Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2003 ලෝක කුසලාන තරගාවලියේ දී චමින්ද වාස් දැක්වූ සුපිරි දස්කම්

චමින්ද වාස් යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ දක්නට ලැබුණු අද්විතීය පන්දු යවන්නෙක්. වාස්  සතුව වැඩි වේගයක් නොතිබුණත් දෝලනය තුළින් කඩුලු ලබාගැනීමට ඔහු දැක්වුවේ පුදුම හපන්කමක්. එම නිසාම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බොහෝ වාර්තා සමග ඔහුගේ නම කියවුනා. එලෙස තම රටේ නම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ඉදිරියට ගෙනයාමට උරදුන් වාස් 2003 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වුණේ එම අවදියේ ශේන් වෝන් සහ ජෙෆ් ඇලට්ගේ සම ලෝක කුසලාන වාර්තාවක් අභිබවා යමින්. එසේ නම් මෙම ලිපිය වෙන්වන්නේ එම ලෝක කුසලාන තරගාවලිය තුළ වාස් දැක්වූ දස්කම් පිළිබඳව ඔබගේ මතකය අලුත් කිරීමට යි.

මූලික වටයේ තරගවලදී වාස්ගෙන් ලෝක වාර්තාවක් 

තරගාවලියේ B කාණ්ඩය යටතේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී නවසීලන්තය, බංගලිදේශය, කැනඩාව, 

කෙන්යාව, බටහිර ඉන්දීය කොදෙව්, සහ දකුණු අප්‍රිකාව යන රටවල්වලට එරෙහිව තරග කළා. එහිදී ඉතාමත් දක්ෂ ලෙස පන්දු යැවූ වාස් ලබාගත් කඩුලු ප්‍රමාණය 16ක්. ඉන් නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු තරගවල දී වාස්ට කඩුලු ලබාගැනීමට නොහැකි වුණත් ඉතිරි තරග 4 තුළ දී ඔහු දස්කම් දැක්වූයේ පහත ආකාරයට යි.

බංගලිදේශයට එරෙහිව විරල ලෝක වාර්තාවක් තැබූ වාස් 

බංගලාදේශ කණ්ඩායමට එරෙහිව තරගය පීටමැරිස්බර්ග් නුවර සිටි ඕවල් පිටියේ දී පැවැත්වුණා. එම  තරගයේ කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන්නේ බංගලිදේශ කණ්ඩායම යි. එහිදී ඔවුන්ගේ  පළමු කඩුලු 3ම තරගයේ පළමු පන්දු වාරයේ මුල්ම පන්දු 3න් දවාගෙන විරල ගණයේ කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට වාස් සමත් වුණා. එහිදී වාස්ගේ පන්දු හමුවේ දැවීගියේ හනාන් සර්කාර්, මොහොමඩ් අෂ්රෆුල්, සහ එෂනුල් හක් යන පිතිකරුවනු යි.

වාස් කඩුලු ත්‍රිත්වය ලබාගත් අවස්ථාව (gettyimages)

එම කඩුලු 3ම දවාගැනීමෙන් අනතුරුව සන්වර් හුසේන්ගේ කඩුල්ල ද දවාගත් වාස් එක්දින තරගයක පන්දුවාරයක් තුළ වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගත් පන්දු යවන්නා ලෙසින් තවත් ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබුවේ පළමු පන්දුවාරය තුළ දීම ප්‍රතිවාදී කණ්ඩායම අන්දමන්ද කරමින්.

වාස්ගේ පළමු පන්දුවාරය අවසානයේ දී බංගලාදේශ ලකුණු පුවරුව දිස්වුණු ආකාරය (gettyimages)

එදා පළමු පන්දුවාරයේ දීම සාර්ථක ආරම්භයක් ලබාගත් වාස් අවසානයේ දී ලකුණු 25කට කඩුලු 6ක් ලබාගත්තේ ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුගේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින්. එහිදී වාස් අතින් බිඳ වැටුණේ 1983 ලෝක කුසලාන තරගාවලියේ අසන්තා ද මෙල් නවසීලන්ත කණ්ඩායම හමුවේ වාර්තා කර තිබුණු 32/5ක වාර්තාව යි.

