Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොදෙව්වන් හමුවේ ශ්‍රී ලංකාව ලබාගත් 20/20 ජයග්‍රහණ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ 20/20 තරගාවලිවලට සහභාගි වීම සඳහා පසුගිය දිනෙක බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා සංචාරය කළා. එම තරග සංචාරය යටතේ මුලින්ම පැවැත්වෙන 20/20 තරගාවලිය මාර්තු 3 වැනිදා ආරම්භ වීමට නියමිත යි. 2009 වසරෙන් ආරම්භ වුණු ශ්‍රී ලංකා-කොදෙව් 20/20 තරග ඉතිහාසය තුළ මේ දක්වා තරග 11ක් පවත්වා තිබෙනවා. ඉන් ශ්‍රී ලංකාව තරග 6ක් ජයග්‍රහණය කරන විට කොදෙව්වන්ට හිමිවුණේ තරග 5ක ජයග්‍රහණය පමණ යි. අද මේ ලිපියෙන් අපි බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජයට පත්කරමින් ශ්‍රී ලංකාව ලබාගත් 20/20 තරග ජයග්‍රහණයන් 6 ගැන කතාකරමු.

ජයසූරිය සහ දිල්ෂාන් එක්ව ලබාදුන් ජයග්‍රහණය

2009 වසරේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් උරෙනුර ගැටුණා. එම තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායකයා ප්‍රතිවාදී කණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදීමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ජයසූරිය සහ දිල්ෂාන් ආරම්භයේ සිටම කොදෙව් පන්දු යවන්නන්ට එළව එළවා පහර එල්ල කළා. එම නිසා පන්දුවාර 6ක් අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 66/0 ලෙසින් සටහන් වුණා.

ඉන් පසුව සිය 20/20 දිවියේ සිව්වන අර්ධ ශතකය වාර්තා කළ ජයසූරිය නොනවත්වාම ප්‍රතිවාදීන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවාර 12.2ක් අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 124/0 බවට පත්ව තිබුණා. ශ්‍රී ලංකා ඉනිම එසේ ස්ථාවරව පැවති අවස්ථාවක ලෙන්ඩල් සිමන්ස් යොමුකළ මඳවේග පන්දුවකට රිවස් ස්වීප් පහරක් එල්ල කිරීමට ගිය ජයසූරිය කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවුණා. ඔහු අනවශ්‍ය පහරක් එල්ල කරමින් දැවීයද්දී පන්දු 47කින් ලකුණු 81ක් ලබාසිටියා. ඔහුගේ පිත්තෙන් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් එල්ලවී තිබුණා. 

ජයසූරියගේ නික්මයාමෙන් පසුව ක්‍රියාත්මක වුණු දිල්ෂාන් පන්දු 47කින් ලකුණු 74ක් ලබාගත්තේ හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමග යි. දිල්ෂාන් සහ ජයසූරිය ලබාගත් අර්ධ ශතක නිසා නියමිත පන්දුවාර 20 අවසානයේ දී ලකුණු පුවරුව 192/5 ලෙසින් සටහන් වුණා. එහි දී ශ්‍රී ලංකා පිතිකරුවන්ව පාලනය කළ සිමන්ස් ලකුණු 19කට කඩුලු 4ක් දවාගත්තා. 

ලකුණු 193ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබාගත්තා. එම නිසා පන්දුවාර 6.3ක් අවසන් වන විට කොදෙව් ලකුණු පුවරුව 70/1 ලෙසින් දිස්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තරගය ගිලිහීයමින් පැවති අවස්ථාවේ ක්‍රියාත්මක වුණු මුරලිදරන් සහ මෙන්ඩින් පන්දු 8ක් තුළ කඩුලු 3ක් දවාගත්තා. ඉන් පසුව සර්වාන් සහ බ්‍රාවෝ පන්දු 58කින් ලකුණු 77ක් එක්කළත් එය කොදෙව්වන් ජයග්‍රහණය කරා රැගෙන යාමට ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ අනුව නියමිත පන්දුවාර 20 තුළ කොදෙව් ඉනිම 177/5 ලෙසින් සීමාවුණා. 

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 192/5 (20), (ජයසූරිය- 81, දිල්ෂාන්- 74, සිමන්ස්- 19/4)

කොදෙව්- 177/5 (20), (බ්‍රාවෝ- 51, අජන්ත- 25/2, මුරලිදරන්- 21/1)

තරගයේ වීරයා- සනත් ජයසූරිය 

ජයසූරිය සහ දිල්ෂාන් පන්දුවට පහරදෙමින් (gettyimages)

