ගම්පොළ දළදා මන්දිරය පිහිටි තැන ගැන වැඩි දෙනකුට උනන්දුවක් ඇති බවක් පේන්නේ නැහැ. එය පිහිටි ස්ථානය ගැන ගම්පොළ යුගයේ මූලාශ්‍රවල කියවෙන්නේ නැතත් මහනුවර යුයයට අයත් සිංහල දළදා වංශයේ කියවෙනවා. මේ ගම්පොළ දළදා මාලිගය පිහිටි නියම්ගම්පා විහාරයට ගිය ගමනක්.
ගම්පොළ නගරයේ සිට කිලෝ මීටර් 1.5ක් පමණ දුරින් ගම්පොළ- නාවලපිටිය මාර්ගය අද්දර ම පිහිටා ඇති විහාරයක්. මේ නිසා එයට ගමන් කිරීම නම් ඉතා පහසු යි. නියම්ගම්පාය විහාරය පුරාණ බෙදීම් අනුව ගඟ ඉහළ කෝරළේ උඩපළාත පත්තුවට අයත් වෙනවා.
ඉතිහාසය
කුරුණෑගල සිට රාජධානිය සංක්‍රමණය වූයේ උඩරට පෙදෙසක් වූ ගම්පොළට යි. මෙම නව අගනගරය මුල් වරට රාජධානිය කර ගත්තේ සිව්වැනි භුවනෙකබාහු රජු (ක්‍රි.ව. 1341-1351)යි. ඔහු දළදා මාලිගයක් ඉදිකරවූ බවක් නම් ඉතිහාසයේ දැක්වෙන්නේ නැහැ. ගම්පොළ රජ කළ තුන්වැනි වික්‍රමබාහු රජු නියම්ගම්පායෙහි ශෛලමය ප්‍රාසාදයක් තැනවූ බවත් දන්තධාතු පූජා පැවැත්වූ බවත් එළු දළදා වංශයෙහි (සිංහල දළදා වංශය) සඳහන් වෙනවා. ගම්පොළ නගරය ආසන්නයෙන් ලැබුණ විගුලවත්ත පුවරු ලිපියේ සඳහන් වන්නේ වේල්ලක් බඳවා වෙල්ල තනවා පින් පිණිස දන්ත ධාතුන් වහන්සේට පිදූ බව යි.
මේ අනුව අපට පැහැදිලි වන්නේ අඩසියවසක් පමණ රාජධානිය ව පැවති ගම්පොළ දී ද රාජ්‍ය උරුමය වශයෙන් සැලකෙන දළදා වහන්සේට පුදසත්කාර කළ බව යි. ගම්පොළ දළදා මාලිගය පිහිටි ස්ථානය ගැන මහාවංශයේ සඳහන් වන්නේ නැහැ. ජනප්‍රවාදවල සඳහන් වන්නේ දළදා මැදුර පිහිටියේ නියම්ගම්පා විහාරස්ථානයේ බව යි. මහනුවර යුගයේ දී ලියැවුණු (18 වැනි සියවස) සිංහල දළදා වංශය ගම්පොළ දළදා මැදුර පිළිබඳ සඳහන් වන තවත් ඓතිහාසික ග්‍රන්ථයක්. එයට අනුව නියම්ගම්පාය විහාරයේ දළදා මැදුර ගල් කුලුනු මත පිහිටියක් වන අතර එයට පිවිසීමට පියගැට සකසා තිබුණා.
‘‘ ඒ භුවනෙකබාහු රජු ඇවෑමෙන් රජ පැමිණි පරාක්‍රමබාහුය යන මේ රජ ඇවෑමෙන් රජ පැමිණි වික්‍රමබාහුය යන මේ රජතුමන්ලාගේ තම තමන් රජ කරන කළ බොහෝ ශාසනෝපකාර කිරීමෙන් හා මෙම ගඟසිරිපුරයෙහි නියම්ගම්පාය යන නමින් ප්‍රසිද්ධ වූ ශෛලමය භූමිස්තම්භ සෝපාන මාලායෙන් විරාජමාන වූ ප්‍රාසාදයක් කරවා අනේකප්‍රකාර ශ්‍රී දන්ත ධාතු පූජා පවත්වා අප්‍රමාණ කුසල් රාශි වර්ධනය කළාහුය. (සිංහල දළදා වංශය)
ගම්පොළ රජ වී විසි අවුරුද්දක් රට පාලනය කළ පස්වැනි භුවනෙකබාහු රජු රිදී හත් දහසක් වැයකොට කරඬුවක් තනා දළදා වහන්සේ එහි වඩා හිඳුවා ආදර ගෞරවයෙන් පුද පූජා පවත්වා ඇති බව මහාවංශය සඳහන් කරනවා.
