සෑම වර්ෂයක ම දෙසැම්බර් සිට මැයි මස දක්වා මාස හයක කාල සීමාවක පැවැත්වෙන සිරිපා වන්දනා සමයට ලක්ෂ ගණනක් බැතිමතුන් සමනළ කන්ද වන්දනා කරනවා. අතීතයේ සිට සමනළ කන්ද තරණය කිරීමට සඳහා භාවිතයට ගැනුණු ප්‍රධාන මාර්ග කීපයක් තිබෙනවා. තව අතුරු මාර්ග කිහිපයක් ද තිබෙනවා.
ඒ අතරින් වඩාත් ප්‍රකට මෙන් ම පහසුම මාර්ගය හැටන් පාර යි. රත්නපුර පලාබද්දල හරහා යන පාරත්, කුරුවිට පාරත් හැටන් පාරට වඩා දුෂ්කර යි. ඒ අතර දුෂ්කර ම මෙන්ම වඩාත් සුන්දර වටපිටාවකින් යුතු මාර්ගය වන්නේ කුරුවිට එරත්න සිට ඇරඹෙන වන්දනා මාර්ගය යි. ඉතා රමණීය පරිසර පද්ධතියක චමත්කාරය මේ මාර්ගයේ ගමන් කරද්දී විඳ ගත හැකි යි.
කුරුවිට – එරත්න පාර
කොළඹ රත්නපුර මාර්ගයේ කුරුවිට නගරයට පැමිණ එරත්න අඩවිකන්ද දක්වා පොදු ප්‍රවාහන බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් ගමන් කළ හැකි යි. එරත්න අවට සිරිපා සමයට ක්‍රියාත්මක වන නවාතැන් පොළවල් සහ හෝටල ආදියත් තිබෙනවා. කොළඹ සිට කුරුවිටට දුර කිලෝමීටර 80ක්. කුරුවිට නගරයේ සිට එරත්න කඩමණ්ඩියට කිලෝමීටර 10ක් දුර යි. එහි සිට සිරිපා මළුව දක්වා දුර කිලෝමීටර 14ක් වෙනවා.
මේ කිලෝමීටර 14න් තවත් කිලෝමීටර දෙකහමාරක් පමණ වාහනවලින් අඩවිකන්ද දක්වා යාමට පුළුවන්. අඩවි කන්ද දක්වා ලංගම බස් රථයක් ද ගමන් කරනවා. වාහන නැවතුම්පොළක් ද අඩවිකන්දේ පිහිටුවා තිබෙනවා. මෑතක සිට ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කරමින් සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව ශ්‍රීපාද පද්මය කරා වැඩම කරවීමේ පෙරහර මාර්ග හතරක් ඔස්සේ ගමන් කරන අතර එක් මාර්ගයක් වන්නේ කුරුවිට පාර යි. මේ නිසා මෑතක සිට කුරුවිට පාරට වැඩි අවධානයක් හිමි ව ඇති බව පේනවා.
කොටා සොයා ගත් පාර
ජනප්‍රවාදවල සඳහන් වන්නේ කුරුවිට පාර සිරිපා කරුණාවට ඇති පැරණිත ම මාර්ගය ලෙස යි. ඉපැරැණි රාජ සමයේ පළාත් බෙදීම අනුව ශ්‍රීපාද පද්මය පිහිටා ඇති සමනළ කන්ද පිහිටා ඇත්තේ ද ඓතිහාසික කුරුවිට කෝරළය තුළ යි. එරත්න ආශ්‍රිත ව ජීවත් වූ කොටා නම් පුද්ගලයෙක් රජ සමයේ දී ප්‍රථමයෙන් මේ මාර්ගයෙන් ගොස් සිරිපා මළුව සොයා ගත් බව ජනප්‍රවාදවල පවතින කතාවක්.
කලකට පෙර අප්‍රකට දුෂ්කරත්වයෙන් පිරුණු මාර්ගයක් ලෙස සැලකුණත් අද වනවිට මේ මාර්ගය තරණය කරමින් සිරිපා වැඳ පුදා ගැනීමටත් සැලකිය යුතු පිරිසක් පැමිණෙනවා. සිරිපා වාරයේ දී විදුලි ආලෝකය සහ වෙළෙඳසල් ද වැසිකිළි ආදී පහසුකම් ද සැපයුණත් මෙය අනෙක් ප්‍රධාන මාර්ගවලට සාපේක්ෂව වනගත දුෂ්කර මාර්ගයක් විදියට තමයි හඳුන්වන්නේ. කඳුහෙල් මිටියාවත් මැදින් වැටුණූ මේ පටු මාර්ගයේ වන්දනාකරුවන් එතරම් හමුවන්නේ නැහැ.