දිල්ෂාන්ගේ හුදෙකලා සටන නිසා ලැබුණු ජයග්‍රහණය

2009 වසරේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් යළි මුණගැසුණා. එවරත් කාසියේ වාසිය පරාජය වීම නිසා ශ්‍රී ලංකා පිතිකරුවන්ට මුලින්ම පන්දුවට පහරදීමට සිදුවුණා. පිතිකරුවන්ට පන්දුවට පහරදීමට තරමක් අසීරු වුණු එම තණතීරුවේ දිල්ෂාන් හොඳින් පන්දුවට පහරදුන්නා. ඒ ඔහු තරගාවලිය පුරාම ලකුණු අතර සිටි නිසා යි. සිය වගකීම මනාව ඉටුකළ දිල්ෂාන් පන්දුවාර 20ම කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 57කින් නොදැවී ලකුණු 96ක් ලබාගත්තා. දිල්ෂාන්ගේ පිත්තෙන් වාර්තා වුණු එම ලකුණු 96 නිසා ශ්‍රී ලංකා ඉනිම 158/5 ලෙසින් නිමාව දුටුවා. 

ලකුණු 159ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොදෙව්වන්ට පළමු පන්දුවාරයේ දීම කඩුලු 3ක් අහිමි වුණා. මැතිව්ස්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ මාෂල්, සිමන්ස්, සහ බ්‍රාවෝ යන පිතිකරුවන් ලකුණු නොලබා දැවීගියා. ආරම්භයේ දී කඩා වැටුණු කොදෙව් ඉනිම යළි ගොඩනැගීමට ගේල් උත්සාහ කළත් සෙසු පිතිකරුවන්ගෙන් ඊට ප්‍රමාණවත් තරම් සහායක් ලැබුණේ නැහැ. එම නිසා කොදෙව් ඉනිම ලකුණු 101කට සීමාවුණා. කොදෙව් ඉනිමේ නැංගුරම වුණු ගේල් නොදැවී ලකුණු 63ක් ලබාගනිද්දී මැතිව්ස් සහ මුරලි කඩුලු 3 බැගින් දවාගත්තා.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 158/5 (20), (දිල්ෂාන්- 96*, බ්‍රාවෝ- 32/2)

කොදෙව්- 101/10 (17.4), (ගේල්- 63*, මැතිස්ව්- 16/3, මුරලිදරන්- 29/3, අජන්ත- 9/2)

තරගයේ වීරයා- තිලකරත්න දිල්ෂාන් 

දිල්ෂාන් පන්දුවට පහරදෙමින් (gettyimages)

මහේල සහ සංගක්කාරගේ සබඳතාවය නිසා උරුම වුණු ජයග්‍රහණය

කොදෙව් දේශයේ දී පැවති 2010 T20 තරගාවලියේ සුපිරි 8 වටයේ තරගයක දී ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් තරග වැදුණා. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 7දී දැවී ගියා. ඉන් අනතුරුව පිටියේ එක්වුණු මහේල සහ සංගක්කාර ක්‍රමයෙන් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුවා. එහි දී කිමා රෝච් හැර සෙසු පන්දු යවන්නන් දරුණු ප්‍රහාරයකට ලක්වුණා. 

අවසානයේ දී පන්දු 99කින් ලකුණු 166ක සබඳතාවයක් වාර්තා කළ සංගක්කාර සහ මහේල එම අවධියේ දී 20/20 තරගයක දෙවන කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු හොඳම සබඳතාවය ඔවුන්ගේ නම් ඉදිරියේ සටහන් කරගත්තා. 2020 වසර දක්වාම පැවති එම වාර්තාව පසුව එංගලන්තයේ ජෝස් බට්ලර් සහ ඩේවිඩ් මලාන් විසින් බිඳ දැමුනා. එදා මහේල පන්දු 56කින් නොදැවී ලකුණු 98ක් ද, සංගක්කාර ලකුණු 68ක් ද ලබාගත් නිසා ශ්‍රී ලංකා ඉනිම 195/3 ලෙස නිමාව දුටුවා.

ලකුණු 196ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොදෙව්වන් එක් අවස්ථාවක කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 76ක් ලබා සිටියා. එම අවස්ථාවේ දී මාලිංග සහ අජන්ත කඩුලු 3 බැගින් ලබාගෙන දැක්වූ දස්කම් නිසා නියමිත පන්දුවාර 20 අවසානයේ දී කොදෙව්වන්ට කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 138ක් පමණ යි.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 195/3 (20), (මහේල- 98*, සංගක්කාර- 68, රෝච්- 28/2)

කොදෙව්- 138/8 (20), (සර්වාන්- 28, අජන්ත- 24/3, මාලිංග- 28/3)

තරගයේ වීරයා- මහේල ජයවර්ධන

3) මහේල සහ සංගක්කාර සබඳතාවය අතරතුර (gettyimages)

මව්බිමේ දී ලබාගත් කඩුලු 9ක ජයග්‍රහණය

2012 වසරේ පැවති 20/20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබාදුන්නා. එවර තරගාවලිය යටතේ පැවති සුපිරි 8 වටයේ තරගයක දී ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් උරෙනුර ගැටුණා. එදා කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 129ක් ලබාගත්තා. එහි දී සැමුවෙල්ස් ලකුණු 50ක් සහ බ්‍රාවෝ ලකුණු 40ක් ලබාගෙන පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වුණත් සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට හැකිවුණේ නැහැ. එදා කොදෙව් පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කළ අජන්ත මෙන්ඩිස් ලකුණු 12කට කඩුලු 2ක් දවාගත්තා.

