Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පන්දුව දමාගැසීමේ වරද යනු කුමක්ද?

ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන වශයෙන් අංශ 3ක් පවතිනවා. එනම් පන්දුවට පහරදීම, පන්දු යැවීම, හා පන්දු රැකීම වශයෙනුයි. මෙහි දී පිතිකරණයේ හා පන්දු රැකීමේ දී මෙන් නොව, පන්දු යැවීම යන කාරණය අරබයා ‘නීත්‍යනුකූල භාවය’ පිළිබඳ ව පසුගිය වසර කිහිපයේ වැඩි වශයෙන් කතාබහ කෙරුණා. ඒ ‘පන්දුව දමා ගැසීමේ චෝදනා’වලට ක්‍රීඩකයින් කිහිපදෙනක් ම ලක්වීම නිසා යි. මේ අතර ශ්‍රී ලාංකික පන්දු යවන්නන් කිහිපදෙනෙකු ද වූ අතර, ඉන් සමහරකට පන්දු යැවීමේ ඉරියව්ව නැවත සකසාගන්නට සිදුවුණා. මින් ආසන්නතම සිදුවීම ලෙස වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම තුරුම්පුවක් වන අකිල ධනංජය ‘සැක සහිත ඉරියව්වකට’ අනුව පන්දු යවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර, ඔහු වැඩිදුර පරීක්ෂණවලට යොමු කිරීම දැක්විය හැකියි.

අකිල ධනංජය- AFP

රංගන හේරත්ගේ සමුගැන්මත් සමග ම සිදු වූ මේ සිදුවීමත් එක්ක බොහෝ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් කුපිත වූයේ මෙය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හිතාමතා ම සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව හුවා දක්වමිනුයි. මුරලිදරන් සම්බන්ධයෙන් අතීතයේ සිදු වූ සිදුවීම් හා මෑතක දී කුසල් ජනිත් ‘වැරදීමකින්’ තහනම් උත්තේජක චෝදනාවකට ලක් කිරීම නිසා ඔවුන්ගේ නොසන්සුන් බවෙහි සාධාරණත්වයක් තිබුණ ද, එහි දී ප්‍රකට වූ තවත් කරුණක් වූයේ ‘පන්දුව දමා ගැසීමේ නීති’ පිළිබඳ ව මෙරට බොහෝ අයවලුන්ගේ දැනුම මද බව යි. ඉන්දියානුවන් කිහිපදෙනෙකුගේ පන්දු යවන ඉරියව්වේ එක් අවස්ථාවක ජායාරූපවල ඔවුන්ගේ වැලමිටි නැවී ඇති ආකාරය හුවා දක්වමින් ඔවුන් අයි. සී. සී නිල වෙබ් පිටුවට පවා අසභ්‍ය වදන් සහිත කොමෙන්ටු දැමීමට පෙළැඹී තිබෙනවා. මින් ඇත්තෙන් ම සිදුවන්නේ ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව හාස්‍යයට ලක් වීම යි. මේ කරුණ හේතුවෙන් ඇත්තෙන් ම පන්දුව දමා ගැසීමේ වරද යනු කුමක්දැ යි නිසියාකාර ව සොයා බලන්නට අපි තීරණය කළා.

පන්දුව දමාගැසීමේ වරද අයි. සී. සී නීති පොතෙහි සඳහන් ආකාරය

ජාත්‍යන්තර ක්‍රිකට් නීති පොතේ පන්දුව දමා ගැසීමේ වරද පිළිබඳ ව මෙලෙස සඳහන් කොට තිබෙනවා.

‘පන්දු යවන්නෙකු තම පන්දු යැවීමේ ඉරියව්වට පැමිණ, පන්දුව සහිත අත උරහිස් මට්ටමට පැමිණි තැනේ සිට පන්දුව අතින් ගිලිහෙන අවස්ථාව වන තුරු, එම අතෙහි වැළමිට සම්පූර්ණයෙන් හෝ පාර්ශ්වික ව නැවීම හෝ දිගහැරීම සිදු නොවිය යුතු ය. එලෙස සිදුවන්නේ නම් එය නීති විරෝධී පන්දුවක් හෙවත් දමා ගැසීමක් වේ.’

