ඉනිමේ අවස්ථාවක්- gettyimages.com

 

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම- 293/10, (සමරවීර- 90, වැන්ඩෝට්- 44, ශකීබ්- 70/5, ෂහඩාට්- 55/2)

බංග්ලාදේශ පළමු ඉනිම- 178/10, (කයිස්- 33, මුරලිදරන්- 79/6, වාස්- 33/2)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 405/6, (මහේල- 166, සංගක්කාර- 67, සමරවීර- 62, මෙහෙරාබ්- 37/2)

බංග්ලාදේශ දෙවන ඉනිම- 413/10, (අෂ්‍රෆුල්- 101, ශකීබ්- 96, මුෂ්ෆිකර්- 61, මුරලිදරන්- 103/4)

ශ්‍රී ලංකාවට ලකුණු 107ක ජයක් 

තරගයේ වීරයා- ශකීබ් අල් හසන්  

 තරගයේ වීරයා සම්මානය දිනාගත් ශකීබ් – gettyimages.com

 

තරගාවලියේ දෙවන තරගය චිතගොං හිදී පැවැත්වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 384ක් ලබා ගත්තා. එහි දී ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ තිලකරත්න දිල්ෂාන් පන්දු 165කින් වේගවත් ලකුණු 162ක් ලබා ගත්තා. සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ පිතිකරුවන්ට සියලුදෙනාම දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 208ක් පමණ යි.

දිල්ෂාන් ශතකය සම්පූර්ණ කළ මොහොත – gettyimages.com

 

පළමු ඉනිමේ දී ලද ලකුණු 176ක වාසියක් සමඟින් දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවට මැනවින්  පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 447ක් ලබා ගත්තා. එහි දී සුපිරි පිතිහරඹයක නැවතත් නිරත වුණු දිල්ෂාන් අගනා ලකුණු 143ක් රැස් කළා. ජයග්‍රහණය සඳහා ලකුණු 624ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම සියලුදෙනා ම ලකුණු 158 කට දැවී ගියා. ඒ තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 465ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි වුණා. 

ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයගත් මොහොත – gettyimages.com

 

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම- 384/10, (දිල්ෂාන්- 162, කපුගෙදර- 96, ශකීබ්- 109/4, මොර්ටාසා- 58/3)

බංග්ලාදේශ පළමු ඉනිම- 208/10, (මොර්ටාසා- 63, අෂ්‍රෆුල්- 45, අජන්ත- 71/4,  මුරලිදරන්- 62/3)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 447/6, (දිල්ෂාන්- 143, සමරවීර- 77, කපුගෙදර- 59, අෂ්‍රෆුල්- 56/2)

බංග්ලාදේශ දෙවන ඉනිම- 158/10, (ශකීබ්- 46, දිල්ෂාන්- 10/4,  අජන්ත- 57/3)

ශ්‍රී ලංකාවට ලකුණු 465ක ජයක් 

තරගයේ වීරයා- තිලකරත්න දිල්ෂාන් 

තරගාවලියේ වීරයා- තිලකරත්න දිල්ෂාන් 

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages.com

 

සංගක්කාර ක්‍රියාත්මක වුණු 2014 ටෙස්ට් තරගාවලිය

ශ්‍රී ලංකා-බංග්ලාදේශ 2014 ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මීර්පූර් නුවර ශෙරේ බංග්ලා පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ කාසියේ වාසිය පරාජය වී පන්දුවට මුලින් ම පහර දුන් බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා ම දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 232ක් පමණ යි. සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 730ක් ලබා ගෙන ප්‍රතිවාදීන්ට දැවැන්ත අභියෝගයක් එල්ල කළා. එහි දී අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ මහේල නොදැවී ලකුණු 203ක් රැස් කළා. 

මහේල ජයවර්ධන ද්විත්ව ශතකය සම්පූර්ණ කළ මොහොත – gettyimages.com

 

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 498ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ පිතිකරුවන් නැවත වරක් අසාර්ථක වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් බංග්ලාදේශ දෙවන ඉනිම ලකුණු 250කට සීමා වුණා.

එම ඉනිමේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු දිල්රුවන් පෙරේරා ලකුණු 109කට කඩුලු 5ක් බිඳ දැමුවා. එය ඔහු ටෙස්ට් ඉනිමක දී කඩුලු 5ක් දවාගත් මුල්ම අවස්ථාව ලෙසින් සටහන් වුණා. තරගය පුරා ම විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට  ඉනිමක සහ ලකුණු 298ක දැවැන්ත ජයග්‍රහණයක් උරුම වුණා. 

