වසර කිහිපයකට පෙර ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පූගොඩ කැලණි ගඟේ රන් ඉල්ලම් මතු වී ඇති බවට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් දුන්නා ඔබට මතක ඇති. පුරාණයේ පටන්ම අප රටේ සුළු වශයෙන් රන් හමුවී තිබෙනවා. මේ රන් කතාවේ යටගියාව ගැන මඳක් විමසා බලමු.
ඓතිහාසික කතා
අප රටේ පුරාණයේ බොහෝ විට රත්රන් ලබා ගෙන තිබෙන්නේ ගංගාවල දියලූ නිධිවලින් බව පේනවා. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දුටුගැමුණු රජු සමයේ රුවන්වැලි සෑ කර්මාන්තයට අවශ්‍ය රන් ලබා ගත් පුවතක් මහාවංශයේ 28 වැනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. රුවන්වැලි සෑය ඉදිකිරීමේ දී අනුරාධපුරයෙන් ඊසානදිග තුන් යොදුනක් ඈතින් අකරවිටි නම් ගමේ සොලොස්කිරියක් පමණ වූ රන් උපන් බව මහාවංශය සඳහන් කරනවා. ගම්වැස්සෝ රනින් පිරි ඒ පෙදෙස දැක තලියක් පමණ වූ රන් ගෙන ගොස් දුටුගැමුණු රජුට ඒ පුවත දැනුම් දී තිබෙනවා.
තඹවිට නම් ගමේ තඹ ලෝහ උපන් බවද සඳහන් වෙනවා. අකරවිටි ගම වර්තමානයේ කැබිතිගොල්ලෑව අසල රත්මල්ගහ වැව විය හැකි බව සී. ඩබ්ලිව්. නිකලස් සඳහන් කරනවා. ජනප්‍රවාදවල කියැවෙන්නේ රන්පත්විල ප්‍රදේශයෙන් කණීන ලද රත්රන් කරත්ත හතක ප්‍රමාණයක් රැගෙන පැමිණි බව යි. කරත්තවල බර නිසා රඹෑව ප්‍රදේශයේදී ඒවා අනතුරකට ලක් ව රන් තොගය බාන්නට සිදු වූ බව පැවසෙනවා. රන්බෑව ප්‍රදේශය රඹෑව ලෙස ජනවහරට එක්වුණු බව යි පැවසෙන්නේ. නමුත් මේ ජනකතාව විශ්වාස කිරීම නම් අසීරුයි.
රත්රන් භාවිතය
ශ්‍රී ලංකාවේ රත්රන් නිධියක් ලෙස පැවති බවට නම් ඓතිහාසික සාධක හමුවන්නේ නැහැ. රත්රන් නිපදවා ඇත්තේ සුළු වශයෙන් බවයි හමුවන පුරාවිද්‍යා සාක්ෂිවලින් පේන්නේ. අප රටේ රන් පිළිබඳ මුල් ම සාධකය හමුවන්නේ දඹුල්ල ඉබ්බන්කටුව මහා ශිලා සුසාන භූමියෙන්. එහි කාල සීමාව අදින් වසර 2700 සිට 2400 දක්වා වෙනවා. එහි සොහොන් ගැබක තිබී ඉතා තුනී රන් තහඩුවක් හමු වුණා. මේවා උණු කර වාත්තු කරපු ඒවා නොවේ. රන් සුළු ප්‍රමාණයක් තලා සකස් කළ ඝනකමින් අඩු තහඩු යි.
අනුරාධපුර යුගයේ රත්රන් හමු වන්නේ අභයගිරිය හා ජේතවන විහාර දාගබ් මළුවේ කැණීම්වල දී පමණ යි. ප්‍රඥා පාරමිතා සූත්‍රය සහිත රන්පත් ඉරු හතක් ජේතවනාරාම කැණීම්වලදී හමු ව තිබෙනවා. අනුරාධපුර යුගයේ දී රටේ ප්‍රභූවරුන් අතර රත්රන් භාවිත වූ බව ඓතිහාසික කෘතිවල සඳහන් වෙනවා. නමුත් පොදු ජනයා අතර රත්රන් බහුල ව භාවිත වුණු බවක් කිසිම මූලාශ්‍රයක සඳහන් වන්නේ නැහැ.
