Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආසියා කුසලාන ඉතිහාසයේ දස්කම් පෑ පන්දු යවන්නෝ 5ක්

ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලිය 1984 වසරේ සිට මේ දක්වා 14 වතාවක් පවත්වා තිබෙනවා. ඒ අතුරින් 13 වතාවක් ම එය එක්දින තරග රටාවට අනුව පැවැත්වෙද්දී 2016 තරගාවලිය පමණක් 20/20 තරග රටාවට අනුව ක්‍රියාත්මක වුණා. එලෙස පැවති තරගාවලිවල දී පිතිකරුවන්ගේ දස්කම් වැඩිපුර මතු වුණත් ඇතැම් පන්දු යවන්නන් සාර්ථක ව ප්‍රතිවාදී පිතිකරුවන් මෙල්ල කළා.

එනිසා තරගාවලි ඉතිහාසය තුළ කඩුලු 20කට වඩා වැඩියෙන් දවාගත් පන්දු යවන්නන් 11 දෙනකු අපට හමු වෙනවා. මේ කියන්නට යන්නේ ඔවුන් අතුරින් වැඩි ම කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නන් පස් දෙනා දැක්වූ දස්කම් පිළිබඳව යි. 

5)’ ශකිබ් අල් හසන් (බංග්ලාදේශය)- කඩුලු 24 (ඉනිම්- 18)

 බංග්ලාදේශය පසුගිය කාලයේ දී නියෝජනය කළ ප්‍රබලත ම ක්‍රීඩකයෙක් වන ශකීබ් අල් හසන් මුල් ම වරට ආසියා කුසලාන තරගාවලියක් සඳහා සහභාගි වුණේ 2010 වසරේ දී යි. එවර ශ්‍රී ලංකාවේ පැවති තරගාවලියේ දී තරග 3කට සහභාගි වුණු ශකීබ්ට දවා ගැනීමට හැකි වුණේ කඩුලු 5ක් පමණ යි. එහි දී ඔහුගේ හොඳ ම පන්දු යැවීම ලෙසින් සටහන් වුණේ ඉන්දියාවට එරෙහි ව ලකුණු 49කට දවා ගත් කඩුලු 2යි. 

ශකීබ් ඉන්දියාවට එරෙහිව දස්කම් දක්වමින් (gettyimages.com)

 

 බංග්ලාදේශයේ දී 2012 පැවති ආසියා කුසලාන තරගාවලිය සඳහා සහභාගි වුණු ශකීබ්ට පන්දුවෙන් වැඩි දස්කමක් දැක්වීමට හැකි වුණේ නැහැ. එහි දී ඔහුට තරග 4කට සහභාගි වී බිඳ දැමීමට හැකි වුණේ කඩුලු 6ක් පමණ යි. එවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්වුණු බංග්ලාදේශය ප්‍රබල ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අභිබවා අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

එම අවසන් තරගයේ දී ශකීබ් ලකුණු 39කට කඩුලු 2ක් දවා ගනිමින් පන්දුවෙන් සැලකිය යුතු තරම් දස්කම් දැක්වුවත් අවසානයේ ලකුණු 2ක තියුණු ජයක් හිමි වුණේ පාකිස්තානයට යි. 

ශකීබ් අවසන් තරගයේ දී කඩුල්ලක් දවා ගනිමින් – gettyimages.com

 

ශකීබ්ගේ ක්‍රිකට් ක්‍රීඩා දිවියේ පන්දුවෙන් වඩාත් අසාර්ථක වුණු ආසියානු කුසලාන තරගාවලිය බවට පත් වුණේ 2014 තරගාවලිය යි. එම තරගාවලියේ දී තරග 2කට සහභාගි වුණු ශකීබ් දවා ගත්තේ එක් කඩුල්ලක් පමණ යි. ඊට වසර 2කට පසුව එනම් 2016 දී ආසියා කුසලාන තරගාවලිය පැවැත්වුණේ 20/20 තරග රටාවට අනුව යි.

එම තරගාවලියේ දී තරග 5කට ක්‍රීඩා කළ ශකීබ්ට දවා ගැනීමට හැකි වුණේ කඩුලු 5ක් පමණ යි. එහි දී ඔහුගේ හොඳ ම පන්දු යැවීම ලෙසින් සටහන් වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි ව ලකුණු 20කට දවා ගත් කඩුලු 2 යි. 

