මීදුමෙන් වැසුණු සීතල හපුතලේ නගරයේ සිට කිලෝ මීටර් හතරක් වාහනය පදවාගෙන යන අයෙකුට ශාන්ත බෙනඩික්ට් නිකායට අයත් පූජකරුවන් විසින් පවත්වාගෙන යනු ලබන පැරණි පන්නයේ තාපසාරාමය මග නොහැරෙන බව නම් විශ්වාසයි. හරිත පැහැ කඳුවැටි අතර ශාන්ත ව වැජඹෙන මේ ඇඩිෂම් බංගලාව දුටුවන්ගේ නෙත් පැහැර ගන්නා සොඳුරු ස්ථානයක්. ඉතිහාසයේ සඳහන් වන ආකාරයට එය ගොඩ නංවා ඇත්තේ ශ්‍රීමත් තෝමස් ලිස්ටර් විලියර්ස් විසින්. 1869 දී ඔහු උපත ලබා තිබුණේ එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයට අයත් ඇඩිෂම් නම් සොඳුරු ගම්මානයක යි.
සිලෝන් දිවයින බලා
එංගලන්ත පල්ලියේ පූජකයෙකු ලෙස කටයුතු කළ තෝමස්ගේ පියා වන හෙන්රි මොන්ටේගු විලියර්ස් ප්‍රභූ පෙළපතකින් පැවත ආ අයෙකු වන අතර, ඔහුගේ මව වූ වික්ටෝරියා රසල් ආර්යාව දෙවරක් ම බ්‍රිතාන්‍යයේ අගමැති තනතුර හෙබ වූ ජෝන් රසල්ගේ දියණිය යි. එංගලන්තයේ පොදු පාසලකින් අධ්‍යාපනය හැදෑරූ ඔහු පවුලේ අනෙක් අය මෙන් ව්‍යාපාරික හෝ දේශපාලන වෘත්තියන් හි නිරත නොවී එවකට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූ ලංකාව (එකල සිලෝන් දිවයින) බලා පැමිණ තිබුණේ වගාකරුවෙකු ලෙස කටයුතු කිරීමේ අරමුණෙන්.
බොගවන්තලාවේ එල්බැද්ද වතුයායේ පුහුණු වගාකරුවෙකුට ලෙස වෘත්තීය දිවිය ඇරඹීමට මේ ශ්‍රීමත් තෝමස් ලිස්ටර් විලියර්ස්ට හැකි වුණා. 1896 දී තේ වැවිලිකරුවෙකුගේ දියණිය වූ එවලින් හෝප් වෝකර් හා විවාහ දිවියට ඇතුළත් වූ ඔහු බ්‍රසීලය බලා සංචාරය කළ අතර, සිව් වසරකට පසු ව නැවතත් ලක්දිවට ගොඩ බට ඔහුට දික්ඔය සමූහයේ ඔහුගේ ම තේ වත්තක් ආරම්භ කිරීමට හැකියාව ලැබුණා.
1905 දී කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් වෙළඳාමේ යෙදුණු ජෝර්ජ් ස්ටුවර්ට් සමූහය සමග එක් වූ තෝමස් 1928 දී එහි සභාපති ධූරයට පත් වූ අතර 1949 දී ඔහු විශ්‍රාම යන තෙක් ම එම ධූරයේ කටයුතු කර තිබෙනවා. එසේ ම 1924 – 1931 අතර කාලයේ දී ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් යුරෝපීය සාමාජිකයා ලෙස කටයුතු කර ඇත්තේ ද ඔහු යි.
එංගලන්තයට සමාන ප්‍රදේශයක බංගලාවක්
කඳුකර පෙදෙසක එංගලන්ත ගෘහ නිර්මාණ ශිල්පය අනුව නිවෙසක් තැනීමේ අදහස තෝමස් විලියර්ස්ගේ හිතට නැගී ඇත්තේ ජෝර්ජ් ස්ටුවර්ට් සමූහයේ සභාපති ලෙස කටයුතු කළ සමයේ යි. ඒ සඳහා ඔහු මෙරට උස් ම කඳු මුදුන් අතර දර්ශනීය වනාන්තරයක් මධ්‍යයේ පිහිටි හපුතලේ තෝරා ගත්තා. කෙන්ට් ප්‍රාන්තයේ ලීඩ්ස් මාළිගයට යම් තරමක් සමාන වන ඇඩිෂම් බංගලාව එංගලන්තයේ තියඩෝර් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය කර ඇති අතර එය ශක්තිමත් කළුගල් බිත්ති, උසින් වැඩි එහෙත් පටු කවුළු පියන්පත් සහ ඉංග්‍රීසි පන්නයේ දුම් කවුළුවලින් සමන්විත යි.