සයිඩ් අජ්මාල් පන්දුව දමාගසන බවට පර්යේෂණ මඟින් තහවුරු විය -Youtube

අතීතයේ දී මෙම ‘හැකිලීම හෝ දිගහැරීම’ එක් අංශකයකින් හෝ සිදු කළහොත්, එය දමා ගැසීමක් ලෙස තීරණය වුව ද පසුකාලීන ව හෙලි වූයේ, මිනිස් අතක ස්වභාවික පිහිටීම සමග ලොව සියලු පන්දු යවන්නන් පාහේ අංශක කිහිපයකින් වත් මේ ‘වරද’ සිදුකරන බව යි. එනයින් ඔවුනට අංශක 15ක් දක්වා සිය වැලමිට නැවීම හෝ දිගහැරීම සිදුකළ හැකි බවට පසුකාලීන ව ප්‍රකාශ කෙරුණා.

පන්දුව අතින් ගිලිගෙන විට වැලමිටෙහි නැමීමක් තිබීම වරදක් ද?

පන්දුව දමා ගැසීම අරබයා බොහෝ දෙනා වරද්දා ගන්නා ස්ථානයක් ලෙස මේ කාරණය හඳුන්වන්න්නට හැකියි. මෙලොව ජීවත් වන සමහර මිනිසුන්ගේ අත් සම්පූර්ණයෙන් දිගහැරි විට එය වැලමිට සංධියෙන් අංශක 180ක කෝණයක් පිහිටුවන්නේ නැහැ. සමහරුන්ගේ අත් ඊටත් ටිකක් පසුපසට නැවී දුන්නක් අකාරයට පිහිටන අතර, කලාතුරකින් සමහරෙකුගේ අත් අංශක 180ක වැලමිටි කෝණයක් සෑදීමට තරම් කෙළින් වන්නේ ද නැහැ. මෙකී කුලක දෙකෙන් ඉන්දීය පන්දු යවන්නෙකු වන ජස්ප්‍රිත් බුම්රා පළමු කාණ්ඩයට වැටෙන අතර, ශ්‍රී ලාංකිකයෙකු වන මුත්තයියා මුරලිදරන් වැටෙන්නේ දෙවන කාණ්ඩයට යි. මොවුන් දෙදෙනාගේ ම අත්වලින් පන්දුව ගිලිහී යන අවස්ථාව වන විට ඒවා තනි කෙළින් නොපිහිටන අතර, ඒවා සැලකිය යුතු තරම් නැවී තිබෙනු දැකිය හැකියි. එම නැම්ම පෙර කී පරිදි පන්දු යැවීමේ ඉරියව්වට අවතීරණ වී, අත උරෙස් මට්ටමට පැමිණෙන විට දීත් ඒ ආකාරයෙන් ම තබාගෙන තිබේ නම්, එය කිසිසේත් ම නීති විරෝධී පන්දුවක් වන්නේ නැහැ. සරලව ම කිවහොත් පන්දු යැවීමක්, දමා ගැසීමක් වන්නේ පන්දු යැවීමේ ඉරියව්වට අවතීරණ වී අත උරෙස් මට්ටමට පැමිණි විට, ක්‍රීඩකයාගේ වැලමිට සාදන කෝණය හා පන්දුව අතින් ගිලිහෙන විට වැලමිට සාදන කෝණය අතර වෙනස අංශක 15කට වැඩි වූ විට යි. බුම්රා හා මුරලි යන දෙදෙනා ම තමන් ඉහත කී අවස්ථා දෙකෙහි දී ම සාදන කෝණවල වෙනස අංශක 15ට අඩුවෙන් පවත්වා ගන්නා නිසා ඔවුන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යනුකූල වෙනවා.

පසුපසට ඇද වී ඇති බුම්රාගේ හස්තය – YouTube

හස්තයෙහි උපන් ඇදක් නැතත් තවත් සමහර පන්දු යවන්නන්ගේ ඉරියව් අනුව ද අත සම්පූර්ණයෙන් ම කෙළින් වී නොතිබීම විය හැකියි. නැවත වරක් ඔවුන් පෙර කී අවස්ථා දෙකෙහි සාදන කෝණ දෙක අතර වෙනස අංසක 15කට අඩු ව තබාගන්නේ නම්, එය නීත්‍යනුකූලයැ යි සැලකෙනවා. මේ අනුව ඡායාරූපයක් පමණක් නිරීක්ෂණය කොට පන්දු යවන්නෙක් දමා ගසනවා ද? නැද්ද? යන්න කිසිසේත් ම තීරණය කළ නොහැකියි.

