Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ අනාගතය අපට කෙසේ බලපෑම් ඇති කරයි ද?

අද වන විට ශ්‍රි ලංකාවේ ඇඟලුම් කර්මාන්තය හා ඒ ආශ්‍රිතව බිහිවුණු අනෙකුත් කර්මාන්තයන් ලාංකීය ජනතාවගෙන් බොහෝ පිරිසකට රැකියා අවස්ථා සලසා දෙනවා. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන කර්මාන්තයක් වශයෙන් මෙම කර්මාන්තයේ දැනට තිබෙන හා අනාගතයේ දී ඇතිවිය හැකි ගැටලු  කිහිපයක් මේ ලිපිය හරහා ඔබට දැනගන්න පුළුවන්.

දවසින් දවස ප්‍රශ්නයක් විදිහට වැඩි වන රැකියා අර්බුදය සමග ලංකාවෙන් මෙම කර්මාන්තය ඉවත් වුවහොත් හෝ පසුබෑමකට ලක් වුවහොත් රටක් විදියට අපට ඇති වන ගැටලු  මෙතෙකැයි කියන්න බැහැ.

අතීතයේ ලංකාව තුළ පැවති ඇඟලුම් කර්මාන්තය

කුවේණිය කපු කටිමින් (PinsDaddy)

ඉතා පැරණි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය කාලයත් සමග විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් සංවර්ධනය වූ බවට බොහෝ ඉතිහාස පොතපත සාක්‍ෂි දරනවා. ඉතිහාස පොත්පත් මෙන්ම නටබුන් වලින් දකින්න ලැබෙන සාක්‍ෂි මත ද අපට එය තහවුරු වෙනවා.

එලෙස ඉතිහාසගත කරුණු සැලකීමේ දී ඊට හොඳම සාක්ෂියක් මහාවංශයෙන් සොයා ගන්න පුළුවන්.

මහාවංශයට අනුව විජය කුමරු තම්බපන්ණියට, නැත්නම් ලංකාවට ගොඩ බසින විට කුවේණි නම් රාක්ෂ කුමරිය කපු කටිමින් (කපු කෙදි යොදා ගෙන කපු නූල් සාදමින්) සිටි බවට සඳහන් වෙනවා.

තවත් වැදගත් සාක්ෂියක් විදියට අද ද අපට දැක ගැනීමට හැකියාවක් තිබෙන සීගිරි බිතු සිතුවම් සලකන්න පුළුවන්. එහි ඇති සිතුවම්වල සිටින කාන්තාවන්ගේ සිරුරු ඉතා වර්ණවත් රෙදි පිළිවලින් හැඩකර තිබෙනවා.

සීගිරි සිතුවම් (www.ruh.ac.lk)

නමුත් කර්මාන්තයක් විදියට මෙම ක්ෂේත්‍රය පුළුල් වුණේ ඉතා මෑතක දී යි. 1950 අගභාගයෙ දී ශ්‍රි ලංකාවේ ඇති වූ ආර්ථිකය වෙනස්කම් සමග අැඟලුම් කර්මාන්තය මෙරට ස්ථාපිත වීම සිදු වී තිබෙනවා. විශේෂයෙන්ම 1960 දශකයේ අගභාගය වන විට විවිධ කර්මාන්ත 300ක්  පමණ ලංකාව තුල ආරම්භ කෙරුණු අතර ඇඟලුම් කර්මාන්තය ඒ අතර ප්‍රමුඛත්වයක් ගත්තා. මුල් කාලයේ දී ම වාර්ෂිකව රුපියල් මිලියන දෙකක අපනයනයක් සිදු කිරීමට ලංකාවට හැකියාවක් ලැබෙනවා.

වාර්ෂික නිෂ්පාදන ප්‍රමාණය (Economists’ Pick – HKTDC)

ඉහතින් දැක්වෙන රූප සටහන මගින් ඇඟලුම් කර්මාන්තයෙහි වර්ධනය හොඳින් වටහා ගන්න පුළුවන්.

