කසී සලු කියාල ජාතියක් අපි අහල තිබෙනවා. කාශ්මීරය අදටත් සේද රෙදි වලට ප්‍රසිද්ධයි. කසී රට කියලා එදවස හඳුන්වා තිබෙන්නේ කාශ්මීරයයි කියලා මතයක් තිබෙනවා. බුදුන් වැඩ විසූ රාජගහනුවර පාඨලීපුත්‍රය වාරණාසී ප්‍රදේශ වලින් පසුකාලීනව බුදු දහම උතුරු ඉන්දියාවේ කාශ්මීර කොටස් කරා පැතිරෙනවා. රාජගහ නුවර, වෛශාලිය පාඨලීපුත්‍ර කියන නගර වල පිලිවෙලින් පළමු දෙවන තුන්වන ධර්ම සංගායනවන් පැවැත්වෙනවා. සාර්වස්ථිවාදය අනුව සතර වන ධර්ම සංඝායනව පැවැත්වෙන්නේ කණ්ෂ්ක රජතුමාගේ අනුග්‍රහයෙන් කාශ්මීරයේ ජලන්ධාර් නිම්නයේ. ඒ ක්‍රිස්තු වර්ශ 77 දී හෝ ඒ ආසන්නයේදී.. (නමුත් ලාංකිකයින් විශ්වාස කරන ථෙරවාද මතය අනුව සතරවන ධර්ම සංගායනාවක් අනුරාධපුර මහා විහාරයේදී පැවැත්වෙනවා ක්‍රිස්තු පූර්ව 77 හෝ ආසන්නයේදී )
පසුකාලීනව විවිධ ආකාරයේ ආක්‍රමණ ඉන්දියාවට පැමිණි එක්තරා සීමාවක් තමයි මේ කාශ්මීර ප්‍රදේශය. අවසානයේ ඉන්දියානු උපමහද්වීපය ඉංග්‍රීසින්ට යටත් වන්නට පෙරාතුව මෙම කාශ්මීර සීමාවේ වැඩිකොටසක් මුස්ලිම් වරුන් ජීවත් වුනා.
දැනට ජම්මු කාශ්මීර ප්‍රාන්ථය වර්ග කිලෝමීටර 222,236ක විශාලත්වයකින් යුක්ත මිලියන 12.6ක ජනතාවක් වෙසෙන ප්‍රදේශයක්. ලංකාව වගේ තුන්ගුණයක් විශාල වුවත් ජනගහනය ලංකාවෙන් බාගයක් විතර. මෙයට එක් හේතුවක් තමයි ශීතල කාන්තාර ලෙස සලකන හිමාලයේ බටහිර බෑවුමේ ලදාක් ප්‍රදේය කාශ්මීරයට අයිති වීම. වියලි කදුකර පලාතක් වන ලදාක් ප්‍රමාණයෙන් වර්ග කිලෝමීර 87,000ක් විශාල වුවත් ජනගහනය 270,000 තරම් සුළු ප්‍රමාණයක් තමයි වාසය කරන්නේ. ජම්මු කාශ්මීර ප්‍රාන්ථයට ජම්මු, ශ්‍රී නගර් සහ ලදාක් යන දිස්ත්‍රික් ප්‍රදේශ අයත් වන අතර පිළිවෙලින් හින්දු මුස්ලිම් සහ බෞද්ධ බහුතරයක් ඒ දිස්ත්‍රික්ක තුනේ ජීවත් වෙනවා. මෙයින් වඩාත්ම ගැටුම් ඇතිවන්නේ මුස්ලිම් බහුතරයක් වාසය කරන කාශ්මීරයේ ගිම්හාන අගනුවර වන ශ්‍රීනගර් වල.