කුරුවිට එරත්න පාරේ තාමත් සිමෙන්ති පඩි එහෙම නම් තනා නැහැ. පුරාණ මාර්ගය ඒ ලෙසට ම දැකගත හැකියි. කඳුවැටි පසුකරමින් ගල් මුල් උඩින් කැලේ මැදින් ගමන යායුතු යි. පුරාණ කාලයේ අපේ මුතුන් මිත්තන් සිරිපාදය තරණය කළ ආකාරය සිහිපත් කර ගැනීමට ඇති හොඳ ම මාර්ගයක් තමයි කුරුවිට පාර.
එරත්න අඩවි කන්ද අසලින් ගමන ආරම්භ කළ විට එය සම්පූර්ණ කිරීමට අවම වශයෙන් පැය 12කට වැඩිය කාලයක් ගත වෙනවා. ඒ කාලයෙන් වැඩි කොටසක් කැලේ ඇතුළෙන් තමයි කරුණා කරන්නට සිදුවන්නේ. අතරමැද පාර දෙපැත්තේ හැටන් පාරේ මෙන් කඩවල් ගොඩක් නැහැ. ඉඳහිට නවාතැන් පොළක්, අම්බලමක් හමු වෙනවා.
පුරාණ වන්දනාව
පසුගිය සියවසේ මුල් භාගය දක්වා ගම් නියම්ගම්වල සිට ගැල්වලින් හෝ පා ගමනින් කුරුවිට දක්වා පැමිණ, එතැන් සිට පා ගමනින් ම එරත්න හරහා දීර්ඝවූත් වෙහෙසකරවූත් වන්දනාවකින් පසුව ශ්‍රීපාද පද්මය වැඳ පුදා ගැනීමට අතිත ගැමියන් පුරුදු වී සිටියා. මේ කාලයේ මහගිරි දඹේ නැග්ගේ දම්වැල්වල එල්ලීගෙන යි. ඉංග්‍රිසි පාලන සමයේදී ආරම්භ කැලණිවැලි පුංචි කෝච්චියේ කුරුවිට දුම්රිය ස්ථානය කරා පැමිණ එතැන් සිට එරත්න මාර්ගය ඔස්සේ ශ්‍රීපාදය වන්දනා කිරීමේ සම්ප්‍රදායක් පසු ව බිහිවුණා. ඒ 1900 මුල් කාලයේදි යි.
එකල කොළඹ ප්‍රදේශයේ වන්දනාකරුවන්ගේ ජනප්‍රිය ම ශ්‍රීපාද වන්දනා මාර්ගය වූයේ ද එරත්න මාර්ගය බව පැවසෙනවා. පසුව අනෙකුත් මාර්ගවල පහසුකම් සංවර්ධනය වී ජනප්‍රිය වීමෙන් කුරුවිට මාර්ගය වන්දනාකරුවන්ගෙන් ඈත්වීමක් සිදුවුණා. එහෙත් මෑතකාලීන ව රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙම පාරේ පහසුකම් වැඩිදියුණු කිරිමේ ප්‍රතිඵලයක් ලෙස මෑතක සිට වන්දනාකරුවන් අතර ජනප්‍රිය වන්දනා මාර්ගයක් බවට එරත්න මාර්ගය නැවතත් පත් වී තිබෙනවා.
පාරේ මඟ සලකුණු
අඩවිකන්ද කඳුකර ගම්මානයක්. සමනළ අඩවි වනාන්තරයට මායිම් ව තමයි මේ ගම පිහිටා තිබෙන්නේ. තේ වගාව මෙන් ම වනාන්තරයේ කිතුල් මැදීමත් ගැමියන් සිදු කරනවා. අඩවිකන්දේ සිට ගමන් කරන අපට අවට තේ වතු මෙන් ම ඈතින් මහා වනාන්තරයත් දිස්වෙනවා. මෙහි ගමනේ මුල් භාගයේ දී සමනළ කන්ද දැක ගැනීමට ලැබෙන්නේ නැහැ. එය වෙනත් කඳුවලට වැසී පවතින්නේ.
