Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නව ආරේ පෝලෝ – ටුක් ටුක් තිබෙන ලංකාවේ පෝලෝ ගහන්න අශ්වයින් මොකටද?

හැටට හැටේ රට පුරා කරක් ගසන ත්‍රීවිල් රථයකිනුත් කළ හැකි ක්‍රීඩාවක් තිබෙන බව කිවහොත් ඔබ එය විශ්වාස කරනවා ද? ටුකු ටුකු හඬ නගමින් ඉක්මනින්, පහසුවෙන් වාහන අතරින් රිංගා යා හැකි, ගාල් කිරීමට වැඩිපුර කරදර වීමට අවශ්‍ය නැති ටුක් ටුක් හෙවත් ත්‍රිරෝද රථය අද අප කාටත් නැතුවම බැරි වාහනයකි. එහෙත් ටුක් ටුක් එකක් සමඟ මොන සෙල්ලම්ද? නමුත් කරුණු එසේ වූයේ ඉස්සරය. නිර්මාණශීලි මනසක් හා ජෙෆරි ඩොබ්ස් වැනි පුද්ගලයෙකුගේ සුසංයෝගයෙන් මේ මෑතකදි බිහි වූ ටුක් ටුක් පෝලෝ නම් අරුම පුදුම ක්‍රීඩාව, අද වන විට ත්‍රිවිල් ගැන අප කා තුළත් තිබෙන ඒ සාම්ප්‍රදායික චිත්‍රය මුළුමනින්ම කනපිට හරවා තිබේ!

නිතර දෙවේලේ පාරේ යන ටුක් ටුක් රථ වල සුපුරුදු දසුනක් (nomadfamilytales.wordpress.com)

නිතර දෙවේලේ පාරේ යන ටුක් ටුක් රථ වල සුපුරුදු දසුනක් (nomadfamilytales.wordpress.com)

රෝද තුනයි, අත් සතරයි, එක මිටියයි- මේ කව්ද? ඔව් ඔබ නිවැරදියි! ටුක් ටුක් පෝලෝ ක්‍රීඩාවේ යෙදෙන ත්‍රිරෝද රථයකට එය හොඳ අර්ථ දැක්වීමකි. පිටින් බැලූ විට මනස්ගාතයක් මෙන් අපට මෙය හැඟුනද මේ ක්‍රීඩාව සත්‍ය වශයෙන්ම පවතින්නක් වන අතර වැලන්ටයින් සමයේ දී ගාල්ලේ යන ඔබට මෙම පිස්සු ක්‍රීඩාව සියැසින්ම දැකගත හැකි වනු ඇත.

ලංකාවේ ටුක් ටුක් රථ නම් ඉස්සර කිරීම්, කඩාගෙන බිඳගෙන යාම් සම්බන්ධයෙන් ද මිනිසුන් දහපහළොස් දෙනෙක් වුවත් පිටුපස අසුනේ ගානට පැක් කරගෙන යාම සහ රථ පෝලිමේ  අහුමුලු වලින් රිංග රිංගා යාම සම්බන්ධයෙන් ද සහජ කුසලතාවයක් දක්වන බව ප්‍රසිද්ධ කරුණක් වුවද මෙවැනි දෙයක් අප කිසිවෙකුදු සිහිනෙන් වත් නොසිතූ විරූ ය. අතකොළු අතැතිව බෝලයකට තඩි බාන ක්‍රීඩකයන් නංවා ගත් ටුක් ටුක් රථ දූවිලි අවුස්සමින් ඔබ මොබ යන අයුරු දුටු විට මෙය මදක් උමතු ක්‍රීඩාවක් ලෙස හැඟීම පුදුමයක් නොවේ. එහෙත්, මද වෙලාවක් නිරීක්ෂණය කරන ගෙන යන විට මෙම දසුනට නෙත මදක් හුරු වී යන අතර, සහභාගී වන සියල්ලන්ම, විනිසුරු වරයන්ගේ, ක්‍රීඩකයන්ගේ සිට ත්‍රීරෝද රථ රියදුරන් දක්වාම අතිශය විනෝදයක් ලබන බව මෙහි කැපී පෙනෙනම ලක්ෂණයයි. භාගෙට භාගයක්ම විදේශිකයන්ගෙන් පිරි සිටියද මෙම ක්‍රීඩාවේ විස්තර කළ නොහැකි කුමක්දෝ ශ්‍රී ලාංකීයත්වයක් ගැබ්ව තිබෙයි. වෙනකක් තබා, මෙය දකින ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට සියල්ල පසෙක දමා මැදට පැන මේ විනෝදයේ කොටස්කරුවකු වන්නට සිතෙන්නේ ද එබැවිණි.