කාශ්මීර දේශ සීමා
ඉන්දියාවට අයත් කොටසක් ලෙස පවතින කාශ්මීරය චීනය පාකිස්ථානය සහ ඉන්දීය මායිමේ පිහිටා ඇති කදුකරරයකින් සමන්විත දර්ශනීය පලාතක්. මුස්ලිම් කාශ්මීරය නිතර දැල්වෙන ගැටුම් සහිත කලාපයක් 2016 ජූලි මස 8 වැනිදා හිස්බුල් මුජහිදින් නායක 21 හැවිරිදි බුර්හාන් මුසාෆර් වානි නැමැති කාශ්මීර බෙදුම්වාදී නායකයා ය ඉන්දීය හමුදාව අතින් ඝාතනයට ලක් වුනා. ඉන් අනතුරුව නොසන්සුන්බවට පත් ශ්‍රී නගර් සහ අනෙකුත් කාශ්මීර නගර වල ජනයා කලබලකාරී ලෙස සිය විරෝධතාවය ඉන්දී්‍ය හමුදාවන්ට පලකලා. ඒ ඇතිවූ ගැටුම් වලින් මේ වන විට 70කට වඩා මිය ගිහින් සිය ගනනක් තුවාල ලබා රෝහල්ගත වෙලා තිබෙනවා.
කාශ්මීර ජනයාට දුරකථන ඇමතුම්, අන්තර්ජාල පහසුකම්, පුවත්පත් ආදි කිසිදු මාධ්‍යයක් භාවිත කිරීම ඉන්දීය රජය විසින් අවහිර කරලා තියෙනවා. ඉන්දීය සංචාරකයින් නිතර ඇදෙන කාශ්මීරය මේ කලබල කාරී වාතාවරණය නිසා සංචාරකයින්ගෙන් තොර පාලු පලාතක් බවට පත්වෙලා.. කාශ්මීර බහුතර ජනතාවට ඇත්තේ වෙනමම රටක සිහිනයක්. නමුත් ඉන්දියාව චෝදනා කරන්නේ කාශ්මීරයේ සියළු ගැටුම් පිටුපස පකිස්ථානය සිටින බවක්.
ලොකුම බෙදුමින් ඉතිරි වූ කාශ්මීරය
එවකට බ්‍රිතාන්‍ය හින්දුස්ථාන රජයට භූගෝලීය සාධක අනුවත් (ජල මූලාශ්‍ර වගාබිම්) ජන අනුපාතය අනුවත් මුස්ලිම් පාකිස්ථානය සහ සික් සහ හින්දු ඉන්දියානු කොටස ලෙස වෙන්කිරීමට ලැබී තිබූ කාලය මාස කිහිපයක්. දෙවන ලෝක යුද්ධය හමාර වීමත් සමඟම 1945 දී වින්ස්ටන් චර්චිල් බ්‍රිතාන්‍ය මැතිවරණය පරාජය වී එවකට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය බලය ලබාගත්තා. කම්කරු පක්ෂය යටත් විජිත වලට නිදහස ලබාදීමට සැදී පැහැදී සිටිය පක්ෂයක්. ඔවුන් ඉතාම ඉක්මනින් සිය යටත්විජිත වලට නිදහස ලබාදෙන්නට තීරණය කලා.
දෙවන ලෝක සංග්‍රාමයේ නිළධාරියෙක් වූ මවුන්බැටන් ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ප්‍රතිරාජයා ලෙස පත් කරනු ලබන්නේ 1947 පෙබරවාරි 20 වැනිදා.. 1947 අගෝස්තු 14 වැනි දින පාකිස්ථානයට ගොස් මොහමඩ් අලි ජින්නාට නිදහස ලබාදෙන මවුන්ට්බැටන් ප්‍රතිරාජයා ඉන් පැය ගනනාවකට පසු අගෝස්තු 15 වැනිදා ජවහල්ලාල් නේරුගේ ඉන්දියාවට නිදහස ලබාදෙනවා. නමුත් දෙරට අතර මායිම් ඇතුලත් සිතියම ආණ්ඩුකාරයා විසින් ප්‍රකාශයට පත් කරන්නේ අගෝස්තු 17 වැනිදා. මේ අනුව මේ සමස්ථ පාකිස්ථාන බෙදීම සහ නිදහස ලබාදීම මාස 6ක් පමණ ඉතාම කෙටිකාලයකින් සිදුවූ කාරණාවක් බව පