Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1999 එක්දින ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම

එංගලන්ත බිමේ දී අවසන් වරට එක්දින ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වුණේ 1999 වසරේ දී යි. නවතම මුහුණුවරකින් පැවති එම තරගාවලිය සඳහා super six ලෙසින් වෙනස්ම ආකාරයේ තරග වටයක් ඇතුළත් වුණා. මූලික වටයේ තරග අවසානයේ දී එක් කාණ්ඩයකින් රටවල් 3ක් පමණක් super six වටයට සුදුසුකම් ලැබීමට නියමිතව තිබුණු නිසා, ප්‍රබල කණ්ඩායම් කිහිපයකට මූලික වටයෙන්ම තම ලෝක කුසලාන ගමන නිමා කරන්නට සිදුවුණා. එලෙස මූලික වටයේ තරග අවසන් වීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාව, පකිස්තානය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ නවසීලන්තය යන කණ්ඩායම් 5 super six වටයට සුදුසුකම් ලබන විට හිටපු ලෝක ශූරයන් වුණු ශ්‍රී ලංකාව සහ සත්කාරක රට වුණු එංගලන්තය පරාජය කරමින් සිම්බාබ්වේ කණ්ඩායම super six වටයට සුදුසුකම් ලැබුවේ කිසිවෙකු බලාපොරොත්තු නොවුණු අයුරින්. එම නිසාම මෙම ලිපිය වෙන් වන්නේ, 1999 එක්දින ලෝක කුසලාන තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමේ දක්ෂතා වෙනුවෙනුයි.

සිම්බාබ්වේ ක්‍රීඩකයන් කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් (cricket365.com)

මූලික වටයේ තරගවල දී සිම්බාබ්වේ කණ්ඩායම දැක්වූ දස්කම් 

මූලික වටයේ දී තරග 5කට සහභාගි වුණු සිම්බාබ්වේ කණ්ඩායම ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ කෙන්යාව පරාජයට පත් කරමින් සුපිරි හයදෙනාගේ තරග වටයට සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය යන කණ්ඩායම් දෙකේ ලෝක කුසලාන ගමන පළමු වටයෙන් ම නිමා කරමින්.

නීල් ජොන්සන්ගේ තුන් ඉරියව් දස්කම් නිසා කෙන්යානු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට පහසු ජයක් 

සිම්බාබ්වේ කණ්ඩායම තරගාවලියේ දී ඔවුන් මුහුණදුන් පළමු තරගය කෙන්යානු කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළේ ටෝන්ටන් නුවර දී යි. මෙම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් කෙන්යානු කණ්ඩායමේ පළමු කඩුලු 4ම ලකුණු 87ක් තුළ දැවී ගියා. අනතුරුව මොරිස් ඔඩුම්බේ සහ අල්ඩේෂ් වාඩර් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 84ක සබඳතාවය නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී කෙන්යානු කණ්ඩායමට කඩුලු 7ක් දැවී ලකුණු 229ක් ලබාගැනීමට හැකි වුණා. එහි දී කෙන්යානු ඉනිම ශක්තිමත් කරමින් වාඩර්, ලකුණු 54ක් ලබාගන්නා විට සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ නීල් ජොන්සන්, ලකුණු 42කට කඩුලු 4ක් ලබාගත්තා. ඉන්පසුව ජයග්‍රහණය සඳහා ලකුණු 230ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන්  ආරම්භක පිතිකරු නීල් ජොන්සන්, ලකුණු 59ක් ලබාගනිමින් ලබාදුන් ආරම්භය නිසා පන්දුවාර 41ක දී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඉතාමත් පහසුවෙන්. 

නීල් ජොන්සන්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ඔලොන්ගාගේ සුපිරි පන්දුවාරය නිසා ඉන්දීය තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට තියුණු ජයක් 

ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලෙස්ටෂයර්හී පැවති තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 252ක් ලබාගත්තේ ඇන්ඩි ෆ්ලවර් නොදැවී ලබාගත් ලකුණු 68 නිසා යි. ඊට අමතරව එදා ඉන්දීය පන්දු යවන්නන් වයිඩ් පන්දු 21ක් සහ නිපන්දු 16ක් යවමින් ලබාදුන් සමස්ත අතිරේක ලකුණු 51 නිසා ගතවුණු අමතර කාලය හේතුවෙන්, ඔවුන්ට  පන්දුවාර 46ක දී ලකුණු 253ක ඉලක්කයක් හඹා යාමට සිදුවුණා.

