Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අදටත් ‍රැකී තිබෙන ඇමටියගොඩ වලව්ව

සාමාන්‍යයෙන් රදළ පෙළපත් හෝ වලව් පිළිබඳව කතා කරන විට බොහෝදෙනෙකුට සිහිගැන්වෙන්නේ කන්ද උඩරට වුව ද, සබරගමු පළාත ද රදළ පවුල් රැසක් සඳහා නිජබිම විය. එපමණක් නොව සබරගමුව පළාත තුළ එවැනි පවුල්වලට සෙවන දුන් ඉපැරණි වලව් රාශියක් ද තිබිණි. ඉන් සමහරක් මේ වන විට විනාශ වී තිබෙන නමුත් සැලකිය යුතු ප්‍රමාණයක් අද ද දක්නට ලැබේ. මෙම ලිපිය ලියැවෙන්නේ සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා තිබෙන, වසර 260කට අසන්න ඉතිහාසයක් ඇති, ඓතිහාසික ඇමිටියගොඩ වලව්ව පිළිබඳව යි. 

වලව්වේ ඉතිහාසය 

ඇමිටියගොඩ ග්‍රාම නිලධාරී වසම තුළ පිහිටි මෙම වලව්ව ඉදිකර ඇත්තේ ක්‍රි. ව. 1761 දී පමණ ය. වලව්ව ඉදිකිරීම සඳහා ඇමිටියගොඩ ගුණතිලක අලහකෝන් මහා මුදලිට අවසරය ලබා දී ඇත්තේ කිර්ති ශ්‍රී රාජසිංහ රජුන් බව කියැවේ. ඇමිටියගොඩ ගුණතිලක අලහකෝන් මුදලිවරයා සහ තවත් ප්‍රභූන් කිහිපදෙනෙකු කටුවන ලන්දේසි බලකොටුවේ බලය අල්ලාගැනීමට කටයුතු කළ අතර, එය ඇගයීමක් ලෙස මෙම වලව්ව ඉදිකිරීම සඳහා කිර්ති ශ්‍රී රාජසිංහ රජු අවසරය ලබාදී තිබේ. ඒ සඳහා සංකේතාත්මකව තඹ උළු කැටයක් ද ලබා දී ඇති බව සඳහන් වේ.

1761 වසරේ දී කටුවන ලන්දේසි බලකොටුව ජයගැනීමේ සටනට නායකත්වය දුන් සබරගමු පළාතේ ප්‍රභූන් 13 දෙනා එම සටන ආරම්භ කර ඇත්තේ එවකට සංඝරාජධුරය දැරූ වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර නාහිමියන්ගේ අනුශාසනා අනුව බව ඉතිහාසයේ කියැවේ. ඊට අමතරව වේහැල්ලේ ධම්මදින්න නම් ස්වාමීන්වහන්සේ නමකගේ ප්‍රධානත්වයෙන් 500ක් පමණ භික්ෂුන්වහන්සේ ඒ ඒ පළාත්වලින් සටනට පෙරමුණ ගෙන තිබේ. ඇමිටියගොඩ නින්දගම තුළ වලව්ව සහ විහාරස්ථානය එකට ඉදිකර තිබෙන හෙයින්, මෙම වලව්ව “පන්සල වලව්ව” යනුවෙන් ද ප්‍රදේශවාසීන් විසින් අදට ද හඳුන්වනු ලැබේ.

වලව්වේ ඉදිරිපස/ematiyagodewalawwa.lk

 

කෙසේ වෙතත් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ඇගයීමට ලක්වූ මෙම පරම්පරාවේ පසුකාලීනයෙකු වන ඇමිටියගොඩ මුදියන්සේ නම් තැනැත්තා, ඇහැලේපොළ අදිකාරම්ට හිතවත්ව කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ උදහසට ලක්වූ නිසා මරණ දණ්ඩනයට ලක්ව තිබේ. ඔහු පමණක් නොව එවකට ඇහැලේපොළ අදිකාරම් සමග හිතවත්ව සිටි සබරගමුවේ ප්‍රභූවරුන් 60ක් පමණ (සමහර ඉතිහාස පොත්වලට අනුව 74ක්) ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නියමයෙන් මරා දමා තිබේ.

