පරණ වෙන තරමට හොඳ යැයි සැලකෙන වයින් වුවත් කාලයකට පසු කල් ඉකුත් වී යනවා. එන්න එන්න රස වැඩි වේගෙන ගියත් පහු පහු වෙනකොට වයින් උනත් ඇඹුල් වෙන්න ගන්නවානේ. අපි මේ ඩිල්ශාන් වයින් වලට සමාන කරන්න ගන්න උත්සාහයක් නෙමෙයි. ඇත්තටම කිව්වොත් ඩිල්ශාන් වයින් වගේ කියන එක මහේලට කරන අපහාසයක් කියලත් සමහරු හිතන්න පුළුවන්. මේ නිසා ඩිල්ශාන්ගේ චරිතය අලුත් පාටට තිබෙන පරණ මොඩලයේ කාර් එකකට සමාන කරන එක වඩා හොඳයි.
කාලයක් මට ඩිල්ශාන්ව එපාම වෙලා තිබුණා. ඉස්සර එක්දින ක්‍රිකට් තරඟ වල මැද හරියේ දී පිටියට අවතීරණ වෙන මේ ක්‍රීඩකයා බෝලයට ඇඟේ තියෙන මුළු වෙර දාල තඩි බානවා. හැබැයි ගොඩක් වෙලාවට ගන්නේ ලකුණයි, දෙකයි. පිතිකරුවෙක් විදියට ඩිල්ශාන්ගෙන් ඇත්තටම මේලෝකේ වැඩක් තිබුණේ නැහැ. නමුත්, ආයෙත් ඩිල්ශාන් ට කාලයක් මම සෑහෙන ආසාවෙන් හිටියා. ලාංකීය මාස්ටර් බ්ලාස්ටර් ක්‍රිකට් දිවියෙන් සමුගන්න කොට කණ්ඩායමේ අඩුව පුරවන්න ඩිල්ශාන් ඉදිරිපත් වුණේ දක්ෂ විදියට. ඩිල්ශාන් දිගට හරහට පන්දු වලට ප්‍රහාර එල්ල කළේ පන්දු යවන්නන් එක්ක මොකක් හරි පුද්ගලික තරහක් තියෙනවා වගෙයි. මේ ඩිල්ශාන් 2.0 වර්ෂන් එක කොච්චර හොඳද කිව්වොත් ඔහුගේ නමින් ක්‍රිකට් ප්‍රහාරයකුත් නම් කෙරුනා.
ඒ කොහොම වුණත් ඩිල්ශාන් 3.0 වර්ෂන් එක එලියට එන්න ගත්තේ දැනට මාස දහඅටක පමණ ඉඳන්. අන්තිමටම ආපු වර්ෂන් එක පේන්න ගත්තේ 2016 ආසියානු කුසලාන තරඟාවලියේදී. ගානට සමමිතිකව කපපු ‘ඩිල්ශාන් කට්’ එකත් ගෙල වටා දිලිසෙන රන් දම්වැලත් අවුල්සහගත කොණ්ඩා මෝස්‌තරයත් ඩිල්ශාන් ගේ අනන්‍යතාවය වෙන්න ගත්තා. කොහොම වුණත් මේ 3.0 වර්ෂන් එක ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ගේ විනාශයේ පෙරලකුණු යි. පොන්ටිං, කලිස්, තෙන්ඩුල්කාර් වගේ විශිෂ්ඨතමයන් ට වුණත් සිද්ධ වුණේ මේ දෙයම තමයි. ඩිල්ෂාන් මේ කරන්නේ දක්ෂ විදියට සිස්ටම් රීබූට් කර කර අලුත් අලුත් මාදිලියේ වර්ෂන් වලින් අප ඉදිරියට ඇවිත් වැඩේ කල් දාගන්නන එකයි.
