Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පුරාතන ලක්දිව විදේශ වෙළඳාම ව්‍යාප්ත වූ ප්‍රදේශ

ලංකාවේ ලිඛිත ඉතිහාසය ආරම්භ වීමට පෙර අවධියේ සිට ම මෙරට හා විදේශ රටවල් අතර වෙළඳාම් කටයුතු සිදු වී ඇත. ඒ අනුව වර්තමාන පුරාවිදු කැණීම් මඟින් සොයා ගන්නා ලද තොරතුරු ඔස්සේ එම ක්‍රියාකාරකම් පිළිබඳව නිගමනයන්ට එලැඹිය හැකි ය.  නිශ්චිත සාහිත්‍යමය සාක්ෂි නොවූවත් පුරාවිද්‍යාත්මක සාධක ඔස්සේ, එම වෙළඳ කටයුතු සිදු කළ ආකාරය හඳුනා ගැනීමට හැකියාව ලැබේ. ඉබ්බන්කටුව ආශ්‍රයෙන් හමුවන ලක්දිව ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ජනයා ස්වකීය සොහොන් තුළ තැන්පත් කිරීම සඳහා යොදා ගත් ද්‍රව්‍යාත්මක සාධක අතර විදේශයකින් ගෙන්වා ඇති පබළු විශේෂයක් හමුවේ. නමින් “කානීලියන් පබළු” ලෙස හඳුන්වන එම පබළු ඉන්දියාවෙන් ගෙන් වූ පබළු විශේෂයක් බව විද්වතුන්ගේ මතය යි.

සුඛෝපභෝගී දිවිය

එපමණක් නොව ඒම සොහොන් ආශ්‍රිතව ම හමු වූ “ඇගේට්” නම් අර්ධ පාෂාණමය මාණික්‍ය ද ලංකාවේ දක්නට නොමැති එහෙත් ඉන්දියාව වැනි විදෙස් රටකින් ගෙන්වූ පාෂාණ බව කියැවේ. එබැවින් මෙවැනි අමුද්‍රව්‍ය ලක්දිවට ලැබීමට නම් දෙරට අතර වෙළෙඳාමකට සමාන ආකාරයේ සබඳතාවක් තිබෙන්නට ඇතැයි උපකල්පනය කළ හැකි ය. විශේෂයෙන් ම ලක්දිවෙන් කුමන හෝ ද්‍රව්‍යයක් ඉන්දියාවට ලබා දී ඒ වෙනුවෙන් කානීලියන් හා ඇගේට් වැනි පාෂාණ වර්ග ලක්දිව වැසියන් සිය සුඛෝපභෝගී දිවිය වෙනුවෙන් ලබා ගන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. එබැවින් ලක්දිව ලිඛිත ඉතිහාසය ආරම්භ වීමටත් පෙර සිටම එනම් ක්‍රිස්තු පූර්ව 700-450 අතර කාලයේ සිට ම ලක්දිව හා විදේශ රටවල් අතර වෙළෙඳාමක ස්වරූපයේ සබඳතා තිබුණු බව කිව හැකි ය.

ඉන් අනතුරුව ලක්දිව හා විදේශ රටවල් අතර වෙළෙඳ සබඳතා පැවති බවට තොරතුරු ලැබෙනුයේ මුල් ඓතිහාසික යුගයෙනි. ඒ ලක්දිව ශිෂ්ටාරික සමයේ ප්‍රාරම්භක අවස්ථාවේදී ය. ෆාහියන් වැනි චීන දේශාටකයන්ගේ වාර්තාවන්ට අනුව මෙරට ජනාවාස කළ විජය ඇතුළු පිරිස වෙළෙඳ කණ්ඩායමකි. “සිංහල” නම් වූ වෙළෙඳකු පිළිබඳ ෆාහියන් දක්වන විස්තරය මෙහි දී වැදගත් වේ. විශාල නැව් මඟින් ඉන්දියානු කලාපය අවට වෙළඳාමේ යෙදුණු ඔවුන් ලක්දිව තම්බපන්නියට පැමිණීමෙන් අනතුරු ව දේශීයයන් මරා රාජ්‍යත්වය ලබා ගෙන ඇත. එපමණක් නොව වලාහස්ස ජාතකය වැනි ජාතක කතා හා මහාවංශයේ සඳහන් වන මුල් කාලීන ඉතිහාසය තුළ ද දිවයිනට පැමිණෙන විදේශ වෙළෙඳුන් රවටා භාණ්ඩ ලබා ගත් දේශීය යක්ෂ හා නාග ගෝත්‍රිකයන් පිරිසක් පිළිබඳ සඳහන් කොට ඇත.

