මුස්ලිම් ජාතිකයන් අරාබි රටවල කාන්තාර දේශගුණය ජය ගනිමින් ජීවත් වූ පිරිසක්. ඔටුවන් පිට යමින් ක්ෂේම භූමිවල වගාකරමින් සතුන් ඇතිකරමින් ඔවුන් කල් යැව්වා. අරාබියේ සිට පෙරදිග රටක් වන ලංකාවට මුස්ලිම්වරු පැමිණීමේ කතාව සොයායාමට අපි අදහස් කළා. එහිදී හමුවූ රසබර තොරතුරු කිහිපයක් මෙසේ ඉදිරිපත් කෙරෙනවා.
කාලිද් බින් මාලික්ගේ පාලනය
7 වැනි සියවසේ කාලීද් අබ්දුල් බින් මාලික් මර්වාන් මදීනාහි සිට අරාබිය පාලනය කළ පාලකයා යි. ඔහු පස්වැනි උමායා කාලිෆ්වරයා වුණා. ඒ කාලයේ ඔහුගේ ම්ලේච්ඡ පාලනය නිසා ජනතාවට පීඩාකාරී ජීවිතයක් උරුම වුණා. ඒ කාලෙම දෙවැනි මුස්ලිම් සිවිල් යුද්ධයත් ඇතිවී තිබෙනවා. බොහෝ අරාබි ජාතිකයෝ කාලීද් අබ්දුල්ගේ ම්ලේච්ඡ පාලනයෙන් ජීවිත ගලවා ගැනීමට රටින් පලාගිය බව සඳහන් වෙනවා.
ජනප්‍රවාද පවසන්නේ හත්වැනි ශත වර්ෂයේ දී සුල්තාන්වරුන් තිදෙනෙකු ද මුස්ලිම් ජනතාව ද රැගත් රැවල් නැව් හතරක් යේමනයේ සිට වෙනත් රටවල් බලා පිටත් වූ බව යි. සුල්තාන් බදුර්දීන්, සුල්තාන් සලාහුදීන්, සුල්තාන් සදුර්දීන් එම අය වශයෙන් සැලකෙනවා. මේ පිරිසෙන් සුල්තාන් සදුර්දීන් ගොඩබැස්සේ ලංකාවේ බේරුවලට යි. මේ සුල්තාන් ඇතුළු පිරිස වෙරළේ සිට නගරයට සේන්දු වූ පාරට අදටත් කියන්නේ අරාබි පාර කියල යි.
වෙළෙඳාමට පැමිණි පිරිසක්
අරාබි යාත්‍රිකයෝ ලංකාවේ සහ ඉන්දියාවේ වෙරළබඩ පදිංචි වී ස්වදේශිකයින් සමග විවාහ වී දේශීය සමාජයේ වැදගත් කොටසක් බවට පත්වුණා. දකුණු ඉන්දියාවෙන් මුස්ලිම් දහම වැළඳගත් දෙමළ පිරිස් ද ලංකාවට ආවා.
මුස්ලිම් ජනතාව මුලින්ම ලංකාවට පැමිණ ජීවන වෘත්තිය ලෙස වෙළෙඳ කටයුතුවල යෙදුණා. සමහරු සත්ත්ව පාලනය, මුතු මැණික් වෙළෙඳාම, කුළුබඩු වෙළෙදාමේ යෙදුණා. එදා ඉඳන් අද දක්වාම ඔවුන මුල්තැන දෙන්නේ ව්‍යාපාරවලට යි. ලංකාවේ පැරණිම මුස්ලිම් පල්ලිය තියෙන්නේ බේරුවල. ඒක පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් ද ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. බේරුවලට මුස්ලිම්වරු ගොඩබැස්සට පසු වෙළෙඳ කටයුතු සඳහා විවිධ පළාත්වලට ගියා. ඒ වගේම කොළඹ වරාය ආශ්‍රිත වෙළෙඳාම ඔවුන් කරගෙන ගියා. පෘතුගීසි ලංකාවේ මුහුදුබඩ පළාත් යටත් කරගත් පසු මුස්ලිම් වෙළෙඳාම බිඳදැමීමට විවිධ කටයුතු කර තිබෙනවා.