ලංකාව වගේ රටවල් වල තිබෙන ප්‍රශ්නය තමයි ක්‍රිකට් ක්‍රීඩාවට වඩා වැඩි තැනක් ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිමිවීම. මේකෙන් මිනිස්සු අන්ධ වෙනවා. ජයසූරියට වගේම යම් තාක් දුරකට සංගක්කාරටත් ජයවර්ධනටත් වුණේ ඒකයි. ඩිල්ශානුත් එහෙම වෙන්න සෑහෙන උත්සාහයක් දරනවා. ඇත්තටම තරඟ ඉතිහාසය ගත්තොත් සාමාන්‍ය මට්ටමෙන් ඉහළ තැනක ඩිල්ශාන් ඉන්නවා. නමුත් මේ සංඛ්‍යාන නොමගයවන සුළුයි. සමස්තයක් ලෙස හොඳට පෙනුණත් ඒවායෙන් වැදගත් කරුණු මගහැරී යන්න පුළුවන්. ඔහු රැස් කර තිබෙන ලකුණු නිසා ක්‍රිකට් දිවියේ බහින කලාවට දැන් ඔහු අවතීර්ණ වෙලා තිබෙන බව ඇත්තටම වැහිලා ගිහින්. පහුගිය මාස දොළහ දිහා බැලුවම, ඩිල්ශාන් වර්ෂන් 2.0 එකේ ගහපු ගැහිලි දැන් ඩිල්ශාන් ගහන්නේ නැති බව හොඳට පේනවා. ඉස්සර හතර වටේට ප්‍රහාර එල්ල කරපු බෝල වලට ඩිල්ෂාන්ට දැන් ගහගන්න බෑ.
ඒ වුණත් හැම පැත්තෙන්ම පීඩනය එල්ල වෙන්න ගත්ත ගමන්, එතකොට ඔහුට විරුද්ධ මැසිවිලි කනින් කොනින් ඇහෙන්න පටන් ගන්න කොටම ඔහු කරන්නේ කොහේවත් යන, එතරම් වැදගත් කමක් නැති ඉණිමක් සාර්ථක ලෙස ජයග්‍රහණය කර දීලා තම ක්‍රිකට් දිවිය තව පොඩ්ඩක් දික් ගස්සගන්න එක. තරඟ සංඛ්‍යාන ඉහල දමාගෙන දිගින් දිගටම තමන්ව තරඟ වලට තෝරා ගැනීමට සැලැස්වීමේ උපක්‍රමයක් විදියට මේක සලකන්න පුලුවන්. 2014 2015 වසර වලදී, විශේෂයෙන්ම අසීරු තරඟ වලදී (2014 ලෝඩ්ස් , 2013 ජූලි මස ආර් ප්‍රේමදාස, 2014 දෙසැම්බර් ආර් ප්‍රේමදාස) ඩිල්ශාන් මහේලගේ සහ සංගාගේ පස්සෙන් වැටී ඔවුන් දෙදෙනාගේ දක්ෂතා පිති හරඹය මත නිර්මාණය වුණු ඒ උද්වේගයේ කරපිටින් ගිය බවට උදාහරණ බොහොමයක් තිබෙනවා. බොහෝ අවස්ථා වල මහේලට සහ සංගාට ඉණිමේ ලකුණු රැස් කිරීමේ වේගය ඉහල නංවා ගැනීම සඳහා තම විකට් එක පුජා කිරීමට සිදු වුණා, ඩිල්ශාන් ඒ අතරතුර තම ලකුණු තත්වය ඉහල නංවා ගන්න පොඩ්ඩක් වත් පැකිලුණේ නැහැ.
සංඛ්‍යාන ගැනම කතා කරන්න කැමති නම්, දත්ත අනුවම කරුණු කාරණා ඔප්පු කරගන්න ඕනෑ නම් මහේලයි සංගයි ඉවත් වුණාට පස්සේ තිබුණු එක්දින අන්තර්ජාතික තරඟ දොළහේ ඩිල්ශාන්ගේ ලකුණු වල සාමන්‍යය 35යි. ඒත් ඒ දෙන්නා විශ්‍රාම යන්න කලින් ඩිල්ෂාන්ට 65 ක සාමාන්‍යයක් තිබුණා.
