කොල්ලුපිටිය මංසන්ධියේ දී පාරේ යන මිනිසුන්ට තම ජනනේන්ද්‍රිය පෙන්වූ බවට වරද පිළිගත් _________ නම් පුද්ගලයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාවරයා පාදඩ ආඥා පනත යටතේ රුපියල් 10ක දඩ නියම කළේ ය.
බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය වටලනු ලැබුවේ අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව යි. එහිදී කාන්තාවන් තුන්දෙනෙකු හා එම ගණිකා නිවාසයේ කළමනාකාරවරයා පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. පාදඩ ආඥා පනත යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
ඉහතින් සඳහන් කළේ පසුගිය කාලයේ පළ වූ පුවත්පත් වාර්තා දෙකක්. පෙබරවාරි 14 දාට යෙදෙන වැලන්ටයින් දිනය ළං වන විට මෙවැනි සිද්ධි ලංකාවේ බහුලව වාර්තා වෙනවා. මේ වගේ අවස්ථාවල දී පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්නේ පාදඩ පනත යටතේ යි.
මොකක්ද මේ පනත
බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවට ගෙනාපු වතු කම්කරුවන් වතුවලින් පැනලා ගිහින් තැන් තැන්වල සැරිසරන්න පටන්ගත්තා. ඔවුන්ට ඉන්න හිටින්න තැනක් තිබුණෙත් නැහැ. ඒක වතු හිමියන්ට විශාල පාඩුවක් වගේම සමාජයටත් මහත් කරදරයක් වුණා. ඒ මිනිස්සු කොටු කරලා නැවත වතුවලට යවන්න තමයි පාදඩ පනත ගෙනාවේ. මෙම පනත සම්මත කර ගත්තේ සුද්දන් ලංකාව යටත් කරගෙන අවුරුදු 26කට පස්සේ. ඒක පැරණිම ඉංග්‍රීසි නීතියක්. 1841 දී අංක 04 යටතේ තිමයි පාදඩ ආඥා පනත මෙරට සම්මත කර ගත්තේ. එය බිහිවී දැනට වසර 180ක්. ඒ කියන්නේ මේකෙ මුල්පිටපත තිබුණා නම් පුරාවස්තුවක් වන තරම් පැරණියි. කලින් කලට සංශෝධන 12ක් සිදුව ඇති එහි අවසන් සංශෝධනය 1978 අංක 02 ලෙස එළිදක්වා තිබෙනවා.
පුරාණ යටත්විජිත සමයේ සරල සමාජයට අනුව ක්‍රමවත් පනතක් වූ මෙය අදට නම් කෙසේ ගැලපෙන්නේදැ යි සිතාගත නොහැකියි. අදටත් මෙය බලාත්මකව පැවතුණත් එම නීති භාවිත වන්නේ සීමිතව යි. දණ්ඩ නීති සංග්‍රහය සහ වෙනත් විශේෂ නීති ක්‍රියාත්මක වීමත් සමග පාදඩ ආඥා පනතේ නීති අභිබවමින් වැඩි දඬුවම් පනවා තිබෙනවා. නමුත් තවමත් පොලිසිය පාදඩ නීතිය යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බව අසන්නට ලැබෙනවා.
අපරාධ නීතිය
සමාජයේ “පාදඩ” හෙවත් “නරක වැඩක්” කළ විට අත්අඩංගුවට ගෙන නීතිය මඟින් දඬුවම් දීම, 1841 දී මෙම පනත පැනවූ අවස්ථාවේ අරමුණ වුණා. ඒ අනුව මෙම පනත අපරාධ නීතිය යටතට ගැනෙන පනතක්. පනත යටතේ වැරැදිකරුවන් වන පුද්ගලයින්ට සිර දඬුවම් මෙන්ම දඩ නියම කිරිමේ හැකියාවත් තිබෙනවා. මෙම පනතේ දණ්ඩන වගන්ති, එනම් දඬුවම් බෙහෙවින් සුළු දඬුවම්. අදට නම් ඒවා විහිළුවක් වගේ.