ඇන්ඩි ෆ්ලවර් පන්දුවට පහරදෙමින් (sportskeeda)

ලකුණු 253ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 56ක් තුළ දැ වීගියා. නමුත් එම අවස්ථාවේ සඳගෝපන් රමේෂ් සහ අජේ ජඩේජා ලකුණු 99ක සබඳතාවයක් 4 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුවා. එලෙස ඔවුන් දෙදෙනා ඉන්දීය ඉනිම ශක්තිමත් කළ නිසා පන්දුවාර 44ක් අවසානයේ දී ඉන්දීය කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 244ක් ලබා සිටියේ ජයග්‍රහණය අබියස යි. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු සිම්බාබ්වේ කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක හෙන්රි ඔලොන්ගා, 45 වැනි  පන්දුවාරය තුළ රොබින් සිං, ජවගාල් ශ්‍රීනාත් සහ වෙන්කටේෂ් ප්‍රසාද් යන පිතිකරුවන් තිදෙනා ම දවාගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 3ක තියුණු ජයක් උරුමකර දෙමින්.

ඔලොන්ගා ඉන්දීය කණ්ඩායමේ අවසන් කඩුල්ල දවාගත් අවස්ථාව (sportskeeda)

ශ්‍රී ලංකාව හමුවේ සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 6ක පරාජයක් 

තරගාවලිය තුළ සහභාගි වුණු මුල් තරග 2ම ජයග්‍රහණය කර ජයග්‍රාහී මානසිකත්වයකින් පසුවුණු සිම්බාබ්වේ කණ්ඩායම, වොරික්ෂයර් හී දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී මුලින්ම පන්දුවට පහර දී නියමිත පන්දුවාර 50 අවසානයේ දී ලබාගත්තේ කඩුලු 9ක් දැවී ලකුණු 197ක් පමණ යි.

කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් (gettyimages)

ඉන්පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මාවන් අතපත්තු ලබාගත් ලකුණු 54 නිසා පන්දුවාර 46ක් අවසානයේ දී කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකිරීමට ඔවුන්ට හැකි වුණා.

තරගයේ වීරයා බවට පත්වුණු මාවන් අතපත්තු (gettyimages)

එංගලන්තය හමුවේ සිම්බාබ්වේ කණ්ඩායමට දරුණු පරාජයක් 

සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ට්‍රෙන්ට්බ්‍රිජ් හී දී පැවති මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරුවන් එංගලන්ත වේග පන්දු යවන්නන් ඉදිරියේ අසරණ වුණු නිසාම ඔවුන්ට  නියමිත පන්දුවාර 50 අවසානයේ දී ලබාගැනීමට හැකි වුණේ කඩුලු 8ක් දැවී ලකුණු 167ක් පමණ යි. ඉන්පසුව ලකුණු 168ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ග්‍රැහැම් තෝර්ප් ලබාගත් ලකුණු 62 සහ නසාර් හුසේන් නොදැවී ලබාගත් ලකුණු 57 නිසා පන්දුවාර 38.3ක දී කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට එංගලන්තයට හැකි වුණා.

ග්‍රැහැම් තෝප්ගේ අගනා ඉනිමේ එක් අවස්ථාවක් (gettyimages)

දකුණු අප්‍රිකානුවන් පරාජය කළ සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි හයදෙනාගේ වටයට 

සුපිරි කණ්ඩායම් හයේ වටය සඳහා සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව චෙල්ම්ස්ෆෝඩ් හි දී පැවති මෙම තරගය ජයගැනීම සිම්බාබ්වේ කණ්ඩායමට අනිවාර්ය වුණා. එවැනි වටපිටාවක් යටතේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු නීල් ජොන්සන්, ලබාගත් අගනා ලකුණු 76 නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී සිම්බාබ්වේ ඉනිම නිමාවුණේ  233/6ක් ලෙසින්.