නියම්ගම්පාය විහාරය
මේ විහාරයේ ඉතිහාසය 9 වන සියවසට වඩා ඈතට දිවෙනවා. මෙම පුදබිම මහාවංශයේ හඳුන්වා ඇත්තේ නියාමග්ගාමපාසාද කියල යි. දඹදෙණියේ සිව්වන විජයබාහු හෙවත් බෝසත් විජයබාහු රජු (1270-1272) සමනළ කන්ද වැඳපුදාගෙන එන ගමනේ දී නියම්ගම්පා විහාරයට ගොස් කැඩුම් බිඳුම් පිරියම් කරවා භික්ෂුන්ට දන්වැට ද පවත්වන ලෙස විධාන කළ බව මහාවංශයේ සඳහන් වෙනවා. 18 වන සියවසේ ලියැවුණු නම්පොතෙහි එය හඳුන්වා ඇත්තේ නියම්ගම්පාය ස්ථානය වශයෙනු යි.
විහාරයේ ඉතිහාසය සොයා යාමේ දී නියම්ගම්පා සෙල් ලිපියට වැදගත් තැනක් හිමි වෙනවා. ගම්පොළ තුන් වන වික්‍රමබාහු රජ දවස (ක්‍රිස්තු වර්ෂ 1373) ලියා ඇති එම සෙල් ලිපිය විනාශ වී ඇති අතර එහි පිටපතක් ලන්ඩන් කෞතුකාගාරයේ තිබෙනවා. එයට අනුව මෙම විහාරය මුලින්ම ඉදිකරවා ඇත්තේ මොටතිස් නම් රජකු විසින්. එවැනි රජකු ලංකා ඉතිහාසයේ සඳහන් නොවන අතර ගම්පොළ ප්‍රදේශයේ සිටි ප්‍රාදේශීය පාලකයකු විය හැකි යි.
නියම්ගම්පා සෙල්ලිපිය පිහිටුවා ඇත්තේ ජයමාලේ සිටුවරයා විහාරය කටුකොහොල් හරවා ප්‍රතිසංස්කරණය කරවීම සිහිපත් කිරීමට යි. ජයමාලේ සිටුවරයා සියලු ම රාජ්‍ය නිලධාරීන් සහ රටේ වැදගතුන් ද බෞද්ධ උපාසක උපාසිකාවන් සඳහා ද කොටස් වෙන් කරමින් තෙමහල් විහාර මන්දිරයක් තනවා ගෞතම නම් ස්වාමින් වහන්සේගේ නමින් පූජාකොට තිබෙනවා.
නියගම්ගම්පා සෙල්ලිපිය
නියම්ගම්පාය සෙල්ලිපියේ විහාර කර්මාන්තය පිළිබඳ සවිස්තර ව සඳහන් වෙනවා. එයට අනුව පාද ශෛල සහිත ටැම් විස්සක් විහාර ගොඩනැඟිල්ලට යොදා ගෙන තිබුණා. එහි තෙමහල් විහාර ගෙය වර්ණනා කරන්නේ තව්තිසා දිව්‍ය ලෝකයේ සුධර්ම මන්දිරයට සමාන කරමින්. මෙහි වියන් තුනක් වූ අතර වියන, උඩු වියන සහ මුදුන් වියන යනුවෙන් ඒවා හඳුන්වා තිබෙනවා. මෙම වියන් බුදු සිරිතේ සිදුවීම් සහ ජාතක කතාවලින් අලංකාර ව සරසා තිබුණා. ගඩොලින් ඉදි කළ බිත්ති සුණු පිරියම් කර තිබූ අතර මේ සඳහා ගඩොල් 12000ක් යොදා ගෙන තිබෙන බව සෙල්ලිපියේ සඳහන් වෙනවා. සෙල්ලිපියට අනුව පියස්ස සඳහා යොදා ගත් උළු ප්‍රමාණය උළු 80,000ක්.