කැනඩාවට එරෙහිව තැබූ ලෝක වාර්තාවට වාස්ගෙන් ලැබුණේ විශාල සහායක් 

කැනඩා කණ්ඩායමට එරෙහිව පාල් නුවර බෝලන්ඩ් පාක් පිටියේ පැවති තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන්නේ කැනඩා කණ්ඩායම යි. එහිදී ඔවුන්ගේ කණ්ඩායමේ සියලුම පිතිකරුවන් පන්දුවාර 18.4ක් තුළ ලකුණු 36කට දැවීගියේ චමින්ද වාස් සහ ප්‍රභාත් නිස්සංක මැනවින් පන්දු යැවූ නිසා යි. එදා ලෝක කුසලාන තරගයක කණ්ඩායමක් දවාගත් අඩුම ලකුණු ප්‍රමාණයේ වාර්තාව සඳහා ඉහළ දායකත්වයක් ලබාදුන් වාස් එහිදී ලකුණු 15කට දවාගත් කඩුලු ප්‍රමාණය 3ක්.

වාස් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් (gettyimages)

කෙන්යාවට එරෙහිව පරාජය ලැබුවත් වාස්ගෙන් ඉහළ දස්කම් 

නයිරෝබි නුවර ජිම්කානා පිටියේ පැවති මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 53කින් පරාජයට පත්වුණා. එහිදී තම වගකීම මනාව ඉටුකළ චමින්ද වාස් කෙන්යානු ඉනිම නියමිත පන්දුවාර 50 තුළ 210/9ක් ලෙසින් සීමා කිරීම සඳහා සිය දායකත්වය ලබාදුන්නේ ලකුණු 41කට කඩුලු 3ක් දවාගැනීමෙන්.

කොදෙව් තරග ජයග්‍රහණයේ නියමුවා වුණු වාස් 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කේප්ටවුන්හි නිව්ලන්ඩ්ස් පිටියේ දී පැවති මෙම තීරණාත්මක තරගයේ දී කොදෙව්වන්ට ලැබුණේ ලකුණු 229ක ඉලක්කයක්. එහිදී චමින්ද වාස් කොදෙව් මුල් කඩුලු 2ම ලකුණු 27ක් තුළ දවාගත්තත්, ක්‍රිස් ගේල් ඉතාමත්ම හොඳින් පන්දුවට පහරදෙමින් කොදෙව් ලකුණු පුවරුව 121/3 බවට පත්කළේ තරගයේ වැඩි වාසි ඔවුන් සතු කරගනිමින්. නමුත් එදා කොදෙව් දෙසට දෝලනය වෙමින් පැවති තරගය ශ්‍රී ලංකාව දෙසට හැරවූ වාස් එක් පන්දුවාරයක් තුළ ගේල්ව සහ ජේකබ්ස්ව දවාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 6ක තියුණු ජයග්‍රහණයේ නියමුවා වෙමින්.

වාස් ජේකබ්ස්ව දවාගත් අවස්ථාව (cricketcountry.com)

සුපිරි 6 දෙනාගේ වටයේදී වාස් ලෝක කුසලාන වාර්තාව සම කරයි 

සුපිරි හය වටයේ දී ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, සහ සිම්බාබ්වේ යන කණ්ඩායම්වලට එරෙහිව ශ්‍රී ලංකාව තරග කළා. එහිදී ඕස්ට්‍රේලියානු තරගයේ දී වාස් දැඩි ප්‍රහාරයකට ලක් වුණත් ඉන්දියා සහ සිම්බාබ්වේ තරගවල දී ඔහු කඩුලු 2 බැගින් ලබාගත්තා. 