දඹ රන් පිළිම
දඹ රන් කියන්නේ සම්පූර්ණයෙන් 100%ක් රන් ලෝහයෙන් තැනූ පිළිම යි. නමුත් එහෙම පිළිම ලංකාවේ කවදාවත් හමු වී නැහැ. දඹ රන් කියන්නේ ජම්බු නදී රත්රන් කියන එක බවට මතයක් ද පවතිනවා. ඉන්දියාවේ ජම්බු නදිය ආශ්‍රිත ප්‍රදේශයෙන් රන් හමු ව තිබෙනවා. අද දඹ රන් ලෙස හඳුන්වන බුදු පිළිම ඝන රන්වලින් නිපදවූ ඒවා නම් නොවෙ යි. ඒ ලෝකඩවලින් තනා පසුව රන් ආලේප කළ ඒවා යි. අනුරාධපුර යුගයට අයත් කළ හැකි රන් තහඩුවලින් කළ ඉතා කුඩා බුදු පිළිම නම් හමුවී තිබෙනවා.
රන් භාණ්ඩ
රන් කාසි සහ ප්‍රතිමා, ආභරණ තැනීමට ශ්‍රී ලංකාවෙන් හමු වූ රන් සුළු වශයෙන් භාවිත කර තිබෙනවා. විදේශවලින් ආනයනය කළ රන් ද යොදා ගන්නට ඇති බව පැහැදිලි යි. වළලු වැනි ආභරණ තනා තිබුණේ තුනී රන් තහඩු අවශ්‍ය හැඩයට අනුව නවාගැනීමෙන්. ඒවා ඇතුළත කුහරයට සඳුන් කුඩු වැනි දෑ පුරවා තිබුණු බව හෙළි ව තිබෙනවා.
කුඩා බුද්ධ ප්‍රතිමා මෙන්ම කරඬු ද රන් තහඩුවලින් තනා තිබූ බවට උදාහරණ හමුවෙනවා. රත්රන් නූල්වලින් වියා සකස් කළ රන් ආභරණත් හමු වී තිබෙනවා. රත්රන් ඉතා දුලබ වීම එයට හේතු වන්නට ඇති. ඊට අමතර ව රන් මයිකා නම් ඛනිජයෙන් නිපද වූ පිඟන් ද හමු වී තිබෙනවා. තිස්සමහාරාමය අවට ප්‍රදේශයේ කැණීම්වලින් රන් පැහැති මයිකාවලින් සාදන ලද පිඟන් හා වළං කැබැලි හමු වී තිබෙනවා. පුරාණ අනුරාධපුරයේ භාවිත කළ රන් මයිකා හොරොව්පතාන ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා. කන්තලේ වැවට නුදුරින් පිහිටි වෙන්ඩ්‍රාසන් වැව අසලත් මයිකා තිබෙන බව හඳුනා ගෙන තිබෙනවා.
පොළොන්නරුවේ නිශ්ශංකකමල්ල රජු දඹුලු විහාරයේ හිටි පිළිම, හිඳි පිළිම, ඔත් පිළිම යන සියල්ලේ ම රත්රන් ආලේප කළ බව සෙල්ලිපිවල සඳහන් කර තිබෙනවා. දඹුලු විහාරයට රංගිරි දඹුල්ල යන නම ලැබී ඇත්තේ ඒ නිස යි. නමුත් ආචාර්ය නිමල් පෙරේරා කළ පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ මේවායේ රන් ලෝහය ආලේප කර නැති බව යි. ඒ නිසා මේ පිළිමවල ආලේප කළේ රන් මයිකා නම් ඛනිජය ද යන සැකය පර්යේෂකයන්ට මතු ව තිබෙනවා.