විහාර ගෙයි වක්‍රාකාර කළුගල් ආසනයක් මත තොරණක් යට හිඳි බුද්ධ ප්‍රතිමාවක් ද දෙපස තවත් බුද්ධ ප්‍රතිමා දෙකක් ද ඇති බවත්, බිත්ති අලංකාර කර ඇත්තේ තොරණ යට වැඩහිඳින බුදු රෑ විසිඅටක චිත්‍රවලින් බවත් සෙල්ලිපිය විස්තර කරනවා. සමහර කරුණු අතිශයෝක්තියෙන් සඳහන් කර තිබුණ ද ගම්පොළ යුගයේ විහාර කර්මාන්තයක් පිළිබ ඳව අගනා විස්තරයක් නියම්ගම්පා සෙල්ලිපියෙන් අපට හමුවෙනවා. විහාරයේ නඩත්තුවට ඉඩම් ද පූජාකර භික්ෂුන් වහන්සේලාට ද පිරිවෙනක් තනා පරිවේනාධිපති ලෙස ගෞතම හිමියන්ට පූජා කළ බවත් වැඩිදුරටත් එහි කියවෙනවා.
තඹ සන්නස
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විහාරයට ගම්වර පූජා කිරීම පිළිබඳ සඳහන් තඹ සන්නසක් නියම්ගම්පාය විහාරාධිපති ස්වාමින් වහන්සේ සතුව තිබෙනවා. එයට අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු ද මෙහි විහාරගෙයක් කරවා තිබෙනවා. තඹ සන්නස මගින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තුඹගොඩ ස්වර්ණජෝති අනුනායක හිමියන්ට ගම්බිම් පූජාකර උන් වහන්සේගේ ඉල්ලීම පිට ගංගාරෝහණ පූජාවක් පවත්වා ස්වර්ණමය ප්‍රතිමා වහන්සේ නමක් ද මෙහි වැඩමවා තිබෙනවා. වර්ෂ 1907 දී මේ රන් ප්‍රතිමාව සොරු ගෙන ගිය බව අපට දැන ගැනීමට ලැබුණා.
වත්මන් විහාරගෙය
අද නියගම්පා විහාරයට යන අපට දැකගත හැක්කේ මහනුවර යුගයේදී ප්‍රතිසංස්කරණයට ලක්වූ විහාර මන්දිරය යි. වෙනත් පෞරාණික ගොඩනැඟිලි විහාර බිමේ දැක ගැනීමට නැහැ. වර්තමාන විහාර මන්දිරය පුරාණ දළදා මැදුර පිහිටි ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණයට භාජනය කිරීමෙන් ඉදිකර ඇති බව ජනප්‍රවාදවල පැවසෙනවා.
විහාර මන්දිරය ඉදිකර ඇත්තේ අඩි 2 අඟල් 10ක් උසැති බොරදම් සහ කැටයම් සහිත අලංකාර කළුගල් පදනමක් මත යි. විහාර ගොඩනැඟිල්ල ගර්භ ගෘහයකින් ද එයට සම්බන්ධ විවෘත මණ්ඩපයකින් ද සමන්විත යි. සම්පූර්ණ ගොඩනැඟිල්ල වටා යන සේ අඩි 2 අඟල් 7ක් පළලැති ප්‍රදක්ෂිණා පථයක් නිර්මාණය වන සේ කළුගල් පදනම ගොඩනැඟිල්ලෙන් පිටතට පන්නවා තනා තිබෙනවා. ගම්පොළ යුගයට අයත් කැටයම් දැකගත හැකි තැනක් වශයෙන් ද මේ විහාරය වැදගත්.
විහාරයේ මණ්ඩපයේ කළුගල් පදනමේ තමයි කැටයම් පුවරු දැක ගත හැක්කේ. රබන්කරුවන්, නැට්ටුවන්, නාට්‍යාංගනාවන්, මල්ලව පොරකරුවන්, විවිධ ඉරියව් දක්වන බෙරකරුවන්, වාදකයන්, පිනුම් ගසන්නන් වැනි ජීවී බවින් යුත් කැටයමින් එය කළුගල් පාදමේ කැටයම් පුවරු සරසා තිබෙනවා.
