අස්ගිරි – මල්වතු පාර්ශවයන්ට සීමා වූ වාහලනාග උපසම්පදාව

බුද්ධ, ධම්ම සහ සංඝ යන තෙරුවන් කෙරෙහි බෞද්ධ ජනතාව තුළ ඇත්තේ අසීමිත ගෞරවයක් සහ විශ්වාසයකි. ඒ අතරින් සංඝරත්නය යනුවෙන් හැඳින්වෙන්නේ භික්ෂූන් වහන්සේලා යි. මෙම භික්ෂූන් වහන්සේලාගේ පැවිදි ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවක් ලෙස උපසම්පදාව ලැබීම හැඳින්විය හැකි  ය. මෙරට දැකිය හැකි එක් උපසම්පදා විනය කර්මයක් ලෙස ‘වාහලනාග’ උපසම්පදාව හැඳින්විය හැකි ය. මෙම ලිපියෙන් අපි ඔබට කියන්නේ සියම් නිකායේ අස්ගිරි සහ මල්වතු පාර්ශව පමණක් සිදුකරන වාහලනාග උපසම්පදාව පිළිබඳව යි.

බුද්ධ කාලීන උපසම්පදාව හා ලාංකීය උපසම්පදාව

උපසම්පදාව යනු ගරු විනය කර්මයෙක් වන අතර එහිදී සිදුවන්නේ සාමණේරයන් වහන්සේ අධිශීලයට ඔසවා තැබීමකි. “උල්ලුම්පතු ම භන්තෙ සංඝො අනුකම්පා උපාදාය” යන උපසම්පදා යාචන (ඉල්ලීමේ) වාක්‍යයේ අර්ථය නම් “මා උදුරාවා, අකුශලයෙන් නැගිටුවා, උදුරවා කුශලයෙහි පිහිටුවාවා, සාමණේර භාවයෙන් උදුරුවා භික්‍ෂු භාවයෙහි පිහිටුවාවා” යනුවෙනි.

මෙයින් පැහැදිලි වන්නේ අධ්‍යාත්මික පාරිශුද්ධිය පසක් කරගනු පිණිස අවශ්‍ය වටපිටාව නිර්මාණය කොට ඒ සඳහා පිවිසීමට උසස් ශීලයෙහි, එනම් අධිශීලයෙහි පිහිටුවීම උපසම්පදාවෙන් සිදු කෙරෙන බව යි. කට වහරෙහි කෝටියක් සංවර ශීලයෙහි පිහිටුවීම යනුවෙන් හැඳින්වෙන්නේ ද මෙය ය. මෙම ශීලයෙහි පිහිටුවන්නේ ශික්‍ෂාපද කියවීමෙන් නොව කර්ම වාක්‍ය ප්‍රකාශනයකිනි.

වාහලනාග උපසම්පදාව සිදුවන අවස්ථාවක් – Facebook- Sri Dalanda Maligawa

වර්තමානයෙහි උපසම්පදා විනය කර්මය මෙසේ සිදුවුවද බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි යුගයේ පටන් ඉතිහාසය තුළ උපසම්පදා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක විය. භික්ෂු – භික්ෂුණී දෙපිරිස කෙරෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කළ උපසම්පදා වර්ග ලෙස ඒහි භික්ෂු උපසම්පදාව, සරණාගමන උපසම්පදාව, ඕවාද පටිග්ගහණ උපසම්පාදව, ව්‍යාකරණ උපසම්පදාව, අෂ්ටගරුධර්ම පටිග්ගහණ උපසම්පදාව, දූතේන උපසම්පදාව සහ අට්ඨවාචික උපසම්පදාව ආදිය හැඳින්විය හැකි ය. කෙසේ වෙතත් විනයානුකූල ව බලන කල වර්තමානයෙහි සිදුකළ හැක්කේ “ඤත්ති චතුත්‍ථකම්ම” නමින් හඳුන්වන උපසම්පදාව පමණෙකි.

භික්ෂු ශාසනයෙහි පැවැත්මට අතිශයින් වැදගත් වන මෙම විනය කර්ම මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට දායාද කර ඇත. මෙහි වටිනාකම දැන හැඳින ගත් රජවරුන් ඉතිහාසය පුරා උපසම්පදා විනය කර්ම උත්සවශ්‍රීයෙන් සංවිධානය කොට ඇත.