ඉන්දියානු සාගරීය පුරාතන වෙළෙඳ මාර්ග
ලක්දිව අනුරාධපුර හා පොළොන්නරු යුගයන් තුළ බොහෝ අවස්ථාවන්හි දී මෙම වෙළෙඳ මාර්ග භාවිතා කරමින් විදේශ වෙළඳාමේ යෙදීමට මෙරට වෙළෙඳුන් කටයුතු කොට ඇත – www.pinterest.com

 

1. බටහිර ලෝකය සමඟ පැවැත්වූ වෙළෙඳ සබඳතා

ක්‍රිස්තු පූර්ව හතරවන සියවසේ පමණ සිට ලක්දිවෙන් ඉන්දියාවට ගෙන යන ලද වෙළෙඳ ද්‍රව්‍ය ඉන්දියාවෙන් ග්‍රීක හා රෝම ප්‍රදේශයන්ට ගෙන ගිය බව කියවේ. රෝම අධිරාජ්‍යයේ පාලකයන් ලක්දිව ඇතුන්, මුතු මැණික්, රෙදිපිළි, මැටි භාණ්ඩ කුළුබඩු ආදියට විශේෂ කැමැත්තක් දැක්වූ බව කියවෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ වෙළෙඳ ද්‍රව්‍ය දකුණු ඉන්දියාව හරහා රෝම අධිරාජ්‍යට අපනයනය කළ බව සඳහන් වේ.

 ඒ සඳහා  විශාල වශයෙන් රෝම කාසි අතරමැදියන් මඟින් ලංකාවට ලැබුණු බව මහාතිත්ථ, අනුරාධපුර මිහින්තලේ, වාලච්චේන, කන්තරෝදය ආශ්‍රිත ප්‍රදේශයන් තුළින් හමුවූ රෝම කාසි ප්‍රමාණයන් ඔස්සේ හඳුනා ගැනීමේ හැකියාව ඇත.

බටහිර ලෝකයට ගෙන යෑම සඳහා ලක්දිව වෙළෙඳන් කැස්බෑ ලෙලි, ඇත් දත් ආදී වටිනා ද්‍රව්‍ය ද දකුණු ඉන්දියාවට අපනයනය කළ බව කිය වේ. ප්ලීනි ආදී රෝම ලේඛකයන්ට අනුව දකුණු ඉන්දියානු “අසිතපත්ති” වැනි ප්‍රදේශයන්හි ලාංකීය වෙළෙඳුන් පදිංචි වෙමින් ඉන්දීය සාගරයේ වෙළඳාමෙහි නිරතව සිට ඇත.

මෙරටින් හමු වූ රෝම කාසි
ලක්දිව පැරණි වරාය නගර ආශ්‍රිතව රෝම කාසි විශාල ප්‍රමාණයක් හමු වී ඇත – www.coincommunity.com

රෝම අධිරාජ්‍ය සමඟ සබඳතා පවත්වා ගත් ලක්දිව රජවරුන් පිළිබඳ ද ප්ලීනි දක්වා ඇති අතර මහාවංශ ටීකාවට අනුව භාතිකාභය රජු රෝමයට දූතයන් යවා මහාථූපයේ අලංකරණ කටයුතු සඳහා එරටින් පබළු දැලක් ගෙන්වා ගත් බව ද සඳහන් වේ.