දැනට කණ්ඩායමේ සිටින වයසින් වැඩිම ක්‍රීඩකයෙක් වුණාට ඩිල්ශාන් හැසිරෙන්නේ තරුණ නැගී එන ක්‍රීඩකයන්ට ගුරුහරුකම් දෙන වැඩිහිටියෙක්ට වගේ නෙමෙයි නාඹර ගැටවරයෙක් වගෙයි. මේ ලිපියේ රචකයා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගොඩක් කැමති කෙනෙක්, ඒ වගේම සාම්ප්‍රදායික විදියට හිතන්න අකමැතියි, ඒ කොහොම වුණත් මේ වගේ චරිත ලක්ෂණ වලින් කණ්ඩායමට හොඳක් වනවා මිසක කරදරයක් හිරිහැරයක් වෙන එක සුදුසු නැහැ. ඒ විතරක් නෙමෙයි ඩිල්ශාන් ඉක්මනින් තරහයන කෙනෙක්. ඔහු නායකත්වය දරපු දවස් වල කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන්ගේ වැරදි වලට බැණ වැදුන අවස්ථාත් මානසිකව වැටෙන අයුරින් සලකපු අවස්ථාත් වාර්තා වෙලා තිබෙනවා. 2011 ලෝඩ්ස් තරඟාවලියේදී චන්දිමාල් ඇන්ජලෝ මැතිව්ස්ගේ සහය ඇතිව ශතකයක් ගැනීමට තම වේගය බාල කරද්දී ඩිල්ශාන් ඔවුන්ට තදින් කෑ ගැසුවා. ඔහුගේ වාග් ප්‍රහාරය නායකයෙකුට කොහෙත්ම ඔබින්නේ නැති සැහැසි එකක් වුණා.
පැරණි දක්ෂ ක්‍රීඩකයන් ක්‍රිකට් වලට අමුතු දෙයක් නෙමෙයි. ඒ වගේ උදාහරණ එමටයි. මිස්බා, උල් හක් වැන්නන් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම ඇද වැටී තිබුණු ඒ අගාධයෙන් ගොඩ අරගෙන යූනිස් කාන්ගේ සහය ඇතිව ක්‍රිකට් ක්‍රීඩාවේ නව මගකට කණ්ඩායම යොමු කළා. බ්‍රෙන්ඩන් මැක්කලම් නවසිලන්ත කණ්ඩායමේ නායකත්වය ලබා ගනිද්දී හැමෝම ඔහුට හිනා වුණා. ඒත් ඒ කණ්ඩායමේ සාර්ථකත්වයට මූලික වශයෙන් දායක වුණේ ඔහුයි. නියම නායකයෙක් හැටියට 2016 විස්සයි විස්ස ලෝක කුසලානයට තරඟ කිරීමට තිබුණු ආශාව පසෙකලා ඔහු තම නායකත්වය කේන් විලියම්සන් ට භාර දුන්නා. මේ දෙන්නාගෙන් ඩිල්ෂාන්ට ඉගෙන ගන්න තිබෙන දේවල් බොහොමයි. ඒත් ඩිල්ශාන්ගේ හැටි දන්නවානේ, බොහෝ විට ඔහු එවැන්නක් කරන එකක් නැහැ. ලංකාවෙන්ම උදාහරණයක් ගත්තොත් කණ්ඩායමෙන් සමුගත්තත් දිගින් දිගටම කණ්ඩායමේ උන්නතියට දායක වන විද්වතෙක් ලෙස රංගන හේරත්ව හඳුන්වන්න පුළුවන්. ආදර්ශයට ගන්නවා නම් මේ වගේ කණ්ඩායමේ උන්නතියට වැඩ කරන තරුණ සාමාජිකයන්ගේ ධෛර්යය වඩවන පුද්ගලයන් ඕනෑ තරම් සිටියදී ඩිල්ශාන් තවමත් තමන්ගේ ආත්මාර්ථකාමී ආශාවන් ඉටුකරගන්නට ගිහින් කණ්ඩායම දිනෙන් දිනටම අගාධයට තල්ලු කරගෙන යනවා.
