Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දකුණු අප්‍රිකානුවන්ගේ මංගල රග්බි ලෝක කුසලාන ජයග්‍රහණය

70 දශකය මුල භාගයේ දී වර්ණභේදවාදය නිසා දකුණු අප්‍රිකාවට ක්‍රීඩා පිටිය තහනම් වුණා. එම තහනම 90 දශකය ආරම්භ වීමත් සමග ඉවත්වුණු නිසා 1992 වසරේ දී දකුණු අප්‍රිකාව යළි රග්බි ක්‍රීඩාවට අවතීර්ණ වුණා. දශක දෙකකට පසුව රග්බි පිටියට අවතීර්ණ වුණු දකුණු අප්‍රිකානුවන්ට 1995 රග්බි ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමිවුණා. එහිදී තරගාවලිය පුරාවටම සුපිරි දස්කම් දැක්වූ දකුණු අප්‍රිකානුවන් අවසන් තරගයේ දී තියුණු සටනකින් පසුව නවසීලන්තය පරාජය කළේ මුල්මවරට රග්බි ලෝක කුසලානය දිනාගනිමින්.

මුලික වටයේ දී දකුණු අප්‍රිකානුවන්ගෙන් ඉහළම දස්කම් 

මූලික වටයේ තරගවල දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට තරග වැදීමට සිදුවුණේ ඕස්ට්‍රේලියාව, කැනඩාව, සහ රුමේනියාව යන කණ්ඩායම් සමග යි. එහිදී දකුණු අප්‍රිකාව එම තරග 3ම ජයග්‍රහණය කරමින් සිය කාණ්ඩයේ පළමු ස්ථානය දිනාගත්තා. එදා දකුණු අප්‍රිකානුවන් අතින් එම අවදියේ රග්බි ලෝක ශූරයන් ලෙස වැජඹුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත්වීම සුවිශේෂී සිදුවීමක් වුණා.

දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය 

එම අවධිය වන විට රග්බි පිටියේ සිටි ප්‍රබලම කණ්ඩායම් දෙකක් හමුවුණු මෙම තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත්තා. තරගයේ 21 වැනි විනාඩිය අවසන් වෙද්දී තරගයේ ලකුණු තත්ත්වය 6-6 ලෙස සටහන් වුණේ ඕස්ට්‍රේලියාව ක්‍රීඩක ලිනාග් සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ස්ට්‍රැන්ස්කි සාර්ථක කරගත් දඬුවම් පහරවල් නිසා යි. එලෙස කරට කර සටනක් පැවති තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු 14-13ක් ලෙස දකුණු අප්‍රිකාව ඉදිරියෙන් සිටියා. නමුත් දෙවන අර්ධයේ දී දක්ෂ ක්‍රීඩා රටාවක නිරතවුණු දකුණු අප්‍රිකා කණ්ඩායමේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක ස්ට්‍රැන්ස්කි දඬුවම් පහර 2ක් සහ ගෝල දිනුමක් මගින් ලබාගත් ලකුණු 13 නිසා දකුණු අප්‍රිකානුවන්ට හිමිවුණේ ලකුණු  27-18ක ජයක්. 

ඕස්ට්‍රේලියා-දකුණුඅප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

දකුණු අප්‍රිකාව සහ රුමේනියාව අතර තරගය 

රුමේනියා කණ්ඩායමට එරෙහිව පැවති මෙම තරගයේ පළමු භාගය අවසන් වුණේ දකුණු අප්‍රිකානු කණ්ඩායම 8-0 ලෙස පෙරමුණේ තබමින්. ඉන්පසුව ආරම්භ වුණු දෙවන අර්ධයේ දී සුපුරුදු ක්‍රීඩා රටාව අනුගමනය කළ දකුණු අප්‍රිකානුවන් තරගය ජයග්‍රහණය කළේ 21-8 ලෙස ලකුණු ලබාගනිමින්. එහිදී දකුණු අප්‍රිකානු ක්‍රීඩක රිච්ටර් උත්සාහක දිනුම් 2ක් මඟින් ලකුණු 10ක් ලබාගන්නා විට ගැවින් ජොන්සන් දඬුවම් පහර 3ක් සහ ප්‍රවර්තනයක් සාර්ථක කරගනිමින් ලකුණු 11ක් ලබාගත්තේ දකුණු අප්‍රිකානු ජයග්‍රහණයට දායක වෙමින්. 

දකුණු අප්‍රිකා-රුමේනියා තරගයේ අවස්ථාවක්  (gettyimages)

දකුණු අප්‍රිකාව සහ කැනඩාව අතර තරගය 

මූලික වටයේ අවසන් තරගයේ දී දකුණු අප්‍රිකානුවන්ට තරග වැදීමට සිදුවුණේ කැනඩා කණ්ඩායම සමග යි. ආරම්භයේ සිටම දකුණු අප්‍රිකානු පාලනයේ පැවති මෙම තරගයේ පළමු භාගය අවසන් වන විට දකුණු අප්‍රිකානුවන් ඉදිරියෙන් සිටියේ 17-0 ලෙසින්. එලෙස පළමු අර්ධයේ දී දක්ෂ ලෙස ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානුවන් ඉතාමත් පහසුවෙන් තරගය ජයග්‍රහණය කළේ 20-0ක් ලෙස ලකුණු ලබාගනිමින්. එහිදී නැවතත් දස්කම් දැක්වූ රිච්ටර් උත්සාහක දිනුම් 2ක් මඟින් ලකුණු 10ක් ලබාගන්නා විට ෆ්ලයි හාෆ් ක්‍රීඩක ස්ට්‍රැන්ස්කි දඬුවම් පහර 2ක් සහ ප්‍රවර්තන 2ක් මඟින් ඉතිරි ලකුණු 10 ලබාගත්තා.