සියැසින්ම දකින තුරු ඔබ නම් මෙය විශ්වාස කරන එකක් නැහැ! ටුක් ටුක් පෝලෝ ක්‍රීඩා පුහුණු සැසියක මනස විකාර කරවන සුළු දසුනක්.(tuktukpolo.com)

සියැසින්ම දකින තුරු ඔබ නම් මෙය විශ්වාස කරන එකක් නැහැ! ටුක් ටුක් පෝලෝ ක්‍රීඩා පුහුණු සැසියක මනස විකාර කරවන සුළු දසුනක්.(tuktukpolo.com)

ටුක් ටුක් පෝලෝ ක්‍රීඩාවේ මූලාරම්භය

මුලින් විහිළුවක් ලෙස පෙනුණද අතිශයින්ම විනෝදජනක මෙම ක්‍රීඩාවේ නිර්මාතෘවරයා ඇන්ග්ලෝ-ඕස්ට්‍රේලියානු ජාතික ජෙෆ්රි ඩොබ්ස් ය. සුප්‍රකට ගාලු සාහිත්‍ය උළෙල ද හඳුන්වා දුන් ඔහු මුලින් අසුන් වෙනුවට අලි භාවිතා කළ හැකි අලි පෝලෝ ක්‍රීඩාව හඳුන්වා දුන් අතර ඉන් නොනැවතී ඊටත් වඩා විනෝදජනක මෙම ටුක් ටුක් පෝලෝ ක්‍රීඩාවට අතගැසිය.

ලොව කිසි තැනක දැක ගත නොහැකි ටුක් ටුක් පෝලෝ ක්‍රීඩාවේ යෙදෙන්නියක් බෝලයට පහර දීමට සැරසෙන අයුරු (tuktukpolo.com)

ලොව කිසි තැනක දැක ගත නොහැකි ටුක් ටුක් පෝලෝ ක්‍රීඩාවේ යෙදෙන්නියක් බෝලයට පහර දීමට සැරසෙන අයුරු (tuktukpolo.com)

මුල්ම ටුක් ටුක් පෝලෝ ක්‍රීඩාව පවත්වන ලද්දේ 2013 වසරේ මැයි මාසයේ දී ගාලු කොටුවේ දීය.  මෙය සංවිධානය කිරීමට මුල් වුයේ ලංකා පෝලෝ සංගමයයි.පසුගිය 2015 වසරේ එය දෙවන වරටත් සංවිධානය වූ අතර ඊට ලැබුනේ ඉතා ඉහල ප්‍රතිචායකි. සංචාරකයන් සහ ලාංකිකයන් එක සේ මෙම ක්‍රීඩාවට ප්‍රියතාවයක් දක්වන බවනම් පැහැදිලිය.

ටුක් ටුක් පෝලෝ ගසන අයුරු

කොහොමද ටුක් ටුක් එකක ඉඳන් පෝලෝ ගහන්නේ? කිසිදිනෙක කළ නොහැකි මෙන්ම කිසිම ප්‍රායෝගික බවක්ද නැති අදහසක් මෙන් හැඟුන ද එය එතරම් සංකීර්ණ නැත. සාම්ප්‍රදායික අපි කවුරුත් දන්නා පෝලෝ ක්‍රීඩාවේ අශ්වයා වෙනුවට, එහෙමත් නැත්නම් අලියෙකු වෙනුවට ටුක් ටුක් එකක් භාවිතා කිරීම හැර මෙහි අමුතුවෙන් දැනගත යුතු දෙයක් නැත.

මෙම ක්‍රීඩාවේ නීති හැටියට එක කණ්ඩායමකට ක්‍රීඩකයන් තුන්දෙනෙක් සිටිය යුතුය. සෑම ක්‍රීඩකයෙක්ටම ත්‍රිරෝද රථයක් සහ රියදුරෙක් සිටිය යුතු අතර ක්‍රීඩකයා පිටුපස ඉඳගත යුතුය. අශ්වයා පදින අතරතුර බෝලයට ගැසීමට හැකියාව තිබූවද මෙහිදී වැඩ දෙකම එක පුද්ගලයෙක් කරන්නට යාමෙන් ක්‍රීඩකයා බෙල්ල කඩා ගැනීමට ලොකු ප්‍රවණතාවයක් තිබෙන නිසා මෙයට රියදුරෙක් ද අවශ්‍ය වේ.  එහි වේගවත් බව සහ පහසුවෙන් හැසිරිය හැකි බව නිසා ත්‍රීරෝද රථයක් මේ ක්‍රීඩාවට සුදුසුම වාහනය ලෙස සැලකිය හැක. කෙසේ නමුදු,  ප්‍රතිවාදියා වෙත බෝලය සාර්ථක ලෙස යොමු කිරීමට නම් සෑහෙන තරම් හොඳ රියදුරෙක් සිටීමත්, ක්‍රීඩකයා එල්ලය බලා පහරදීමේ අතිදක්ෂයෙකු වීමත් අනිවාර්ය අවශ්‍යතාවයන් ය.

