Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

20/20 ක්‍රිකට් කිරුළට මුල් වරට උරුමකම් කී කැන්ගරුවෝ

දින 28ක් පුරා පැවති 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ රාත්‍රියේ ක්‍රියාත්මක වුණා. එම තරගයෙන් නවසීලන්තය පරදා කඩුලු 8ක ජයක් හිමි කර ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මුල් ම වරට 20/20 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළා. එම තරගාවලියේ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු සුවිශේෂී පුවත් පිළිබඳව තොරතුරුයි මේ.

ක්‍රිකට් ලෝක කුසලාන ලෝක ශූරතාව දිනා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම- gettyimages.com

 

20/20 ක්‍රිකට් කිරුළ ඕස්ට්‍රේලියාවට 

 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ගෙවුණු සතියේ දී ක්‍රියාත්මක වුණා. එහි දී එංගලන්තය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය යන කණ්ඩායම් තරග වැදුණා. අවසන් පූර්ව තරග වටයේ දී පාකිස්තානය සහ එංගලන්තය ජයග්‍රහණය කරනු ඇති බව බොහෝ දෙනකුගේ අනුමානය වුණා. එම තරගවල දී සටන්කාමී ලෙස තරග වැදුණු ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ජයග්‍රහණ ලබා ගෙන  අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. එම තරගවල කෙටි ලකුණු පුවරු පහතින් දක්වා තිබෙනවා.

පළමු අවසන් පූර්ව තරගය 

එංගලන්තය- 166/4 (20), (අලී- 51*, මලාන්- 41, බට්ලර්- 29, නීෂම්- 18/1, සවුති- 24/1)

නවසීලන්තය- 167/5 (19), (මිචෙල්- 72*, කොන්වේ- 46, ලිවින්ග්ස්ටෝන්- 22/2, වෝක්ස්- 36/2)

නවසීලන්තයට කඩුලු 5ක ජයක් 

තරගයේ වීරයා- ඩාර්ලි මිචෙල් 

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ මිචෙල් – gettyimages.com

 

දෙවන අවසන් පූර්ව තරගය 

පාකිස්තානය- 176/4 (20), (රිස්වාන්- 67, සමාන්- 55*, අසාම්- 39, ස්ටාක්- 38/2, සැම්පා- 22/1)

ඕස්ට්‍රේලියාව- 177/5 (19), (වෝනර්- 49, වේඩ්- 41*, ස්ටොයිනිස්- 40*, ෂඩාබ්- 26/4, අෆ්රීඩී- 35/1)

ඕස්ට්‍රේලියාවට කඩුලු 5ක ජයක් 

තරගයේ වීරයා- මැතිව් වේඩ් 

ඕස්ට්‍රේලියානුවන් තරගය ජයග්‍රහණය කළ මොහොත- gettyimages.com

 

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ඩුබායි පිටියේ දී පැවැත්වුණු අවසන් තරගය පිතිකරුවන්ගේ දස්කම් ඉස්මතු වුණු තරගයක් බවට පත්වුණා. එම තරගයේ දී ඕස්ට්‍රේලියානු නායකයාගේ ආරාධනයෙන් පන්දුවට  මුලින් ම පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 172ක් ලබා ගත්තා.

එහි දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් පන්දු 48කින් වේගවත් ලකුණු 85ක් වාර්තා කළා. එසේ විලියම්සන් නවසීලන්තය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වද්දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ජෝස් හේසල්වුඩ් ලකුණු 16කට කඩුලු 3ක් දවා ගත්තා.

විලියම්සන්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

ඉන් අනතුරු ව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 18.5ක දී කඩුලු 2ක් පමණක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා. එහි දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ මිචෙල් මාෂ් පන්දු 50කින් නොදැවී ලකුණු 77ක් ලබා ගත්තා. එසේම ඩේවිඩ් වෝනර් පන්දු 38කින් ලකුණු 53ක් ලබා ගනිමින් දස්කම් දැක්වීමට සමත් වුණා. එහි දී වෝනර් සහ මාෂ් අතරේ පන්දු 59කින් ගොඩ නැගුණු වේගවත් ලකුණු 92ක සබඳතාව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජය මාවත කරා යොමු කළා. එම ජයග්‍රහණයත් සමඟින් ඕස්ට්‍රේලියානුවන්ට 20/20 ලෝක කුසලානයක පහස  මුල් ම වරට විඳ ගැනීමට හැකිවුණා. පහතින් දක්වා තිබෙන්නේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

නවසීලන්තය- 172/4 (20), (විලියම්සන්- 85, ගප්ටිල්- 28, හේසල්වුඩ්- 16/3, සැම්පා- 26/1)

ඕස්ට්‍රේලියාව- 173/2 (18.5), (මාෂ්- 77*, වෝනර්- 53, මැක්ස්වෙල්- 28*, බෝල්ට්- 18/2)

ඕස්ට්‍රේලියාවට කඩුලු 8ක ජයක් 

තරගයේ වීරයා- මිචෙල් මාෂ් 

මිචෙල් මාෂ්ගේ ජයග්‍රාහී ඉනිම – gettyimages.com

 

තරගාවලියේ වීරයා- ඩේවිඩ් වෝනර් 

තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා- බාබර් අසාම් (පාකිස්ථානය)- ලකුණු 303

තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා- වනිඳු හසරංග (ශ්‍රී ලංකාව)- කඩුලු 16

වෝනර් තරගාවලියේ වීරයා සම්මානය සමඟ – gettyimages.com

 

මහේලට හිමි වුණු ඉහළ ම ගෞරවය 

පසුගිය දිනයක අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් ක්‍රීඩාවේ සදාකාලික විශිෂ්ටයන් අගයන  ICC Hall of Fame ලැයිස්තුවට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනගේ නම ඇතුළත් කළා. වසර 18ක් පුරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටි මහේල තරග 652කට සහභාගි වෙමින් ලකුණු 25957ක් ලබාගැනීමට සමත් වුණා. ඒ සඳහා ශතක 54ක් සහ අර්ධ ශතක 136ක් අන්තර්ගත වුණා. 

