කොළඹ පැත්තේ නිතර එන යන වැඩි දෙනා කැමතියි තමන් මේ නගරයේ දකින්න තියෙන ගොඩක් දේවල් දැකලා තියෙනවා කියලා හිතන්න: ඕනෑම තැනකට යන්න පුළුවන් සංකීර්ණ බස් ධාවන මාර්ග, පොකට් එකට තට්ටු වෙන්නේ නැතිව බඩ පිරෙන්න කන්න පුළුවන් තැන්, සද්ද බද්ද නැතිව නිදහසේ ඉන්න තියෙන තැන් වගේ කොළඹ එක්ක බැඳුනු දේවල් අපි කාටත් ටිකක් හරි හුරුයි. නමුත් රෑ බෝ වුණු ගමන් කොළඹ අපි දවාලේ දකින නගරයට වඩා සෑහෙන වෙනස් වෙනවා.
Roar ඡායාරූප ශිල්පියෙක් වන ක්‍රිස්ටියන්ට මේ ගැන ටිකක් හොයලා බලන්න හිතිලා. ඔහු සම්පූර්ණ රාත්‍රියක් පුරාවටම කොළඹ නගරයේ විවිධ තැන් වල කරක් ගහලා අපූරුයි කියලා හිතුණු තැන් තමන්ගේ කැමරා කාචයට හසු කර ගත්තා. වැඩ කරන බහුතරයක් දෙනා ආපසු ගෙවල් බලා ගිහින් අගනගරයේ ජනාකීර්ණ වීදි සේරම හිස් වුණාට පස්සේ කොළඹ අවට පෙනෙන හැටි ගැන මේ පින්තූර වලින් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්.
ඔහු නිදිවර්ජිතව ගිය ගමන අපේ සිංහල පාඨකයන් වෙනුවෙනුත් පළ කරන්න හිතුවේ ඒ නිසයි. ඉතින් මෙන්න ඔහු තමන්ගේ ගමන ගැන තබපු සටහන් එකතුව.
රාත්‍රී 10:18 – අපි කොම්පඤ්ඤ වීදියේ තිබෙන මගේ මිත්‍ර “ෆිරී”ගේ ගෙදරින් එළියට බැහැලා අපේ ගමන පටන් ගත්තා. ටිකක් වටපිටාවේ ඇවිදලා බලද්දී අපිට හමු වුණා බාබර් සාප්පුවක්. මේකේ විශේෂත්වය ගොඩක් රෑ වෙනතුරු ඇරලා තියෙන එක විතරක් නෙවෙයි. මේක බොහොම ජනප්‍රිය තැනක්: මීට අවුරුදු කීපයකට ඉහත රැවුල් වැවීම ගැන වාර්තා වැඩසටහනක් හදන්න ලංකාවට ආව ප්‍රංශ ජාතික චිත්‍රපට කණ්ඩායමක් මෙතැනදීත් රූ ගත කිරීම් කරලා තියෙනවා. ටිකක් උවමනාවෙන් බැලුවොත් ඡායාරූපය ගත්තු මගේ ඡායාවකුත් කන්නාඩියක් ඇතුළෙන් දකින්න පුළුවන්.
රාත්‍රී 10:43 – ටිකකට පස්සේ අපිට ෆිරීගේ තවත් යහළුවෙක් මුණ ගැහුණා. ඔහුත් ඡායාරූප ශිල්පියෙක්, නම දසුන්. ඉතින් අපි තීරණය කළා පිටකොටුවට යන බස් එකකට නැගලා ඒ ඇතුළේ දකින්න ලැබෙන දර්ශන ටිකක් කැමරාවට හසු කර ගන්න. නමුත් මේ රෑ ජාමේ වුණත් පිටකොටුවට යන බස් වැඩි හරියක සෙනඟ පිරිලා. යාන්තම් කැමරාව උස්සලා ෆොටෝ එකක් ගන්න පුළුවන් වුණේ බොහොම අමාරුවෙන්. එහෙන් මෙහෙන් හිර වෙන අස්සේ කැමරාවක් පාවිච්චි කරන එක ලේසි වැඩක් නෙවෙයිනේ.