රන් හමුවන පෙදෙස්
මහාචාර්ය සී. බී. දිසානායක 1985 දී පළ කළ පර්යේෂණ වාර්තාවට අනුව පෞරාණික ශ්‍රී ලංකාවේ සුළුවට රත්රන් කැණීම් සිදුකළ ගම්මාන විශාල ප්‍රමාණයක් පැවති බවට සඳහන් වෙනවා. ඒ ගම්වලට නම යෙදීමේදී බොහෝ විට රන් යන මුල් පදය යොදාගෙන ඇති බව ඔහු සඳහන් කරනවා. එම පර්යේෂණය අනුව රන් හමුවන ගම්මාන බොහොමයක් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත ව පිහිටා තිබෙනවා. උස් බිම් සංකීර්ණය ලෙස හඳුන්වන සුවිශේෂ භූ විද්‍යාත්මක කලාප සංකීර්ණය තුළ ඒ ගම්මාන තිබුණු බවයි මහාචාර්ය දිසානායක සඳහන් කරන්නේ.
එම ස්ථාන නූතන භූ විද්‍යාත්මක දත්ත අනුව රත්රන් හමුවන ස්ථාන සමඟ සැසඳෙන බව ද හෙළි වී ඇති කරුණක්. වර්ෂ 1902 සහ 1903 කාලයේදී රත්රන් පිළිබඳ විශේෂඥයකු වූ ජී. ජී. ඩික්සන් දිවයිනේ දකුණු, මධ්‍යම හා බටහිර ප්‍රදේශවල රත්රන් දියලූ නිධි වශයෙන් කුඩා ප්‍රමාණවලින් හමුවන බව වාර්තා කර තිබෙනවා. 1905 පළ වූ සිලෝන් ඇඩ්මිනිස්ට්‍රේටිව් රිපෝට්ස් වාර්තාවේ සඳහන් වන්නේ එවක පැවති රජයේ ඛනිජ ගවේෂණ ආයතනය මගින් සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වල රත්රන් හමුවන ස්ථාන පිහිටා ඇති බවට කරුණු දක්වා තිබෙනවා.
බ්‍රිතාන්‍ය පාලන කාලයේ රත්රන් පතල් 16ක් සඳහා බලපත්‍ර ගෙන ඇති බවත් හොරණ, අකුරැස්ස, දෙණියාය, ප්‍රදේශවලත් නිල්වලා ගඟ ආශ්‍රිත බැර ඛනිජ තැන්පතු සමඟ රන් හමුවී ඇති බව වාර්තා වෙනවා. ගම්පොළ ප්‍රදේශයේ සමහර ඇළ මාර්ගවල දියලූ අවසාදිත සමඟ ටොන් 1ට ග්‍රෑම් 400ක් පමණ වූ රත්රන් අංශු හමු වූ බව රාමක්‍රිෂ්ණා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් 1987 දී වාර්තා කර තිබුණා.
කැලණි ගඟේ පූගොඩ අවටින්, වලවේ ගඟ ආශ්‍රිත වේලිඔය ප්‍රදේශයෙන්, කළුගඟේ රත්නපුර හා ගිලීමලේ, මහවැලි ගඟ ආශ්‍රිත කන්තලේ සූරියපුර ප්‍රදේශයෙන් හා මාඔය ආශ්‍රිත ප්‍රදේශවලින් රත්රන් හමු වෙනවා. මේවා නිධි වශයෙන් නො වෙයි හමු වෙන්නේ. කුඩා වැලි කැට වැනි කැබැලි වශයෙන්. ඒවා වැලිවලින් ගරා වෙන්කර ගත යුතු වෙනවා. වලවේ නදියේ මැණික් ඉල්ලම් සමඟ රන් කුඩු ද හමුවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ එස්. ඩබ්ලිව්. නවරත්න කළ පර්යේෂණවලින් හෙළිවී තිබෙන කරුණක්. ඉන්දියාවේ ජම්බු නදියේ රන් හමුවන්නේත් මේ විදිහට යි.