කෙසේ වූවත් ලංකාවත් බටහිර ප්‍රදේශයන් වූ ග්‍රීක රෝම කලාපයත් සමඟ  සෘජු වාණිජ සබඳතා දක්නට නොලැබුණු බව විද්වතුන්ගේ මතය යි. ඉන්දියානු වෙළෙඳුන් එවැනි සබඳතා වැලැක්වූ බවත්, ලංකාවේ සිටින යක්ෂයන් හා රාක්ෂයන් පිළිබඳ කතා පුවත් ඉදිරිපත් කරමින් යුරෝපීය වෙළෙඳුන් අධෛර්යය කොට ස්වකීය ඒකාධිකාරය ආරක්ෂා කර ගැනීමට ඔවුන් උත්සහ දැරූ බවත් එම විද්වතුන් වැඩි දුරටත් සඳහන් කොට ඇත.   

 

2. පර්සියානු ප්‍රදේශ සමඟ පැවැත්වූ වෙළෙඳ සබඳතා

රෝමවරුන්ගේ අධිරාජ්‍යය බිඳ වැටීමත් සමඟ වෙළෙඳ බලය අල්ලා ගත් පර්සියානුවන් හා ඉතියෝපියානුවන් රෝම වෙළෙඳුන්ටත් වඩා සාගරීය වාණිජ්‍යයේ නිරත වූ බව කියැ වේ. ඒ අනුව ඔවුන් වැඩි වශයෙන් ලක්දිව වරායන් හා සම්බන්ධ වෙමින් වෙළෙඳාමේ නිරත වූ බව කියවෙන අතර ක්‍රිස්තු වර්ෂ හයවන සියවසේ දී රචිත කොස්මස්ගේ ටොපෝග්‍රැෆියා ක්‍රිස්ටියානා කෘතියේ, පර්සියාව ඉතියෝපියාව වැනි රටවල්වලින් නිරන්තර ව ලංකාවට වෙළෙඳ නැව් පැමිණි බව සඳහන් කොට ඇත.

කොස්මස් විසින් සකස් කරන ලද ලෝක සිතියම
ඊජිප්තු පූජකවරයකු හා පසුව වෙළෙඳ නැවියකු ලෙස හැඳින් වූ කොස්මස් මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පැමිණ ඇති අතර සිය කෘතිය වූ ටොපෝග්‍රැෆියා ක්‍රිස්ටියානා නම් ග්‍රන්ථය තුළ පුරාතන ලංකාවේ වාණිජ කටයුතු පිළිබඳව ද සඳහන් කොට ඇත.
– upload.wikimedia.org

මේ යුගයේ දී දකුණු ආසියාවේ භාණ්ඩ හුවමාරු සාගරික වෙළඳාමේ ඉතාමත් ම වැදගත් ස්ථානය ලක්දිව හිමි කරගෙන සිටි බවත් ඔහු දක්වා ඇත. ප්‍රකෝපියස් වැනි රෝම ජාතිකයින් චීන සේද රෙදි මිළට ගත්තේ ලංකාවෙන් ඒවා ලබා ගත් පර්සියානු වෙළෙන්දකුගෙන් බව දක්වා ඇත.

හත්වන සියවසේ දී ලංකාවට පැමිණි ඉන්දීය වජ්‍රබෝධි හිමියන් මෙරට වරායන්හි පර්සියානු නැව් 35ක් දුටු බවත්, එයින් එකක නැඟී ලංකාවේ සිට සුමාත්‍රා දක්වා ගමන් කළ බවත් සඳහන් කොට ඇත.

එපමණක් නොව ෆාහියන් භික්ෂුව ද චීනයට ආපසු යාම සඳහා යොදා ගත්තේ විදේශ වෙළෙඳ කටයුතු සඳහා ලක්දිවට පැමිණ තිබූ පර්සියානු වෙළෙඳ නැවක් බව සිය වාර්තාවේ දක්වා ඇත.