එහි දී මහේල සිය ටෙස්ට් දිවියේ වැඩි ම ලකුණු ප්‍රමාණය ලෙසින් දකුණු අප්‍රිකාව හමුවේ ලබාගත් ලකුණු 374, ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දී දකුණත් පිතිකරුවකු ලබා ගත් ඉහළ ම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා අතර රැඳී පවතිනවා. ඒ අයුරින් මෙම සුපිරි ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පෑ සුපිරි හපන්කම් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ සදාකාලික විශිෂ්ටයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට හේතු වුණා. මහේලට පෙර මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර යන ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් යුගළයටත් මෙම ලැයිස්තුවට ඇතුළත් වීමට අවස්ථාව හිමි වුණා. 

මහේල ICC Hall of Fame ලැයිස්තුවට ඇතුළත් වීමෙන් පසුව – gettyimages.com

 

සිව්කොන් පාපන්දු තරගාවලියේ තොරතුරු 

මේ දිනවල ශ්‍රී ලංකාවේ සිව්කොන් පාපන්දු තරගාවලියක් පැවැත්වෙනවා. එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය සහ සීෂෙල්ස් යන රටවල් එකතු වී සිටිනවා. පහතින් දක්වා තිබෙන්නේ එම එක් එක් රටවල් ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල පසුවන ස්ථාන යි.

මාලදිවයින- 156

බංග්ලාදේශය- 187

සීෂෙල්ස්- 199

ශ්‍රී ලංකාව- 204 

මෙම තරගාවලිය යටතේ පැවති මුල් ම තරගය නොවැම්බර් 9 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේ දී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවැත්වුණා. එම තරගය ආරම්භ වුණු මොහොතේ සිට ප්‍රබල තරග රටාවක නිරත වුණු මාලදිවයින් ක්‍රීඩකයන් 63 වන මිනිත්තුව අවසන් වෙද්දී ගෝල 4-0ක් ලෙස ඉදිරියෙන් සිටියා. ඒ අයුරින් ශ්‍රී ලංකාව පරාජය කරා යමින් සිටි මොහොතක ක්‍රියාත්මක වුණු වසීම් රාසික් මිනිත්තු 28ක් ඇතුළත ගෝල 4ක් වාර්තා කරමින් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. එනිසා තරගය ගෝල 4-4 ලෙස ජය පැරදුමෙන් තොර ව නිමාවට පත්වුණා.

වසීම් රාසික් මාලදිවයින් තරගයේ දී -The Island.lk

මාලදිවයිනට එරෙහි ව පැවති තරගයේ දී සුපිරි දස්කම් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සීෂෙල්ස් කණ්ඩායමට එරෙහිව පසුගිය සෙනසුරාදා පැවති තරගය ගෝල 1-0ක් ලෙසින් පරාජයට පත්වීම තරමක් කනගාටුදායක සිදුවීමක් වුණා. එලෙස ලබා ගත් ජයග්‍රහණයත් සමඟින් සීෂෙල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය ඉහළට ගියා. ඔවුන් සමඟ සම ප්‍රසාද ලකුණු ලබාගෙන සිටින බංග්ලාදේශය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා. තරගාවලිය යටතේ මෙතෙක් පැවති තරගවල ප්‍රතිඵල පහතින් දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව  සහ මාලදිවයින- 4-4 

බංග්ලාදේශය සහ සීෂෙල්ස්- 1-1 

බංග්ලාදේශය සහ මාලදිවයින- 2-1 

සීෂෙල්ස් සහ ශ්‍රී ලංකාව- 1-0

ශ්‍රී ලංකා-කොදෙව් ටෙස්ට් තරගාවලිය ලබන ඉරිදා 

2021-2023 ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගාවලිය ලබන ඉරිදා ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත යි. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම උරෙනුර ගැටෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ යි. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් දෙක ශ්‍රී ලංකා බිමේ දී මුල්ම වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ 1993 වසරේ දීයි. 

2015 ශ්‍රී ලංකා-කොදෙව් ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම  – gettyimages.com

එදා සිට අද දක්වා මෙම කණ්ඩායම් දෙක ශ්‍රී ලංකාවේ දී ටෙස්ට් තරග 11ක් ක්‍රීඩා කර තිබෙනවා. ඉන් තරග 7ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරද්දී ඉතිරි තරග 4 ජය පැරදුමෙන් තොරව අවසන් වුණා. ඒ අනුව තවමත් කොදෙව්වන් ශ්‍රී ලංකා බිමේ දී ටෙස්ට් තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් ව නැහැ. කොදෙව්වන් 2015 වසරේ දී ශ්‍රී ලංකාවේ අවසන් වරට සංචාරය කළා. එම සංචාරය යටතේ පැවති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙසින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි.

කවරයේ ඡායාරූපය- 20/20 ලෝක ශූරතාවය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම- gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

icccricket.com

Related Articles