සියම් උපසම්පදාව පිහිටුවීම

දහසය වැනි සියවසින් පසු විදේශීය ආධිපත්‍යයට ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ සහ පසුකාලීන ව කන්ද උඩරට (මහනුවර) යටත් වීමත් සමඟ භික්ෂූන්ගේ විනය හා සබැඳි උපසම්පදාව ක්‍රම ක්‍රමයෙන් ගිලිහී ගිය අතර ප්‍රතිපත්තිමය වශයෙන් භික්ෂූන් ශාසනයෙන් ඈත් විය. ඒ හේතුව නිසා උපසම්පදාලාභී භික්ෂූන්ගෙන් හිස් වූ භූමියක් බවට ලංකාව පත් විය.

මෙම කාලයේ මෙරට වැඩ වාසය කළ වැලිවිට ශ්‍රී සරණංකර සාමණේර හිමියන්ගේ නායකත්වය හා අප්‍රතිහත ධෛර්යය පරිහානිය කරා ගමන් කරමින් තිබූ බුද්ධ ශාසනය යළි නගා සිටුවීමට මහත් පිටුවහලක් විය. මේ සඳහා පාලක අනුග්‍රහය ද අවශ්‍ය වූ බැවින් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ සහ විජය රාජසිංහ රජුගේ සහාය මේ සඳහා ලබා ගැනීමට උත්සහ කළ ද එය සාර්ථක නොවී ය.

මල්වතු මහා විහාරය – www.bigstockphoto.com

 කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස දූත පිරිසක් සියම් දේශයට යවා නැවත මෙරට උපසම්පදාව පිහිටුවීමට අවශ්‍ය සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් වැඩමවාගෙන ඒමට සරණංකර හිමියන්ට හැකි විය. ඒ අනුව උපාලි නම් ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා විසිපස් නමක් ත්‍රිකුණාමලයට 1753 ජුනි මස 14 වැනි දින ළඟා විය. ඉන් පසු මහනුවර බලා වැඩම කළ මෙම පිරිසට මල්වතු මහා විහාරයේ වැඩ විසීමට අවශ්‍ය පහසුකම් සැලසිණි.

ඒ අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු උපාලි ස්වාමීන් වහන්සේට වටාපතක් පිළිගන්වා විනය කර්ම ආරම්භ කරන ලෙස  1753 ජූලි 14 වැනි දින  ආරාධනා කළ අතර ඉන් අනතුරුව විසුංග්‍රාමසීමා ලකුණු කොට මහනුවර මල්වතු සීමාමාලකයේදී උපසම්පදා විනය කර්ම ආරම්භ විය. වැලිවිට සරණංකර මාහිමියන් ඇතුළු මෙරට භික්ෂූන් උපාලි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වෙතින් උපසම්පදාව ලැබ ආරම්භ වූ මෙම භික්ෂූ වංශය මහනුවර කේන්ද්‍ර කර ගනිමින් ශ්‍යාමෝපාලි වංශික (සියම්) මහානිකාය නමින් ව්‍යවහාරයට පත්විය.

ඉන් අනතුරුව වැලිවිට සරණංකර හිමියන් සංඝරාජ ධූරය ලැබ වැලිවිට අසරණසරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ ලෙස ගෞරවට පත් වූ අතර මල්වතු හා අස්ගිරි විහාර සියම් නිකායේ ප්‍රධාන පාර්ශ්ව බවට පත් විය.

වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ට කීර්ති ශ්‍රී රාජසිංහ රජු සන්නසක් පූජා කරන අයුරු දැක්වෙන සිතුවමක් – Facebook- Beyond the Yellow Press 

වාහලනාග නාමය සහ ඊට අදළ චාරිත්‍ර

මල්වතු-අස්ගිරි මහා විහාරය ශාසනයෙහි පැවැත්ම උදෙසා සංවිධානය කරන චාරිත්‍රවිධි අතර වාර්ෂික උපසම්පදා උත්සවය ප්‍රමුඛස්ථානයක් ගනියි. මෙහිදී දිවයින පුරා විසිරී සිටින ඒ ඒ විහාර නිකාය පාර්ශවයන්ට අයත් විසි වයස් සම්පූර්ණ කොට ඇති උපසම්පදාව අපේක්ෂා කරන සාමණේරයන් වහන්සේලා අස්ගිරි සහ මල්වතු මහනායක හිමිවරුන් වෙත එම වසරේ උපසම්පදා උළෙලේ දී උපසම්පදා වීමට කැමැත්ත ප්‍රකාශ කරමින් අයදුම් පත්‍ර යොමු කළ යුතු යි.

