Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුපිරි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවක් නිවී යයි

1984-1994 කාල සමය තුළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ඩීන් ජෝන්ස් වේගයෙන් පන්දුවට පහරදිය හැකි පිතිකරුවෙකු ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටියා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව අර්බුද රැසකට මුහුණදෙමින් තිබුණු යුගයක ජාතික කණ්ඩායමට එක්වුණු ජෝන්ස් සිය කණ්ඩායම අඳුරු යුගයක සිට ස්වර්ණමය යුගයක් දක්වා ගෙනයාමට විශාල මෙහෙයක් ඉටු කළා. එදා ඇලන් බෝඩර්ගේ නායකත්වය යටතේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සතුව සිටි ප්‍රබලම පිතිකරුවෙක් වුණු ඩීන් ජෝන්ස් 1987 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයෙකු බවට ද පත්වුණා. එලෙස එක් යුගයක ලෝක ක්‍රිකට් පිටිය වර්ණවත් කළ ඩීන් ජෝන්ස් නම් පිතිකරුවා සිය ක්‍රිකට් ජීවිතය අවසන් කිරීමෙන් පසුව ක්‍රිකට් විස්තර විචාරකයෙකු සහ පුහුණුකරුවෙකු ලෙසින් කටයුතු කළා. 

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙසින් කටයුතු කරමින් සිටි ඔහු පසුගිය බ්‍රහස්පතින්දා නවාතැන් ගෙන සිටියේ මුම්බායි නුවර ට්‍රයිඩන්ට් හෝටලයේ යි. ට්‍රයිඩන්ට් හෝටලයේ නවාතැන් ගෙන සිටි ජෝන්ස්ට හදිසියේම හෘදයාබාධයක් ඇතිව තිබුනා. ඒ මොහොතේ එහි රැඳී සිටි පිරිස ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරුවත් එය සාර්ථක වුණේ නැහැ. 

ඩීන් ජෝන්ස් විස්තර විචාරකයෙකු ලෙසින් (gettyimages)

ක්‍රිකට් දිවියේ ආරම්භය 

1984 වසරේ මුල් කාර්තුවේ දී ජෝන්ස්ට ටෙස්ට් සහ එක්දින වරම් හිමි වුණා. 1983/84 බෙන්සන් සහ හෙජස් තුන්කොන් තරගාවලිය යටතේ පැවති 13 වන තරගයේ දී ජෝන්ස්ට එක්දින වරම් හිමි වුණා. එදා අංක 7 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි ජෝන්ස් පන්දු 33කින් නොදැවී ලකුණු 40ක් වාර්තා කළා. එසේම ඔහු ටෙස්ට් වරම් දිනාගත්තේ එම වසරේම පැවති කොදෙව්-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ දී යි. ට්‍රිනිඩෑඩ් නුවර ක්වීන්ස් පාක් ඕවල් පිටියේ පැවති එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 85කට දැවීගොස් තිබුණු අවස්ථාවේ ජෝන්ස් පිටියට පිවිසියා. ඉන් අනතුරුව සිය නායකයා වුණු ඇලන් බෝඩර් සමග ලකුණු 100ක අගනා සබඳතාවයක් පැවැත්වූ මෙම පිතිකරුවා ලකුණු 48කට දැවී ගියේ සිය මංගල එක්දින අර්ධ ශතකය අහිමි කරගනිමින්. යළි දෙවන ඉනිමේ දී අංක 8 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි ජෝන්ස් එහිදී ලබාගත්තේ ලකුණු පමණ යි. එදා ජෝන්ස්ට විශේෂ දස්කමක් දැක්වීමට නොහැකි වුණත් තරගය ජය පැරදුමෙන් තොරව නිමා වුණේ නායක බෝඩර් විසින් දියත් කළ සුපිරි පිතිහරඹය නිසා යි.