ටුක් ටුක් පෝලෝ ක්‍රීඩාවටද එයටම ආවේණික වූ තරඟ කොන්දේසි කිහිපයක් තිබේ. තරඟ විනිශ්චය සඳහා විනිසුරු වරයෙක් සිටින අතර ගැහැණු පිරිමි දෙපක්ෂයටම එකසේ මෙය ක්‍රීඩා කල හැකිය. කෙසේ වුවද, පෝලෝ සංගමය නීතිගත කර ඇති පරිදි “පුරුෂ පක්ෂයට භාවිතා කල හැක්කේ තම දකුණු අත පමණක් වන අතර කාන්තාවන් හට තම අත් දෙකම භාවිතා කිරීමට අවසර තිබේ. ක්‍රීඩකයා ගැහැණුද පිරිමිද යන්න නිශ්චය කරගත නොහැකි අවස්ථා වල විනිසුරු වරයාගේ තීරණය අවසන් තීරණය ලෙස භාරගත යුතුය.” (ඔවුන් මතුවිය හැකි සියලුම ආකාරයේ ගැටළු මෙයින් ආවරණය කිරීමට උත්සාහ ගෙන ඇති හැඩයි). ප්‍රතිවාදියාගේ රිට පැටලවිමට උත්සාහ කිරීමත් බෝලය ගසමින් සිටි ටුක් ටුක් රථය සිතාමතාම හරස් කිරීමෙන් ද ප්‍රතිවාදියාට හෝ විනිසුරුවරයා ට සිතා මතා පහර දීමද තරඟ නීති උල්ලංගනය කිරීමක් වන නමුදු තම කණ්ඩායමේ කෙනෙක්ට තඩි බෑමේ කිසි ගැටළුවක් නැතැයි සලකනු ලැබේ!

මීට අමතරව කිව යුත්තේ, සාම්ප්‍රදායික පෝලෝ ක්‍රීඩාවට සාපේක්ෂව ටුක් ටුක් පෝලෝ වල වාසි බොහොමයක් තිබෙන බවය. විශේෂයෙන්ම ශ්‍රීලංකාව වැනි රටකට එය ඉතා සුදුසු ය. අශ්වයෙකුට මෙන් ටුක් ටුක් රථයකට කන්න බොන්න දීමට වත්, බලාකියා ගැනීමට වත් ඉස්තාලයකට දමා ආරක්ෂා කිරීමට වත් අඩු තරමේ ව්‍යායාම කරවිමට වත් අවශ්‍ය නොවේ. එපමණක් නොව ක්‍රීඩාව අතරතුර කුලප්පු වීම්, වෙහෙසට පත් වීම්, කලබල වීම් හෝ පිඩාවට ලක් වීම් වැනි සංකීර්ණ ගැටළු ටුක් ටුක් රථයකට නොමැත. සියල්ලටම වඩා වැදගත් කරුණ වන්නේ, අපේ රටේ අශ්වයෙකු නඩත්තු කිරීමට යන වියදමෙන් භාගයක් වත් ත්‍රී රෝද රථයක් සඳහා වැය නොවීමයි. අනිත් අතට  ටුක් ටුක් වල නැගගෙන පෝලෝ ගසා ලබා ගත හැකි විනෝදය ද සාම්ප්‍රදායික ක්‍රීඩාවට සමකළ නොහැක. පහත රුපයෙන්ම ඔවුන් මින් කෙතරම් සතුටක් ලබන්නේද යන්න අපට යම් අදහසක් ගෙන එයි.

මේක ටිකක් අමුතු ක්‍රීඩාවක් තමයි, එහෙත් ඉන් ලැබෙන විනෝදය නම් මිලකළ නොහැකියි! (tuktukpolo.com)

මේක ටිකක් අමුතු ක්‍රීඩාවක් තමයි, එහෙත් ඉන් ලැබෙන විනෝදය නම් මිලකළ නොහැකියි! (tuktukpolo.com)

ටුක් ටුක් පෝලෝ ක්‍රීඩාව ගැන වැඩිදුර විස්තර සඳහා  www.tuktukpolo.com වෙබ්අඩවියට පිවිසීමටත් ඔවුන්ගේ Facebook පිටුව නැරඹීමටත් ඔබට හැකියාව තිබේ.

Related Articles