Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

80 දශකයේ එක්දින පිටිය කැළඹූ රිචඩ්ස්ගේ සුපිරි ඉනිම් ද්විත්වය

70 දශකයේ මුල් භාගයේ දී ආරම්භ වුණු එක්දින ක්‍රිකට් තරග රටාව 80 දශකය පමණ වන විට ප්‍රේක්ෂකයන් අතර ක්‍රමයෙන් ජනප්‍රිය වුණා. එයට හේතු වුණේ ටෙස්ට් තරගවල ඇල්මැරුණු තරග රටාවට වඩා එක්දින තරගවල උද්වේගකර තරග රටාව ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගැනීම යි. එම නිසාම 80 දශකය ආරම්භයේ සිටම වේගයෙන් පන්දුවට පහරදෙන පිතිකරුවන් ක්‍රිකට් රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වුණා. එලෙස ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණු පිතිකරුවෙකු එම දශකය තුළ එක්දින පිටියේ දක්නට ලැබුණු ආකර්ෂණීයම ඉනිම් දෙකක් ක්‍රීඩා කළා. එසේම ඉහත ඉනිම් ද්විත්වය එම යුගය වන විට එක්දින පිටිය තුළ පිතිකරුවෙකු වාර්තා ඉහළම ඉනිම් 2ක බවට පත් වුණා. එසේ නම් මෙම ලිපිය ලියැවෙන්නේ,  80 දශකය තුළ එක්දින පිටියේ සිටි භයානකම පිතිකරුවා වුණු විවියන් රිචඩ්ස්ගේ පිත්තෙන් වාර්තා වුණු සුපිරි ඉනිම් ද්විත්වය පිළිබඳව යි.

එංගලන්තය ඔවුන්ගේ බිමේ දී ම අසරණ කළ රිචඩ්ස්ගේ සුපිරි ඉනිම

1984 වසරේ මැද භාගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ටෙස්ට් තරග 5ක සහ එක්දින තරග 3ක දීර්ඝ තරග සංචාරයකට සහභාගි වීමේ අරමුණෙන් එංගලන්තයට පැමිණියා. එලෙස එංගලන්තයට පැමිණි කොදෙව්වන්ට ටෙස්ට් තරගාවලියට පෙර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියට මුහුණදීමට සිදුවුණා. එම තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ 1984 වසරේ මැයි 31 වැනි දින මැංචෙස්ටර් නුවර ඕල්ට්‍රැෆර්ඩ් පිටියේ දී යි. එම කාල වකවානුව වන විට ලොයිඩ්ගේ යකඩ රෑන ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි කොදෙව් කණ්ඩායම ලොව සිටි සෑම ක්‍රිකට් කණ්ඩායමකටම ප්‍රබල අභියෝගයක් වුණා. එම නිසාම එංගලන්තය මෙම තරගය සඳහා සහභාගි වුණේ මව්බිමේ දී කොදෙව්වන්ට එරෙහිව සිය අභිමානය රැකගැනීමේ අරමුණ ඇතිව යි.

ක්ලයිව් ලොයිඩ් (gettyimages)

එලෙස කොදෙව්වන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට පිටියට අවතීර්ණ වූ ගවර්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායමට කාසියේ වාසිය පරාජය වීම නිසා  මුලින්ම පන්දු රැකීමට සිදුවුණා. නමුත් ඔවුන් දැඩි අධිෂ්ඨානයකින් මුල් පන්දුවාර කිහිපය තුළ ක්‍රීඩා කළේ කොදෙව් ආරම්භක පිතිකරු යුගලය පීඩනයට පත් කරමින්. එලෙස කොදෙව් ආරම්භක යුගලයට දිගින් දිගටම යොමු කළ පීඩනය නිසාම ලකුණු පුවරුවට ලකුණු 11ක් එකතු වන අතර ම ඔවුන් දෙදෙනාට පිටියෙන් ඉවත් වීමට සිදුවුණා. ඉතා ඉක්මනින්ම ආරම්භක පිතිකරු යුගලය දැවීයාමෙන් පසුව පිටියේ එක්වුණු රිචඩ්ස් සහ රිචඩ්සන් කොදෙව් ඉනිම ගොඩනැගීමට උත්සාහ කළත්  ඔවුන් දෙදෙනාගේ සබඳතාවය ලකුණු 32කට සීමා වුණා. රිචඩ්සන්ගේ නික්ම යාමෙන් පසුව පිටියට පිවිසි කිසිදු කොදෙව් පිතිකරුවෙකුට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට හැකි වුණේ නැහැ. එම නිසාම කොදෙව් කණ්ඩායමේ කඩුලු 7ක් ලකුණු 102කට දැවීගියේ රිචඩ්ස්ව එක් අන්තයක තනි කරමින්.