නිවැරදි ඉරියව් සහිත පන්දු යවන්නන් ‘සැක සහිත ලෙස’ සමහර විටෙක පෙනෙන්නේ ඇයි?

පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිතයැ යි වාර්තා වූ සමහරක් ක්‍රීඩකයින් පරීක්ෂණවලින් පසු  සම්පූර්ණයෙන් නීත්‍යනුකූල ව පන්දු යවන බව තහවුරු වී තිබෙනවා. එසේනම්, ඔවුන් පන්දුව දමා ගසන්නාක් සේ පෙනෙන්නේ ඇයි ද? යන්න බොහෝ දෙනා නඟන ප්‍රශනයක් වෙනවා.

මුත්තයියා මුරලිදරන්ගේ ඉරියව්ව දෘෂ්ටි මායාවකි- essentiallysports.com

පෙර කී අන්දමින් සම්පූණයෙන් කෙළින් වූ අතක් නොමැති ව පන්දු යවන සමහරක් දෙනාගෙ අතෙහි දෙපසට පැද්දීමක් සිදුවිය හැකියි. පසෙක සිට බලා සිටින්නාට එය පෙනෙන්නේ වැලමිට නැම්ම කෙළින් වීමක් හෝ හැකිලීමක් ලෙස යි. සමහර පන්දු යවන්නන්ගේ උරහිස ද යම් ගැස්සීමකට භාජනය වෙනවා. එවිට ද අතෙහි කෝණය වෙනස් වෙන්නා සේ පෙනෙනවා. ඊට හොඳ ම උදාහරණය ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරනුයි. ඔහුගේ අතෙහි දෙපසට වැනීම හා උරහිස ගැස්සීම දෙකම සිදුවන අතර,  වැලමිටෙහි නැම්ම වෙනස් වීම අංශක 15ක් තුළ තිබෙනවා. කෙසේ නමුත් බලා සිටින්නෙකුට පෙනෙන්නෙ එය දමා ගැසීමක් ලෙස යි.

තරිඳු කෞෂාල්ගේ ධූස්රාව නීති විරෝධී වුව ද, පිටදඟ පන්දුව නීත්‍යනුකූල බැව් පර්යේෂණ මඟින් සනාථ විය- sportskeeda.com

අවසානයට කිව හැක්කේ අකිල ධනංජයගේ ඉරියව්වෙහි අසාමාන්‍යතාවක් නිසා එය නිවැරදි වුව ද, යමෙකුට දමා ගැසීමක් සේ පෙනීමට සැලකිය යුතු ඉඩකඩක් ඇති බව යි. නිවැරදි පරීක්ෂණයකින් පසු එහි වැරදි, නිවැරදිභාවය ගණන් මිමි සමග ම ශ්‍රී ලංකාවේ බලධාරීන්ට සැපයීම සිදුවනු ඇති. අනෙක් අතට ඡායාරූප කිහිපයක් හුවා දක්වමින් අයි. සී. සී නිල වෙබ් අඩවියට කුණුහරපයෙන් බැනීමෙන් වඩාත් ම සිදුවන්නේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගේ නොදැනුවත්භාවය ලොවට ප්‍රකට වීම යි. රංගන හේරත්ගේ සමුගැනීමත් සමග ම මේ සිදුවීම කරළියට පැමිණීමේ යම් ‘චේතනාත්මක’ බවක් නොමැත්තේ නොවේ යන්න බැහැර කළ නොහැකිමුත්, තනි සිදුවීමක් ලෙස ගත් කල්හි එම ක්‍රියාවේ කිසිදු ‘වරදක්’ නොමැති බව විචාරක මතය යි.

 

කවරයේ පින්තූරය: sportinglife.com

මූලාශ්‍රය:

Icc-cricket.com

Related Articles