ඩීන්ස් ජෝන්ස් පන්දුවට පහරදෙමින් (gettyimages)

ක්‍රිකට් ලෝකයේ අවධානය දිනාගත් ඉනිම 

1984/85 බෙන්සන් සහ හෙජස් තුන්කොන් තරගාවලිය යටතේ පැවති 13 වන තරගය ඇඩිලේඩ් නුවර දී පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියා අතර යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු 2ම ලකුණු 99ක් තුළ දැවීගියා. ඉන් අනතුරුව පිටියේ එක් වුණු ඩීන් ජෝන්ස් සහ නායක බෝඩර් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළා. එම නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 2ක් දැවී ලකුණු 323ක් ලබාගැනීමට සමත් වුණා. එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ බෝඩර් පන්දු 88කින් නොදැවී ලකුණු 118ක් ලබාගන්නා විට ඔහුට අනගි සහායක් ලබාදුන් ජෝන්ස් පන්දු 77කින් නොදැවී ලකුණු 99ක් ලබාගත්තා. එදා බෝඩර් සහ ජෝන්ස් විසින් තෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 224ක දැවැන්ත සබඳතාවය එම අවධියේ  එක්දින තරගයක දී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගුණු ඉහළම සබඳතාවය ලෙසින් වාර්තා වුණා. ඔවුන් අතින් එදා බිඳවැටුණේ කොදෙව් පිතිකරු යුගලයක් වුණු ගෝර්ඩන් ග්‍රිනිජ් සහ විවියන් රිචඩ්ස් 1983 වසරේ දී ඉන්දියාවට එරෙහිව වාර්තා කර තිබුණු ලකුණු 221ක සබඳතාවය යි.

ජෝන්ස් එක්දින තරගයක දී ශතකයක් ලබාගනිමින් (gettyimages)

මදුරාසියේ මැරතන් ටෙස්ට් ඉනිම 

1986/87 ඉන්දු-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පැවැත්වුණේ මදුරාසියේ චෙපොක් පිටියේ දී යි (වර්තමානයේ චෙන්නායි නුවර චිදම්බරම් පිටිය). එම තරගය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ හමුවන සුවිශේෂී ටෙස්ට් තරගයක් බවට පත්වුණේ ලකුණු සම වෙමින් නිමාව දුටු දෙවන ටෙස්ට් තරගය බවට පත්වුණු නිසා යි. එම තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 3ක් දැවී ලකුණු 400 සීමාව ඉක්මවා සිටියා. ඒ මොහොත වන විට සිය මංගල ටෙස්ට් ශතකය සම්පූර්ණ කර සිටි ජෝන්ස් ක්‍රමයෙන් සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය කරා ළඟා වුණා. නමුත් එහි තිබුණු අධික උෂ්ණත්වය නිසා ජෝන්ස් දැඩි අසීරුවෙන් පන්දුවට පහරදෙමින් සිටියා. දහවල උදා වන විට හිරු රශ්මිය ක්‍රමයෙන් වැඩිවිම හේතුවෙන් ජෝන්ස්ට පන්දුවට පහරදීමට අපහසු වාතාවරණයක් නිර්මාණය වුණා.  එම නිසා ජෝන්ස් සිය නායකයාට ආයාචනා කළේ ඉනිම අත්හිටුවා ක්‍රීඩාගාරය වෙත යාමට අවසර ලබා දෙන ලෙස යි. නමුත් ලෙහෙසියෙන් පසු නොබසින නායකයෙකු වුණු බෝඩර් ඔහුගේ සගයා වුණු ජෝන්ස්ව තව තවත් දිරිමත් කරමින් පිටියේ රඳවාගත්තා. අවසානයේ දී විශිෂ්ට ද්විත්ව ශතකයක් ලබාගත් ජෝන්ස් ලකුණු 210ක් ලබාසිටිය දී දැවීගියේ ශිව්ලාල් යාදව්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම නිසා යි. ඒ වන විට දැඩි අපහසුතාවයකට පත්ව සිටි ජෝන්ස් ක්‍රීඩාගාරය වෙත ගිය පසුව ඉක්මනින්ම රෝහල්ගත කරනු ලැබුවා. එදා ජෝන්ස් විසින් මදුරාසියේ දී දියත් කළ ටෙස්ට් ඉනිම ඉතාමත් විශිෂ්ට ගණයේ එකක් වුණු නිසාම අදටත් එම ඉනිම පිළිබඳව බොහෝ දෙනෙකු ගෞරවයෙන් සිහිපත් කරනවා.

