
ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් වන ක්‍රීඩා අතුරින් මලල ක්‍රීඩාවට සුවිශේෂී ස්ථානයක් හිමි වනවා. එම නිසාම ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව්වල වාර්තා පිහිටුවන ක්‍රීඩකයන් කාගේත් අවධානය දිනාගන්නවා. එලෙස බිහි වන බොහොමයක් වාර්තා ඉක්මනින්ම බිඳී ගියත්, සමහර වාර්තා චිරාත් කාලයක් පවතිනවා. එසේ නම්, මෙම ලිපිය ලියැවෙන්නේ දිගු කලක් නොබිඳී පවතින ඔලිම්පික් මලල ක්‍රීඩා වාර්තා පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි.
බොබ් බීමන් (ඇමරිකාව)- පිරිමි දුර පැනීම
1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් තරගාවලියේ පිරිමි දුර පැනීමේ ඉසව්ව කාගේත් අවධානය දිනාගත්තේ ගුරුවරයා සහ ගෝලයා එහි දී තරග වැදුණු නිසා යි. එදා සිය ගුරුවරයා වුණු රැල්ෆ් බොස්ටන්ව පරාජය කළ බොබ් බීමන්, මීටර් 8.90ක දුරක් පැන්නේ ලෝක වාර්තාවක් මෙන්ම ඔලිම්පික් වාර්තාවක් ද පිහිටවමින්. එලෙස බීමන් තැබූ ඔලිම්පික් වාර්තාව බිඳ දැමීමට මයික් පවෙල් සහ කාල් ලුවිස් ප්‍රබල උත්සාහයක නිරත වුණත්, ඔවුන්ට එය අබිබවා යාමට හැකි වුණේ නැහැ. එම නිසාම දැනට ඉතිරිව පවතින පැරණිම ඔලිම්පික් මලල ක්‍රීඩා වාර්තාව වන්නේ බොබ් බීමන්ගේ දුර පැනීමේ වාර්තාව යි.

නඩිස්ඩා ඔලිසරෙන්කෝ (සෝවියට් රුසියාව)- කාන්තා මීටර් 800
1980 මොස්කව් ඔලිම්පික් තරගාවලිය යටතේ පැවති කාන්තා මීටර් 800 ඉසව්ව විනාඩි 1:53:46කින් නිමා කළ සෝවියට් රුසියාවේ නඩිස්ඩා ඔලිසරෙන්කෝ නව ඔලිම්පික් වාර්තාවක් පිහිටවනු ලැබුවා. 2008 බීජිං ඔලිම්පික් තරගාවලියේ දී නඩිස්ඩා තැබූ වාර්තාව අසලටම පැමිණීමට කෙන්යාවේ පැමෙලා ජෙලිමෝ සමත් වුණත්, ඉන්පසුව කිසිදු ක්‍රීඩිකාවට එම වාර්තාවට අභියෝග කිරීමට හැකි වුණේ නැහැ.

ලෝනා ස්ලුපියනැක් (නැගෙනහිර ජර්මනිය)- කාන්තා යගුලිය විසි කිරීම
1980 මොස්කව් ඔලිම්පික් තරගාවලියේ කාන්තා යගුලිය විසි කිරීමේ ඉසව්ව ජයග්‍රහණය කළේ නැගෙනහිර ජර්මනිය නියෝජනය කළ ලෝනා ස්ලුපියනැක් නම් ක්‍රීඩිකාව යි. එහි දී ඇය මීටර් 22.41ක දුර ප්‍රමාණයක් විසි කරමින් පිහිට වූ ඔලිම්පික් වාර්තාවට අභියෝග කිරීමට කිසිදු ක්‍රීඩිකාවකට මේ දක්වා හැකියාව ලැබුණේ නැහැ.

ෆ්ලෝරන්ස් ග්‍රිෆිත් ජොයිනර් (ඇමරිකාව)- කාන්තා මීටර් 100 සහ 200
1988 සියොල් ඔලිම්පික් උළෙල ඇමරිකානු කෙටි දුර ධාවන ශූරියක වුණු ෆ්ලෝරන්ස් ග්‍රිෆිත් ජොයිනර්ට අමතක නොවන තරගාවලියක් වුණා. එම තරගාවලිය යටතේ පැවති මීටර් 100 සහ 200 ඉසව් යුගලයම ඇය ජයග්‍රහණය කළේ නව ඔලිම්පික් වාර්තා දෙකක් පිහිටුවමින්. පසු කලෙක දක්ෂ කෙටි දුර ධාවන ශූරියන් රැසක් ඔලිම්පික් තරග බිමේ දී දක්නට ලැබුණත්, ග්‍රිෆිත් ජොයිනර්ගේ වාර්තා යුගලය බිඳ දැමීමට කිසිදු ක්‍රීඩිකාවකට හැකි වුණේ නැහැ.