ඉන්දීය තරගයේ දී වාස්ගෙන් හොඳ පන්දු යැවීමක් 

ජොහැන්ස්බර්ග් නුවර වොන්ඩරස් පිටියේ පැවති මෙම තරගයේ දී මුලින්ම පන්දුවට ඉන්දීය කණ්ඩායම පන්දුවාර 43.3ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 243ක් ලබා ප්‍රබල තත්ත්වයකට පත්ව සිටියා. නමුත් අවස්ථාවේ ක්‍රියාත්මක වුණු වාස් ගංගුලී සහ යුවරාජ් දවාගනිමින්  සිය පන්දුවාර 10 තුළ ලකුණු 34ක් පමණක් ලබාදුන්නේ හොඳ පන්දු යැවීමක නිරත වෙමින්.

වාස් යුවරාජ්ව දවාගත් අවස්ථාව (gettyimages)

සිම්බාබ්වේ තරගයේදී ලෝක කුසලාන වාර්තාවක් සම කළ වාස් 

සිම්බාබ්වේට එරෙහිව තරගය පැවැත්වුණේ ඊස්ට් ලන්ඩන් නුවර බෆලෝ පාක් පිටියේ දී යි. එම තරගය ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් වුණේ අවසන් පූර්ව වටයට පිවිසීමට එම තරගය අනිවාර්යෙන්ම ජයග්‍රහණය කළ යුතු එකක් වීම නිසා යි. එම තරගයේ දී ලකුණු 257ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 182කට සීමා කිරීමේ දී වාස්  ලකුණු 46කට කඩුලු 2ක් ලබාගත්තා. එලෙස වාස් ලබාගත් කඩුලු 2ත් සමගින් තනි ලෝක කුසලාන තරගාවලියක වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා ලෙසින් ජෙෆ් ඇලට් සහ ශේන් වෝන් තබා තිබුණු වාර්තාව සම කළා.

වාස් සිම්බාබ්වේ තරගයේදී පන්දු යවමින් (gettyimages)

ඕස්ට්‍රේලියානුවන් සමග පැවති අවසන් පූර්ව තරගයේ දි ලෝක කුසලාන වාර්තාවක් බිඳ දැමූ වාස් 

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව අවසන් පූර්ව තරගය පැවැත්වුණේ පෝට් එලිසබෙත් නුවර දී යි. එම තරගයේ දී ඉතාමත් හොඳින් පන්දු යැවූ වාස් පොන්ටිං, හේඩ්න්, සහ හාවි යන පිතිකරුවන් තිදෙනාව දවාගෙන ඔහුගේ පන්දුවාර 10 තුළ ලකුණු 41ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබාදුන්නා. එහිදී වාස් ලබාගත් එම කඩුලු 3ත් සමගින් තනි ලෝක කුසලාන තරගාවලියක වැඩිම කඩුලු ලාභියා ලෙසින් වාස් ලෝක කුසලාන වාර්තාවක් පිහිටුවනු ලැබුවත් 2007 තරගාවලියේ දී ඕස්ට්‍රේලියාවේ ග්ලේන් මැග්‍රාත් එම වාර්තාව බිඳ දැමුවා 

වාස් විසින් හේඩ්න්ව දවාගත් අවස්ථාව (gettyimages)

තරගාවලිය තුළ වාස්ගේ පන්දු යැවීමේ දත්ත 

තරග – 10

පන්දුවාර – 88

නිලකුණු පන්දුවාර – 14

ලකුණු – 331

කඩුලු – 23

හොඳම පන්දු යැවීම  -25/6 බංගලාදේශයට එරෙහිව 

පන්දු යැවීමේ සාමාන්‍ය – 14.39

ප්‍රහාරාත්මක වේගය – 22.96

පන්දුවාරයකට ලබාදුන් ලකුණු සාමාන්‍ය – 3.76

කවරයේ ඡායාරූපය-වාස් විසින් පොන්ටින්ව දවාගනිමින් ලෝක කුසලාන වාර්තාව බිඳ හෙලූ අවස්ථාව (gettyimages)

Related Articles