ශකීබ් 2016 ආසියානු කුසලානයේ දී දස්කම් දක්වමින් – gettyimages.com

 

2018 ආසියා කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වුණා. එය ශකීබ් පන්දුවෙන් ඉහළම දස්කම් දැක්වූ ආසියා කුසලාන තරගාවලිය යි. එවර තරගාවලියේ තරග 4කට ක්‍රීඩා කළ ශකීබ් කඩුලු 7ක් දවා ගත්තා.

එහි දී ඔහුගේ හොඳ ම පන්දු යැවීම බවට පත්වුණේ ඇෆ්ගනිස්තානයට එරෙහි ව ලකුණු 42කට දවා ගත් කඩුලු 4යි. මේ ආසියා කුසලාන තරගවල ශකීබ්ගේ පන්දු යැවීමේ දත්ත වාර්තාව යි.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පන්දුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

 

ඉනිම්- 18  

පන්දුවාර- 144.2

නිලකුණු පන්දුවාර- 5  

ලකුණු- 730 

කඩුලු- 24 

හොඳම පන්දු යැවීම- 42/4 (ඇෆ්ගනිස්තානයට එරෙහිව)

පන්දු යැවීමේ සාමාන්‍ය- 30.41

පන්දුවාරයකට ලකුණු- 5.05

ප්‍රහාරාත්මක වේගය- 36.08 

4). සහීඩ් අජ්මාල් (පාකිස්තානය) – කඩුලු 25 (ඉනිම් – 12)

ආසියා කුසලාන තරගාවලි ඉතිහාසයේ පාකිස්තානය වෙනුවෙන් පන්දුවෙන් ඉහළ ම දස්කම් දැක්වූයේ සහීඩ් අජ්මාල් නම් දකුණත් පිටදඟ පන්දු යවන්නා යි. 2008 ආසියා කුසලාන තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහි ව පැවති තරගයේ දී එක්දින වරම් දිනා ගත් අජ්මාල් එවර තරගාවලියේ දී තරග 2කට පමණක් සහභාගි වෙමින් කඩුලු 3ක් දවා ගත්තා. 

අජ්මාල් සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කරමින් – gettyimages.com

 

2010 දී ශ්‍රී ලංකාවේ පැවති ආසියා කුසලාන තරගාවලියේ දීත් අජ්මාල්ට පන්දුවෙන් විශේෂ යමක් කිරීමට හැකි වුණේ නැහැ. එවර තරගාවලියේ දී ඔහු තරග 3ක් තුළ දවා ගත්තේ කඩුලු 3ක් පමණ යි. 2012 වසරේ බංග්ලාදේශයේ පැවැත්වුණු ආසියා කුසලාන තරගාවලිය ජයග්‍රහණය කළේ පාකිස්තානය යි. ඊට පෙර  ඔවුන් ආසියා කුසලාන දිනා ගෙන තිබුණේ 2000 වසරේ දී යි. 

ඒ අනුව වසර 12කට පසුව පාකිස්තානය ආසියා කුසලානය දිනා ගත් අවස්ථාවේ පන්දුවෙන් සැලකියයුතු තරම් දස්කම් දැක්වූ අජ්මාල් තරග 4කදී කඩුලු 8ක් බිඳ දැමුවා. එහි දී ඔහුගේ හොඳ ම පන්දු යැවීම ලෙසින් සටහන් වුණේ ශ්‍රී ලංකාවට එරෙහි ව ලකුණු 27කට දවා ගත් කඩුලු 3 යි. 

2012 තරගාවලියේ දී පන්දුවෙන් දස්කම් පෑ අජ්මාල් – gettyimages.com

 

සහීඩ් අජ්මාල් අවසන් වරට ආසියා කුසලානයක් සඳහා ක්‍රීඩා කළේ 2014 වසරේ දී යි. එවර තරගාවලියේ දී පන්දුවෙන් සුපිරි දස්කම් දැක්වූ අජ්මාල් තරග 5කදී කඩුලු 11ක් දවා ගෙන තරගාවලියේ වැඩි ම සම ලකුණු ලාභියා බවට පත් වුණා.

එහි දී ඔහු ශ්‍රී ලංකාවට එරෙහි ව පැවති අවසන් තරගයේ දී ලකුණු 26කට කඩුලු 3ක් දවා ගත්තා. අජ්මාල් ආසියා කුසලාන තරගවල දී පන්දු පෑ දස්කම් පිළිබඳ දත්ත පහතින් දැක්වෙනවා. 

අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව සහීඩ් අජ්මාල් දස්කම් දක්වමින් – gettyimages.com

 

ඉනිම්- 12

පන්දුවාර- 115

නිලකුණු පන්දුවාර- 6 

ලකුණු- 485

කඩුලු- 25

හොඳ ම පන්දු යැවීම- 26/3 (ශ්‍රී ලංකාවට එරෙහිව)

පන්දු යැවීමේ සාමාන්‍ය- 19.40

පන්දුවාරයකට ලකුණු- 4.21

ප්‍රහාරාත්මක වේගය- 27.60

3). අජන්ත මෙන්ඩිස් (ශ්‍රී ලංකාව)- කඩුලු 26 (ඉනිම්- 8)

ආසියා කුසලාන ඉතිහාසය ගැන කතා කරන ශ්‍රී ලංකාවේ අජන්ත මෙන්ඩිස් අමතක කරන්නට බැහැ. ඒ ඔහු සහභාගි වුණු ආසියා කුසලාන තරගාවලි ද්විත්වයේ දී දැක්වූ සුපිරි දස්කම් නිසා යි. අජන්ත මුල් ම වරට ආසියා කුසලාන තරගාවලියක් සඳහා සහභාගි වුණේ 2008 වසරේ දී යි.

එවර පාකිස්තානයේ පැවති ආසියා කුසලාන තරගාවලියේ දී පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ අජන්ත තරග 5කට සහභාගි වෙමින් කඩුලු 17ක් බිඳ දැමුවා. එය තනි ආසියා තරගාවලියක දී යම් පන්දු යවන්නෙක් දවා ගත් වැඩි ම කඩුලු ප්‍රමාණය ලෙසින් අදටත් වාර්තා අතර රැඳී පවතිනවා. 

අජන්ත ආසියානු කුසලාන තරගාවලියේ දී දස්කම් දක්වමින් – gettyimages.com

 

එහි දී අජන්ත එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි ව පැවති මූලික වටයේ තරගයේ දී ලකුණු 22කට කඩුලු 5ක් දවා ගත්තා. පාකිස්තානයට එරෙහි ව ක්‍රීඩා කළ සුපිරි කණ්ඩායම් 4 වටයේ තරගයක දී ද ලකුණු 47කට කඩුලු 4ක් දවා ගෙන දස්කම් දැක්වීමට සමත් වුණා.

ඉන් නොනැවතුණු මෙම සුපිරි පන්දු යවන්නා ඉන්දියාවට එරෙහි ව පැවති අවසන් තරගයේ දී ලකුණු 13කට කඩුලු 6ක් දවා ගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

අජන්ත අවසන් තරගයේ දී දස්කම් දක්වමින් – gettyimages.com

 

ඒ අයුරින් අජන්ත ලකුණු 13කට දවා ගත් කඩුලු 6 ආසියා කුසලාන තරගයක දී යම් පන්දු යවන්නෙක් සිදු කළ හොඳ ම පන්දු යැවීම ලෙසින් අදටත් වාර්තා අතර රැඳී පවතිනවා.

2008 ආසියා තරගාවලිය පුරා පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ අජන්ත අවසානයේ දී තරගාවලියේ වීරයා සම්මානය ද දිනා ගත්තා.  

අජන්ත තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත් අවස්ථාව – gettyimages.com 

 

සිය මංගල ආසියා කුසලාන තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වූ අජන්ත ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියක් නැවතත් ක්‍රීඩා කළේ 2014 වසරේ දී යි. එවර තරගාවලියේ දීත් සැලකිය යුතු තරම් දස්කම් දැක්වූ මෙම පන්දු යවන්නා තරග 3කදී කඩුලු 9ක් දවා ගත්තා.

එහි දී ඔහු ඉන්දියාවට එරෙහි ව ලකුණු 60කට කඩුලු 4ක් ද, ඇෆ්ගනිස්තානයට එරෙහි ව ලකුණු 11කට කඩුලු 3ක් ද දවා ගනිමින් දැක්වූ දස්කම් අමතක කරන්නට බැහැ. මේ ආසියා කුසලාන ඉතිහාසයේ අජන්තගේ පන්දු යැවීමේ දත්ත සටහන් වුණු ආකාරය යි. 