ආර්. බූත් සහ එෆ්. වෙබ්ස්ටර් නම් බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ මග පෙන්වීම යටතේ 1929 වර්ෂයේ දී ගොඩ නැගීම ඇරඹුණු ඇඩිෂම් බංගලාවේ වැඩ කටයුතු දෙවසරකට පසු ව නිම වන විට එය සෑම අතින් ම ඉංග්‍රීසි නිවසකට සමාන වුණා. එහි පෙදරේරු කටයුතු සිදු කිරීම දකුණු ඉන්දියාවෙන් ගෙන්වන ලද විශේෂ පුහුණවක් ලද පෙදරේරුවන්ට භාර වී තිබුණු අතර ඇඩිෂම් බංගලාවේ වහළ සඳහා යොදගෙන ඇත්තේ බුරුමයෙන් ගෙන්වන ලද තේක්ක දැවයෙන් සැකසූ පැතලි උළු කැට යි. නිවසේ සෑම දොරක් ම, කවුළුවක් ම, පියගැට පෙළක් ම මෙන් ම පොළව ද බුරුම තේක්ක යොදා ගනිමින් නිමවා තිබෙනවා. ඒ සමයේ දී සුඛෝපභෝගී බවේ සංකේතයක් වූ ඇඩිෂම් බංගලාවේ පැවති ගෘහ භාණ්ඩ, රිදීමය පිඟන් භාණ්ඩ සහ බුමුතුරුණු සියල්ල ම ආනයනය කර ඇත්තේ එංගලන්තයෙන්.
අක්කර දහයක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති ඇඩිෂම් වතුයාය ද බංගලාව මෙන් ම සුන්දරත්වයෙන් පිරිපුන් තැනක්. මනා ව නඩත්තු කරන ලද ගෙවත්තේ මලින් බර වූ මල් පාත්ති බොහෝමයක් දක්නට ලැබෙන අතර ඒ අතරින් කාගෙත් සිත් දිනාගෙන ඇත්තේ එංගලන්තයෙන් ගෙන්වන ලද රෝස පැළ යි. එසේ ම කවුළු පියන් සහ දොර පියැසි වටා ඇල්බටීන් රෝස මල් සහ හනීසකල් මල් දක්නට ලැබෙනවා. හපුතලේ පැවති සෞම්‍ය කාලගුණය හේතුවෙන් එංගලන්තයෙන් ගෙන් වන ලද ස්ට්‍රෝබෙරි සහ ඇපල් ද ඇඩිෂම් වතු යායේ සරු ව වැඩුණු බව පැවසෙනවා.
ප්‍රභූන්ට රස වැටුණු නිවාඩු නිකේතනය
සුන්දරත්වයේ ප්‍රතිමූර්තියක් වූ ඇඩිෂම් බංගලාව යටත් විජිත ශ්‍රී ලංකාවේ ප්‍රභූන් නිතර ආ ගිය ස්ථානයක්. එහි පැවැත් වූ බොහෝ සාදයන් සඳහා ආණ්ඩුකාරවරයා ඇතුළු වංශතුන් සහභාගී වූ බව සඳහන් වෙනවා. ඇඩිෂම් බංගලාවේ ස්වාමි දියණිය වූ විලියර්ස් ආර්යාව ආගන්තුක සත්කාරය සඳහා ඉතා ළැදි, කාරුණික කාන්තාවක් වූ අතර අැය සිතුවම් ඇඳීම කෙරෙහි ද නොමද ආශාවක් දක්වා තිබෙනවා. ඇය විසින් අඳින කරන ලද තෙල් සිතුවම් සහ දිය සායම් සිතුවම් බොහෝමයක් අදටත් ඇඩිෂම් බංගලාවේ බිත්ති අලංකාර කරනවා.