3. අග්නිදිග ආසියානු කලාපය හා ඈත පෙරදිග සමඟ පැවැත්වූ වෙළෙඳ සබඳතා

ලංකාවේ විදේශ වෙළෙඳ කටයුතු අතර අග්නිදිග ආසියානු ප්‍රදේශ ද දක්නට ඇත. ඒ අනුව ජාවා සුමාත්‍රා ඇතුළත් පැරණි ශ්‍රී විජය රාජ්‍යය, බුරුමය, චීනය ආදී රාජ්‍යයන් සමඟ වාණිජ සබඳතා පවත්වා ඇත.

පාලි හා සිංහල සාහිත්‍ය කෘති තුළ අග්නිදිග ආසියානු කලාපයට වෙළෙඳාමේ ගිය ලක්දිව වෙළෙඳුන් පිළිබඳ ව තොරතුරු ද හමුවේ.

 ක්‍රිස්තු වර්ෂ හයවන සියවස ආරම්භයේ දී ලංකාවට අයත් නැව් මඟින් චීනයත් අග්නිදිග ආසියාතික රාජ්‍ය අතරත් වෙළෙඳ කටයුතු සිදු කළ බව කොස්මස් දක්වා ඇත.

චීන මූලාශ්‍රයන්ට අනුව එම කලාපයට වෙළඳාමේ පැමිණි ලාංකික නැව් අඩි 200ක් පමණ දීර්ඝ බවත් ඒවායේ මිනිසුන් 700ත් 800ත් අතර ප්‍රමාණයකට ගමන් කළ හැකි වූ බවත් සඳහන් කොට ඇත.

“තායි පින්ග් යූලන්” නම් චීන මූලාශ්‍රය ද ලංකාව අදාළ කාල පරිච්ඡේදය තුළ අන්තර්ජාතික වෙළඳාමේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව සඳහන් කොට ඇත.

එපමණක් නොව  ක්‍රිස්තු වර්ෂ 405, 428, 429, 435 ආදී කාලවල දී ලක්දිව පාලකයන් චීන දේශයේ රාජ සභාවට දූත පිරිස් යවා ඇති බව මූලාශ්‍රයන්හි සඳහන් කොට ඇත. එම ගමන්වල ප්‍රධාන අරමුණ වූයේ ද විශේශ වාණිජ කටයුතු හා සංස්කෘතික කටයුතු බව එම මූලාශ්‍රයන්හි වැඩි දුරටත් සඳහන් කොට ඇත.

 ක්‍රිස්තු වර්ෂ 976ත් 1265ත් අතර කාල සීමාව තුළ චීනය පාලනය කළ සියලු ම අධිරාජ්‍යවරුන්ගේ කාසි මාන්තායි, අනුරාධපුර, පොළොන්නරුව, පඬුවස්නුවර, දැදිගම, යාපහුව, කුරුණෑගල, අලුත්වැව, නින්දවූර්, කුරුක්කල්මඩම්, කල්මුණේ හා තලෛමන්නාරම යන ප්‍රදේශවලින් හමු වී ඇති අතර චීන මැටි භාණ්ඩ රාශියක් එම ප්‍රදේශයන්ගෙන් හමුවීම ද චීනය හා ලක්දිව අතර විදේශ වෙළඳාම ඉතා සාර්ථක ව ක්‍රියාත්මක වූ බව නිගමනය කළ හැකි පුරාවිද්‍යාත්මක ශේෂයන් වේ.

එපමණක් නොව බුරුම දේශයත් සමඟ ද වාණිජ සබඳතා පවත්වා ගත් බව තහවුරු කර ගත හැකි සාධකය වනුයේ චූලවංශයේ සඳහන් වන මහා පරාක්‍රමබාහු රජුගේ බුරුම ආක්‍රමණයයි. එම ගැටුම ඇති වීමට ප්‍රධාන හේතුව වූයේ සිංහල වෙළෙඳන්ට බුරුමයේ දී විවිධ අතවරයන්ට ලක් වීමට සිදු වීම හා ඇත් වෙළඳාමට ගෙවන ලද මුදල් ප්‍රමාණය බුරුම පාලක “අලවංසිංතු රජු” විසින් කපා හැරීම බව කියවේ.