මෙම වලව්ව “වා රික්තයක්” සහිත ස්ථානයක ඉදිකර තිබෙන බවට ප්‍රදේශවාසීන්ගේ මතයක් පවතී (වා රික්ත මෙවැනි තැන්වල සැබැවින් පිහිටීමට නොහැකි බව දත යුතු). එමඟින් කෘමීන්ගේ ආරක්ෂාවීම, මැසි මදුරු උවදුරු අවමවීම, ඉව අල්ලා ජීවත්වන විසකුරු සතුන්ගෙන් ආරක්ෂාවීම, මකුළුදැල් බැඳීම අවමවීම, අකුණුසැර වැදීම අවමවීම, අනවින සහ කොඩිවින වැනි දේවල්වලින් එල්ලවිය හැකි බලපෑම් අවමවීම වැනි වාසි රැසක් සැලසෙන බව ඔවුන් විශ්වාස කරයි.

වලව්ව ඉදිකර ඇති හැටි

ගමන් බිමන් යාම සඳහා භාවිතා කළ තිරික්කලය/ematiyagodewalawwa.lk

මෙම වලව්වේ ශක්තිමත් බිත්ති කපරාදු කර ඇත්තේ හුණුගල්, හුඹස් මැටි, වැලි, සහ උක්පැණි යන දේ මිශ්‍ර කර වන අතර ජනෙල් උළුවහු සඳහා යොදාගෙන ඇත්තේ ශක්තිමත් දැව යි. ගෙබිම කළුගල් අතුරා අලි ලවා පාගවා, ඒ මත හුඹස් මැටි, හුනුගල්, වැලි සමග මී ඉටි සහ උක්පැණි මිශ්‍රකර සාදා ගත පල්පයක් ද අතුරා තිබේ. වලව්වේ වහලයේ දැව මත මකුළු මැටි නම් වූ මැටි විශේෂයෙකින් සාදාගත් මිශ්‍රණයක් තවරා තිබෙන අතර, එමඟින් බලාපොරොත්තු වී ඇත්තේ ගෙතුළ සිසිල්ව තබාගැනීම යි. වලව්ව තුළට ඇතුළුවීම සඳහා උතුර, නැගෙනහිර, දකුණ සහ බස්නාහිර යන දිශාවන් හතරෙන්ම පිවිසුම් තිබීම ද විශේෂත්වයකි. වලව්ව තුළට ආලෝකය ලබාගැනීම සඳහා මැද මිදුලක් තිබෙන අතර, කිරිමැටියෙන් නිර්මිත ගඩොල් වර්ගයක් ද යොදාගෙන නිවාස තුළ ස්‌වාභාවික වායු සමීකරණ පද්ධතියක් නිමවා තිබුණු බව කියයි.

ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකර තිබෙන මෙම වලව්වේ ඉදිරිපස ආලින්දයේ දෙපසින් විශාල කුළුණු 16ක් පමණ යොදා තිබේ. නිවසේ දොර ජනෙල් සඳහා විශාල උළුවහු යොදාගෙන තිබෙන අතර, උළුවහු සඳහා දැව කඳන් තෝරාගැනීමේ දී ඒවා ජලයේ ගිල්වා නිවැරදිව අග මුල හඳුනාගෙන තිබෙන බව ද කියැවේ. එසේ සිදුකිරීම තුළින් අපල උපද්‍රවවලින් ආරක්ෂාවීම අපේක්ෂා කර තිබේ. වලව්ව සී මැදුරු කවුළු දෙකකින් ද යුතු ය. කොස් ලී අරටුවෙන් වහලය සාදා තිබෙන අතර දැවමුවා සොල්දරයක් ද නිවසේ තිබේ.

වලව්වේ සේවය කළ අයට නැවතී සිටීම සඳහා වෙන් කර තිබූ කාමරවල උළුවස්ස මිටි අතර අනිකුත් කාමරවල උළුවහු උස්ව සකසා තිබේ. වලව්ව තුළට පිවිසෙන ස්ථානයේ පිච්ච මලක් කොටා ඇති සඳකඩ පහනක් දක්නට තිබෙන අතර වලව්වට පිවිසෙන ස්ථානයේ මල් වැලක් ද වවා තිබේ. වලව්වට පිවිසීමේ දී හිස පහත්කර පැමිණීමට පෙළඹවීම සඳහා එලෙස මල් වැලක් වවා තිබෙන බව කියැවේ.