උපසම්පදාව සම්බන්ධ ව එම විහාරය පාර්ශවයන්හි ඇති චාරිත්‍ර විධි අනුව කටයුතු කිරීමෙන් පසුව උපසම්පදාව ලැබීම සඳහා දවස් නියම කරයි. මෙහිදී උපසම්පදාව ලබන සාමාන්‍ය සාමණේරයන් වහන්සේලා ‘නාග’ යන නාමයෙන් හඳුන්වයි. මෙහිදී විශේෂ වරප්‍රසාද සහිතව උපසම්පදා වීමට ද සාමණේරයන් වහන්සේලා කිහිප නමකට අවස්ථාව ලැ‌බෙන අතර ඒ සාමණේරයන් වහන්සේලා ‘වාහල නාග’ යන නමින් හඳුන්වයි.

වාහලනාග උපසම්පදාව ලබන සාමණේරයන් වහන්සේලා – Facebook- වැලිවිට සරණංකර හිමි

මෙම චාරිත්‍රයට වාහලනාග ලෙසින් නම් ලැබුණේ එය පෙර දවස රජවාසල මුල් කොට ගෙන සිදු කිරීම නිසා ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස සියම් උපසම්පදා උත්සව පැවැත්වෙන අවස්ථාවේදී රජවාසල සිට සාමණේරයන් වහන්සේලා උපෝසථඝරයට මහ පෙරහරින් වැඩවීම සිහිපත් වීම පිණිස මෙසේ වාහලනාග උපසම්පදාව පවත්වන බව කියැවේ.

වාහල යන්නෙන් රජ වාසලත් නාග යන්නෙනේ උපසම්පදා අපේක්ෂක සාමණේරයන් වහන්සේ යන්නත් අර්ථවත් වේ. මෙහිදී උන්වහන්සේලාගේ උපාධ්‍යායන් වහන්සේ “තිස්ස ථේර” ලෙස හඳුන්වයි. එකල රජවාසලේ දී සිදු වූ මෙම චාරිත්‍රය වර්තමානයේ දළදා මාලිගාව මූලික කරගෙන සිදු කරයි.

තායිලන්ත ආභාසය ලැබූ බවට සලකුණු

ඇතැම් විටක මේ චාරිත්‍රය උදෙසා තායිලන්ත ආභාසය ද ලැබූ බවට සිතීමට අපට ඉඩ ඇත්තේ වර්තමානයේ පවා තායිලන්තයේ පැවිදි පින්කම්වල දී පැවිදි අපේක්ෂකයා රාජලීලාවෙන් සරසවා තූර්ය නාද හා නැටුම් මධ්‍යයේ පෙරහරකින් විහාරස්ථාන කරා රැගෙන යන බැවිනි. තවත් මතයකට අනුව බුදුරජාණන් වහන්සේ ඇසළ පොහෝ දින සිදු කළ අභිනිෂ්ක්‍රමණය සිහි කැදවමින් මෙම චාරිත්‍රය ඉටු කරන බව පැවසෙයි.

දියවඩන නිලමේතුමන් ඔටුනු පැළඳවීම – Facebook- වැලිවිට සරණංකර හිමි

චාරිත්‍ර ඉටු කරන අයුරු

මල්වතු-අස්ගිරි උභය මහා විහාරය මගින් වසරකට වාහලනාගයන් වහන්සේලා දස නමක් නම් කරයි. ඒ මල්වතු විහාරයෙන් පහක් සහ අස්ගිරි විහාරයෙන් පහක් බැගිනි. වෙසක් පුන් පොහෝ දින, අව අටවක, අමාවක, පොසොන් පුර අටවක හා පොසොන් පුර පසළොස්වක යන දිනයන්හිදී මේ චාරිත්‍රය සිදු කරයි. එක් දිනකට එක් පාර්ශවයකින් එක් නම බැගින්, දෙනමක් වෙනුවෙන් මෙම චාරිත්‍රය ඉටු කරයි. ‌බොහෝ විට මේ සඳහා තෝරාගන්නා සාමණේරයන් වහන්සේලා ධර්ම විනයෙහි දක්ෂ වූ හිමිවරු වෙති. උඩරට ප්‍රදේශවලින් පරිබාහිර සඟ පරම්පරා වෙත ද මෙම අවස්ථාව ලැබුණු බව ඉතිහාසය පිරික්සීමේ දී පෙනී යයි.