“මරක්කල” නම ලැබුණු හැටි
මුස්ලිම්වරුන්ට සමහර පළාත්වල කියන්නේ “මරක්කල” කියලා යි. ඒ වචනය ලැබුණු අන්දම ගැන ජනකතාවක් මෙහෙම කියැවෙනවා:
පඟරගම්මන කියලා මහියංගණයට කිට්ටුව මුස්ලිම් ගම්මානයක් තිබෙනවා. සිංහල රජතුමා පෘතුගීසීන් සමඟ සටන් කර බේරීමට පලායන අවස්ථාවක මේ ගමේ මුස්ලිම් කාන්තාවක් එළදෙනකගෙන් කිරි දොවමින් සිටියා. රජ්ජුරුවෝ කොස් ගසක බෙනේක හැංගෙනවා මේ කාන්තාව දැක්කා. රජු ලුහුබැඳගෙන ආපු සතුරෝ කාන්තාවගෙන් රජු ගැන ඇසුවත් ඇය රජු පාවා දෙන්නේ නැහැ. ඉන් කෝපයට පත් සතුරන් මුස්ලිම් කාන්තාව මරලා දැම්මා. රජු පසුව පිටතට විත් බැලුවාම කාන්තාව ලේ පෙරාගෙන වැටී සිටිනු දුටුවා. ‘මා රැකි ලේ’ කියලා ඔහු කිව්වාලු. පසුව ‘මරක්කල’ යන හැඳින්වීම ආවේ එහෙම බව කියැවෙනවා.
මුස්ලිම් වෛද්‍යවරු
වෙදකමටත් මුස්ලිම් අය ලංකාවට පැමිණ තිබෙනවා. එවැනි එක් පරම්පරාවක නම වෛද්‍යතිලක මුහන්දිරම්ලාගේ ගෝපාල මුදියන්සේගේ කියා සඳහන් වෙනවා. ඒ වාසගම ලැබුණේ උඩරට රාජධානිය කාලේ රජ්ජුරුවන්ට වෙදකම් කිරීම නිසා යි. උඩුනුවර වගේම අවිස්සාවේල්ල තල්දූවෙත් මුස්ලිම් වෙද පරම්පරා අදත් ජීවත් වෙනවා.
බිසවට වෙදකම් කළ මුස්ලිම් වෙද මහත්තයා
මුස්ලිම් වෛද්‍යවරුන්ගේ කීර්තිය ගැන මහනුවර රජතුමාට දැනගන්නට ලැබී තිබුණා. වෙනත් වෛද්‍යවරුන්ට සුවපත් කිරීමට අපහසු වූ රජ බිසවට වැළඳී තිබුණු උදර රෝගයට ප්‍රතිකාර කිරීමට මුස්ලිම් වෛද්‍යවරයෙකු මහනුවරට ගෙන්වා ගත්තා. රජු වෛද්‍යවරයාගේ හැකියාව පරීක්ෂා කිරීමට උපක්‍රමයක් යෙදුවා.
වෛද්‍යවරයාට නොපෙනෙන පරිදි රෝගී බිසව තබා බිසවගේ අත අල්ලා නාඩි බලනු වෙනුවට නූලක් අතේ බැඳ නාඩි බැලිය හැකි බව වෛද්‍යවරයා පැවසුවා. වෙද මහත්තයා පරීක්ෂා කිරීමට රජු බිසවගේ අතේ වෙනුවට නූලේ කෙළවර දොර පොල්ලක බැඳ තැබුවා. වෛද්‍යවරයා නූල අල්ලා බලා කීවේ රෝගියා පණ ඇති කෙනෙක් විය නොහැකි බව යි. ඊට පසු නූල බල්ලෙකුගේ කකුලක බැඳ තිබෙනවා. “මේ නම් තිරිසනෙක්යැ” යි වෛද්‍යවරයා කියා තිබෙනවා. පසුව නූල බිසවගේ අතේ බඳින ලද අතර වෛද්‍යවරයා නූල පරීක්ෂා කර බිසවගේ රෝගය සුවකළ හැකි බව පැවසුවා. ප්‍රතිකාරවලින් බිසව සුවපත් වූ අතර රජු බොහෝ සතුටට පත්ව “වෛද්‍යතිලක රාජකරුණා ගෝපාල මුදලි” නමැති පටබැඳි නාමය සමඟ බේත්ගේ මුහන්දිරම් තනතුර පිරිනමා තිබෙනවා. කෑගල්ල, පරණකුරු කෝරළේ ගොඩිගමුව, ගැවිලිපිටිය, දුම්බර ගහලංගොඩ, බෝපිටිතැන්න සහ මාතලේ ඉනිගල, යටිනුවර මොලදණ්ඩ, මාලගම්මන යන නින්දගම් ද ප්‍රදානය කළ බව සඳහන්.
කෙසේ නමුත් මීට සමාන ජනකතා වෙනත් දේශීය වෛද්‍යවරුන් වටා ද ගෙතී පවතිනවා.