පාදඩ පනතේ අරමුණ
මෙම පනත මඟින් අපේක්ෂා කර ඇත්තේ පොදු මංමාවත්, වීදි, පොදු ස්ථානවල මිනිස්සුන්ගේ හැසිරිම යම්කිසි විනයක් අනුව කරන්න ඕනේ කියන කරුණ යි. පොදු ස්ථානයක යම්කිසි පුද්ගලයකුට කරදරයක් වන ලෙස තවත් අයෙකු හැසිරිම වරදක්.
ඒ අනුව පොදු මංමාවත්, පොදු ස්ථාන, පොදු මහාමාර්ග වැනි තැන්හි සිදුවන අපරාධ ක්‍රියා වැළක්වීම මෙහි ප්‍රධාන අරමුණ ලෙස සැලකිය හැකියි. එසේම මෙම පනතට අනුව වරෙන්තුවක් නොමැතිව ඔනෑම වෙලාවක, එහි සඳහන් වරදවල් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් තිබෙනවා. එයට උසාවි නියෝගයක් අවශ්‍ය වන්නේ නැහැ.
පාදඩයන් කවුද?
පනතේ 4 වන වගන්තියේ පාදඩයන් ගැන මෙසේ විස්තර කෙරෙනවා:
පාදඩයෙකු හෝ මැරයෙකු ලෙස සලකනු ලබන්නේ වීදියක, මහා මාර්ගයක, ප්‍රසිද්ධ ස්ථානයක හෝ අන්තැනක වෙනත් අයට අප්‍රසන්න හැඟීම් ඇතිවන සේ හෝ පිළිකුලක් ඇතිවන සේ ඕනෑකමින්ම අශීලාචාර ලෙස තම අඟපසඟ පෙන්වමින් හෝ අසභ්‍ය පින්තූර ප්‍රදර්ශනය කරන හෝ වෙනත් අසභ්‍ය දේ ප්‍රදර්ශනය කරන අය යි.
පාදඩ පනත යටතේ වැරදි
අපි දැන් 3 වන වගන්තියේ සඳහන් වන දඬුවම් ලැබිය හැකි වැරදි හැසිරීම් කිහිපයක් සලකා බලමු.
- තමාගේ යැපීම් මාර්ගයක් සලසා ගැනීමට හැකියාව තිබියදීත් ඒ ගැන සැලකිල්ලක් නොදක්වා යම් ස්ථානයක මහ පාරක සිඟා කෑම
- මංමුලා වී ප්‍රසිද්ධ වීදියක ඇවිදින ප්‍රසිද්ධ ගණිකාවක් වීම
- ප්‍රසිද්ධ වීදිවල අශිලාචාර ලෙස හැසිරීම
- අයිතිකරුවකුගේ කැමැත්ත නැතිව නිවසක අගුපිලක, එළිපත්තක රැඳී සිටීම
- අයිතිකරුගේ අවසරයක් නැතිව පත්‍රිකා හෝ දැන්වීම් ඇලවීම, අශිලාචාර හෝ අපහාසාත්මක ලෙස ලිවීම හෝ චිත්‍ර ඇඳීම (කැලෑ පත්තර ගැසීම)
පාදඩ පනත සමාජයට ඇණයක් වීම
ප්‍රසිද්ධ නාගරික උද්‍යානවල පෙම්සුව විඳීමට ගොස් පොලිසියේ අත්අඩංගුවට පත්වන තරුණ පෙම්වතුන් ගැන නිතර අසන්නට ලැබෙනවා. මේ නිසා ඇතැමුන් සිත්තැවුලට පත්වී, සමාජයට මුහුණදීමට නොහැකිව සියදිවි හානිකරගත් අවස්ථාත් වාර්තා වෙනවා. අවුරුදු 18 ඉක්මවූ, බාලවයස්කරුවන් නොවන ඕනෑම අයෙකුට තමන් කැමති ස්ථානයක නිදහසේ කාලය ගතකිරීමට නීතියෙන් බාධාවක් නොමැති බව මානව හිමිකම් නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ බීබීසී පුවත් සේවයට පවසා සිටිනවා.
