එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් ටෙස්ට් කඩුලු 500 සමාජයට

ටෙස්ට් කඩුලු 500ක් ලබාගැනීම ඕනෑම පන්දු යවන්නෙකු සිය ක්‍රිකට් දිවිය තුළ සැබෑ කරගැනීමට උත්සාහ දරන සිහිනයක්. වසර 143ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ එම අසීරු සිහිනය සැබෑ කරගත්තේ පන්දු යවන්නන්  හත්දෙනෙකු පමණ යි. පසුගිය දිනවල එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර විස්ඩන් කුසලානය වෙනුවෙන් පැවති ටෙස්ට් තරගාවලියේ දී ස්ටුවර්ට් බ්‍රෝඩ් නම් එංගලන්ත පන්දු යවන්නා ටෙස්ට් කඩුලු 500 සීමාව පසු කළ 7 වැනි පන්දු යවන්නා ලෙසින් ඉතිහාසගත වුණා. මේ බ්‍රෝඩ් ටෙස්ට් කඩුලු 500ක් ලබාගැනීම දක්වා පැමිණි ගමන් මඟ පිළිබඳව ආපසු හැරී බැලීමක්.

2007 වසරේ දී ටෙස්ට් වරම් හිමිකර ගනියි  

2007 වසරේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය ක්‍රියාත්මක වුණේ කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී යි. එම ටෙස්ට් තරගයේ දී ස්ටුවර්ට් බ්‍රෝඩ් නම් යොවුන් වේගපන්දු යවන්නා ටෙස්ට් වරම් ලබාගත්තේ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත් 638 වැනි ක්‍රීඩකයා බවට පත්වෙමින්. නමුත් එම ටෙස්ට් තරගයේ දී අපේක්ෂිත දස්කම් අතරට පැමිණීමට අසමත් වුණු බ්‍රෝඩ් ප්‍රතිවාදී කණ්ඩායමට ලකුණු 95ක් ලබා දී දවාගත්තේ එක් කඩුල්ලක් පමණ යි. එහි දී බ්‍රෝඩ් සිය මංගල ටෙස්ට් කඩුල්ල ලෙසින් දවාගනු ලැබුවේ චමින්ද වාස්ගේ කඩුල්ල යි. 

බ්‍රෝඩ් සිය මංගල ටෙස්ට් කඩුල්ල ලබාගනිමින් (gettyimages)

 

අසාර්ථක මාස 15ක් 

මංගල ටෙස්ට් තරගයේ දී අසාර්ථක වුණු ස්ටුවර්ට් බ්‍රෝඩ්ට ඊළඟ ටෙස්ට් තරගයේ දී කණ්ඩායමේ ස්ථානය අහිමිව ගියා. නමුත් 2008 වසරේ දී පැවති නවසීලන්ත සංචාරයේ දී ඔහුටයළි කණ්ඩායමේ ස්ථානය හිමි වුණා. එතැන් සිට අඛණ්ඩව එංගලන්ත කණ්ඩායම නියෝජනය කළ මෙම තරුණ වේග පන්දු යවන්නාට සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මුල් මාස 15 එතරම් සුභදායී වුණේ නැහැ. ඔහුට එම කාලය තුළ ක්‍රීඩා කළ ටෙස්ට් තරග 10දී ලබාගත හැකි වුණේ කඩුලු 25ක් පමණ යි. 

කොදෙව්වන්ට එරෙහිව ලබාගත් මුල්ම කඩුලු 5

2009 වසරේ කිංග්ස්ටන් නුවර සැබීනා පාක් පිටියේ දී පැවති කොදෙව්-එංගලන්ත ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය සියලුදෙනාම දැවී ලකුණු 318ක් ලබාගත්තා. ඉන් පසුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් එක් අවස්ථාවක කඩුල්ලක් පමණක් දැවී ලකුණු 220ක් ලබා සිටියා. එම අවස්ථාවේ දී මනරම් පන්දු යැවීමක නිරත වුණු බ්‍රෝඩ් ලකුණු 85කට කඩුලු 5ක් දවාගත්තේ කොදෙව් පළමු ඉනිම ලකුණු 392කට සීමා කරමින්. එදා බ්‍රෝඩ් සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ දී මුල්ම වරට ඉනිමක කඩුලු 5ක් දවාගෙන දක්ෂ පන්දු යැවීමක නිරත වුණත් එංගලන්තයට අනපේක්ෂිත පරාජයක් උරුම වුණේ දෙවන ඉනිමේ දී ලකුණු 51කට දැවීයාම නිසා යි.