මිහිදුම් වලාවලින් වැසුණු කඳුවැටි, මඟ දෙපසින් ගලායන දොළ පාරවල් ගමනේ අලංකාරය වැඩි කරනවා. පාරේ පඩි පේළි වෙනුවට ඇත්තේ ගල්අඩුක් කර තැනූ පියගැට යි. සමහර තැන්වල ලොකු බෑවුමක් දැකගත නොහැකි යි. විටෙක කැලෑව මැදින් යන ගමන හිටිගමන් විවෘත පෙදෙසකට එක්වෙනවා. මේ ගමේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටි කැකුණහින්න පසුකරමින් යනවිට ක්‍රමයෙන් ඉහළ යන බෑවුමක් අපට හමුවෙනවා.
මේ පාරේ කිලෝමීටර එකහමාරක් ගමන් කළ පසු අප පිවිසෙන්නේ ජම්බෝලගහයට අම්බලමට යි. එහි නැවතී විවේක ගැනීමටත් අවශ්‍ය නම් පුළුවන්. මේ අම්බලමේ සිට තවත් කිලෝමීටර තුන්කාලක් දුරින් පිහිටා ඇත්තේ ඩයිමන්ගල අම්බලම යි. එය බොහෝ වන්දනාකරුවන් නවාතැන් ගන්නා තැනක්. දැනට ඇති අම්බලම් ගොඩනැඟිල්ල තනා විවෘත කර ඇත්තේ 1945. 01.01 දින යි. ඒ හෝමාගම වැලිපිල්ලෑවේ එක්සත් වන්දනෝපකාර සමිතිය මඟින්. මෙහි සිට කඳු බෑවුම ටිකෙන් ටික වැඩිවෙනවා. අවට කඳු අතර කැපීපෙනෙන්නේ කුණුදිය පර්වතය යි.
වර්ණගල සුන්දරත්වය
එසේ තවත් කිලෝමීටර තුන්කාලක් දුරින් පිහිටා ඇත්තේ වර්ණගල අම්බලම යි. එය මුහුදු මට්ටමේ සිට මීටර් 600ක් උසින් පිහිටා තිබෙනවා. වර්ණගල අම්බලම විශාල අම්බලමක්. වැසිකිලි පහසුකම් හා මුළුතැන්ගෙයක් ද එහි තිබෙනවා. මේ අවට ඉතා සුන්දර වටපිටාවක් දැකගත හැකි යි.
කුරු ගඟ ගලායන හඬ නිරන්තරයෙන් මෙහිදී ඇසෙනවා. මාර්ගය අසලින් දිගු ගල්පර්වතයක් ඔස්සේ කුරු ගඟ ගලාඩබසින්නේ කුඩා දියඇලි කිහිපයක් ම තනමින්. මේ ස්ථානයෙන් වන්දනාකරුවන්ට අවශ්‍ය නම් නාගන්නත් පුළුවන්. හැබැයි වතුර නම් අයිස් වගේ සීතලඩයි. මෑතකඩදී තැනූ විහාරයක් ද වර්ණගල තිබෙනවා.
මෙම මාර්ගයේ පැරැණි ශ්‍රීපාද මාර්ගය සහ සහ නව මාර්ගය ලෙස දෙකක් තිබෙන අතර අතර එම මාර්ග දෙක වර්ණගල අම්බලමට ආසන්නයේදි එකතුවීම සිදුවෙනවා. නව මාර්ගයේ කුඩා ජල විදුලි බලාගාරයක් පිහිටා තිබෙන අතර මේ නිසා වර්ණගල ඇල්ලේ ජලය අඩුවී තිබෙනවා. පහතරට තෙත් වනාන්තර ක්‍රමයෙන් උප කඳුකර වනාන්තර බවට පත්වන ආකාරය මෙහිදී නිරීක්ෂණය කළ හැකිඩයි. කඳුකරයේ වාසය කරන පක්ෂින් ද බහුලඩව දැකඩගත හැකි වෙනවා.
සීත ගඟුල පසුකරමින්
වර්ණගල සිට තවත් කිලෝමීටර දෙකක් පියමං කරන විට සීත ගඟුල අපට දැක ගත හැකි යි. මෙම මාර්ගයේ හමු වන සීත ගඟුල කුරු ගඟේ මුල් අවස්ථාව යි. මේ ස්ථානයේ තුම්මෝදර අම්බලමත් පිහිටා තිබෙනවා. හැටන් පාරේ හෝ රත්නපුර පාරේ තියෙන සීත ගඟුලට වඩා වඩාත් පළල් ව ගලාබසින අලංකාර පුළුල් සීත ගඟුලක් මෙහිදී හමුවෙනවා.