අග්නිදිග ආසියානු කලාපයට ව්‍යාප්ත වූ පැරණි වෙළෙඳ මාර්ග
චීනය සහ ඉන්දියානු සාගරය අතර වෙළඳාමේ ප්‍රධාන මැදිහත්කරුවා ලෙස මෙම කලාපයට අයත් මලක්කා සමූද්‍ර සන්ධිය ආශ්‍රිත රාජ්‍යයන් කරයුතු කරනු ලැබීය.
මූලාශ්‍රය: https://www.pinterest.com

 

4. අරාබි මුස්ලිම් කලාපය සමඟ පැවැත්වූ වෙළෙඳ සබඳතා

අටවන සියවසේ දී “අල් බිලාදුරි” නම් අරාබි ලේඛකයා සඳහන් කොට ඇති ආකාරයට “රත්නදීවීප” හෙවත් ලංකාවේ රජු මෙහි සිටි මුස්ලිම් වෙළෙන්ඳකුගේ දියණිවරුන් දෙදෙනෙක් අරාබි රටේ කාලිෆ්වරයා වෙත තෑගි කොට යවා ඇත.

අටවන සියවසේ පමණ සිට පෙරදිග සාගරීය වෙළෙඳාමේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ අරාබි මුස්ලිම් ජාතික වෙළෙඳුන් ලංකාවේ පදිංචිව සිටි බව එම කරුණු ඔස්සේ හඳුනා ගත හැකි අතර එවකට ලක්දිව අරාබි කලාපයත් සමඟ ද විදේශ වෙළෙඳ කටයුතු පවත්වා ගත් බව ද ඉන් ගම්‍යමාන වේ.

 ක්‍රිස්තු වර්ෂ අටවන සියවසේ සිට දසවන සියවස දක්වා බැග්ඩෑඩ්, ඇලෙක්සැන්ඩ්‍රියා, උතුරු අප්‍රිකා හා උතුරු ඉන්දියානු මුස්ලිම් රාජධානි සමඟ වෙළෙඳ සබඳතා පවත්වා ගත් බව වර්තමානයේ කොළඹ හා මධ්‍ය කඳුකර ප්‍රදේශයන්ගෙන් හමුවන රන් හා රිදී කාසි ඔස්සේ හඳුනා ගැනීමේ හැකියාව ඇත.

 යවනයන් හෙවත් අරාබි මුස්ලිම්වරුන් පොළොන්නරුව සමයේදී මහා පරාක්‍රමබාහු රජු වෙත තෑගි බෝග ගෙන ආ බවත් එහි මූලික අරමුණ වූයේ සිංහල රාජ්‍යයේ වාණිජ සබඳතා තමන් හා පුළුල් කර ගැනීම බවත් චූලවංශයේ සඳහන් කොට ඇත. එබැවින්  ක්‍රිස්තු වර්ෂ අටවන සියවසේ පමණ සිට අරාබි මුස්ලිම් ප්‍රදේශයන් සමඟ ද ලංකාවේ විදේශ වෙළඳාම පවත්වා ගත් බව ඒ කරුණු ඔස්සේ මැනවින් ගම්‍යමාන වේ.

5. දකුණු ඉන්දියානු කලාපය සමඟ පැවැත්වූ වෙළෙඳ සබඳතා

ලක්දිවට ආසන්නත ම ප්‍රදේශය වශයෙන් දකුණු ඉන්දියාව සමඟ ඉතා කැපී පෙනෙන හා ශක්තිමත් වෙළෙඳ සබඳතා ගණනාවක් අදාළ කාල පරිච්ඡේදය තුළ හඳුනා ගත හැකි ය. ඒවා අනුරාධපුර යුගය ආරම්භයේ සිට ම  ක්‍රිස්තු වර්ෂ 1000ත් ඉන් නොනැවතී යුරෝපා යටත්විජිතවාදය මෙරට ව්‍යාප්ත වන තෙක්ම ශක්තිමත් වෙළෙඳ සබඳතා ලෙස ක්‍රියාත්මක වූ බව කිව හැකි ය.

