Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දු ලෝක කුසලානයේ සාර්ථක ම කණ්ඩායම බ්‍රසීලයද? ජර්මනියද? 

1930 දී පැවැත්වුණු මුල් ම පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා උරුගුවේ රාජ්‍යය සත්කාරකත්වය ලබා දුන්නා. උරුගුවේ රාජ්‍යයට මුල් ම පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමි වුණේ ඔවුන් 1924 සහ 1928 ඔලිම්පික් උළෙලවල දී පාපන්දු රන් පදක්කම දිනා ගෙන තිබුණු නිසා යි. එසේ ආරම්භ වුණු පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ගෙවුණු වසර 92ක කාලය තුළ 21 වතාවක් පවත්වා තිබෙනවා. 

එම තරගාවලිවල දී වඩාත් ම සාර්ථක වුණු කණ්ඩායම කුමක්දැයි ඇසුවොත් බොහෝ දෙනෙක් ලබාදෙන පිළිතුර  වන්නේ බ්‍රසීලය යන්න යි.

1930 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය – gettyimages.com

බ්‍රසීලය, පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත් ම සාර්ථක වුණු කණ්ඩායම ලෙසින් බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ඔවුන් පස් වතාවක් පාපන්දු ලෝක කුසලානය දිනා ගත් නිසා යි. එය යම් රටක් පාපන්දු ලෝක කුසලානය දිනා ගත් වැඩි ම වාර ගණන ලෙසින් අදටත් වාර්තා අතර රැඳී පවතිනවා.

බ්‍රසීලය මුල් ම වරට පාපන්දු ලෝක කුසලානය දිනා ගත්තේ 1958 දී යි. එවර තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දුන්නේ ස්වීඩනය යි. එය දකුණු අමෙරිකානු රටක් යුරෝපයේ පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් ජයග්‍රහණය කළ මුල් ම සහ එක ම අවස්ථාව බවට පත් වුණා.   

 බ්‍රසීල කණ්ඩායම 1990 දශකයේ දී – gettyimages.com

එම ජයග්‍රහණයෙන් පසු පාපන්දු ලොවේ රජවරුන් සේ වැජඹුණු බ්‍රසීලය 1962 සහ 1970 පාපන්දු ලෝක කුසලාන තරගාවලි ද ජයග්‍රහණය කළා. එනිසා බ්‍රසීලය පාපන්දු ලෝක කුසලානය තුන් වාරයක් ජයග්‍රහණය කළ මුල්ම රට බවට පත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජූල්ස් රිමේ පාපන්දු ලෝක කුසලානයේ සින්නක්කර අයිතිය ද බ්‍රසීලයට හිමි වුණා.

1970 පාපන්දු ලෝක කුසලානය සඳහා සහභාගි වුණු බ්‍රසීල කණ්ඩායම පාපන්දු ඉතිහාසයේ බිහිවුණු හොඳ ම කණ්ඩායම ලෙස බොහෝ පාපන්දු විචාරකයන් හඳුන්වනවා. එම ජයග්‍රහණවලින් පසුව බ්‍රසීලය 1994 සහ 2002 වසරවල දී පාපන්දු ලෝක කුසලානය නැවත වරක් දිනා ගත්තා. 

1958 පාපන්දු ලෝක කුසලානය දිනාගත් බ්‍රසීල කණ්ඩායම – gettyimages.com

1950 සහ 1998 පාපන්දු ලෝක කුසලාන තරගාවලිවල අනු ශූරතාව හිමි වුණේ ද බ්‍රසීලයට යි. එහි දී 1950 තරගාවලියේ අවසන් තරගයක් නොපැවැත්වුණු නිසා බ්‍රසීලය සුදුසුකම් ලබා ගත්තේ පාපන්දු ලෝක කුසලාන අවසන් තරග 6කට පමණ යි. ඊට අමතර ව බ්‍රසීලය 1938 සහ 1978 යන පාපන්දු ලෝක කුසලානවල තෙවන ස්ථානය දිනා ගනිමින් දස්කම් දැක්වීමට සමත් වුණා.

1986 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගය අතරතුර – gettyimages.com

එසේ බ්‍රසීලය සාර්ථකත්වයට පත් වුණු පාපන්දු ලෝක කුසලාන තරගාවලිවල දී පේලේ, වාවා, ගරින්චා, ඇඩෙමිර්, රොනාල්ඩෝ, රොමාරියෝ, රිවාල්ඩෝ, ලියෝනිඩාස්, ජර්සින්හෝ වැනි ක්‍රීඩකයන් ගෝල වැඩි ප්‍රමාණයක් ලබාගනිමින් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. 