පවුලා ඉවාන් (රුමේනියාව)- කාන්තා මීටර් 1500
රුමේනියානු ක්‍රීඩිකාවක වුණු පවුලා ඉවාන්, 1988 සියොල් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 1500 ඉසව්ව ජයග්‍රහණය කළේ ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින්. එදා ඇය වාර්තා කළ විනාඩි 3:53:96ක කාලයට පසු කලෙක අභියෝග කළේ ඇල්ජීරියානු ක්‍රීඩිකාවක් වුණු හසීබා පමණ යි. ඒ, 1992 බාර්සිලෝනා ඔලිම්පික් තරගාවලියේ දී මීටර් 1500 ඉසව්ව විනාඩි 3:55:30කින් නිමාවට පත් කරමින්. නමුත්, ඉන් අනතුරුව පැවති ඔලිම්පික් තරගාවලිවල දී කිසිදු ක්‍රීඩිකාවකට ඉවාන්ගේ ඔලිම්පික් වාර්තාව අසලට පැමිණීමට නොහැකි වුණු නිසා එය වසර 31ක් තවමත් සුරැකිව පවතිනවා.

ජැකී ජොයිනර්-කර්සි (ඇමරිකාව)- කාන්තා දුර පැනීම සහ සප්තප්‍රයාම
1988 සියොල් ඔලිම්පික් තරගාවලියේ තවත් කැපී පෙනෙන තරුවක් බවට පත් වුණේ ජැකී ජොයිනර්-කර්සි නම් ඇමරිකානු මලල ක්‍රීඩිකාව යි. එම තරගාවලිය යටතේ පැවති කාන්තා දුර පැනීමේ ඉසව්වේ දී මීටර් 7.40ක දුරක් වාර්තා කළ ජොයිනර්-කර්සි රන් පදක්කම දිනාගත්තේ ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින්. ඉන් නොනැවතුණු ඇය, සප්තප්‍රයාම ඉසව්වෙන් ද ලකුණු 7,291ක් ලබාගනිමින් රන් පදක්කම දිනාගත්තේ තවත් ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින්.

මාටිනා හෙල්මන් (නැගෙනහිර ජර්මනිය)- කාන්තා කවපෙත්ත විසි කිරීම
1988 සියොල් ඔලිම්පික් තරගාවලියේ කාන්තා කවපෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගනු ලැබුවේ මාටිනා හෙල්මන් නම් නැගෙනහිර ජර්මානු ක්‍රීඩිකාව යි. එහි දී ඇය වාර්තා කළ දුර ප්‍රමාණය වුණු මීටර් 72.30 ඔලිම්පික් වාර්තාවක් ලෙසින් සටහන් වුණා. එලෙස ඇය පිහිට වූ වාර්තාව පසුගිය වසර 31 තුළ බිඳ දැමීමට කිසිදු ක්‍රීඩිකාවකට හැකි වුණේ නැහැ.

කාන්තා මීටර් 4×400 සහාය දිවීම- සෝවියට් රුසියාව
තවමත් නොබිඳී පවතින ඔලිම්පික් වාර්තා රැසක් බිහි වූ 1988 සියොල් ඔලිම්පික් තරගාවලියේ දී සටහන් වුණු තවත් වාර්තාවක් වන්නේ කාන්තා මීටර් 400 සහාය දිවීමේ තරගයේ දී සෝවියට් රුසියානු කාන්තා කණ්ඩායම පිහිටුවනු ලැබූ වාර්තාව යි. එහි දී විනාඩි 3:15:17ක කාලයක් වාර්තා කරමින් සෝවියට් රුසියානු ක්‍රීඩිකාවන් බිඳ දැමුවේ 1984 ඔලිම්පික් තරගාවලියේ දී ඇමරිකානු ක්‍රීඩිකාවන් විසින් පිහිටුවා තිබුණු වාර්තාව යි.