බ්‍රෝඩ්ගේ පන්දුවක් හමුවේ ගේල් දැවීගිය අවස්ථාව (gettyimages)

2009 අළුබඳුන ජයග්‍රහණයේ නියමුවෙකු වෙයි 

2009 වසරේ පැවති අළුබඳුන තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළේ එංගලන්ත කණ්ඩායම යි. එවර තරගාවලියේ මුල් තරග 4 අවසානයේ දී කණ්ඩායම් 2ම තරගය බැගින් ජයග්‍රහණය කර තිබුණා. එම නිසාම  තරගාවලියේ ජයග්‍රාහකයන් තීරණය කිරීමට නියමිතව තිබුණේ අවසන් ටෙස්ට් තරගයේ දීයි. එදා කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 332ක් ලබාගත්තා. ඉන් පසුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානුවන් එක් අවස්ථාවක කිසිවෙකු නොදැවී ලකුණු 73ක් ලබා සිටියා. එලෙස කැංගරුවන් තරගයේ පාලනය ඔවුන්ගේ අතට ගැනීමට මාන බලමින් සිටි මොහොතක දක්ෂ පන්දු යැවීමක නිරත වුණු බ්‍රෝඩ් ලකුණු 37කට කඩුලු 5ක් දවාගත්තේ ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 160කට සීමා කරමින්. එදා බ්‍රෝඩ් විසින් සිදුකළ සුපිරි පන්දු යැවීම නිසා අවසානයේ දී එංගලන්තයට ලකුණු 197ක ජයක් හිමි වුණා. එහි දී තරගයේ වීරයා සම්මානය හිමිකරගත් බ්‍රෝඩ් අළුබඳුන යළි සිය රටට උරුමකර දීමට විශිෂ්ට මෙහෙවරක් ඉටු කළා. එම තරගාවලිය පුරාවටම කඩුලු අතර සිටි බ්‍රෝඩ් කඩුලු 18ක් දවාගනිමින් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් එංගලන්ත පන්දු යවන්නා බවට පත් වුණා. එසේම පිත්තෙන් ද සාර්ථක වුණු බ්‍රෝඩ් අර්ධ ශතක 2ක් සමගින් ලබාගත් ලකුණු 234 ලබාගැනීමට සමත් වුණා.

බ්‍රෝඩ් පන්දුවෙන් දස්කම් දක්වමින් (gettyimages)

21 වැනි සියවසේ දී හොඳම ටෙස්ට් පන්දු යැවීම 

21 වැනි සියවසේ වේග පන්දු යවන්නෙකු විසින් ටෙස්ට් ඉනිමක දී වාර්තා කළ හොඳම පන්දු යැවීම සටහන් වී ඇත්තේ ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ නම ඉදිරියේ යි. 2015 අළුබඳුන තරගාවලිය යටතේ ටෙන්ර් බ්‍රිජ් පිටියේ පැවති තරගයේ දී බ්‍රෝඩ් ලකුණු 15කට කඩුලු 8ක් දවාගනිමින් සිදු කළ සුපිරි පන්දු යැවීම නිසා ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 60කට සීමා වුණා. එදා බ්‍රෝඩ්ගේ දක්ෂ පන්දු යැවීම නිසාම එංගලන්තයට ඉනිමක සහ ලකුණු 78ක ජයක් හිමි වුණා. එසේම අළුබඳුන තරගාවලිය ද තරගයක් ඉතිරිව තිබිය දී ජයගැනීමට හැකි වුණා.

බ්‍රෝඩ් කඩුල්ලක් දවාගනිමින් (gettyimages)

බ්‍රෝඩ්ගේ තවත් සුපිරි පන්දු යැවීම් 

බ්‍රෝඩ් ටෙස්ට් තරගයක දී හොඳම පන්දු යැවීම සිදුකර තිබෙන්නේ 2013 අළුබඳුන තරගාවලිය යටතේ පැවති සිව්වන ටෙස්ට් තරගයේ දීයි. එදා බ්‍රෝඩ් සමස්ත තරගය පුරාවටම ලකුණු 121කට කඩුලු 11ක් දවාගත්තේ තරගයේ වීරයා සම්මානය හිමිකරගනිමින්. බ්‍රෝඩ්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ දී ඉනිමක කඩුලු 5 බැගින් දවාගත් අවස්ථාවන් 18ක් සටහන් වනවා. පහත දක්වා ඇත්තේ ඔහු විසින් සිදු කළ හොඳම පන්දු යැවීම් 5 යි. 