පන්දුවෙන් දස්කම් දැක්වූ දිල්රුවන් – gettyimages.com

 

කෙටි ලකුණු පුවරුව 

බංග්ලාදේශ පළමු ඉනිම- 232/10, (මුෂ්ෆිකර්- 61, ශකීබ්- 55, එරංග- 49/4, ලක්මාල්- 66/3)

ශ්‍රී ලංකා පළමු ඉනිම- 730/6, (මහේල- 203*, කෞෂාල්- 139, කිත්රුවන්- 103*,ශකීබ්- 159/3)

බංග්ලාදේශ දෙවන ඉනිම- 251/10, (මොමිනුල්- 50, දිල්රුවන්- 109/5, ලක්මාල්- 39/3)

ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 298ක ජයක් 

තරගයේ වීරයා- මහේල ජයවර්ධන 

ශ්‍රී ලංකාව තරගය ජයග්‍රහණය කළ මොහොත- gettyimages.com

 

චිතගොං හි දී පැවති දෙවන ටෙස්ට් තරගයේ දී පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා ම දැවී ලකුණු 587ක් ලබා ගත්තා. එහි දී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වුණු කුමාර් සංගක්කාර හයේ පහර 8ක් සහ හතරේ පහර 32ක් සමඟින් ලකුණු 319ක් ලබා ගත්තා. එහි දී ඔහු ශකීබ් හමුවේ පිට පිට ම හයේ පහර 2ක් එල්ල කරමින් සිය ත්‍රිත්ව ශතකය සම්පූර්ණ කිරීම කිසිදා අමතක නොවන සිදුවීමක් වුණා.

එය ශ්‍රී ලංකා පිතිකරුවෙක් විදෙස් රටක දී ලබා ගත් මුල් ම ටෙස්ට් ත්‍රිත්ව ශතකය ලෙසින් වාර්තා අතරට එක් වුණා. එම ඉනිමේ දී සංගක්කාර එල්ල කළ හයේ පහර 8 ශ්‍රී ලංකා පිතිකරුවෙක් ටෙස්ට් ඉනිමක දී එල්ල කළ වැඩි ම හයේ පහර ප්‍රමාණය ලෙස ද සටහන් වුණා.

සංගක්කාර ත්‍රිත්ව ශතකය ලබාගත් මොහොත – gettyimages.com

 සිය පළමු ඉනිම ක්‍රිඩා කළ බංග්ලාදේශය ලකුණු 426ක් ලබා ගත්තා. එහි දී ඉම්රුල් කයිස්  සහ ෂම්සුර් රහමාන් ශතක ලබා ගැනීම කැපී පෙනුණු සිදුවීමක් වුණා. බංග්ලාදේශයට වඩා ලකුණු 161ක් ඉදිරියෙන් සිට දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 305ක් ලබා සිටිය දී ඉනිම අත්හිටවූවා.

එහි දීදක්ෂ පිතිහරඹයක යළිත් වරක්  නිරත වුණු සංගක්කාර ලකුණු 105ක් වාර්තා කළා. ටෙස්ට් තරගයක දී ත්‍රිත්ව ශතකයක් සහ ශතකයක් වාර්තා කළ දෙවන පිතිකරුවා ලෙසින් ද සංගක්කාර ඉතිහාසගත වුණා. ඔහුට පෙර එංගලන්තයේ ග්‍රැහැම් ගුච් ඉන්දියාවට එරෙහි ව 1990 ලෝඩ්ස් ටෙස්ට් තරගයේ දී ලකුණු 333ක් සහ ලකුණු 123ක් වාර්තා කරගෙන තිබුණා. 

 කයිස් ශතකය ලබාගත් අවස්ථාව – gettyimages.com

 

තරගයේ අවසන් දිනයේ ජයග්‍රහණය සඳහා ලකුණු 467ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වෙද්දී කඩුලු 3ක් දැවී ලකුණු 271ක් ලබා සිටියා. එහි දී මොමිනුල් හක් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තා. 

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම- 587/10, (සංගක්කාර- 319, මහේල- 72, ,ශකීබ්- 148/5)

බංග්ලාදේශ පළමු ඉනිම- 426/10, (කයිස්- 115, ෂම්සුර්- 106, අජන්ත- 99/6, දිල්රුවන්- 119/3)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 305/4, (සංගක්කාර- 105, චන්දිමාල්- 100*, මහමදුල්ලා- 46/2)

බංග්ලාදේශ දෙවන ඉනිම- 271/3, (මොමිනුල්- 100*, ෂම්සුර්- 45, දිල්රුවන්- 55/2)

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා 

තරගයේ වීරයා- කුමාර් සංගක්කාර 

තරගාවලියේ වීරයා- කුමාර් සංගක්කාර 

එවක ශ්‍රී ලංකා නායක මැතිව්ස් ජයග්‍රාහී කුසලානය සමඟ – gettyimages.com

 

 දඟ පන්දුව දස්කම් පෑ 2018 ටෙස්ට් තරගාවලිය

2018 ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය චිතගොං හිදී ක්‍රියාත්මක වුණා. පිතිකරු දස්කම් ඉස්මතු වුණු එම තරගයේ දී පන්දුවට මුලින් ම පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 513ක් ලබා ගත්තා. එහි දී දක්ෂ ලෙස පන්දුවට පහර දුන් මොමිනුල් හක් අගනා ලකුණු 176ක් රැස් කළා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 713ක් ලබා ගත්තා. එම ඉනිමේ දී කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා පිළිවෙළින් ලකුණු 196ක් සහ 173ක් වාර්තා කළා. 