නීල් ජොන්සන් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පන්දුවට පහරදෙමින් (sportskeeda)

ලකුණු 234ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම සිම්බාබ්වේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා වුණු ජොන්සන් සහ ස්ට්‍රීක් ඉදිරියේ අන්ත අසරණ වුණු නිසාම, ඔවුන්ගේ මුල් කඩුලු 6ම ලකුණු 40ක් තුළ දැවී ගියා. නමුත් එම අවස්ථාවේ කලිනන් ලකුණු 29ක්, පොලොක් සහ ක්ලූස්නර් ලකුණු 52ක බැගින් ලබාගෙන අප්‍රිකානුවන් ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සහ කළත් එය අසාර්ථක වුණේ  පන්දුවාර 47.2ක් තුළ දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 185කට සීමාවුණු නිසා යි.

නීල් ජොන්සන් කඩුල්ලක් දවාගනිමින් (pindula.com)

මූලික වටයේ තරග අවසානයේ දී සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි 6 තරග වටයට සුදුසුකම් ලැබුවේ ප්‍රසාද ලකුණු 4ක් සමග යි . එසේ ඔවුන්ට  ලකුණු 4ක් ලැබීමට හේතුව වුණේ ඔවුන්ගේ කාණ්ඩයෙන් එම වටයට සුදුසුකම් ලැබූ ඉතිරි කණ්ඩායම් දෙක වුණු දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව මූලික වටයේ දී සිම්බාබ්වේ හමුවේ පරාජය වීම යි. 

සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි 6 වටයේ දී තරගාවලියෙන් ඉවත් වෙයි

සුපිරි 6 වටයේ දී සිම්බාබ්වේ කණ්ඩායම මුහුණ දුන් මුල්ම තරගය වුණු නවසීලන්ත තරගය වර්ෂාව නිසා අතහැර දැමීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට තවත් ප්‍රසාද ලකුණක් ලැබුණත්, ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හොඳම අවස්ථාවක් තිබුණා. ඉන්පසුව සිම්බාබ්වේ කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරගයේ දී ලකුණු 304ක දැවැන්ත ඉලක්කයක් හඹා ගියා. එහි දී නීල් ජොන්සන් ලකුණු 132ක් ලබාගනිමින් සිම්බාබ්වේ කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නැංවුවත්, ඔහු දැවී යාමත් සමගම සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 44ක පරාජයක් උරුමකර ගත්තා. සුපිරි 6 වටයේ දී සිම්බාබ්වේ කණ්ඩායම මුහුණදුන් අවසන් තරගය පැවැත්වුණේ පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව යි. එම තරගයේ දී ලකුණු 272ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම සක්ලේන් මුෂ්ටාක් ලබාගත් කඩුලු ත්‍රිත්වය නිසා සියලුදෙනාම දැවී ලබාගත්තේ ලකුණු 123ක් පමණ යි. 

නීල් ජොන්සන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලබාගත් ශතකයේ එක් අවස්ථාවක් (gettyimages)

1999 ලෝක කුසලාන තරගාවලියේ සිම්බාබ්වේ වීරයා නීල් ජොන්සන් 

තරගාවලිය පුරාවටම තුන් ඉරියව් දස්කම් දැක්වූ නීල් ජොන්සන්, තරග 8ක් තුළ 52.43ක පිතිකරණ සාමාන්‍යයක් සහිතව ලකුණු 367ක් ලබාගත්තේ ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමග යි. එහි දී ජොන්සන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 132 ඔහුගේ හොඳම ඉනිම යි. පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද සුපිරි දස්කම් දැක්වූ ජොන්සන්, ලකුණු 233කට කඩුලු 12ක් දවාගත්තේ 19.42ක පන්දු යැවීමේ සාමාන්‍යයක් සහිතව යි.

නීල් ජොන්සන් දකුණු අප්‍රිකා තරගයේ දී දස්කම් දක්වමින් (cricinfo)

Related Articles