අද වනවිට ලෝක වෙළඳපළට නිමි ඇඳුම් සපයන රටවල් අතර ශ්‍රී ලංකාවට ප්‍රධාන තැනක් හිමිවී ඇති අතර රටේ අපනයන ආදායමෙන් වැඩි කොටසක් ලබා දෙන කර්මාන්තයක් බවට ද මෙය පත්වී තිබෙනවා.

රටට ළඟා කරගත හැකි ප්‍රතිලාභ හා අවාසි.

ප්‍රතිලාභ.

  • රැකියා විරහිතභාවයට විසඳුමක් වීම.
  • නව තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට මුල් වීම.
  • ඍජු විදේශ අායෝජන මෙරටට ලැබීම.
  • ලෝකය තුල ලංකාවේ නිෂ්පාදනවලට වැඩි ඉල්ලුමක් ලැබීම.
  • අපනයන ආදායම ඉහළයාම නිසා ආර්ථිකය ස්ථාවර වීම.
  • කාන්තාවන් විදෙස් ගතවීම අඩුවීම සමග පවුල් තුළ ඇති වන ගැටලු  අඩු වීම.

අවාසි

  • පරිසරයට බැහැර කරන අපද්‍රව්‍ය නිසා පරිසර දුෂණය ඉහළ යාම.
  • සාම්ප්‍රදායික පේෂ කර්මාන්තවලට ඇති වන බලපෑම.
  • විදේශීය ආයෝජකයින්ගේ ඒකාධිකාරය නිසා දේශීය ආයෝජකයින් ආයෝජනයෙන් වැළකීම.
  • සමාජ ගැටළු අැති වීම.
  • මෙරට ශ්‍රමිකයන් ශ්‍රම සූරා කෑමට ලක් වීම.

ඉහත කරුණු කෙසේ වුවත් අද වන විට මෙම කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙනවා. එහෙයින් අනාගතයේදී අප කෙසේ මෙම කර්මාන්තය නියාමනය කළ යුතුද යන්න ගැන දැනුවත් වීම අපට මෙහි ප්‍රතිලාභ වඩාත් හොඳින් භුක්ති විඳීමට ඉවහල් වනු නොඅනුමානයි.

අනාගතයේදී ඇතිවිය හැකි ගැටලු

අද වන විට රටක් ලෙස මෙම කර්මාන්තය හා සම්බන්ධ ගැටලු ගණනාවකට මුහුණ දීමට අපට සිදු වී තිබෙනවා.

විදේශීය රටවලින් කෙරෙන බලපෑම්

මෙයට උදාහරණ ලෙස GSP+ ගිවිසුම වැනි ශ්‍රී ලංකාවේ රජය හා විදෙස් රටවල් අතර අැති වන ද්විපාර්ශ්වික ගිවිසුම් හඳුන්වා දෙන්න පුළුවන්. ලංකාව GSP+ ගිවිසුමට එළඹීම හරහා යුරෝපීය රටවලට නිමි ඇඳුම් අපනයනය කිරීමේ දී සහන රැසක් හිමිව තිබුණා. නමුත් ලංකාවේ ඇති වී තිබුණු ත්‍රස්තවාදය හා එය අවසන් කිරීමේ දී ඇති වූ දේශපාලන ගැටලු හමුවේ මෙම ගිවිසුම නවතා දැමීමට යුරෝපීය සංගමය කටයුතු කළ අතර ඒ සමඟ දේශීය ආයතන රැසක් පාඩු නිසා වැසී යන්න පටන් ගත්තා. මේ නිසා අාර්ථික වශයෙන් බොහෝ ගැටළලු වලට මුහුණ දීමට අපට සිදු වුණා. දැන් GSP+ නැවත ලැබී තිබුණත් එයින් වුණු හානිය තවමත් දැකගන්න ලැබෙනවා.

මෙසේ දේශපාලනික හේතු නිසා අැති වන අස්ථාවරභාවයන් කර්මාන්තයට බොහෝ බලපෑම් අනාගතයේ දී ත් සිදු කරන්න ඉඩ තිබෙනවා.