අනුරාධපුර මුල් අවධියේ සිට ම දකුණු ඉන්දියාව ලංකාවේ විදේශ වෙළඳාමේ අතරමැදියන් පිරිසක් ලෙසත් ක්‍රියා කළ බව ඉහත සඳහන් විය. යුරෝපාකරයට ලක්දිව නිෂ්පාදන වෙළඳාම් අලෙවි කළේ දකුණු ඉන්දියානුවන් ය. මෙම තත්ත්වය ද දෙරට අතර වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් වීමට හේතුවක් වූ බව කිව හැකි ය.

 මේ සමයේ දී දකුණු ඉන්දියාවේ “අයින්නුවාර්, වලංජියාර්, නානාදේසි, බලන්ජියාර් හා නකරක්තාර්” ආදී වූ වෙළෙඳ ශ්‍රේණි ලංකාවේ විදේශීය මෙන්ම දේශීය වෙළඳාමට ද සහභාගී වූ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ.

චෝළ නාවික අධිරාජ්‍යය
චෝළ පාලක රාජ රාජ හා රාජේන්ද්‍ර හට ලක්දිව තුළ ස්වකීය බලය තහවුරු කර ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ද එවකට මෙරට පැවති සමෘධිමත් විදේශ වෙළඳාම සියතට ගැනීමට පැවැති අවශ්‍යතාව ය – en.wikipedia.org

ඔවුන් සිය වෙළෙඳ මධ්‍යස්ථාන මාන්තායි වරාය ආශ්‍රිත ව මෙන්ම පදවිය, විහාරහින්න හා වාහල්කඩ වැනි රට අභ්‍යන්තර ස්ථානවල ද පිහිටුවා ගෙන සිටි බව ශිලා ලිපි ඔස්සේ තහවුරු කොට ගත හැකි ය.

එපමණක් නොව දකුණු ඉන්දියාව හා ලක්දිව අතර එම කාල පරිච්ඡේදය තුළ ඉතා දරුණු ආක්‍රමණකාරී බලය අල්ලා ගැනීම් බොහෝමයක් ද සිදු වූයේ මෙම විදේශීය වෙළඳාම නිසා බව කිව හැකි ය. එයට පෙන්වා දිය හැකි කදිම නිදසුන් වන්නේ චෝළයන් අනුරාධපුරය ආක්‍රමණය කොට දිවයිනේ උතුරු කලාපය තමන් සතු කර ගැනීමට ප්‍රධාන හේතුව වූයේ ද, මහා පරාක්‍රමබාහු රජු චෝළ හා පණ්ඩ්‍ය ගැටුම්වලට මැදි වූයේ ද දකුණු ඉන්දියාව හා ලක්දිව අතර පැවති වාණිජ සබඳතා හේතුවෙන් වීම ය.

 

කවරයේ ඡායාරූපය - prasannaweerakkody.com

මූලාශ්‍ර :

ආරියපාල ඇම්. බී., මධ්‍යකාලීන ලංකා සමාජය, කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1996

ලියනගමගේ ඒ., ගුණවර්ධන ආර්., අනුරාධපුර යුගය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 1961

සිරිවීර අයි., රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි, කොළඹ' දයාවංශ ජයකොඩි සහ සමාගම, 2014

සෝමදේව ආර්., කන්නන්ගර පී., විද්‍යාලංකාර ඒ., ඉපැරණි ලෝක ශිෂ්ටාචාර,කොළඹ: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2016

www.ceyloncoins.com

www.diwayina.lk

Related Articles