බ්‍රසීලය 1994 පාපන්දු ලෝක කුසලානය දිනාගත් මොහොත – gettyimages.com

බ්‍රසීලය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ දස්කම් දක්වද්දී ඔවුන්ට නොදෙවෙනි අයුරින් දස්කම් දැක්වීමට ජර්මනියට හැකි වුණා. ජර්මනිය දෙකට බෙදී තිබුණු කාලයේ (1945 සිට 1990 දක්වා) ඔවුන් බටහිර ජර්මනිය සහ නැඟෙනහිර ජර්මනිය ලෙසින් පාපන්දු ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගි වුණා.

මිරස්ලෝව් ක්ලෝස් ජර්මනිය වෙනුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

ඒ අතුරින් වඩාත් කැපී පෙනුණු කණ්ඩායම බවට පත්වුණේ බටහිර ජර්මනිය යි. ඔවුන්  1954, 1974 සහ 1990 යන වසරවල පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලි ජයග්‍රහණය කළා. ඉන් නොනැවතුණු ජර්මනිය  2014 දී පාපන්දු ලෝක කුසලානය නැවතත්  දිනා ගත්තා. එවර තරගාවලිය බ්‍රසීලයේ දී පැවැත්වුණා. එය යුරෝපා රටක් දකුණු අමෙරිකාවේ දී පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ මුල්ම අවස්ථාව ලෙසින් ඉතිහාසගත වුණා. 

1998 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයේ අවස්ථාවක් – gettyimages.com 

එසේ සිව් වාරයක් පාපන්දු ලෝක කුසලානය දිනා ගත් ජර්මනිය තවත් අවස්ථා 4ක දී පාපන්දු ලෝක කුසලාන අනු ශූරතාව දිනා ගෙන තිබෙනවා. ඒ 1966, 1982, 1986 සහ 2002 යන වසරවල දී යි. ඒ අනුව ජර්මනිය 8 වතාවක් පාපන්දු ලෝක කුසලාන අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය යම් රටක් පාපන්දු ලෝක කුසලාන අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත් වැඩි ම වාර ගණන යි.

පේලේ බ්‍රසීලය වෙනුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

ඊට අමතර ව 1934, 1970, 2006 සහ 2010 පාපන්දු ලෝක කුසලාන තරගාවලිවල තෙවන ස්ථානය දිනා ගත්තේ ද ජර්මනිය යි. ජර්මනිය සාර්ථක වුණු පාපන්දු ලෝක කුසලාන තරගාවලිවල දී ගර්ඩ් මුලර්, මැක්ස් මොර්ලොක්, හෙල්මට් රාන්, මිරස්ලෝව් ක්ලෝස්, ලෝතර් මතායස්, තෝමස් මුලර් වැනි ක්‍රීඩකයන් ගෝල වැඩි ප්‍රමාණයක් වාර්තා කරමින් ඉහළ දස්කම් දැක්වීමට සමත් වුණා. 

1990 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ බටහිර ජර්මානු කණ්ඩායම – gettyimages.com

ඉහත දත්තවලට අනුව පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ අවස්ථා 12ක දී ජර්මනිය මුල් ස්ථාන තුන අතරට පැමිණෙද්දී බ්‍රසීලය එම දස්කම දක්වා ඇත්තේ අවස්ථාවන් 9කදී පමණ යි. එයින් පැහැදිලි වන්නේ බ්‍රසීලය පාපන්දු ලෝක කුසලානය වැඩි ම වාර ගණනක් දිනාගෙන තිබුණත්, පාපන්දු ලෝක කුසලාන තරග ඉතිහාසයේ වඩාත් සාර්ථක ම කණ්ඩායම ජර්මනිය බව යි. පාපන්දු ලෝක කුසලාන දත්ත නිරීක්ෂණය කිරීමේ දී ඒ බව පැහැදිලිව ඔප්පු වුණත් එය තරමක් විවාදයට තුඩු දෙන කාරණයක්. 

ජර්මානු පාපන්දු කණ්ඩායම 2002 පාපන්දු ලෝක කුසලානය අතරතුර – gettyimages.com

කවරයේ ඡායාරූපය- ජර්මනිය 2014 පාපන්දු ලෝක කුසලානයේ පහස විඳගනිමින් - gettyimages.com
මූලාශ්‍ර:
Fifa.com

Related Articles