සීත ගඟුල ගලා බසින්නේ මාර්ගය හරහා නිසා අධික වැසි කාලයට මේ සීත ගඟුලෙන් එතෙරවීමත් දුෂ්කර යි. අවශ්‍ය නම් මෙහි ගිලී නාගන්න වුණත් පුළුවන්.
සීත ගඟුලේ සිට තවත් කිලෝමීටර දෙකහමාරක් කඳු තරණය කරනවිට අපට හමු වන්නේ මැදහින්න අම්බලම යි. එය මුහුදු මට්ටමේ සිට මීටර 1275ක් උසකින් පිහිටා තිබෙනවා. මෙහි සිට සිරිපා පද්මයට ඇති දුරකිලෝමීටර 4ක්. මහපිදුරුතලාව, බෑණ සමනළ සහ ගැටනිතුල් කන්ද මෙහි දී අවටින් දැකගත හැකි යි. නැඟෙනහිරින් සිරිපා කඳු මුදුනත් මෙතැනට අලංකාර ව දිස්වෙනවා. දැන් දක්නට ලැබෙන්නේ ඉහළ කඳුකර වනාන්තර යි. ඒවායේ ගස් මුදුන් හත්තක් සේ සැදී ඇති අතර උසින් අඩු යි. ඉහළ කඳුකරයේ සරන පක්ෂින් අවට සුලබ යි. බෑණ සමනළ කන්ද සහ කුණුදිය පර්වතය ඈතින් දැක ගැනීමට ලැබෙනවා.
මෙම මාර්ගයේ මැදහින්න අම්බලම පසු කර ටික දුරක් ගිය විට වම්පසින් දැරණියගල උඩමාලිබොඩ වනගත සිරිපා මාර්ගය කුරුවිට එරත්න මාර්ගයට එකතු වෙනවා. මෙහි සිට පාර දිගට ම සිරිපා කඳු මුදුන දකින්න ලැබෙනවා. තවත් කිලෝමීටර 1.2ක් දුරින් හමුවන්නේ ඉඳිකටුපාන යි. එහි අම්බලමක් ද පිහිටා තිබෙනවා. මෙය පිහිටි පෙදෙස උසින් මීටර් 1500ක්. මේ වනවිට සීතලත් අධික යි. මෙහි සිට ගමන් මාර්ගය දැඩි නැග්මකින් යුක්ත යි.
හැරමිටිපානෙන් මහගිරිදඹයට
තවත් කිලෝමීටරයක් ගමන් කරන විට මීටර් 1700ක් උසින් හමු වන හැරමිටිපාන ගල්වංගෙඩිය ආසන්නයේ දී කුරුවිට එරත්න මඟ රත්නපුර රජ මාවතට එකතු වී උඩමළුව දක්වා ගමන් කරනවා. ගල්වංගෙඩිය නමින් හඳුන්වන්නේ පාර අද්දර ගලේ හෑරා තැනූ ජල භාජනයක් පිහිටා ඇති නිසා යි. දුෂ්කර මාර්ගය සිමෙන්ති පඩි පෙළක් බවටත් පරිවර්තනය වෙනවා. මෙහිදී වන්දනාකරුවන් සංඛ්‍යාවත් ඉහළ යනවා.
මේ පාරේ තවත් ඉදිරියට ගමන් කරන විට ආඬියාමළතැන්න හමු වෙනවා. ආඬියාමළතැන්නෙන් වමට ඇති අඩි පාරේ ගමන් කළොත් හැටන් පාරේ ඉදිකටුපාණට යන්න පුළුවන්. කෙළින් ඇති මාර්ගය දිවෙන්නේ සිරිපා මළුවට යි. කුරුවිට සහ රත්නපුර පාරවලින් එන බැතිමතුන්ට ‘මහගිරිදඹය’ හමු වන්නේ ඉදිකටුපාණේදී යි.
මහගිරිදඹය ඔස්සේ ඉහළට යන විට ඇහැළ කණුව හමු වෙයි. ඇහැළ කණුව පසු කර ඉහළට කරුණා කරන විට ‘හුළං කපොල්ල’ හමු වෙන අතර එහි අධික සුළං ප්‍රවාහය විඳ ගැනීමට ලැබෙනවා. පුරාණයේ සිරිපා මාර්ගයේ සවිකර තිබූ දම්වැල්වල කොටස් ද මෙහි පර්වතයේ සමහර තැන්වල දැක ගැනීමට ලැබෙනවා.