ශ්‍රීමත් තෝමස් ලිස්ටර් විලියර්ස්ට පුතුන් දෙදෙනෙකු සිටිය ද ඔවුන් දෙදෙනා ම ඔහුට පෙර මිය ගියා. මේ හේතුවෙන් 1949 දී ඔහු ජෝර්ජ් ස්ටුවර්ට් සමූහයේ සභාපති ධූරයෙන් විශ්‍රාම ගෙන යළිත් එංගලන්තය බලා නැව් නැගීමට පෙර ඇඩිෂම් බංගලාව එහි ගෘහ භාණ්ඩ ද සමග ම සේදවත්ත කම්හලට අලෙවි කර තිබෙනවා. එයින් දස වසරකට පසු ව 1959 දෙසැම්බර් 21 වැනි දින ඔහු මිය ගියේ එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ දී ම යි. පසු ව 1961 වර්ෂයේ දී රෝමානු කතෝලික පල්ලිය ඇඩිෂම් බංගලාව සහ වතු යාය මිලට ගත් අතර තාපසාරාමයක් බවට පත් කරන ලද එහි පරිපාලන කටයුතු සිදු වුණේ ශාන්ත සිල්වෙස්ටර් නිකායට අයත් පූජකවරුන් අතින්.
ඇඩිෂම් බංගලාව තාපසාරාමයක් බවට පරිවර්තනය කෙරුණ ද එහි පැවති සුන්දරත්වය ඒ ලෙසින් ම රැක ගැනීමට පූජකවරුන් කටයුතු යොදා තිබෙනවා. වර්තමානයේ දී ඇඩිෂම් බංගලාව ක්‍රියාත්මක වන්නේ ශාන්ත බෙනඩික්ට් නිකායට අයත් පූජකවරුන්ගේ තාපසාරාමයක් ලෙස යි.
නිවාඩුවකට කියාපු තැනක්
කෙසේ නමුත් එය සංචාරකයන් සඳහා ද විවෘත ව පවතිනවා. ඇඩිෂම් වතු යායේ වැවෙන පලතුරුවලින් සකසන ලද ස්ට්‍රෝබෙරි ජෑම්, දොඩම් මාමලේඩ්, පේරවලින් සැකසූ ජෙලි සහ නැවුම් පලතුරු කෝඩියල් මිල දී ගැනීමේ හැකියාව ද එහි යන කාටත් පවතිනවා.
එසේ ම අවශ්‍ය අයෙකුට ඇඩිෂම් බංගලාවේ නවාතැන් ගැනීමට ද හැකි යි. සුඛෝපභෝගී හෝටලයක් මෙන් නොමැති වුවත් එසේ නවාතැන් ගන්නෙකුට උණු වතුර පහසුකම්, පොරෝනා, ඇඳ ඇතිරිලි සහ තුවා සැපයීම සිදු කරන අතර ආහාර සමග නවාතැන් පහසුකම් සැපයීමට එක් පුද්ගලයෙකුගෙන් දිනකට රු. 3,000/- ක මුදලක් අය කරනු ලබනවා. ළමුන්ගෙන් අය කරන්නේ රු. 1,500/- ක් පමණ යි.
ඇඩිෂම් බංගලාවේ නවාතැන් ගැනීමට කැමති නම් අවම වශයෙන් සති තුනකට පෙර ඉඩ වෙන් කරවා ගත යුතු වෙනවා. ඇඩිෂම් බංගලාව සාමාන්‍ය නවාතැන්පොළක් නොවන නිසා එහි එක් වරකට නවාතැන් ගත හැක්කේ 12 දෙනෙකුට පමණ යි. එසේ ම ඇඩිෂම් බංගලාවේ පොදු ස්ථානයන් හි, ආලිනදයේ හෝ භෝජනාගාරයේ මත්පැන් පානය හෝ දුම් පානය සිදු කළ නොහැකි යි.
පාසල් නිවාඩු කාලයේ සතියේ දිනවල ද ඇඩිෂම් බංගලාව මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වුවත් අනෙකුත් කාලයන් හි එය නැරඹිය හැක්කේ සති අන්තයේ සහ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල උදෑසන 9 සිට සවස 4.30 දක්වා පමණ යි. නමුත් නත්තල් දින සහ මහ සිකුරාදා දින එය වසා තැබෙනවා.
ඔබත් වරක් හෝ එහි ගොස් මේ අත්දැකීම විඳගන්නේ නම් එය අපූරු මතක සටහනක් වේවි.
කවරයේ පින්තූරය : (© Dhammika Heenpella)