ආයෝජකයින් වෙනත් රටවලට ආකර්ෂණය වීම.

මෙය මේ වන විටද ගැටලුවක් ව  පවතින කරුණක් ලෙස හඳුන්වා දිය හැකියි. ලංකාව තුල මෙම කර්මාන්තය ආරම්භ කරන අවධිය වන විට දේශීය ශ්‍රමික වැටුප් පහළ මට්ටමක පැවතුණත් අද වන විට එය බොහෝ සෙයින් ඉහළ ගොස් තිබෙනවා. මේ නිසාම ආයෝජකයින් අඩු ශ්‍රමික වැටුප් සහිත බංග්ලාදේශය, ඉන්දුනීසියාව වැනි රටවලට තම ව්‍යාපාර ගෙනයාම හේතුවෙන් එය ලංකාවට අහිතකර තත්වයක් ඇති කර තිබෙනවා.

ආසියානු රටවල සේවක වැටුප් (China Briefing)

තව ද අමුද්‍රව්‍ය මිල ඉහළ යාම, යටිතල පහසුකම් හිඟය, ප්‍රවාහන පහසුකම් දුර්වල වීමද බොහෝ ගැටලු  ඇති කර තිබෙනවා.

දේශීය ශ්‍රමික ප්‍රමාණය අඩු වීම හා පුහුණු ශ්‍රමිකයන් වැඩි වැටුප් සඳහා විදෙස්ගත වීම.

විවිධාකාර කර්මාන්ත ගණනාවක් ඇති වීම නිසා වගේම තරඟකාරී ආයතන පැවතීම හේතුවෙනුත් අද වන විට ඇතැම් අැඟලුම් ව්‍යාපාරවලට අවශ්‍ය ශ්‍රමික පිරිස අඩු වීම බොහෝ ගැටලු  වලට හේතු වෙලා. මෙම හේතුව නිසා ශ්‍රමිකයින්ට වාසි සැලසී ඇති නමුත් එය අනාගතයේ දී ආයෝජකයින් ලංකාවෙන් ඈත් වීමට හේතුවක් විය හැකියි. තවද කාලය සමග පුහුණුව ලද ශ්‍රමිකයින් විදෙස් රටවලට යාම හරහා ලංකාව තුළ  සිටින ශ්‍රමික පිරිසෙහි අඩු වීමක් සිදුව තිබෙන අතර එය අප රටට දීර්ඝ කාලීනව අහිතකර බලපෑම් එල්ල කරනු නොඅනුමානයි.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ආරක්ෂා කරගත යුත්තේ කෙසේ ද?

අනාගත පරම්පරාවේ යහපත උදෙසා අප මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුමයි.

  1. දේශීය වශයෙන් පවතින යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා ප්‍රවාහන පහසුකම් දියුණු කිරීම තුළින් කොළඹ ආශ්‍රිතව පවතින කර්මාන්ත රට අභ්‍යන්තරයට ගෙන යාම.
  2. නිෂ්පාදන කාලය අවම කර ගැනීම තුළින් විදෙස් ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීම.
  3. නව තාක්ෂණයන් භාවිතය.
  4. මානව සම්පත් කළමනාකරණය වර්ධනය කිරීම.
  5. නිෂ්පාදන ක්‍රමය වෙනුවට අලෙවි කරණය වැඩිපුර භාවිතය.
  6. නව නිපැයුම් කිරීමට පුද්ගලයින් හා අායතන දිරිමත් කිරීම සහ අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීම.

මෙවැනි වූ උපක්‍රම යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ආරක්ෂා කර ගැනීම අනාගතයට මුහුණ දීමේ දී බොහෝ වැදගත් වනු ඇති.

කවරයේ පින්තූරය – Creative Textile Mills

මුලාශ්‍ර ;

  1. archives.sundayobserver.com
  2. www.colombotelegraph.com
  3. repository.kln.ac.lk
  4. www.srilankabusiness.com
  5. textile-future.com
  6. textilelearner.blogspot.com

Related Articles