මංගල එක්දින ශතකය ලබාගැනීම 

1987 වසර ආරම්භයේ දී බෙන්සන් සහ හෙජස් අභියෝගතා තරගාවලිය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, සහ පාකිස්ථානය යන කණ්ඩායම්වල සහභාගිත්වය ඇතිව යි. එම තරගාවලිය යටතේ පර්ත් නුවර වැකා පිටියේ පැවති තරගයේ දී උරෙනුර ගැටුණේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යි. එදා එංගලන්ත කණ්ඩායම විසින් ලබාදුන් ලකුණු 273ක ඉලක්කය හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළේ ඩීන් ජෝන්ස් නම් සුපිරි පිතිකරුවා යි. එදා ඔහු පන්දු 125කින් ලකුණු 104ක් ලබාගෙන සිය මංගල එක්දින ශතකය සම්පූර්ණ කළත් එය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ප්‍රමාණවත් වුණේ නැහැ.

1987 එක්දින ලෝක කුසලාන ජයග්‍රහණය

1987 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරියෙන්ම සිටි කණ්ඩායම් කිහිපය අතරට ඕස්ට්‍රේලියාව අයත් වුණේ නැහැ. ඒ අත්දැකීම් අඩු තරුණයන් පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් ඔවුන් ඉදිරිපත් කර තිබුණු නිසා යි. එදා අත්දැකීම් සපිරි ක්‍රීඩකයන්ගෙන් සමන්විත වුණු සෙසු කණ්ඩායම් අභිබවා ගොස් බෝඩර් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශූරතාවය දිනාගනු ලැබුවා. එහිදී කණ්ඩායමේ අංක 3 ස්ථානයේ පන්දුවට පහරදුන් ඩීන් ජෝන්ස් අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 314ක් ලබාගත්තා. සාමාන්‍යයෙන් පන්දුවට පහරදීමට තරමක් අපහසු ස්ථානයක් වුණු අංක 3 ස්ථානයේ සාර්ථකව ක්‍රීඩා කළ මෙම පිතිකරුවා ජෙෆ් මාෂ් සහ ඩේවිඩ් බූන් සමග එක්ව සාර්ථක සබඳතාවයන් කිහිපයක් ගොඩනැගීමට සමත් වුණා. එහිදී නවසීලන්තයට එරෙහිව පැවති තරග ද්විත්වයේ දීම අර්ධ ශතක ලබාගත් මොහු ආරම්භක පිතිකරුවන් සමග එක්ව ශතක සබඳතා ගොඩනගනු ලැබුවා.

ජෝන්ස් 1987 ලෝක කුසලාන තරගාවලියේ දී පන්දුවට පහරදෙමින් (gettyimages)

හොඳම ටෙස්ට් සහ එක්දින ඉනිම් 

1988/89 ෆ්රෑන්ක් වොරල් ටෙස්ට් තරගාවලියේ 5 වන ටෙස්ට් තරගය ඇඩිලේඩ් පිටියේ දී පැවැත්වුණා. එදා ප්‍රබල කොදෙව් වේගපන්දු බල ඇණිය හමුවේ සුපිරි පිතිහරඹයක් දියත් කළ මෙම පිතිකරුවා හතරේ පහර 16ක් සමගින් ලකුණු 216ක් ලබාගත්තේ සිය ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගනිමින්. ඩීන් ජෝන්ස් සිය එක්දින දිවියේ වැඩිම ලකුණු ප්‍රමාණය වුණු ලකුණු 145 වාර්තා කළේ 1990 වසරේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගයක දීයි. එදා ජෝන්ස්ගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු 145 එම අවධිය වන විට ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකු එක්දින ඉනිමක දී ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. 

