ආයෙත් පුංචි කාලෙට යන්න ඇත්නම්… ඔබට එහෙම හිතුනු වාර අනන්තවත් ඇති. එත් ඉතින් හිතෙන් මිස සැබෑ ලෙසම කුඩා කාලයට යන්න ආයේ කවදාවත් අපිට හැකියාව ලැබෙන්නේනම් නෑ. ඒ කාලේ අපි කරපු, කියපු, විශ්වාස කළ දේවල් ගොඩයි. මතක් වෙනකොටත් සතුටුයි නේද? ඇත්තටම ඒ කාලේ අපි කරපු දේවල් විශ්වාස කළ දේවල් කාලයත් එක්කම අපේ හිතෙන් අමතක වෙලා ගිහින්. එන්න අපිත් එක්ක ඒ ලස්සන කාලේ අපි හිතපු පතපු විදිහ සුන්දරත්වයෙන් ගත කරපු කාලයේ අමතක නොවන දේවල් ගැන කතා කරන්න. නොලියුණු දෙයක් තියනවනම් comment කරන්නත් අමතක කරන්න එපා.
නිවසේදී පාසලේදී හැමතැනදීම අපි අපුරු දේවල් විශ්වාස කළා. දැන්නම් මතක් වෙනකොටත් ඒ දේවල් මොන පදනමකින්ද විශ්වාස කලේ කියල හිතාගන්නත් අමාරුයි. මේ පිළිබඳව ලියන්න හිතුවේ අයෙත් ඒ කාලේ මතක් කරලා පොඩි හිනාවක් මුහුණට එකතු කරගන්න, කියවලාම බලන්න.
පොත් අස්සෙන් සමනලුන් මතුවෙනකම් බලං හිටපු හැටි
මේකනම් අනිවාර්යෙන්ම අපි ඔක්කෝම කරලා තියන වැඩක්. 2 ,3 වසර වල ඉද්දි. අම්මා ගෙනත් දෙන කටර් එකෙන් පැන්සල උල් කරලා ඉවර වුනාම,පැන්සල උල් වෙලා කටර් එකෙන් එලියට එන පැන්සලේ කොටස් පරිස්සමින් අච්චු පොතක් අස්සට දාල එකෙන් සමනල්ලු හැදෙනවද කියල පොත දවසින් දවස පෙරලා පෙරලා බලපු හැටි මතකද? අදවත් සමනල්ලු ඉදීවිද හිතන් පොත පෙරලපු හැටි. එත් කවදාවත් එකෙන් සමනල්ලුනම් ඉගිල්ලුනේ නෑ.
ආ… ඔයාගේ කටින් දැන් ගහක් පැළ වෙයි
පොඩි කාලේ මොනවා හරි පළතුරු ඇටයක් ගිලුණු විට ඒ මගින් කුස තුල පැළයක් හට ගන්නවා කියල කී පාරක්නම් අපි බය වෙලා තියනවද? කී දෙනෙක්නම් අපිව බය කරලා තියනවද? පළතුරු ඇටයෙන් පැළවුණ පැළය අපේ කට තුලින් එලියට එනවා. එහෙම ආපු අය ඉන්නවා කියල යාලුවෝ ඒ කාලේ කියල තියනවා නේද? හැබැයි එහෙම පැළයක් කටින් ආපු කෙනෙක්නම් අපි කවදාවත් දැකල නෑ.
ලොරියක් හරි බස් එකක් හරි අරන් ඩ්‍රයිවර් කෙනෙක් වෙනවා
මේකනම් ඒ කාලේ පිරිමි ළමයින්ගේ එකම හීනය. පුතා ලොකු වෙලා කවුරු වෙන්නද කැමති අහපු ගමන්ම මොකුත් නොහිතාම නොපැකිලිව පැනල දුන්න උත්තරේ මොකක්ද? මතකද? මම කැමතියි බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න. ලොකු බස් එකක් මම ගන්නේ. කියල උඩ පැන පැන කියපු හැටි මතකද? මම අන්කලුත් දාගෙන යන්නම්කො… කියල කටින් බස් එක ස්ටාර්ට් කරගෙන ගේ වටේ රවුමක් යන එක තරම් වෙන සතුටක් නෑ. අපි හිතන් නෑ එහෙම කියපු කවුරුත් දැන් බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙලා ඇති කියල.