ඉපැරැණි මිනුම් උපකරණ/ematiyagodewalawwa.lk

වලව්වේ පෞරාණික භාණ්ඩ

ඓතිහාසික ඇමිටියගොඩ වලව්ව තුළ කෞතුක වටිනාකමකින් යුතු භාණ්ඩ රාශියක් ද දක්නට තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම ඡායාරූප සිතියමේ මුල් පිටපත, පැරණි එළාර කොඩිය ඇතුළු දිසාකොඩි, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලාගැනීම සිහිවීමට රැගෙන එන ලද රජු භාවිතා කළ, ශ්‍රී ලාංඡනය යෙදූ ජලකාන්දු නොවන බෙහෙත් සැරයටිය, සිංහල හෙල්ල, දඬුවම් සදහා භාවිතා කළ එක් එක් ප්‍රමාණයේ බස්තම්, කඩු, පැරණි හෙන්ඩුව, කස්තාන කඩු, මුදලිවරයා රජු දැක්මට යන අවස්ථාවට පැළඳි රෙදිපිළි, හිස බැඳි පනා, රාජකීය මුද්‍රාව තැබූ තඹ උළුකැටය, රාජකීය උළුකැටය රැඳවූ මහ උළුකැටය, මුදුන් උළුකැට ලෙස භාවිතා කළ ලේන්සු උළුකැට සහ හවරි උළුකැට, රාජකීය අත්සන තැබූ ඇමටියගොඩ සන්නස, යුද්ධයේ දී මුදලිවරයාගේ ඉණ බැඳි යන්ත්‍රය, මදාරා මිට සහිත අංකුෂය, ගමන් තිරික්කලය, යුද්ධයේ දී රැගෙන ගිය කිරිගරුඬ බුදුරුව, සර්වඥ ධාතු රිදී කරඬුව, පැරණි දැව ඉලත්තට්ටුව, බුලත් කෙටූ රිදී වංගෙඩිය, කිල්ලෝටය වැනි කෞතුක භාණ්ඩ රැසක් අද ද වලව්ව තුළ දක්නට ඇත.

මඩුවන්වෙල වලව්වේ විසූ මඩුවන්වෙල දිසාවේ එවන ලද ලිපියක්/ematiyagodewalawwa.lk

ඊට අමතරව සිංහල ආභරණ පෙට්ටි, අත්පළදනා ඇතුළු මැණික් ඇල්ලූ රන්, රිදී ආභරණ, සිංහල ගමන් පෙට්ටි, කැටයම් කළ ඇත්දත් කොටස් ගිල්වා සැකසූ සිංහල ගෘහ භාණ්ඩ සහ ඕලන්ද ගෘහභාණ්ඩ, එළහරක් අඟ භාවිතයෙන් නිර්මිත වෙඩිබෙහෙත් ගුලා, හමෙන් සැකසූ මන්ද, පැරණි ගල් කැසිකිලි ලෑල්ල, දිග්ගේ නැටුම අවස්ථාවේ දී භාවිතා කළ රත්‍රං තල ගිරය, දෝලාව, වී අටුව, තීන්ත සෑදීමට භාවිතා කළ සෙල්මුවා භාජනය, රාත්‍රියට ආලෝකය ලබා ගැනීමට දැල්වීමට මී තෙල් සාදා ගැනීමට භාවිතාකල මී ඉටි පානේ කොටසක්, දිග්ගේ කොඩිවින කැපීමට භාවිතා කළ දිවිහිස හා ගෙරිහිස්, නැව් බැඳි කඹ, කුරුනිය, කාර්තුව, සේරුව, හුන්ඩුව, ලාහ, දඬුකඳ, පැරණි නඟුල්, එදිනෙදා පරිහරනය කළ පැරණි පිත්තල, රිදී, මැටි සහ දැව භාණ්ඩ, ගල් කූඤ්ඤය, කම්මල් කිණිහිර, කඩුමුවහත් කළ ගල, ලන්දේසි සටනේ සිහිවටනයක් ලෙස ගෙන ආ ලන්දේසි තුවක්කුව, චිමිනිය සහිත ඉටිපන්දම් රඳවනය, ලන්දේසි මුරභටයන් හිස බැඳි ගෑස් ලාම්පු, ලන්දේසීන්ගේ පදක්කම් බහාලූ ජර්මනියේ හැම්බර්ග්හි නිෂ්පාදිත වාත්තුකර සැකසූ ආරක්ෂිත වානේ සේප්පුව, 1805 දී ඉංග්‍රීසි ආණ්ඩු සමයේ එංගලන්තයේ නිෂ්පාදිත කෑමකාමර සීනුව, කටුපෑන රදවනය සහ තීන්ත භාජනය, පනාමුරේ කෙනරගේ වම් හක්ක, වාත්තුකරන ලද ග්‍රැමර්ෆෝනය වැනි දේ ද අදත් වලව්වට පිවිසෙන්නෙකුට දැකගත හැකි ය.