කුසල් සහ ධනංජය පන්දුවට පහරදෙමින්- gettyimages.com

 

එම  ළකුණුත් සමඟින් ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 308ක සබඳතාවක් ගොඩ නැඟුවා. එහිදී රොෂේන් සිල්වා ලකුණු 109ක් ලබා ගත්තා. සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය තරගය ජය පරාජයෙන් තොරව නිමාව දකින විට කඩුලු 5ක් දැවී ලකුණු 307ක් ලබා ගෙන සිටියා. ලකුණු අතරට යළිත් වරක් පිවිසි මොමිනුල් ලකුණු 105ක් ලබා ගත්තා. 

තරගය පුරාවට පිත්තෙන් දස්කම් දැක්වූ මොමිනුල් – gettyimages.com

 

කෙටි ලකුණු පුවරුව 

බංග්ලාදේශ පළමු ඉනිම- 513/10, (මොමිනුල්- 176, මුෂ්ෆිකර්- 92, මහමදුල්ලා- 83*, ලක්මාල්- 68/3) 

ශ්‍රී ලංකා පළමු ඉනිම-  713/9, (කුසල්- 196, ධනංජය- 173, රොෂේන්- 109, ටයිජුල්- 219/4)

බංග්ලාදේශ දෙවන ඉනිම- 307/5, (මොමිනුල්- 105, ලිටන්- 94, හේරත්- 80/2)

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණා 

තරගයේ වීරයා- මොමිනුල් හක් 

තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වුණු මොහොත – gettyimages.com

 

මීර්පූර් නුවර ෂෙරේ බංග්ලා පිටියේ පැවති දෙවන ටෙස්ට් තරගයේ දී කණ්ඩායම් දෙකේ ම දඟපන්දු යවන්නන්ගේ දස්කම් ඉස්මතු වුණා. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 222 ක්ද, දෙවන ඉනිමේ දී ලකුණු 226 ක් ද ලබාගත්තා. එහි දී රොෂේන් සිල්වා පිත්තෙන් දස්කම් දක්වමින් පළමු ඉනිමේ දී ලකුණු 56ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 70ක් ලබා ගත්තා. 

රොෂේන් පිත්තෙන් දස්කම් දක්වමින් (gettyimages.com)

 

මෙම තරගය පුරාවට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්  පන්දු යැවීම විශිෂ්ට අයුරින් සිදු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 110කට නිමාව දකිද්දී දෙවන ඉනිම ද ලකුණු 123කට සීමා වුණා.

එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු අකිල ධනංජය සිය මංගල ටෙස්ට් තරගයට  සහභාගි වෙමින් සමස්ත තරගය පුරාවට ලකුණු 44කට කඩුලු 8ක් බිඳ දැමුවා. ඒ අයුරින් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් දැක්වූ දස්කම් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 215ක පහසු ජයක් උරුම වුණා.

පන්දුවෙන් දස්කම් දැක්වූ අකිල ධනංජය – gettyimages.com

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම- 222/10, (මෙන්ඩිස්- 68,  රොෂේන්- 56, රසාක්- 63/4, ටයිජුල්- 83/4)

බංග්ලාදේශ පළමු ඉනිම- 110/10, (මෙහෙදි- 38*,  අකිල- 20/3, ලක්මාල්- 25/3)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 226/10, (රොෂේන්- 70*, දිමුත්- 32, ටයිජුල්- 76/4, මුස්ටෆිසුර්- 49/3)

බංග්ලාදේශ දෙවන ඉනිම- 123/10, (මොමිනුල්- 33, අකිල- 24/5, හේරත්- 49/4)

ශ්‍රී ලංකාවට ලකුණු 215ක ජයක් 

තරගයේ වීරයා- රොෂේන් සිල්වා 

තරගාවලියේ වීරයා- රොෂේන් සිල්වා 

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages.com

කවරයේ ඡායාරූපය - ශ්‍රී ලංකා - බංග්ලාදේශ 2009 ටෙස්ට් තරගාවලියේ දී තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් තිලකරත්න දිල්ෂාන් - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com

Howstat.com

cricbuzz.com  

Related Articles