දණ්ඩ නීති සංග්‍රහයේ එසේ අත්අඩංගුවට ගැනීමට “අවිනීතව හැසිරීම” නමින් වරදක් නැහැ. මේ නිසා පොලීසිය යොදාගන්නේ අදට නොගැලපෙන පාදඩ පනත වැනි අසාධාරණ නීති බව නීතිඥවරුන් පවසනවා. පාදඩ ආඥා පනත යොදා ගනිමින් පොලිසිය අවිවාහක ජෝඩු අත්අඩංගුවට ගන්නා අතර, කෝපි කාලයට අයත් එම පනත මෙරටින් අවලංගු කරන ලෙස යුරෝපා රටවල් ද ඉල්ලා සිටිනවා. ඇම්නෙස්ටි ජාත්‍යන්තරය ද ලංකාවෙන් මෙම පනත ඉවත් කරන ලෙස ඉල්ලා සිටින ආයතනයක්.
දඩය රුපියල් පහයි
පනතේ දෙවන වගන්තිය යටතේ චෝදනාවකට පොදු වීදියක, මහ මාර්ගයක සාමය කඩවන ලෙස කලහකාරි ලෙස හැසිරෙන පුද්ගලයින්ට දඬුවම වන්නේ රුපියල් පහකට නොවැඩි දඩයක්.
පාදඩ ආඥා පනත 11-1 වගන්තිය යටතේ යම් ගැහැනු ළමයකුගේ බාරකාරත්වය තිබෙන අයකු ඒ ගැහැනු ළමයා ගණිකා වෘත්තියට යෙදවීම හෝ වැරදි සහගත ලිංගික කටයුතු සඳහා යෙදවීමට පෙළඹවීමට දඬුවම මාස 6ක සිරදඬුවමක් හෝ රුපියල් 100ක දඩයක් වෙනවා.
පාදඩ ආඥා පනතේ 7-1 වගන්තිය යම් පුද්ගලයෙකු පොදු ස්ථානයක දී වැරදි ආකාරයට ලිංගිකව හැසිරීම හෝ ඒ සඳහා පෙළඹවීමක් කෙරුවහොත් හෝ යම් පුද්ගලයෙක් පොදු ස්ථානයක අශෝභන ලෙස හැසිරීමට වැරදිකරු වුවහොත්, මාස 6කට නොවැඩි සිරදඬුවමක් හෝ රුපියල් 100ක දඩමුදලක් පැනවිය හැකියි. එමෙන්ම ආඥා පනතේ 3-1 (ආ) වගන්තිය අනුව යම් ගණිකාවක් පොදු පාරක හෝ ස්ථානයක අශෝභන ලෙස හැසිරීම වරදක් ලෙස දක්වා තිබෙනවා. එයට වරදකරු වුවහොත් පළමු වරට දින 14ක සිරදඬුවම හෝ රුපියල් 10කට නොවැඩි දඩයක් පැනවිය හැකියි. ඇය විසින්ම දෙවැනි වරටත් එම වරදට වරදකරු වන්නේ නම් මාස 1කට නොවැඩි සිරදඬුවමක් හා මුදලින් රුපියල් 20ක දඩයක් පැනවෙනවා. තුන්වැනි හා ඊට පසු වරදකරු වන සෑම අවස්ථාවකම මාස 4කට නොවැඩි සිරදඬුවමක් හා රුපියල් 20කට නොවැඩි දඩයක් පැනවෙනවා.