දකුණු අප්‍රිකා-කැනඩා තරගයේ අවස්ථාවක්  (gettyimages)

දකුණු අප්‍රිකාව පහසුවෙන්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි 

1995 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගය පැවැත්වුණේ දකුණු අප්‍රිකාව සහ බටහිර සැමෝවා අතර යි. ආරම්භයේ සිටම තරගාවලිය සඳහා හොඳින් අවතීර්ණ වී සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම තරගයේ දී ත් ඔහුගේ සුපුරුදු ක්‍රීඩා රටාව අනුගමනය කළා. එම නිසාම පළමු අර්ධය අවසන් වන විට ඔවුන් 23-0 ලෙස පෙරමුණේ පසුවුණා. නමුත් දෙවන භාගයේ දී සැමෝවා ක්‍රීඩකයන් ලකුණු 14ක් ලබාගෙන තරගයට අවතීර්ණ වුණත් දකුණු අප්‍රිකානුවන් එම කාල සීමාව තුළ ලකුණු 19ක් ලබාගත් නිසා තරගයේ ජය 42-14ක් ලෙසින් හිමිවුණේ දකුණු අප්‍රිකාවට යි. එහිදී දකුණු අප්‍රිකානු ක්‍රීඩක චෙස්ටර් විලියම්ස් උත්සාහක දිනුම් 4ක් ලබාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා.

විලියම්ස් උත්සාහක දිනුමක් ලබාගත් අවස්ථාව  (gettyimages)

ප්‍රංශය පරාජය කළ දකුණු අප්‍රිකාව අවසන් තරගයට සුදුසුකම් ලබයි 

ඉතාමත් පහසුවෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ දකුණු අප්‍රිකානුවන්ට එහිදී හමුවුණේ ප්‍රංශ කණ්ඩායම යි. තරගය ආරම්භයේ සිටම ප්‍රබල තරග රටාවක නිරත වූ  දකුණු අප්‍රිකානුවන් එක් අවස්ථාවක 10-0 ලෙස ඉදිරියක් ලබාගෙන සිටියත් පළමු භාගය අවසන් වන විට ලකුණු තත්ත්වය 10-6ක් බවට පත්වුණා. ඉන් අනතුරුව ඇරඹුණු දෙවන භාගයේ දී කණ්ඩායම් 2ම කරට කර තරග වදිමින් ලකුණු 9 බැගින් ලබාගත් නිසා තරගයේ ජය 19-15ක් ලෙසින් හිමිවුණේ දකුණු අප්‍රිකාවට යි. නමුත් මෙම තරගයේ ඇතැම් විනිසුරු තීරණ ප්‍රංශ කණ්ඩායමට අවාසිදායක ලෙස ලැබුණු නිසා ඔවුන්ට අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට තිබුණු  අවස්ථාව අහිමි වී ගියා.

දකුණු අප්‍රිකා-ප්‍රංශ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

දකුණු අප්‍රිකාව මුල්මවරට ලෝක රග්බි කිරුළ හිමිකර ගනියි 

දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර පැවති අවසන් තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත්තා. එම  නිසාම පළමු භාගය නිමාවන විට දකුණු අප්‍රිකාව 9-6ක් ලෙස ඉදිරියෙන් සිටියා. නමුත් දෙවන භාගයේ දී ඉතාමත් ප්‍රබල තරග රටාවක නිරතවුණු නවසීලන්තය නියමිත කාලය අවසානයේ දී 9-9 ලෙස තරගය අවසන් කළා. ඉන් පසුව ලැබුණු අතිරේක කාලය ආරම්භ වී සුළු මොහොතකින් නවසීලන්තය 12-9ක් ලෙසින් තරගයේ පෙරමුණ ගත්තත් අවසානයේ දී දකුණු අප්‍රිකාවට 15-12ක ජයක් හිමිවුණේ ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට රග්බි ලෝක කුසලාන කිරුළ අහිමි කරමින්. 1995 රග්බි ලෝක කුසලාන තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ප්‍රමාණයක් වාර්තා කළ නවසීලන්තයේ ජෝනා ලොමූ සහ මාක් එලිස් අවසන් තරගයේ දී කිසිදු උත්සාහක දිනුමක් වාර්තා නොකිරීම නවසීලන්තයට රග්බි කිරුළ අහිමිවීමට ප්‍රබල ලෙස බලපෑවා.

අවසන් තරගයේ තියුණු අවස්ථාවක් (gettyimage)

කවරයේ ඡායාරූපය - දකුණු අප්‍රිකාව රග්බි ලෝක ශූරයන් බවට පත්වී (gettyimage)

Related Articles