ලකුණු 216ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් දස්කම් දැක්වූ පිතිකරුවෙක් 

ඩීන් ජෝන්ස් සිය එක්දින ක්‍රිකට් දිවිය තුළ හොඳින්ම දස්කම් දැක්වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති එක්දින තරගවල දීයි. එහිදී එක්දින ඉනිම් 15ක් ක්‍රීඩා කළ මෙම පිතිකරුවා ලකුණු 879ක් ලබාගත්තේ 109.88ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගනිමින්. එම ඉනිම් 15 තුළ ශතකයක් සහ අර්ධ ශතක 9ක් ලබාගත් ජෝන්ස් හොඳම ඉනිම ක්‍රීඩා කළේ 1990 ඔස්ට්‍රල්-ඒෂියා තරගාවලියේ දී යි. ඒ පන්දු 123කින් නොදැවී ලකුණු 117ක් වාර්තාකරමින්. එසේම ටෙස්ට් තරගවල දීත් ශ්‍රී ලංකාවට හිසරදයක් වුණු මෙම පිතිකරුවා ඉනිම් 11ක දී ලකුණු 537ක් ලබාගත්තේ 59.67ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගනිමින්. එහිදී මොහුගේ පිත්තෙන් ශතක 3ක් සහ අර්ධ ශතකයන් 2ක් වාර්තා වුණා. එලෙස ටෙස්ට් තරගවල දී සුපිරි දස්කම් දැක්වූ මෙම පිතිකරුවා සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය නිමාවට පත්කළේ 1992 වසරේ ශ්‍රී ලංකා සංචාරයේ දී යි.

ජාත්‍යන්තර තරගවල දී ලකුණු 9699ක් ලබාගත්තා 

මෙම සුපිරි ක්‍රිකට් තරුව 1984-1994 කාල සමය තුළ ටෙස්ට් තරග 52කට සහ එක්දින තරග 164කට සහභාගි වුණා. එහිදී ඔහු ටෙස්ට් ලකුණු 3631ක් ලබාගන්නා විට එක්දින ලකුණු 6068ක් ලබාගත්තා. එහිදී ටෙස්ට් අර්ධ ශතක 14ක් සහ එක්දින අර්ධ ශතක 46ක් ලබාගත් ඩීන් ජෝන්ස් ටෙස්ට් ශතක 11ක් සහ එක්දින ශතකයන් 7ක් ලබාගැනීමට සමත් වුණා. ඔහු සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ලබාගත් ශතක 18න් 6ක්ම ලබාගත්තේ එංගලන්ත කණ්ඩායම හමුවේ යි.

ජීවන ඉනිම නිමා වීම 

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව ක්‍රිකට් පුහුණුකරුවෙකු සහ විස්තර විචාරකයෙකු ලෙස එක් වුණු ජෝන්ස් ඉතාමත් ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටියා. එම නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර ඔහු හෘදයාබාධයක් වැළඳී මියගිය බව ඇසීමත් සමගම ලොව පුරා ක්‍රිකට් ලෝලීන් කම්පනයට පත්වුණා. ලෝක ක්‍රිකට් පිටිය තුළ යුගයක් වර්ණවත් කළ තරුවක් වුණු ඩීන් ජෝන්ස්ගේ නික්ම යාම සමස්ත ක්‍රිකට් ලෝකයටම පිරිමැසිය නොහැකි පාඩුවක්. නමුත් ඔහු ක්‍රිකට් ලෝකය තුළ ඉතිරි කර ගිය මතකයන් සැමදාමත් ප්‍රේක්ෂකයන්ගේ මතකය තුල රැඳේවී. එසේ නම් ඩීනෝ ඔබට සුභ ගමන්.

කවරයේ ඡායාරූපය- ඩීන් ජෝන්ස් පන්දුවට පහරදෙමින් (gettyimages)

Related Articles