කණ්ඩායමකට වැදගත් වෙන්නේ ක්‍රීඩකයෙක්ගෙන් කණ්ඩායමට ලැබෙන ගුණාත්මක භාවය. නැතුව සංඛ්‍යාන දත්ත නෙමෙයි. අවුරුදු 39ක් වෙන ඩිල්ශාන් දැනට අපට ඉන්න හොඳම පන්දු රකින්නා වෙන්න පුළුවන්. ඒත් ඒක තරඟ පුහුණුකරුවන්ගේ අඩුපාඩුවක් මිසක් දිගටම ඩිල්ශාන් තරඟ වලට තෝරාගන්න හේතුවක් නෙමෙයි. සැකයක් නැතිවම ඩිල්ශාන් ලාංකීය ක්රිකට් ක්‍රීඩාවට ලොකු සේවයක් කරලා තිබෙනවා, ඒත් දැන් ඔහු කණ්ඩායමේ සුභසිද්ධියට වඩා තමන්ගේ තැන රැක ගන්නට ක්‍රීඩා කරන පිතිකරුවෙක් බවට පත් වෙලා තිබෙන බව අපි පිළිගන්න ඕනෑ. හිටපු ගමන් ඔහුගේ මේ උපක්‍රමය නිසා කණ්ඩායමටත් වාසි වන වෙලාවල් නැත්තේම නැහැ. ඒත් කණ්ඩායමේ දිගු කාලීන උපායමාර්ගය මේකද? දැන් මුල් පෙළ පිතිකරුවන්ට අවධානමක් ගැනීමට ඩිල්ශාන් ගේ ඇති මේ මැලිකමත් එක්ක ක්‍රීඩා කරන්නට සිදු වී තිබෙනවා. ඒ අතර කණ්ඩායමට එන නවක තරුණ පිතිකරුවන්ට සිද්ධ වෙන්නේ මේ ලෙජන්ඩ් එක ප්‍රවේශම් කරමින් ක්‍රීඩා කරන්නට ගිහින් අමාරුවේ වැටෙන්නයි.
මෙහි රචකයාගේ අදහස් අනුව මෙයින් ගන්න පුළුවන් නිගමනය ඩිල්ශාන් කණ්ඩායමට තවදුරටත් ඇතුලත් කර ගැනීමෙන් ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් වල පල්ලට ඇද වැටෙන බවයි. ඩිල්ශාන් අපි මේ වෙද්දී ටිකක් දුරස් වී සිටිය යුතු ඒ පැරණි යුගයේ අවසාන පුරුකයි. නැගී එන දක්ෂ තරුණ කැලත් සමඟ ඉදිරියට යනවා වෙනුවට සුපර්ස්ටාර්ස්ලා සහ වීරයන්ගේ මනදොළ සපුරාලන ලෙස සැකසුණු ක්‍රිකට් කලාවක් අපට තිබුණේ. තරඟ උණුසුම ඉහල යද්දී අපි නොදැනුවත්වම වියපත් වෙමින් සිටින ‘ලෙජන්ඩ්’ කෙරෙහි අපේ සම්පුර්ණ බලාපොරොත්තු තබා ගන්නවා. ඒත් ඇත්ත කතාව නම් ක්‍රිකට් සම්බන්ධයෙන් කොයි තරම් හොඳ හැකියාවක් තිබුණත් මේ ලෙජන්ඩ් එක කණ්ඩායමේ සමස්ත ප්‍රගමනය අඩාල කරලා තිබෙන බව. ඉතින් කණ්ඩායමක් විදියට ඉදිරි අනාගතයට මුහුණ දෙන්නත් ලෝකයේ අනෙක් ක්‍රිකට් කණ්ඩායම් සමඟ හරිහරියට තරඟ වැදීමටත් අපි දැන් කරන්නට ඕනෑ හොඳම දෙය නැගී එන තරු වලට මිලින වී යන්නට නොදී අතහිත දී රැකබලා ගැනීමයි.
අහංකාර කම් සහ උද්දච්ච කම් වලට මුහුණ දෙන්නේ නැතුව ඇන්ජලෝ මැතිව්ස්ටත් තරුණ නායකයෙක් විදියට තමන්ගේ කණ්ඩායම රිසි පරිදි සාදා ගැනීමට නිදහසක් තිබෙන්නට ඕනෑ.
ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඩිල්ශාන්ගේ ක්‍රීඩා කෞශල්‍ය නිසා අපිට තරඟය දිනාගන්නට හැකි වුණු බව ඇත්ත. අපි විලි ලැජ්ජාවෙන් බේරුණේ ඒ නිසා. ඒත් මේ වගේ කෙටි කාලීන ජයග්‍රහණය නිසා දිගු කාලීනව ගත්තම කණ්ඩායමේ ඉරණම අපිට නොපෙනෙනවා වත්ද? ඩිල්ශාන් ගන්න හැම ලකුණක් ලකුණක් ගානේම ලාංකීය ක්‍රිකට් කලාව මළගම වෙත ලඟා නොවේවි ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු කාලයට බාරයි.