එක් අන්තයක කඩුලු බිඳවැටුණත් රිචඩ්ස් අනිත් අන්තය රැකගනිමින් ක්‍රීඩා කළ අන්දම (gettyimages)

මෙම අවස්ථාව වන විට එංගලන්ත ක්‍රීඩා ලෝලීන් ප්‍රීතියෙන් ඉපිලී ගොස් සිටි නිසා ඔවුන්ගේ දිරිමත් කිරීම් ඔස්සේ එංගලන්ත කණ්ඩායම වඩාත් උනන්දුවෙන් තරගයට අවතීර්ණ වුණා. නමුත් ඉන් නොසැලුණු රිචඩ්ස් නවක පිතිකරු බැප්ටිස්ට් සමග එක්ව සිය කණ්ඩායම සටන්කාමී ලකුණු ප්‍රමාණයක් කරා ගෙන යාමේ සටන ආරම්භ කළා. එහි දී බැප්ටිස්ට් ලබාදුන් අනගි සහාය නිසා පන්දුවාර 35ක් අවසන් වන විට කොදෙව් ලකුණු පුවරුව 150/7 ලෙසින් දිස් වුණා. එලෙස කොදෙව් ඉනිම ස්ථාවර වෙමින් පැවතුණු අවස්ථාවේ ක්‍රියාත්මක වුණු එංගලන්ත පන්දු යවන්නන් බැප්ටිස්ට්ව සහ ගානර්ව දවාගත්තේ කොදෙව් ලකුණු පුවරුව 166/9 බවට පත් කරමින්.

කඩුලු 9ක් දැවී තිබුණත් රිචඩ්ස් ඔහුගේ සුපුරුදු පහරවල් මෙලෙසින් එල්ල කළා. (gettyimages)

ඉක්මනින්ම කඩුලු 2ක් දැවීයාම නිසා කොදෙව් කණ්ඩායම අසරණ තත්ත්වයට පත් වුණේ ඔවුන්ගේ සිහින බොඳ කරමින්. නමුත් එම මියගිය සිහිනයට නැවතත් පණදීම ආරම්භ කළ රිචඩ්ස් 42 වැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම සිය ශතකය ලබාගන්නා විට කොදෙව් ලකුණු පුවරුව 171/9 බවට පත්ව තිබුණා. මෙම අවස්ථාවේ රිචඩ්ස්ගේ සහායට අනිත් අන්තයේ සිටි පිතිකරුවා වුණු හෝල්ඩිං සිය සගයාගේ සිතුම් පැතුම් මනාව වටහා ගත්තා. එම නිසාම ඔහු සිය කඩුල්ල ආරක්ෂා කරගත්තේ රිචඩ්ස්ට අනගි සහායක් ලබාදෙමින්. සිය සගයා එලෙස ලබාදුන් අනගි සහාය නිසා නැවතත් ප්‍රාණවත් වුණු රිචඩ්ස් ඉන් අනතුරුව එංගලන්ත පන්දු යවන්නන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. එහි දී පන්දුවාර 8ක් තුළ ලකුණු 58ක් ලබාගත් මෙම පිතිකරු යුගලය 49 වැනි පන්දුවාරය අවසන් වන විට කොදෙව් ඉනිම 229/9 ලෙස ඉහළට ඔසවා තැබුවා.

49 වැනි පන්දුවාරයේ දී රිචඩ්ස් ලකුණු 150 සම්පූර්ණ කළ මොහොත (gettyimages)

එලෙස එංගලන්ත පන්දු යවන්නන්ට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ රිචඩ්ස් කොදෙව් ඉනිමේ අවසන් පන්දුවාර 6 තුළ ද එම ප්‍රහාරය නොනවත්වාම ඉදිරියට ගෙන ගියා. එම නිසාම නියමිත පන්දුවාර 55 අවසන් වන විට  කොදෙව්වන් කඩුලු 9ක් දැවී ලකුණු 272ක් ලබාගත්තේ එංගලන්තයට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්. එහි දී අවසන් කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 106ක සබඳතාවයක් පැවැත්වූ රිචඩ්ස් සහ හෝල්ඩිං එක්දින තරගයක දී 10 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ හොඳම සබඳතාවයේ හිමිකරුවන් දෙදෙනා වුණා. එසේම එම වාර්තාව අදටත් බිඳ නොවැටී පැවතීම ද සුවිශේෂී සිදුවීමක් වනවා.

කොදෙව් අභිමානය රැකගත් පිතිකරු යුගලය රිචඩ්ස් සහ හෝල්ඩිං (gettyimages)

රිචඩ්ස් – හෝල්ඩිං යුගලය එලෙස වාර්තාවක් පිහිටුවන විට පන්දු 170ක දී හතරේ පහර 21ක් සහ හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 189ක් ලබාගැනීමට රිචඩ්ස්ට හැකියාව ලැබුණා. එලෙස රිචඩ්ස් දියත් කළ සුපිරි ඉනිම එම අවදියේ දී එක්දින ඉනිමක පිතිකරුවෙකු වාර්තා කර තිබුණු ඉහළම ලකුණු ප්‍රමාණය වුණු කපිල් දේව්ගේ ලකුණු 175ක වාර්තාව අබිබවා ගියා. නමුත් රිචඩ්ස්ගේ වාර්තාව 1997 වසරේ දී පකිස්ථානු පිතිකරු සයිඩ් අන්වර් බිඳ දැමුවේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 194ක් ලබාගනිමින්. එලෙස රිචඩ්ස්ට ලෝක වාර්තාව අහිමි වුණත්, 2002 වසරේ දී විස්ඩන් සඟරාව විසින් නම් කරන ලද හොඳම එක්දින ඉනිම් 100න් පළමු ස්ථානය දිනාගත්තේ රිචඩ්ස්ගේ මෙම ලකුණු 189යේ ඉනිම යි.