මෙම කැටයම් ගම්පොළ හතරවන භුවනෙකබා යුගයට අයත් ගඩලාදෙණිය විහාරයේ මණ්ඩපයේ පෙරහරක් දැක්වෙන කැටයම්වලට සමාන යි. යාපහුව දළදා මාළිගයේ ද්වාර මණ්ඩපයේ ද මෙවැනි කැටයම් දැකගත හැකි යි.
නියම්ගම්පා විහාර ගොඩනැඟිල්ලේ පැරණි ස්වරූපය පසුකාලීන ප්‍රතිසංස්කරණ නිසා අහෝසි වී ගොස් ඇති බව පේනවා. මෙහි පියස්සට පෙති උළු වෙනුවට සෙවිලි කර ඇත්තේ සිංහල උළු යි. පියස්සේ ස්වරූපය ද නූතන අයුරින් වෙනස් කර තිබෙනවා. පියගැට දෙකක් නැග පිවිසෙන මණ්ඩපයේ පියස්ස දරා සිටින්නේ කළුගල් කුලුනු හතරක්. එම කණු හිස්වල දැවයෙන් කළ කැටයමින් පිරි පේකඩ තිබෙනවා. විහාර මන්දිරයේ පියස්ස රඳා සිටින්නේ කළුගල් කුලුනු 16ක් මත යි. එම කලුනු අතරින් 8ක් පිටතට දැකගත හැකි අතර ඉතිරි ඒවා බිත්තියට ගිල්ලවා තිබෙනවා.
මෙම කලුනුවලට බදාම ආලේප කර සිත්තම්වලින් අලංකාර සරසා තිබෙනවා. විහාර ගෙට ඇතුළු විය යුත්තේ අගනා කැටයම් සහිත විශාල ගල් උළුවස්සකින්. මෙම උළුවස්ස ලීස්තර හතරකට බෙදා පලාපෙති සහ ලියවැල් මෝස්තරවලින් අලංකාර කර තිබෙනවා. මෙහි දොර පියන ද මහනුවර යුගයේ චිත්‍ර රටාවලින් සරසා ඇති බව දැක ගත හැකි යි. උළුවස්ස දෙපස බිත්තිය අලංකාර කර ඇත්තේ දොරටුපාල සහ සිංහ මූර්ති දෙකකින්. බිත්තියේ ඉහළින් ඉර සහ හඳ රුප නිමා කර තිබෙනවා.
විහාර මන්දිරය තුළ ඉදිරිපස බිත්තියෙහි හිඳි බුද්ධ ප්‍රතිමාවක්ද ඒ දෙපස හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් ද දැකගත හැකි යි. දෙපස බිත්තිවලද හිඳි බුද්ධ ප්‍රතිමාවක් සහ හිටි බුද්ධ ප්‍රතිමා දෙක බැගින් නිර්මාණය කර තිබෙනවා. වම්පස බිත්තිය සරසා තිබෙන්නේ සත් සතිය චිත්‍රවලින්. වම්පස බිත්තියෙහි විහාරය නිර්මාණය කරවූ ජයමාලේ සිටාණන්ගේ සහ තුඹගොඩ ස්වර්ණජෝති හිමි ප්‍රමුඛ නායක හිමිවරුන්ගේ සිත්තම් ඇඳ තිබෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිත්තමක් ද මෙහි දැකගත හැකි යි. වියන අලංකාර කර තිබෙන්නේ නාරිලතා රූප, හංස පූට්ටුව සහ මල් මෝස්තරවලින්. මෙම සිත්තම් මහනුවර සම්ප්‍රදායේ පසුකාලීන ශෛලියක් පෙන්නුම් කරනවා. මුල් සිත්තම් මත පසුකාලීනව කළ ප්‍රතිසංස්කරණයක් නිසා චිත්‍ර මෙසේ වෙනස් වන්නට ඇති බව පේනවා. ගම්පොළ පසුකර යන කවුරුත් දැකගත යුතු ස්ථානයක් ලෙස නියම්ගම්පාය දැක්විය හැකි යි.