පැරණිම පල්ලිය
බේරුවල මරදානේ මස්ජිදුල් අබ්‍රාර් පල්ලිය ඉපැරණි ඉතිහාසයක් සහිත ස්මාරකයක්. එය අද නවීකරණය වී ඇතත් මෙරට මුස්ලිම් ආගමනයට ප්‍රබල සාක්ෂියක් සපයන නිහඬ ස්මාරකයක් ලෙස වැදගත්. මෙය 7 වැනි සියවසේ අරාබියේ සිට පැමිණි සුල්තාන් සදුර්දීන් විසින් මුලින්ම ඉදිකරවූ බව යි විශ්වාස කෙරෙන්නේ. පිංහේන සහ බේරුවලත් තව පල්ලි ඉදිකළත් ඒවා පසුව අභාවයට ගොස් තිබෙනවා. එදා මරදානේ පල්ලිය හැදීමට පස් ලබාගත් ස්ථානය අද විශාල පොකුණක්. එය අද මුස්ලිම් ළමුන්ගේ පිහිනුම් තටාකයක් ලෙස සංවර්ධනය කර තිබෙනවා.
මුස්ලිම්වරු සිංහල කාන්තාවන් විවාහ කරගෙන ජීවිතය ආරම්භ කළා. මේ කාන්තාවන් ද පසුව සිංහල ලකුණු මකාදමා මුස්ලිම් ලකුණට මුල්තැන දී තිබෙනවා. මුස්ලිම් හෙවත් යෝනක ජනතාවට සිංහල රජුගෙන් හිරිහැරයක් නොවූ හෙයින් ඔවුහු බේරුවල අවට මෙන්ම කොළඹ, පුත්තලම, මන්නාරම, ත්‍රිකුණාමලය, යාපනය, ගාල්ල, හම්බන්තොට ආදී ප්‍රදේශවල පදිංචි වුණා. මඩකලපුව, පොතුවිල්, අම්පාර වැනි නැගෙනහිර ප්‍රදේශවල මුස්ලිම්වරුන්ට පදිංචිවීමට ඉඩකඩ සලසා දී ඇත්තේ උඩරට පාලනය කළ සෙනරත් (1604-1635) රජු යි. වෙළෙඳාමෙන් සිංහල රජුන්ට බදු ගෙවූ ඔවුහු ක්‍රමයෙන් ආර්ථිකයට බලපෑමක් කළ හැකි පිරිසක් බවට පත්වූණා.
යෝනක රජ බිසව
කුරුණෑගල රාජධානි යුගයේ දී පළමුවන බුවනෙකබාහු (1275-1283) රජු බේරුවල ප්‍රදේශයේ යෝනක කාන්තාවක් ගැන කැමැත්තක් ඇතිවී ඇය විවාහ කරගත් අතර, ඇයට උපන් පුත්‍රයා වූ වත්හිම් කුමරු පසුව දෙවැනි බුවනෙකබාහු නමින් රජවෙනවා. නමුත් ඔහුගේ බෞද්ධ විරෝධී පිළිවෙත් නිසා ඔහු කුමන්ත්‍රණයකින් මරණයට පත් කරවා තිබෙනවා. ඔහු උපක්‍රමයකින් ඇතුගල පාමුලට වැටී මරණයට පත්වන ලෙස කුමන්ත්‍රණකරුවන් සැලසුම් කළ බව ජනප්‍රවාදවල සඳහන්. මියගිය වත්හිමි බණ්ඩාර දෙවියකු ලෙස ඉපිද පිදුම් ලබන්නේ ගලේ බණ්ඩාර නමින්. ගලේ බණ්ඩාර දේවාලය ඇතුගල පාමුල පිහිටා තිබෙනවා.
16-17 වැනි ශතවර්ෂවල දී පෘතුගීසි ලිපි ලේඛනවල මුස්ලිම් ජාතිකයන් හඳුන්වා ඇත්තේ Mouros යනුවෙන්. ඒ අතරින් ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් වාසය කළ පිරිස Mouris Naturais නොහොත් ‘මරක්කල’ ලෙස හැඳින්වුණා. තවත් කණ්ඩායමක් ඒ කාලයේ බෝට්ටු හා යාත්‍රාවලින් ලංකාවට පැමිණ, මාස කිහිපයක් රැඳී සිට වෙළෙඳාම් කර, පසුව පිටත්ව ගොස් තිබෙනවා. පසුගිය සියවසේ මැද භාගය දක්වා මාලදිවයිනේ සිට ඔරුවලින් මුස්ලිම් වෙළෙන්දන් ගාල්ලට, හම්බන්තොටට පැමිණ වෙළදාම් කර තිබෙනවා.