විශිෂ්ට ඉනිමක් දියත් කිරීමෙන් පසුව ක්‍රීඩාගාරය වෙතට යන රිචඩ්ස් (gettyimages)

ලෝක කුසලාන වාර්තා කිහිපයක් අලුත් කළ රිචඩ්ස්ගේ සුපිරි ඉනිම 

1987 වසරේ ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩය යටතේ පැවති තරගයක් ඔක්තෝබර් 13 වැනි දින කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දුලිප් මෙන්ඩිස් කොදෙව්වන්ට මුලින්ම පන්දුවට පහරදීමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි හේන්ස් සහ බෙස්ට් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවයක් ගොඩනැගුවා. එලෙස කොදෙව් ඉනිම ගොඩනැගෙමින් තිබුණු අවස්ථාවක රවී රත්නායක පිට පිටම පන්දු 2ක දී ලබාගත් කඩුලු 2ක නිසා කොදෙව් ලකුණු පුවරුව 45/2 බවට පත් වුණා. නොසිතූ මොහොතක කඩුලු දෙකක් දැවීයාමෙන් පසු පිටියට පිවිසි නායක රිචඩ්ස්, ආරම්භක පිතිකරු හේන්ස් සමග එක්ව කොදෙව් අණසක පිටිය පුරා පැතිරවීමට පටන් ගත්තා. එදා ඔවුන්  දෙදෙනාගේ දරුණු ප්‍රහාරය ඉදිරියේ අන්ත අසරණ වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් හැකි සෑම උත්සාහයක්ම ගත්ත ද එම සබඳතාවය බිඳ දැමීමට හැකි වුණේ නැහැ. එම නිසාම තෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු දැවැන්ත ලකුණු 182ක සබඳතාවය නිමා වුණේ හේන්ස් ලකුණු 105කට දැවීයාමත් සමග යි. හේන්ස් එලෙස දැවීගියත් සිය දරුණු ප්‍රහාරය නතර නොකළ රිචඩ්ස් පන්දු 125ක් තුළ හතරේ පහර 16ක් සහ හයේ පහර 7ක් සමගින් ලකුණු 181ක් ලබාගත්තා. එහි දී ඔහු ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම ඉනිම මෙන්ම එක්දින තරගයක වැඩිම හයේ පහරවල් ප්‍රමාණය යන කපිල් දේව්ගේ වාර්තා ද්විත්වයම බිඳ දැමුවා. එසේම එදා තරගයේ දී නියමිත පන්දුවාර 50 අවසන් වන විට කොදෙව් ලකුණු පුවරුව 360/4 ලෙස සටහන් වුණා. එලෙස කොදෙව්වන් ලබාගත් ලකුණු ප්‍රමාණය එම අවදිය වන විට එක්දින තරගයක මෙන්ම එක්දින ලෝක කුසලාන තරගයක ද  කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා.

1987 ලෝක කුසලාන තරගාවලියේ දී රිචඩ්ස් පන්දුවට පහරදුන් අයුරු (gettyimages)

ක්‍රිකට් පිටියේ දී කිසිදු දිනෙක හෙල්මටයක් නොපැඳූ මෙම ප්‍රතාපවත් කොදෙව් පිතිකරුවා ඉදිරියේ එම අවදියේ සිටි පන්දු යවන්නන් අසරණ වුණා. එම නිසාම ඔහු 80 දශකය තුළ ක්‍රිකට් පිටියේ සිටි භයානකම පිතිකරුවන්ගෙන් කෙනෙකු බව ඕනෑම ක්‍රිකට් රසිකයෙකු අවිවාදයෙන්ම පිළිගන්න කරුණක්. එසේම 2002 වසරේ දී විස්ඩන් සඟරාව විසින් නම් කළ හොඳම එක්දින ඉනිම් 100 අතුරින් මුල් ස්ථාන 2ක ම හිමි වුණේ  මෙම ප්‍රතාපවත් කොදෙව් පිතිකරුවා ක්‍රීඩා කළ සුපිරි ඉනිම් දෙකකට යි. එලෙස ඔහු ක්‍රිකට් පිටියේ දී දැක්වූ සුපිරි දස්කම් නිසාම ක්‍රිකට් ක්‍රීඩාව පවතින තුරුම විවියන් රිචඩ්ස් නාමය මිය නොයනු ඇති.

කවරයේ ඡායාරූපය- රිචඩ්ස් ලබාගත් ලකුණු 189ක ඉනිමේ අවස්ථාවක් (gettyimages)

Related Articles