2014 ආසියානු කුසලානයේ දී දස්කම් දක්වමින් – gettyimages.com

ඉනිම්- 8

පන්දුවාර- 68

නිලකුණු පන්දුවාර- 5

ලකුණු- 271

කඩුලු- 26

හොඳම පන්දු යැවීම- 13/6 (ඉන්දියාවට එරෙහිව)

පන්දු යැවීමේ සාමාන්‍ය- 10.42

පන්දුවාරයකට ලකුණු- 3.98

ප්‍රහාරාත්මක වේගය- 15.60

2). මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)- කඩුලු 30 (ඉනිම්- 24)

මුත්තයියා මුරලිදරන් මුල් ම වරට ආසියා කුසලාන තරගාවලියක් සඳහා ක්‍රීඩා කළේ 1995 වසරේ දී යි. එවර තරගාවලිය යටතේ තරග 3කට ක්‍රීඩා කළ මුරලිදරන් කඩුලු 5ක් දවා ගත්තා. එහි දී ඔහුගේ හොඳ ම පන්දු යැවීම ලෙසින් සටහන් වුණේ බංග්ලාදේශයට එරෙහි ව ලකුණු 23කට දවා ගත් කඩුලු 4 යි. ඉන් වසර 2කට පසුව එනම් 1997 දී පැවැත්වුණු ආසියා කුසලාන තරගාවලියේ දී එතරම් දස්කම් නොපෙන්වූ මුරලිදරන් තරග 4කට සහභාගි වී දවා ගත්තේ කඩුලු 3ක් පමණ යි.

මුත්තයියා මුරලිදරන් – gettyimages.com

 

2000 වසරේ බංග්ලාදේශයේ පැවති ආසියා කුසලාන තරගාවලියේ දීත් මුරලිදරන්ගේ දස්කම් ඉස්මතු වුණේ නැහැ. එහි දී ඔහු තරග 4කට සහභාගි වී දවා ගත්තේ කඩුලු 2ක් පමණ යි.

2004 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවති ආසියා කුසලාන තරගාවලියේ දී තරග 5කට ක්‍රීඩා කළ මුරලිදරන් කඩුලු 6ක් දවා ගත්තා. එහි දී ඔහුගේ හොඳ ම පන්දු යැවීම වුණු 21/3 වාර්තා වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි ව යි. 

2004 ආසියානු කුසලානයේ දී දස්කම් දක්වමින් (alamy.com)

 

මුත්තයියා මුරලිදරන්ගේ ක්‍රිකට් ක්‍රීඩා දිවියේ හොඳ ම ආසියා කුසලාන තරගාවලිය බවට පත්වුණේ 2008 තරගාවලිය යි. එවර තරගාවලිය යටතේ තරග 5කට සහභාගි වුණු මුරලිදරන් කඩුලු 11ක් බිඳ දැමීමට සමත් වුණා.

එහි දී මුරලිදරන් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ව ලකුණු 31කට දවා ගත් කඩුලු 5 ඔහුගේ ආසියා කුසලාන තරග දිවියේ හොඳ ම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා. 

බංග්ලාදේශයට එරෙහි ව දස්කම් දක්වමින් – gettyimages.com

 

2010 දී ශ්‍රී ලංකාවේ පැවති ආසියානු කුසලාන තරගාවලිය මෙම විශිෂ්ට පන්දු යවන්නා ක්‍රීඩා කළ අවසන් ආසියානු කුසලාන තරගාවලිය යි. එවර තරගාවලියේ දී තරග 3කට ක්‍රීඩා කළ මුරලිදරන්ට දවා ගැනීමට හැකි වුණේ කඩුලු 3ක් පමණ යි. එහි දී පාකිස්තානයට එරෙහි ව තරගයේ මුරලිදරන් ක්‍රියාත්මක කළ පන්දුවාර 10 තුළ ලකුණු 71ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත් වුණා.

එය ආසියානු කුසලාන තරගයක දී මෙම පන්දු යවන්නා සිදු කළ දුර්වල ම පන්දු යැවීම බවත් මෙහි දී සිහිපත් කළ යුතු යි. මේ ආසියා කුසලාන තරග ඉතිහාසයේ මුරලිදරන්ගේ පන්දු යැවීමේ දත්ත යි. 

මුරලිදරන් 2010 ආසියා කුසලාන තරගාවලියේ දී – gettyimages.com

ඉනිම්- 24

පන්දුවාර- 230.2

නිලකුණු පන්දුවාර- 13

ලකුණු- 865

කඩුලු- 30

හොඳම පන්දු යැවීම- 31/5 (බංග්ලාදේශයට එරෙහිව)

පන්දු යැවීමේ සාමාන්‍ය- 28.83

පන්දුවාරයකට ලකුණු- 3.75

ප්‍රහාරාත්මක වේගය- 46.06 

1). ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව)- කඩුලු 33 (ඉනිම්- 15)

ආසියා කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩි ම කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නා ලෙසින් වැජඹෙන ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග එක්දින වරම් දිනා ගත්තේ 2004 ආසියා කුසලාන තරගාවලිය අතරතුර යි. එවර තරගාවලියේ තරග 3කට සහභාගි වුණු මාලිංග කඩුලු 4ක් දවා ගත්තා. එහි දී ඔහුගේ හොඳ ම පන්දු යැවීම ලෙස සටහන් වුණේ ඉන්දියාවට එරෙහි ව ලකුණු 56කට දවා ගත් කඩුලු 2 යි.