කුමාර වෙස් ගෙන ශ්‍රී දළදා මාලිගාවට

ගිහි වෙස්, නැතහොත් කුමාර වෙස් ගෙන ශ්‍රී දළදා මාලිගාව වෙත වැඩම කරන සාමණේර හිමිවරු දෙදෙනා වැඩ හිඳින මාලිගාවේ රිදී දොරටුව අභියසට පැමිණෙති. ඒ අවස්ථාවේ දී උභය මහා විහාර වෙනුවෙන් සියම් රජු පූජා කර ඇති ඔටුනු විසිතුරු වස්ත්‍රයන්ගෙන් ආවරණය කොට ගෙන ඇවිත් ඒ ඒ විහාරය වෙනුවෙන් වැඩම කර සිටින සිටින භික්ෂූන් වහන්සේලා දෑත් මත තබා ගෙන සිටිති. 

ඉන් අනතුරුව පැමිණෙන දියවඩන නිලමේතුමන්, කාරියකරවන කෝරාළගේ උපකාරය ද සහිත ව ඔටුනු පළඳවයි. පසුව වෙස්නැටුම් කණ්ඩායම්  හේවිසි මණ්ඩපයේ දී නැටුම් සංදර්ශනයක් පවත්වා එම සාමණේර දෙනම මහ වාහල්කඩ වෙත කැඳවාගෙන යයි. උපසම්දාව සඳහා අවශ්‍ය අටපිරිකර සහිත සෙසු පිරිකර ද සාමණේරයන් වෙත දියවඩන නිලමේතුමන් පූජා කරන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු සිදු කළ උදාරතර ශාසනික මෙහෙවරට කෘතගුණ සිහිපත් කිරීමක් වශයෙන් බව කියැවේ.

ඇතු පිට යන වාහලනාගයන් වහන්සේ නමක් – Facebook- Sri Dalanda Maligawa

වාහලනාග පෙරහර

ඔටුනු පළඳා රජ වෙස් ගැන්වූ න ලද සාමණේරයන් වහන්සේ දෙනම මහවාහල්කඩ අසල දී ඇතුන් දෙදෙනකු පිට නැගීම සාමාන්‍ය චාරිත්‍රය වේ. දළදා මාලිගාවේ ඇත් පන්තියේ සිටින පෙනුමැති දළ ඇතුන් දෙදෙනකු බොහෝ විට මේ රාජකාරිය ඉටු කරයි. වර්තමානයේ මේ රාජකාරිය වැඩි වශයෙන් බුරුම රාජා හා මියන් රාජා ඇත්තු  ඉටු කරති. එසේ සාමණේරයන් දෙදෙනා වහන්සේ ප්‍රමුඛ කොට ගෙන නර්තන කණ්ඩායම් මහමලුව ඔස්සේ පෙරහරෙන් ගමන් කරති.

සාමණේර වහන්සේලා දෙනම පිටුපසින් ස්වකීය විහාරස්ථානවල දායකකාරකාදීන් හා ගිහි කල ඥාතිහිතමිත්‍රාදීන් ද ගමන් කරයි. මහමලුව අවසානයේ දී දෙපසට බෙදෙන මේ පෙරහරේ එක් කොටසක් මල්වතු මහා විහාරය බලා ද අනික් කොටස අස්ගිරි විහාරය බලා ද ගමන් කරයි.

මෙම චාරිත්‍රය පෙර දවස දළදා මාලිගාවේ සන්ධ්‍යා තේවා මුරයෙන් පසුව රාත්‍රී කාලයෙහි සිදුවූවක් වුව ද අසූව දශකයේ භීෂණ සමයෙන් පසුව එකී චාරිත්‍රය රාත්‍රිය එළැඹීමට ප්‍රථම සන්ධ්‍යා භාගයේ සිදු කරයි. පෙරහර විහාරයට පැමිණීමෙන් අනතුරු ව සුපුරුදු පරිදි උපසම්පදා චාරිත්‍ර ආරම්භ කරයි.

කවරයේ ඡායාරූපය- ඇතු පිට යන වාහලනාගයන් වහන්සේ නමක් - Facebook- Sri Dalada Maligawa

මූලාශ්‍ර:

සිරි දළදා උරුමය සහ මහනුවර ශ්‍රී දළදා මාලිගාව - කේ. මීගහකුඹුර

සත්සියවස් සපිරි අස්ගිරි මහා විහාරය - ගොඩගම මංගල හිමි

ලක්දිව පිහිටු වන ලද සියම් උපසම්පදාව - මහාචාර්ය හගුරන්කෙත ධීරානන්ද හිමි

ශ්‍රී ලංකාවේ වර්තමාන ‌බෞද්ධ භික්ෂූ නිකාය - ඌරුගමුවේ වංගීස හිමි

Related Articles

Exit mobile version