මෑත අතීතයේ රන් පිළිබඳ සාධක
1938 පළවූ ටයිම් ඔෆ් සිලෝන් පුවත්පත් වාර්තාවක සඳහන් වන්නේ 1850 දී පමණ මාවනැල්ලට නුදුරු මාඔය අවටින් රත්රන් හමුවී ඇති බව යි. ඒ අනුව බ‍්‍රැච්ලි නම් බ්‍රිතාන්‍ය ජාතික නාවිකයකු කොළඹ සිට සැතපුම් 40 පමණ ඈතින් පිහිටි මාඔය ප්‍රදේශයෙන් රත්රන් කුඩු ගරා ගෙන ඇති බව පැවසෙනවා. ඉන් අනතුරුව අවට වැසියන් විශාල පරිමාණයෙන් රන් සොයා කැණීම් සිදුකිරීම නිසා ඉංග්‍රීසි ආණ්ඩුව 1854 මාර්තු මාසයේදී පළ කළ ගැසට් පත‍්‍රයක් මගින් කැණීම් බලපත‍් ලබාදී ඇති ඇති බවට වාර්තා වෙනවා.
පසුව උණ රෝගය බෝවීම සහ ගංවතුර නිසා රත්රන් ගැරීම ඇණහිට තිබෙනවා. රජය මෑතක දී 1990 පමණ ඇඹිලිපිටිය ආසන්න කිරිඉබ්බන්ආර ප්‍රදේශයේදී සහ 2012 දී කැලණි ගඟ ආශ්‍රිත ව රත්රන් කැණීම සඳහා බලපත‍් 200ක් පමණ ලබා දී තිබෙනවා. මේ හැරුණු විට දැනට රත්රන් ගවේෂණය සඳහා සේරුවිල, මතුගම, පැලවත්ත ප්‍රදේශවල විදේශීය ආයෝජනය ද ඇතුළුව ගවේෂණ බලපත‍් සඳහා 2019 වනවිට ඉල්ලූම් පත‍් ලැබෙමින් පැවති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය සඳහන් කර තිබුණා.
පූගොඩ රන් ඉල්ලම
2012 අවුරුද්දේ රත්රන් කුඩා කැටිති සහ සියුම් කුඩු ලෙස කැලණි ගඟේ අවිස්සාවේල්ල අවට පූගොඩ, කුමාරිමුල්ල සහ ඕවිටිගම ප්‍රදේශවල හමුවන බව වාර්තා වුණා. වැලි ගොඩ දමන පුද්ගලයන් කිහිප දෙනකුට පවුම් කාල සහ ඊට අඩු බරින් යුතු රන් පතුරු කැබලි මුලින් ම හමු ව තිබුණා. අවට ජනතාව දහස් ගණනින් පැමිණ ගං පතුලේ වැලි සමඟ මිශ්‍ර ව තැන්පත් වී ඇති රත්රන් කුඩා නෑඹිලි මඟින් ගැරීම පටන් ගත්තා.
ඉන්පසු ඒවා රන් භාණ්ඩ අලෙවිසල්වලට විකුණා තිබෙනවා. රත්රන් ගැරීම ක්‍රමයෙන් ගඟ දිගේ අවිස්සාවේල්ල නගරය අවට දක්වා පැතිර ගියා. අධික ලෙස රත්රන් ගැරීම නිසා ඇති වන පාරිසරික හා සමාජීය ගැටලූ සලකා බලා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් නීති විරෝධී රත්රන් ගැරීම් නවතාලිමට ගඟ අවට පදිංචි අයට පමණක් රත්රන් ගැරීම සඳහා නීත්‍යනුකූල බලපත‍් නිකුත් කළා. ටික කලකින් රන් හමුවීම අඩුවීම නිසා ගැරීමත් නැවතුණා.