එමෙන්ම වලව්වට පැමිණි රාජ්‍ය නායකයින් සහ ප්‍රභූවරුන් සම්බන්ධ යම් යම් ලියකියවිලි ද එහි දක්නට ලැබෙන අතර, වලව්වට නිතර ආ ගිය ප්‍රභූවරුන් ලෙස ඇහැලේපොළ අදිකාරම්, හිටපු ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්, සහ බද්දේගම රචනා කළ ලෙනාර්ඩ් වුල්ෆ් යන අය ද වේ. මඩුවන්වෙල වලව්වේ වාසය කළ මඩුවන්වෙල අදිකාරම් ඇමිටියගොඩ වලව්ව වෙත එවන ලද ලිපියක් ද වර්තමානය වන විටත් වලව්ව තුළ තිබෙන අතර, ඊට අමතරව තවත් ඓතිහාසික ලේඛන ගණනාවක් එහි දක්නට තිබේ.

ඉහත කී වලව්වේ විසූ පරම්පරා හතක පමණ ප්‍රධානීන්ගේ නම් සහ විස්තර කිහිපයක් ද ඔබ හමුවේ තැබීමට බලාපොරොත්තු වන අතර, සමහර විට ඔබේ පවුලේ වැඩිහිටියන් හෝ මෙය කියවන ඔබ ද ඔවුන් පිළිබඳව දන්නවා වන්නට පුළුවන.

වලව්වේ ආදිතමයින්ගේ ඡායාරූපයක්/ematiyagodewalawwa.lk
  1. 1700.ඇමිටියගොඩ අලහකෝන් මුදියන්සේ (කිරි කිත්තා)
  2. ඇමිටියගොඩ ගුණතිලක අලහකෝන් මුදලි (කිත්තා)
  3. ඇමිටියගොඩ මුදියන්සේ (ඇහැළපොල නිළමේගේ අනුගාමිකයෙකු වූ හෙයින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ උදහසින් මැරුම් කෑ සබරගමු පළාතේ රදළයින් 60 දෙනාගෙන් එක් අයෙකි. ඇතැම් ඉතිහාස පොත්වල මේ ගණන 74ක් ලෙස ද සදහන් වේ. වළල්ගොඩ පැරණි දෙමහල්පාය ප්‍රතිසංස්කරණය සදහා ඇහැලේපොළ නිළමේ හා දායකවූවෙකි.) (පනත්තා)
  4. ගුණතිලක අලහකෝන් මුදියන්සේලාගේ ලොකුබණ්ඩාර කෝරලේ මහත්තයා (බස්නායක නිළමේ කුඩා කතරගම දේවාලය) (නත්තා)
  5. ගුණතිලක අලහකෝන් මුදියන්සේලාගේ මද්දුම බණ්ඩාර කෝරලේ මහත්තයා (මී මුත්තා)
  6. ගුණතිලක අලහකෝන් මුදියන්සේලාගේ ගුණතිලක බණ්ඩාර ඇමිටියගොඩ (මුත්තා)
  7. ගුණතිලක අලහකෝන් මුදියන්සේලාගේ ආතර් හෙන්රි ඇමටියාගොඩ (ආතා)
  8. ගුණතිලක අලහකෝන් මුදියන්සේලාගේ උදය ඇමිටියගොඩ (බස්නායක නිළමේ, අම්මඩුව කුඩා කතරගම දේවාලය සහ බලන්ගොඩ උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය)

Information and cover image: www.ematiyagodewalawwa.lk

Related Articles