පාලනය කිරීමේ පහසුව සඳහා රට ප්‍රාදේශීය වශයෙන් පාලන ඒකකවලට බෙදීම ලෝකයේ සියලු ම රටවල පාහේ දැකිය හැකි ය. ඒ අයුරින් ම ශ්‍රී ලංකාව ද වර්තමානය වන විට පළාත් සභා, ප්‍රාදේශීය සභා, මහ නගර සභා සහ නගර සභා වැනි විවිධ ප්‍රාදේශීය පාලන ඒකකවලට බෙදා වෙන් කර තිබේ.
වර්තමානය වන විට නීතිය, විශේෂයෙන් ම සිවිල් සහ අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අපේ රටේ ඉහත කී පාලන ඒකකවල ප්‍රධානීන්ට ඒ සඳහා බලතල නැත. රටේ ඇති සියලු ම පාලන ඒකකවල නීතිය ක්‍රියාත්මක කිරීම සිදු වන්නේ පොලීසිය සහ පොදු අධිකරණ පද්ධතියක් හරහා ය.
මෙරට අවසාන රාජධානිය වූ උඩරට රාජධානිය තුළ අධිකරණය සහ දණ්ඩ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ ව විමසා බැලීමේ දී හෙළි වන්නේ එවකට රාජධානියේ ප්‍රධානියා වූ රජුට අමතර ව ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වූ පාලන ඒකකවල ප්‍රධානීන්ට ද අධිකරණමය බලතල (දඬුවම් පැමිණවීම ද ඇතුළුව) අඩු වැඩි වශයෙන් පැවැරී තිබුණු බව යි. ඊට අමතර ව මෙකල ‘සාක්කි බලන්ඩ’ නමින් විශේෂ අධිකරණයක් ද ක්‍රියාත්මක වී තිබේ.
එකල අපරාධ වර්ගීකරණය කළ අයුරු
මෙම කාලයේ දී අපරාධ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කර තිබූ අතර ඒ රාජාපරාධ හා සාමාන්‍ය අපරාධයි.
රාජ්‍යයේ ආරක්ෂාවට සහ රාජ්‍යත්වයට තර්ජනයක් වූ අපරාධ රාජ අපරාධ ගණයෙහිලා සැලකිණි. ඊට අමතර ව මිනීමැරුම්, අංග විකෘතිය හෝ ඡේදනය, රජු, බිසව හෝ කුමාරවරු මැරීමට කුමන්ත්‍රණ කිරීම, රජුගේ ධනය හෝ දේපළ සොරකම් කිරීම, හොර කාසි අච්චු ගැසීම, ආගමික ප්‍රතිමා හා බෝගස් විනාශ කිරීම හා භික්ෂුවකට පහර දීම වැනි ආගම් විරෝධී ක්‍රියා මෙන්ම මහනුවරට යාබද පෙදෙස්වල ඇතුන් මැරීම, රජුට හූනියම් කිරීම ආදිය ද රාජ අපරාධ ගණයෙහි ලා සැලකිණි. මෙරට සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික නිලධාරියකු වූ ජෝන් ඩොයිලි දක්වන ආකාරයට රජුගේ බිසවුන් හා සබඳකම් පැවැත්වීමත් රාජ අපරාධවලට අයත් වී තිබේ.
අඬදබර වීම්, සුළු සොරකම්, රා අරක්කු පෙරීම ආදිය සාමාන්‍යය අපරාධ ගණයට අයත් විය.
රජතුමා සතු වූ අධිකරණමය බලතල
උඩරට රාජධානි සමයේ ප්‍රධාන අධිකරණ බලය හිමි වූ තැනැත්තා වූයේ රජු ය. දිසා සහ කෝරළ වැනි ප්‍රාදේශීය පාලන ඒකකවල බරපතල නඩු විසඳන ලද්දේ ද රජු විසිනි. රජු දෙන තීරණය අවසාන තීරණය විය. ඔහුට පහළ ප්‍රාදේශීය පාලන ඒකකවල නිලධාරීන් විභාග කළ නඩු පිළිබඳ ව රටවැසියන් විසින් අභියාචනා ඉදිරිපත් කළ විට එම නඩු විභාග කිරීම ද රජු සතු වූ වගකීමකි.