1) 15/8- ඕස්ට්‍රේලියාවට එරෙහිව (2015 වසරේ දී)

2) 44/7- නවසීලන්තයට එරෙහිව (2013 වසරේ දී)

3) 72/7- කොදෙව්වන්ට එරෙහිව (2012 වසරේ දී)

4) 17/6- දකුණු අප්‍රිකාවට එරෙහිව (2016 වසරේ දී)

5) 25/6- ඉන්දියාවට එරෙහිව (2014 වසරේ දී)

වැඩිම ටෙස්ට් කඩුලු ත්‍රිත්ව ලාභීන් අතරට 

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ කඩුලු ත්‍රිත්ව දෙක බැගින් ලබාගත් පන්දු යවන්නන් සිව්දෙනෙකු හමුවනවා. එම පන්දු යවන්නන් සිව්දෙනා අතරට එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් ද ඇතුළත් වනවා. පහත දැක්වෙන්නේ එම පන්දු යවන්නන් සිව්දෙනා යි.

1) හියූ ට්‍රම්බල් (ඕස්ට්‍රේලියාව)

2) ජිමී මැතිව්ස් (ඕස්ට්‍රේලියාව)

3) වසීම් අක්‍රම් (පාකිස්ථානය)

4) ස්ටුවර්ට් බ්‍රෝඩ් (එංගලන්තය)

ඉහත පන්දු යවන්නන් අතුරින් ජිමී මැතිව්ස් සිය කඩුලු ත්‍රිත්වයන් 2ම ලබාගත්තේ 1912 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයක දී යි. එසේම වසීම් අක්‍රම් සිය කඩුලු ත්‍රිත්වයන් දෙක ලබාගත්තේ 1999 ආසියානු ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව පිට පිටම පැවති තරග 2ක දීයි. පහත දැක්වෙන්නේ ස්ටුවර්ට් බ්‍රෝඩ් කඩුලු ත්‍රිත්ව‍යන් ලබාගත් තරග පිළිබඳ තොරතුරු යි.

1) 2011 වසරේ ඉන්දියාවට එරෙහිව ට්‍රෙන්ට් බ්‍රිජ්හි දී පැවති ටෙස්ට් තරගයේ දී මහේන්ද්‍ර සිං දෝනි, හර්බජාන් සිං, සහ ප්‍රවීන් කුමාර්ව දවාගනිමින් කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළා.

2) 2014 වසරේ ලංකාවට එරෙහිව හෙඩිංග්ලිහි දී පැවති ටෙස්ට් තරගයේ දී කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, සහ ශාමින්ද එරංගව දවාගනිමින් කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළා.

ඉන්දියාවට එරෙහිව කඩුලු ත්‍රිත්වය ලබාගත් මොහොත (gettyimages)

කඩුලු 500ක් දක්වා පැමිණි ගමන් මඟ 

ස්ටුවර්ට් බ්‍රෝඩ් කඩුලු 500 දක්වා පැමිණි ගමනේ දී කඩයිම් කඩුලු ලෙසින්  දවාගත්තේ පහත පිතිකරුවන් 11 දෙනාව යි.

1 වැනි කඩුල්ල- චමින්ද වාස් (ශ්‍රී ලංකාව)- 2007 වසරේ දී 

50 වැනි කඩුල්ල- මයික් හසී (ඕස්ට්‍රේලියාව)- 2009 වසරේ දී 

100 වැනි කඩුල්ල- ප්‍රසන්න ජයවර්ධන (ශ්‍රී ලංකාව)- 2011 වසරේ දී 

150 වැනි කඩුල්ල- ඩැරන් සැමී (කොදෙව්)- 2012 වසරේ දී 

200 වැනි කඩුල්ල- ක්‍රිස් රොජර්ස් (ඕස්ට්‍රේලියාව)- 2013 වසරේ දී 

250 වැනි කඩුල්ල- බුවනේෂ්වර් කුමාර් (ඉන්දියාව)- 2014 වසරේ දී 

300 වැනි කඩුල්ල- ස්ටීව් ස්මිත් (ඕස්ට්‍රේලියාව)- 2015 වසරේ දී 

350 වැනි කඩුල්ල- මොහොමඩ් අමීර් (පාකිස්ථානය- 2016 වසරේ දී 

400 වැනි කඩුල්ල- බී.ජේ වොට්ලිං (නවසීලන්තය)- 2018 වසරේ දී 

450 වැනි කඩුල්ල- ඩේවිඩ් වෝනර් (ඕස්ට්‍රේලියාව)- 2019 වසරේ දී 

500 වැනි කඩුල්ල- ජර්මෙයින් බ්ලැක්වුඩ් (කොදෙව්)- 2020 වසරේ දී 

බ්‍රෝඩ් 500 වැනි කඩුල්ල දවාගත් අවස්ථාව (gettyimages)

කවරයේ ඡායාරූපය- බ්‍රෝඩ් ටෙස්ට් වරම් ලබාගත් අවස්ථාව (gettyimages)

Related Articles

Exit mobile version