රාත්‍රී 11:26 – පිටකොටුවට ඇවිත් ටිකක් ඇවිදලා බලද්දී මට හිතුණේ රෑ වෙනකොට කොළඹ මොන තරම් පාළුවට යනවාද කියල. ගොඩක් රටවල ප්‍රධාන නගර එක්ක බැලුවාම කොළඹ කොහොමත් නොනිදන නගරයක් කියන්න අමාරුයි. දවල් කාලේ ඇවිදින්නවත් අමාරු වෙන තරමට සෙනඟ පිරෙන පිටකොටුව රෑට පාළු වෙන හැටි දැක්කාම ඇත්තටම පුදුමයි. මේ ලොරි රියදුරා වගේ අයට නම් මේක හොඳට පුරුදු ඇති. වටපිටාව ගැන ගාණක්වත් නැතිව දිරාපු පරණ ලොරියකට වෙලා ඔහු සුවබර නින්දක හිටිය හැටි මගේ කැමරාවට හසු වුණා.
රාත්‍රී 11:31 – රාත්‍රී කාලයේ පිටකොටුවේ ඇවිදින මම නිතරම දැකපු දෙයක් තමයි මේ. දහවල් කාලයේ දකින්න ලැබෙන වෛවර්ණ ගොඩනැගිලි රාත්‍රීයේ වීදි පහන් වලින් ආලෝකමත් වෙන විදිහ හරිම අමුතුයි. එක අතකින් ඒකෙ අමුතුම චමත්කාරයක් තියෙනවා කියන්නත් පුළුවන්. මේ දර්ශන වලටම ඇහැ වැටුණු මට අවට කිසිකෙනෙක් දකින්න නැති වුණත් අමුත්තක් දැනුණේ නම් නැහැ.
රාත්‍රී 11:37 – මේ තරම් රෑ බෝ වුණාම පිටකොටුවේ දකින්න ලැබෙන වැඩි දෙනෙක් තවමත් රැකියා කටයුතු වල නිතර වෙන අය. ඈත ඉඳලා පිටකොටුවට ගෙනෙන බඩු භාණ්ඩ ලොරි වලින් බාන මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. මේ කොළු ගැටයා මට හමු වුණේ බඩු බාලා ඉවර වුණු ලොරියක තට්ටුව උඩ වාඩි වෙලා ඉන්නකොටයි. පසළොස්වක පෝය ළඟ නිසා එදා හරිම දීප්තිමත්ව හඳ පායලා තිබුණා.
රාත්‍රී 11:43 – මේ ප්‍රදේශයේ තියෙන සමහර ගොඩනැගිලි, ආයතන වල රාත්‍රී මුර සේවයේ යෙදෙන අයත් නිතර දකින්න පුළුවන්. එහේ මෙහේ යමින් රාජකාරිය කරන මේ ආරක්ෂක නිලධාරියාත් ඒ අතරින් කෙනෙක්.
පාන්දර 12:13 – උස පල්ලියක මුදුනේ සවි කරලා තියෙන මේ කුරුසයෙන් විහිදෙන තද රතු නියෝන් ආලෝකයෙන් ඒ ප්‍රදේශයම නැහැවිලා ගිහින්. රෑ බෝ වුණාම අපේ රටේ අග නගරයේ දකින්න ලැබෙන වර්ණ සම්මිශ්‍රණය දැක්කාම මට වචනයෙන් විස්තර කරන්න බැරි අමුතුම මිහිරක් දැනුණා.
පාන්දර 12:38 – මේ වෙනකොටත් අපි කොළඹ පැත්තේ ගොඩක් දුර ඇවිදලා. ගමන ආරම්භ කරලා දැනට පැය තුනක් වෙන්න ළඟයි. මගේ කකුල් දෙක තවත් ඇවිදින්න බෑ කියන්න වගේ ඇදුම් කනවා. ඒ අපහසුවත් එක්ක ටිකක් නැවතිලා වටපිට බලනකොට මම දැක්කේ මේ පෝස්ටර් එක. ඇවිදින්න අමාරු වෙලා ඉන්න මං දිහා මෙයා කටකොනකින් හිනා වෙමින් බලා ගෙන හිටියේ ඔච්චමට වගේ.
පාන්දර 01:46 – මේ වෙනකොට අපි ඇවිදිමින් හිටිය ප්‍රදේශය අපි කාටත් බොහොම නුහුරු හරියක්. මේ හරියේදී අපිට කිසිම කෙනෙක් මුණ ගැහුණේ නැහැ. තැන් තැන් වල තිබුණු සමහර ගෙවල් නියෝන් විදුලි පහන් වලින් ආලෝකමත් කරලා තිබුණා. ඒවායේ ආලෝකය වැදිලා මුළු වටපිටාවම තිබුණේ අමුතු අමුතු විදිහට පාට වැටිලා.