රජුට අභියාචනා ඉදිරිපත් කළ ක්‍රම
රජු වෙත අභියාචනා ඉදිරිපත් කළ ක්‍රම කිහිපයකි. එකක් නම් පීඩාවට පත් වූ තැනැත්තා යම් කිසි ප්‍රාදේශීය අධිපතියකු හෝ රාජ පුරුෂයකු හරහා එය රජුගේ අවධානයට ලක් කිරීම යි. අනෙක එම පුද්ගලයා රජු බැහැරට යන විට පාරේ දිගා වී සිටීම හෝ මාලිගාවට මුහුණ ලා දිගා වී සිටීම යි. ඇතැම් විටක මාලිගාව අසල ගසකට නැග තම දුක්ගැනවිලි මහ හඬින් කියා පෑම, මහ ගබඩාවට, දළදා මාලිගාවට හෝ වෙනත් රාජකීය හෝ ආගමික ස්ථානයකට පැමිණීමට ද ජනයා පුරුදු වී සිටිය හ.
ඉහත කී කුමන ක්‍රමයකින් හෝ අභියාචනය රජුගේ අවධානයට යොමු වූ විට රජු දෙපාර්ශවයෙන් ම සාක්ෂි විමසීම ආරම්භ කරයි. එහිදී සාක්ෂි විමසීම සිදු කරන්නේ නිලමේවරුන් වන අතර ඔවුන් රජුගේ මඟ පෙන්වීම අනුව සාක්ෂි විමසීම සිදු කර යි. රජු ඔවුන්ගේ මතය විමසා අවසන් තීන්දුවක් ලබා දෙයි.
ඉහත කී අධිකරණ ක්‍රියාවලිය මහනඩුව හෙවත් ‘රාජාධිකරණය’ ලෙස හැඳින්වෙන අතර එය වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණයට සමාන වේ. මෙය අදිකාරම්වරුන්, දිසාවේවරුන්, ලේකම්වරුන් සහ මුහන්දිරම්වරුන්ගෙන් සමන්විත විය. මෙම අධිකරණය නොයෙක් කාලවල දී අවස්ථානුකූල ව රජ මාලිගාවෙන් බැහැර ගොඩනැගිල්ලක හෝ ඇතැම් විට මහනුවර මගුල් මඩුවේ පවත්වා තිබිණි.
අදිකාරම්වරු සතු වූ බලතල
එකල රජුට පමණක් දෙවැනි වූ අධිකරණමය බලතල අදිකාරම්වරුන්ට හිමි ව තිබූ අතර තමන්ගේ පාලනය යටතේ පැවැති පළාත තුළ නඩු විභාග කිරීමේ බලය ඔවුන් සතු විය.
අදාළ ප්‍රදේශයේ සිවිල් හා අපරාධ නඩු සම්බන්ධව කටයුතු කිරීමට අදිකාරම්වරුන්ට බලතල හිමි වී තිබිණි. ගෙවල් බිඳීම, කොල්ලකෑම, සොරකම, පහරදීම හා අනෙක් සුළු වැරදි සඳහා නඩු අසා වරදකරුවන්ට දඬුවම් නියම කිරීම සිදු කරන ලද්දේ ඔවුන් විසිනි.
දිසාවේවරු
එකල රජයේ තනතුරක් වූ දිසාවේ තනතුර දැරූ අයට ඔවුන්ගේ දිසාවේ ඉඩම් හා ජනතාව පිළිබඳ අධිකරණ බලය හිමි විය. ඒ අනුව දිසාවේ තම නිවසේ (වලව්වේ) පිහිටි විනිශ්චය ශාලාවේ අසුන් ගෙන නඩු විභාග කර තිබිණි. දිසාවට අයත් මුලාදෑනිවරු නමින් හැඳින්වූ නිලධාරීහු ද ඔහු ඉදිරිපිට සිට ගෙන සිටියහ. ඇතැම් විට දිසාවේ, නඩුව ප්‍රධාන මොහොට්ටාල හෝ කෝරාළ තනතුර දැරූ දෙතුන් දෙනකුට භාර දෙන අතර ඔවුන් වලව්වෙන් බැහැර අතපත්තු මඩුව නම් ස්ථානයේ දී නඩු විභාග කර තිබිණි.