ලකුණු 130ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 15.2ක් තුළ කඩුලු 1ක් පමණක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. එහි දී අගනා ඉනිමක් ක්‍රීඩාකළ මහේල නොදැවී ලකුණු 65ක් වාර්තා කරන විට සංගක්කාර නොදැවී ලකුණු 39ක් ලබාගත්තා.

කෙටි ලකුණු පුවරුව 

කොදෙව්- 129/5 (20), (සැමුවෙල්ස්- 50, අජන්ත- 12/2)

ශ්‍රී ලංකාව- 130/1 (15.2), (මහේල- 65*, රාම්පෝල්- 39/1)

තරගයේ වීරයා- මහේල ජයවර්ධන

මහේලගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

2014 ලෝක කුසලානයේ දී ලබාගත් ජයග්‍රහණය

2014 වසරේ දී 20/20 ලෝක ශූරයන් ලෙස අභිෂේක ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එවර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී හමුවුණේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් දෙක යි. එදා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 49කට දැවී අසීරු තත්ත්වයකට පත්ව සිටියා. එම අවස්ථාවේ දී තිරිමාන්න, මැතිව්ස්, සහ දිල්ෂාන් වගකීමෙන් පන්දුවට පහරදුන් නිසා ශ්‍රී ලංකා ඉනිම 160/6 ලෙසින් නිමාව දුටුවා. තිරිමාන්නගේ පිත්තෙන් ලකුණු 44ක් වාර්තා වූ අතර, මැතිව්ස් සහ දිල්ෂාන් පිළිවෙලින් ලකුණු 40ක් සහ 39ක් ලබාගත්තා. 

ලකුණු 161ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 13.5ක් අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 80ක් ලබා සිටියා. එම අවස්ථාවේ දී ක්‍රීඩාංගනයට වර්ෂාව ඇදවැටුණු නිසා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාවට ලකුණු 27ක ජයක් උරුම වුණා.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 160/6 (20), (තිරිමාන්න- 44, මැතිව්ස්- 40, සැන්ටෝකි- 46/2)

කොදෙව්- 80/4 (13.5), (ඩ්වේන් බ්‍රාවෝ- 30, මාලිංග- 5/2)

තරගයේ වීරයා- ඇන්ජලෝ මැතිව්ස් 

කඩුල්ලක් දවාගැනීම සමරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් (gettyimages)

කොදෙව්වන් හමුවේ ලබාගත් අවසන් 20/20 ජයග්‍රහණය

2015 වසරේ දී ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර තරග 2කින් සමන්විත 20/20 තරගාවලියක් පැවැත්වුණා. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති පළමු තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 215ක් ලබාගත්තා. එහි දී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු දිල්ෂාන් පන්දු 37කින් ලකුණු 56ක් ලබාගත්තා. එසේම ශ්‍රී ලංකා ඉනිම හොඳින් අවසන් කළ චන්දිමාල් පන්දු 19කින් නොදැවී ලකුණු 40ක් ලබාගත් අතර, මැතිව්ස් පන්දු 13කින් නොදැවී ලකුණු 37ක් ලබාගත්තා. 

ජයග්‍රහණය සඳහා ලකුණු 216ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය කොදෙව්වන්ට හොඳ ආරම්භයක් ලබාදුන් ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් පන්දු 25කින් ලකුණු 57ක් ලබාගත්තා. නමුත් සෙසු පිතිකරුවන්ට අපේක්ෂිත දස්කම් අතරට පැමිණීමට නොහැකි වුණු නිසා කොදෙව් ඉනිම ලකුණු 185කට සීමාවුණා. දක්ෂ පන්දුයැවීමක නිරතවුණු සචිත්‍ර සේනානායක ලකුණු 46කට කඩුලු 4ක් දවාගනිමින් තරගයේ වීරයා සම්මානය හිමිකරගත්තා.  

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 215/3 (20), (දිල්ෂාන්- 56, චන්දිමාල්-40*, පොලාර්ඩ්- 42/2)

කොදෙව්- 185/10 (19.5), (ෆ්ලෙචර්- 57, සේනානායක- 46/4, මාලිංග- 19/2)

තරගයේ වීරයා- සචිත්‍ර සේනානායක

සේනානායක කඩුල්ලක් දවාගත් අවස්ථාව (gettyimages)

 

 

කවරයේ ඡායාරූපය- මහේල සහ සංගක්කාර ගොඩනැගූ ලකුණු 166ක සබඳතාවය අතරතුර (gettyimages)

Related Articles