පාන්දර 02:09 – ඊට පස්සේ අපි තීරණය කළා නගරයේ තවත් පැත්තකට යන්න. ටැක්සි එකක් කතා කරගෙන අපි කොළඹ 07 දිහාවට ගියා. මේ ප්‍රදේශයේ පාරවල් සේරම එහෙම පිටින්ම පාළුවට ගිහින්. මිනිස්සු තියා අපිට සතෙක්වත් දකින්න ලැබුණේ නැහැ. ඉඳලා හිටලා කාර් එකක් වේගයෙන් අපිව පහු කරගෙන ගියා.
පැරණි ගස් පේළි වලින් හෙවණ වුණු මේ හිස් පාරවල් අමුතුම සුන්දරත්වයකින් දිස් වුණා. දවල් කාලයේ කනක් ඇහිලා ඉන්න බැරි මේ ප්‍රදේශයේ රාත්‍රී කාලයට නම් කිසිම සද්දයක් නැහැ.
පාන්දර 03:01 – කොළඹ 07 පහු කරගෙන ඇවිදගෙන ගිය අපි මුහුදු වෙරළ පැත්තට යන්න හිතුවා. ටැක්සියක් ගෙන්වා ගෙන අපි ගියේ මුහුදුබඩ මාර්ගය, නැතිනම් මැරීන් ඩ්‍රයිව් එක දිහාවට. අඳුරේ ගිලුණු මුහුදටත්, ආලෝකමත් වුණු ගොඩනැගිලි අතරටත් මැදි වෙලා හිටපු මගේ මිත්‍ර ෆිරීගේ පින්තූරයක් තමයි මේ. මුහුදේ අඳුර නිසා පෙනෙන්නේ ඔහුගේ සිළුවටය විතරයි.
පාන්දර 03:55 – ඊලඟට අපි ගෝල් ෆේස් දිහාවට වෙනතුරුම ඇවිදගෙන ගියා. පැය ගාණක් තිස්සේ ඇවිදලා මගේ කකුල් දෙක හොඳටම රිදුම් දෙමින් තිබුණේ, නමුත් නවතින්න හිතුණේ නැහැ. මේ වෙනකොට කොළඹ ආයෙත් අවදි වෙන්න පටන් අරන්. ඇරලා තිබුණු කඩේකින් ගත්තු කෑම ටිකක් හප හපා සීතල බීම එකක් බොන ගමන් අපි එතැන තිබුණු හිස් බංකුවක ටිකකට වාඩි වෙලා මුහුදේ රළ බිඳෙන හැටි බලාගෙන හිටියා.
සෑහෙන්න මහන්සි වෙලා නිදි මතේ හිටිය මම ගෙදර යන්න සිහින දකින අතරේ මේ මනුස්සයාව දකින්න ලැබුනා. ඉර නැගෙන්න කලින් දුම් උගුරක් උරන මෙයාත් ගෝල ෆේස් එකේ කඩයක වෙළෙන්දෙක්.
පාන්දර 04:58 – පැයක් විතර ගෝල් ෆේස් එකට වෙලා ගිමන් හැරපු අපි ආයෙත් පිටකොටුව පැත්තට යන්න තීරණය කළේ මැනිං මාකට් එක ටිකක් දැක බලා ගන්න හිතලයි. ඒ යන අතරේ අපිට පරණ කාගිල්ස් ගොඩනැගිල්ල හරියේ ඉන්න මේ මිනිස්සු දැක ගන්න ලැබුණා. ඔවුන් උදේ පාන්දර බෙදන්න පත්තර ගොඩ ගහමිනුයි හිටියේ.
පාන්දර 05:21 – මේ වෙනකොට නම් මම සෑහෙන්න වෙහෙසකින් හිටියේ. නිදිමතට ඇස් පියවෙන්නත් එනවා. ඒ අතරේ දකින්න ලැබුණු මේ අමුතු හැඩතල මට කැමරාවට හසු කරගන්න හිතුණා.
උදේ 06:00 – අන්තිමේදී ඉර උදා වෙන්න පටන් ගත්තා. නිදි වරමින් ගත කරපු රාත්‍රිය ගැන මට අමුතුම සතුටක් දැනුණා. චාරිකාවට වැය කරේ පැය හත අටක් වුණත් ඊට වඩා කාලයක් ගත වුණා වගෙයි දැනුණේ. අන්තිමට අලුත්ම අත්දැකීමක් එක්ක මම මගේ කොළඹ චාරිකාවට සමු දුන්නා.
රාත්‍රී කාලයේ කොළඹ නගරය ඇත්තටම මම හිතුවාට වඩා වෙනස්. නමුත් එයටම ආවේණික අමුතුම සුන්දරත්වයක් තියෙන බව මේ රූප දකින ඔබ වුණත් පිළිගනීවි කියලා මම විශ්වාස කරනවා.
පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