අධිකරණ බලතල හිමි වූ අනිකුත් නිලධාරීහු
ලේකම්ලාට, රටේ මහත්වරුන්ට, බස්නායක නිලමේවරුන්ට, රාජ සභාවේ සහ මාලිගාවේ කාර්යාංශ භාර ප්‍රධානීන්ට තම පාලනය යටතේ සිටි පුද්ගලයන් සම්බන්ධ ව පමණක් සිවිල් හා අපරාධ අධිකරණ බලතල තිබිණි. අතපත්තු, කොඩිතුවක්කු, කෝරාළ සහ ආරච්චවරුන්ට ද තමන් යටතේ සිටි පුද්ගලයන් සම්බන්ධයෙන් සීමා සහිත අධිකරණ බලතල තිබී ඇත. ගම් සඳහා පත් කර සිටි විදානේලාට එතරම් නොවැදගත්, සීමා සහිත බලතල හිමි විය. කලාතුරකින් ඔවුන් පහත් යැයි එකල වෙන් කර තිබූ කුලවලට අයත් අයට අතුල් පහර කීපයක් දී දඬුවම් කර ඇත.
විශේෂ අධිකරණයක් වූ ‘සාක්කි බලන්ඩ’
මෙකල පැවැති විශේෂ අධිකරණයක් පිළිබඳ ව ජෝන් ඩේවි නම් මෙරට සේවය කළ ඉංග්‍රීසි නිලධාරියා සිය සටහන්වල සඳහන් කරයි. එය නමින් ‘සාක්කි බලන්ඩ’ නම් වේ. මෙය විශේෂ විමර්ශන අධිකරණයක් ලෙස හඳුනාගත හැකි ය. ලේකම්වරුන්, කෝරාළවරුන් හා විදානේවරුන්ගෙන් සැදුම්ලත් මෙහි ක්‍රියාවලිය එංගලන්තයේ හදිසි මරණ පරීක්ෂකවරයකු ගේ වැඩ කටයුතුවලට ඩේවි සමාන කළේය.
මෘත දේහයක් යම් කිසි ස්ථානයක ඇතැයි දැනගන්නට ලැබුණු විට සාක්කි බලන්ඩ අධිකරණය ඒ පිළිබඳ ව පරීක්ෂණයක් පවත්වන තුරු එම මෘත දේහයට අත තැබීම තහනම් විය. එය දිවි නසා ගැනීමක් නම් අධිකරණය ගම්වැසියන්ට රිදී පනහක දඩයක් ගසා ඇත. දිවි නසා ගත් තැනැත්තා සිහි විකල් අයෙක් නම් එසේ දඩ ගැසීම සිදු නොවිණි.
සමාජ පන්තිය අනුව දඬුවම් ක්‍රම වෙනස් වූ අයුරු
මහනුවර යුගයේ දී දඬුවම් පැමිණ වූ ආකාරය ඒ ඒ වරදකරුගේ සමාජ පන්තිය අනුව වෙනස් විය. උදාහරණයක් ලෙස ප්‍රධාන නිලමේ පවුලක අයෙක් නම් කඩුවෙන් හිස ගසා මරා දැමූ අතර මධ්‍යම හා පහත් පන්තිවල අය මල්වඩම් දමා සිරුරේ සුදු හුණු ගල්වා කස පහර දෙමින් මහනුවර විදී දිගේ රැගෙන ගොස් ඇත. ඒ අතරතුර මරණයට පත් වුවහොත් මළ සිරුර බිම දිගේ ඇදගෙන යාම කර ඇත.
අනිකුත් දඬුවම්
පුරාණ කාලයේ ඇතුන් ලවා පෑගීම සිදු කර ඇතත් මහනුවර යුගයේ රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ යුගයෙන් පසු එය ක්‍රියාත්මක කොට නැති බව මූලාශ්‍රයන්හි සඳහන් වේ.
රජුගේ අරමුදලෙන් සොරකම් කිරීම, ගවයන් මැරීම වැනි දේට වරදකරුවන් වූ අයගේ අත හෝ බාහුවේ පහළ කොටස කපා දැමීම සිදු කර ඇත. මෙම අංග විකෘති කිරීමේ දඬුවම ද උඩරට රාජධානියේ අවසාන වසර 40 කාලයේ දී ඉතා අඩු වශයෙන් ක්‍රියාත්මක වු බව සඳහන් ය. රාජාපරාධ, මිනී මැරුම් හා කොල්ලකෑම් සඳහා වරදකරුවන් වූ පුද්ගලයන්ට විදී දිගේ කස පහර දෙමින් ගොස් ඈත. ඔවුන් ගම්වලට පිටුවහල් කර තිබේ. සොරකම් හා සුළු අපරාධ සදහා වේවැලෙන් තැලීම සිදු කර ඇත.