අයාලේ යාම වරදක්
ප්‍රසිද්ධ වීදි, මහාමාර්ගවල ගණිකාවන් අයාලේ යනවා නම්, එහෙමත් නැත්නම් පොදු නවාතැනක අයාලේ යනවා නම්, නැතහොත් යම්කිසි ආකාරයකට විනය විරෝධී ලෙස හැසිරෙනවා නම් ඒක වරදක් බවට පත් කර තිබෙනවා. ගණිකා වෘත්තිය තහනම් කරලා තියෙනවා වීදිවල සහ මහා මාර්ගයේ. වීදි ගණිකාවන් තායිලන්තය වැනි රටවල නීතිගත කරලා තියෙන්නේ. සංචාරක කලාපයන්හි හැමතැනම පාහේ වීදි ගණිකාවන් සිටිනවා. ගණිකාවන් වෙත ගනුදෙනුකරුවන් අද්දවා ගැනීමට විවිධ ප්‍රචාරණ උපක්‍රමත් යොදා ගන්නවා. නමුත් අපේ රටේ ඒක මේ පනත යටතේ තහනම් කරලා තියෙනවා. වීදියක අයාලේ යමින් කාන්තාවකට ඉන්න බැහැ. ගණිකා වෘත්තියේ යෙදිම, සාමය කඩවන ලෙස හැසිරිම සඳහා පනවන දඬුවම තමයි රුපියල් 10ක් නොඉක්මවන දඩය හෝ දින 14ක් නොඉක්මවන බන්ධනාගාර ගතකිරිම.
ඒ වගේම පොදු ස්ථානයක සිටින යම් පුද්ගලයෙකුට කරදරයක් වෙන ආකාරයට යම් දෙයක් කවුරුන් හෝ කියනවා නම්, එසේ නැතහොත් අපහාස වන අයුරින් සංඥාවක් කරනවා නම් එයත් වරදක්.
හොර සම්මාදම්වලට දඩය රු. 20යි
පනතේ හතරවන වගන්තියෙන් චංචාකාරී ලෙස මුදල් සම්මාදම් කිරීමත් වරදක් බවට පත් කරලා තියෙනවා. යම්කිසි වකුගඩු රෝගියෙක් සඳහා හෝ හදවත් ශල්‍යකර්මවලට බව පවසමින් මිනිස්සුන්ගෙන් වංචාකාරි ලෙස සල්ලි එකතුකරන අය අද සමාජයේ බහුල යි. බොරුවට වෛද්‍ය වාර්තා ප්‍රදර්ශනය කරමින් මුදල් ඉල්ලීමත් දැකගත හැකියි. සමාජයේ එලෙස වංචනිකව පෙනී සිටිමින්, පුණ්‍යාධාර එකතු කිරිම වරදක් බවට පත්කරලා තියෙනවා. එවැනි වංචාකාරයින් මේ පනත යටතේ අත්අඩංගුවට ගත හැකියි. ඔවුන්ට ලැබෙන දඬුවම මාසයකට අඩු සිරදඬුවමක් විය යුතුව තිබෙනවා. දඩය රුපියල් 20 කට අඩු විය යුතු යි.
මුලින් සදහන් කළ ප්‍රසිද්ධ ස්ථානවල කිසිවෙකු හිතාමතා, විනයක් නොමැති ආකාරයට හැසිරෙනවා නම්, කණ්ඩායම් ගැසී විනිත නොවන ලෙසට හැසිරෙනවා නම් වැරදියි. කාමුක හැඟීම් දනවන ආකාරයේ අසභ්‍ය පින්තූර, අසභ්‍ය මුද්‍රිත ද්‍රව්‍ය ප්‍රසිද්ධ ස්ථානයක තියාගෙන ඉන්න බැහැ
මෙහි 7 වන වගන්තියේ සඳහන් වන්නේ පොදු ස්ථානයක දී යම්කිසි කාන්තාවකට හෝ වෙනයම් අයෙකුට හෝ නීතිවිරෝධි ලිංගික සංසර්ගයකට, නැත්නම් අවිනීත ක්‍රියාවකට ඇවටිලි කිරිම වරදක් වේ කියලයි. මෙවැනි සිදුවීම් නම් අපට ඕනෑතරම් අසන්නත් ලැබෙනවා. බස්වල දී තරුණියන්ට අතවර කිරීම ගැන, තරුණියන්ට ලිංගික කාර්යයන්වලට බලෙන් කතා කිරීම වගේ දේවල්. ඒවාට තරුණියන් කුඩ පාරවල්වලින් පිළිතුරු දෙන අවස්ථා ද දැකගත හැකියි.