කවදාවත් ලැබුනෙ නැති ටොෆි පැකට් එක
මේකත් ඔයාල කරපු දෙයක්. මතකද පොඩි කාලේ ටෝෆියක් කාල ඉවර වෙලා එකේ කොළය දෙන්නෙක් දෙපැත්තට අදිනවා. ඇයි එහෙම අදින්නේ. ටොෆී කොළය එහෙම අඩියක් දිගට ඇඳලා කඩයට දුන්නාම අපිට ටොෆි පැකට් එකක් හම්බවෙනවා කියල කොහෙන් හරි ආපු ආරංචියක් අපි අතරේ තිබුණා. එත් කවදාවත් එහෙම ටොෆි පැකට් එකක් ගන්න අවස්ථාව හම්බවුන කෙනෙක් නැතුව ඇති.
මගේ තමයි හරි වැඩිම
මේක අපි කළේ දෙක තුන වසර වලදී. මතකද පාසැල අවසන් වෙලා හරි පාසල් කාලය තුළදී හරි යාලුවෝ එක්ක එකතු වෙලා කාගේ පොතේද වැඩිපුර හරි දාල තියෙන්නේ කියල ගණන් කරලා බලල තියන අවස්ථාවක්? ඉස්පාසුවක් නැතිව හතිදාගෙන හරි ගණන් කළත් වැඩි පුරම හරි ලකුණු තියන අභ්‍යාස පොතේ අයිතිකාරයා තමයි ඉතින් මේ වෙලාවට විරයා වෙන්නේ.
අපාය තියෙන්නේ පොලව යට
ඒ කාළේ අත්තම්මලා කියා දුන්න කතන්දර වලින් හරි පන්සලේ විහාරගේ තියන අපායේ චිත්‍ර දැකල අපාය තියෙන්න කොහෙද කියල ආපු ප්‍රශ්නේ අපි සියළු දෙනාටම තිබුණා. ඉතින් එක තියෙන්නේ පොලව යට කියලා තමයි ඒ කාලේ අපි ඔක්කොම හිතන් හිටියේ.
රැවුල එනකම් තිබු ආසාව
මේකත් පිරිමි ළමයින්ට තිබුණ ලොකුම ලොකු හදිස්සිය. ගෙදර තිබිලා රේසරයක් හම්බවෙලා පොඩිම කාලේදී වුනත් රැවුල කපපු අය ගොඩ දෙනෙක් ඇති. ඒ වගේම පොඩි කාලේ පුදුම ආසාවක් තියෙන්නේ රැවුල වවාගන්න. අගුරු හරි තීන්ත වලින් හරි රැවුල ඇදගන්න මාරම ආසාවක් තිබුන කාලයක් හැමදෙනාගේම මතකයේ ඇති, හැබැයි දැන්නම් ඒ රැවුල වැවෙන් නැතුවම තිබ්බනම් කොච්ච්ච්ර හොදද කියල හිතෙන වෙලාවලුත් තියනවා නේද?
කෑම කකුල් දෙකට යනවා
මේකනම් ඇවිද ඇවිද බත් කනකොට අපිට වැඩිහිටියන්ගෙන් අහන්න ලැබුණු දෙයක් (විශේෂයෙන් අත්තම්මලගෙන් හා අම්මගෙන්) ඇවිද ඇවිද කන්න එපා ළමයෝ කකුල් වලට කෑම යයි.එත් කවදාවත් අපි කකුල් දෙකට කෑම ගියපු කෙනෙක්නම් දැකල නෑ. මේකට බය වෙලා හිටපු කීදෙනෙක් නම් වාඩි වෙලා කෑම කන්න පුරුදු වෙන්න ඇතිද.