හම්බයෝ
ලංකාවට පැමිණ ව්‍යාපාරික කටයුතු කරන අතර සබඳතා ඇතිකර ගැනීම, මිතුරන් ඇතිකර ගැනීම, සමහරු විවාහ වී දරුවන් ඇති දැඩි කිරීම ද සිදුව තිබෙනවා. ලන්දේසි හා බ්‍රිතාන්‍ය ලිපි ලේඛනවල මෙම පිරිස ‘කෝස්ටල් මුවර්’ ලෙස හඳුන්වා තිබෙන්නේ වෙරළබඩ ජීවත්වූ නිසයි. සිංහල ජනතාව මොවුන් ‘හම්බයෝ’ යන නමින් හඳුන්වා තිබෙනවා. ඔවුන් ‘හම්බන්’ නමැති බෝට්ටු වර්ගයක නැගී පැමිණීම හේතුවෙන් ඒ නම ලැබී තිබෙනවා. “හම්බන්තොට” යන නම ද ඒ නිසා ඇතිවූ බව යි පැවසෙන්නේ
මුස්ලිම් ජනතාව 16-17 වැනි සියවස්වල බහුල ලෙස මෙරටට පැමිණ පදිංචි වූ බව පෘතුගීසි, ලන්දේසි වාර්තාවල දැක්වෙනවා. මේ නිසා අප රටේ මුස්ලිම් ජනගහනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. පෘතුගීසි තෝම්බුවල සඳහන් ආකාරයට මෙම කාලසීමාවේ දී සැලකිය යුතු මුස්ලිම් ජනතාවක් පුත්තලම, හලාවත, මාදම්පේ, කොළඹ, කළුතර, බේරුවල, මග්ගොන, පයාගල, අලුත්ගම, බෙන්තොට, ගාල්ල, වැලිගම, මාතර හා බටහිර වෙරළ තීරයේ ව්‍යාප්ත වී සිටියා.
මුස්ලිම්- සිංහල කෙටවීම්
ඉංග්‍රීසි යටත්විජිත සටනේ දී සිංහල ජනතාව සමග මුස්ලිම් ජනතාවගේ සමගිය බිඳවීමට අධිරාජ්‍යවාදී පාලකයන් කටයුතු කළා. ඒ බෙදා වෙන්කර පාලනය කිරීම පාලකයන්ට පහසු නිසා යි. ඌව වෙල්ලස්ස පාලනයට හජ්ජි මරික්කාර් නම් මුස්ලිම් ජාතිකයකු පත්කිරීම නිසා සිංහල ප්‍රභූවරු හා රදළ පෙලැන්තිය කුපිත වුණා. එයට එරෙහිව රාජධානිය පුරා කැරලි හටගත් අතර 1818 කැරැල්ලට මඟපෑදූ එක් හේතුවක් වූයේ ද එය යි. මේ නිසා මුස්ලිම් හා සිංහල ජාතීන් අතර එදිරිවාදිකමක් හටගත්තා. එය ක්‍රමයෙන් රටපුරා ඇවිල ගියා.
ඉංග්‍රීසි කාලයේ දීම හටගත් 1915 සිංහල මුස්ලිම් කෝලාහලය නිසා යළිත් වරක් රට පුරාම මුස්ලිම් විරෝධයක් හට ගත්තා. එයට හේතුවූයේ මහනුවර බෞද්ධ පෙරහරක් මුස්ලිම් පල්ලියක් අසලින් යාමේ දී පෙරහරට ගල්මුල් ප්‍රහාරයක් එල්ලවීම යි. මේ අවස්ථාවේ දීත් සුද්දෝ ජාතීන් දෙක බෙදෙන ආකාරයෙන් පරිපාලනය මෙහෙය වූ බව පැහැදිලිව පේනවා.
නිදහසට පෙරමුණ ගත් මුස්ලිම් නායකයන්
කෙසේ වුවත් උගත් මුස්ලිම් ජාතිකයෝ 1948 නිදහස ලබාගැනීමට සිංහල හා දෙමළ නායකයන් සමග එකට සිටගත්තා. ලංකා ජාතික සංගමය, එක්සත් ජාතික පක්ෂය වැනි මුල්කාලීන දේශපාලන බලවේග පිහිටුවීමේ දී මුස්ලිම් නායකයන් ද කැපීපෙනෙන මෙහෙරවරක් ඉටුකර තිබෙනවා. සිද්ධි ලෙබ්බේ, ටී. බී. ජයා වැනි නායකයන් එහිදී කැපී පෙනෙනවා.