මාලිංග 2004 ආසියා කුසලාන තරගාවලියේ දී – gettyimages.com

 

2004 වසරෙන් පසුව ආසියා කුසලාන තරගාවලියක් පැවැත්වුණේ 2008 වසරේ දී යි. එවර ආසියානු කුසලාන තරගාවලිය මාලිංගට අහිමි වී ගියා. ඒ ඔහු ආබාධයකට ලක්ව සිටි නිසා යි.

ඉන් වසර 2කට පසු ව ආසියා කුසලාන තරග බිමට යළි අවතීර්ණ වුණු මාලිංග 2010 ආසියා කුසලාන තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත් වුණේ තරග 3කදී කඩුලු 9ක් දවා ගනිමින්. එහි දී ඔහුගේ හොඳ ම පන්දු යැවීම ලෙසින් සටහන් වුණේ පාකිස්තානයට එරෙහි ව ලකුණු 34කට දවා ගත් කඩුලු 5 යි. 

මාලිංග පාකිස්තානයට එරෙහිව දස්කම් දක්වමින් – alamy.com

 

2012 දී බංග්ලාදේශයේ පැවති ආසියානු කුසලානයේ දී මාලිංගට සුපුරුදු දස්කම් දැක්වීමට හැකි වුණේ නැහැ. එහි දී තරග 2කට සහභාගි වුණු මාලිංගට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වීම කනගාටුදායක සිදුවීමක් වුණා. 2012 තරගාවලියේ දී දැක්වීමට නොහැකි වුණු දස්කම් 2014 තරගාවලියේ දී දැක්වූ මාලිංග තරග 4ක දී කඩුලු 11ක් දවා ගෙන තරගාවලියේ වැඩි ම සම කඩුලු ලාභියා බවට පත් වුණා.

එහි දී මාලිංග පාකිස්තානයට එරෙහි ව පැවති මූලික වටයේ තරගයේ දී 52/5ක් ලෙස ද, පාකිස්තානයට එරෙහි ව ම පැවති අවසන් තරගයේ දී 56/5ක් ලෙස ද පන්දුවෙන් දස්කම් දැක්වීම අමතක නොවන සිදුවීමක් වුණා.

පාකිස්තානයට එරෙහි ව අවසන් තරගයේ දී දස්කම් දක්වමින් – gettyimages.com

 

2016 වසරේ දී 20/20 තරග රටාවට අනුව පැවති ආසියා කුසලාන තරගාවලිය සඳහා සහභාගි වුණු මාලිංග එක් තරගයක දී කඩුලු 4ක් දවා ගත්තා. එහි දී ඔහු ලකුණු 26කට කඩුලු 4ක් දවා ගත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහි ව යි. එම තරගයෙන් පසුව ආබාධයකට ලක් වීම හේතුවෙන් මාලිංගට තරගාවලියේ ඉතිරි තරග අහිමි ව ගියා.

අවසන් වරට 2018 ආසියානු කුසලාන තරගාවලිය සඳහා සහභාගි වුණු මාලිංග තරග 2කදී කඩුලු 5ක් දවා ගත්තා. එහි දී ඔහුගේ හොඳ ම පන්දු යැවීම ලෙසින් සටහන් වුණේ බංග්ලාදේශය හමුවේ ලකුණු 23කට දවා ගත් කඩුලු 4 යි. මේ මාලිංගගේ සමස්ත ආසියා කුසලාන පන්දු යැවීමේ දත්ත වාර්තාව යි. 

මාලිංග බංග්ලාදේශයට එරෙහිව දස්කම් දක්වමින් – gettyimages.com

 

ඉනිම්- 15

පන්දුවාර- 132.1

නිලකුණු පන්දුවාර- 6

ලකුණු- 622

කඩුලු- 33

හොඳම පන්දු යැවීම- 34/5 (පාකිස්තානයට එරෙහිව)

පන්දු යැවීමේ සාමාන්‍ය- 18.84

පන්දුවාරයකට ලකුණු- 4.70

ප්‍රහාරාත්මක වේගය- 24.03

කවරයේ ඡායාරූපය- ලසිත් මාලිංග 2014 ආසියානු කුසලානයේ දී දස්කම් දක්වමින් (gettyimages.com)

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

wisden.com

Related Articles