අඩි උස සපත්තු මේනියාව
මේකත් ඒ කාලේ හැම ගැහැණුන ළමයකුටම තිබුන ආසාවක්. අම්මගේ හරි වැඩිහිටියෙක්ගේ හරි අඩි උස සපත්තු දෙකක් පැළඳගෙන ගේ වටේ රවුමක් යන්න හරියට ටීචර් කෙනෙක් වගේ තමන්ගේ බාල සහෝදර සහෝදරියන්ට වේවැලක් පෙන්නලා පොඩි පාර්ට් එකක් දාන්නත් අමතක කරන්නේ නෑ.
බැලුවේ නැත්නම් කෑවේ නෑ වගේ
“මුහුද මගේ ගොඩ බිමයි -නැව මගේ නිවසට සමයි”
“පිස්සා මූ පිස්සා මූ – පිස්සු පූසා මූ”
මතකද මේ තේමා ගීත. මේ කාටූනවල තේමා වාදනය ඇහෙනවත් සමඟම කරපු වැඩ සියල්ල අතහැරලා TV එක ලඟට දුවගෙන ගිය හැටි. ගෙදර TV එකක් නැත්නම් ඒ වෙලාවට අල්ලපු ගෙදරට හරි දුවගෙන යනවා. අයියලා, අක්කලා, නංගිලා මල්ලිලා වටකරගෙන TV එක දිහා ඇස් නොපියා බලන් ඉන්නවා. ඔය තමයි ඒ කාලේ තිබුන සිංහල හඩකැවූ ටෙලිනාට්‍ය බලන්න තිබුණ ආශාව.
“සයුරේ ජිවිත නැව පෙරලි” ඒ කියන්නේ රොබින්සන් අන්දරේ ඇයි ඒ විතරද? කට ඇරගන බලපු මායා බන්ධනය. මේ ටෙලිනාට්‍ය බලන්න තියනවනම් ඒ කාලේ කෑම කෑවේ නැතත් කිසිම ගානක් නෑ.
සිනි/කිරිපිටි අතුරුදහන්
මේකත් අපි බොහෝ දෙනෙක් කරලා තියන අපුරු වැඩක්. කුස්සියේ අම්ම නැති වෙලාවක් බලල කිරි පිටි බෝතලෙන් හරි සිනි බෝතලෙන් හරි හැදී කීපයක් කටේ දාගෙන දුවනවා. අම්මට අහු උනොත් එහෙම පොඩි දඬුවමකුත් ලැබෙන්න ඉඩ තියනවා. හැබැයි මේ නරක පුරුද්දනම් තාමත් අඩු වෙලා නැති කට්ටියත් ඉන්නවා.
කුරුල්ලන්ට, ගස් වැල් වලට ඇහෙනවදෝ…
මේකනම් ගොඩ දෙනෙක් කරලා ඇති. ගස් වැල් කුරුල්ලෝ කවදාහරි අපිට කතා කරයි කියල හිතාගෙන ඒවාට කතාකරපු අවස්ථා. පුංචි කලේ ඔයාලගේ ජීවිතෙත් තියනවා ඇති. හැබැයි මේකනම් කරන්නේ කාටවත්ම පෙනෙන් නැති වෙන්න හොරෙන්.
අයෙත් පුංචි කාලෙට ගිහින් පොඩි හිනාවක් එකතු කරගන්න පුළුවන් රසවත් සිදුවීම් ටිකක් තමයි ලියුවේ.කිහිපයක් හෝ ඔබත් අනිවාර්යෙන්ම කරලා ඇති. මේවායෙන් සමහර දේවල් විකාර වගේ අපිට දැන් පෙනෙන්නේ.එත් ඒ දේවල් අපි පොඩි කාලේ කලේ හදවතින්ම. කොච්චර සුන්දරද ඒ අතීතය?
කවරයේ පින්තුරය: stumagz.com