සිරගත කිරීමට හෙවත් දඟ ගෙයි ලෑමට නියෝග කළ වහා ම අදාළ පුද්ගයාගේ හිස්වැස්ම හා ලේන්සුව ඉවත් කිරීම සිරිත වේ. සුළු වැරදිකරුවන්ට හිස්වැස්ම නොමැති ව නිදැල්ලේ හැසිරීමට ඉඩ ලබා දී තිබුණත් එයින් ඔහු දඬුවමට යටත් වූවකු බව අන්‍යයන්ට ප්‍රදර්ශනය කෙරිණි.
රාජකාරි පැහැර හැරීම හා අයුතු හැසිරීම නිසා නිලමේවරුන් තාවකාලික ව හෝ සදහට ම බලයෙන් රාජ සභාවෙන් පහ කිරීමද සිදු විය. ඉන් අනතුරු ව පෙර සඳහන් කළ පරිදි හිස්වැසුම් හා ලේන්සුවලින් තොර ව ඔවුන් මහනුවර පිහිටි සිය නිවෙස්වල හෝ පිටිසර ගම්වල කල්ගත කර තිබේ.
හිස කෙස් කැපීම නින්දා සහගත දඬුවමක් ලෙස සැලකිණි. එය පැනවීමේ බලය රජු වෙත පමණක් ඇති බව සලකනු ලැබුවත්, තම නිවසේ දී අල්ලා ගන්නා ලද ස්ත්‍රී දූෂකයකුට එම දඬුවම පැණවීමේ බලය නිවැසියන්ට ද තිබී ඇත. අතිශය සාහසික අපරාධ සඳහා වරදකරුවන් වූ අය රොඩී රැහැට බාර දීම සිදු විය.
පිහිටා තිබූ සිර කඳවුරු
මෙම යුගයේ දී මහ හිරගෙය නොහොත් ප්‍රධාන සිරගෙය මහනුවර පිහිටා තිබූ අතර එය ‘රැකවල්ලෝ’ නම් කණ්ඩායමක් මගින් මුර කර තිබේ. සිරකරුවන්ට යැපීම සඳහා මගක් රජයෙන් සපයා නොතිබූ බැවින් ඥාතීන් ඔවුන්ට ආහාර සපයා තිබිණි. එසේ ඥාතීන් ආහාර සැපයීම අත්හැර දැමූ විට ඔවුන්ට විදී දිගේ ගොස් සිඟා කෑමට ද අවසර තිබිණි. මහ හිර ගෙය හැරුණු විට තෙලිපැහැ, දංගොමුව, කෙහෙල්ඇල්ල, බින්තැන්න, ලග්ගල, ඇටන්වල හා බුත්තල ආදී ප්‍රදේශවල ද සිර කඳවුරු පිහිටා තිබිණි. මේවායෙන් බොහොමයක් එළිමහන් සිරකඳවුරු ලෙස සැලකිය හැකි ය. ක්‍රිස්තු වර්ෂ 1660 සිට 1679 වසර දක්වා වසර 19ක කාලයක් උඩරට සිරකරුවකු වූ රොබට් නොක්ස් ද මේ ආකාරයේ කඳවුරුවල රඳවා තබා තිබේ.
සිරකරුවන්ට සමාව දීම
උඩරට රජාධානි සමයේ මිනී මැරුම් සඳහා වරදකරුවන් වූ සිරකරුවන් ඇතුළු තවත් සිරකරුවන් රැසක් සමාව දී නිදහස් කළ අවස්ථා කිහිපයක් පිළිබඳ ව සඳහන් වේ. ඉන් එකක් වන්නේ රාජාධිරාජසිංහ රජ සමයේ දළදා මාලිගාවෙන් රැස් විහිදුණු අවස්ථාව ය. අනෙක් අවස්ථාව වන්නේ රාජාධිරාජසිංහ රජ මිය ගොස් සත් දිනකින් පැවැත්වූ මතක දානය වෙනුවෙන් ය. මතක දාන අවස්ථාවේ දී උඩරට රාජ්‍යයේ නොයෙක් තැන්වල සිර කර සිටි සිරකරුවන් සහ පිටුවහල් කරනු ලැබ සිටි අය ද නිදහස් කළ බව සඳහන් වේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ කාලයේ දී ද දෙවරක් සිරකරුවන් නිදහස් කර තිබේ. ඒ රජ කුමරකු උපන් අවස්ථාවේ සහ විශාල පින්කමක් පැවැත්වූ අවස්ථාවක දී ය.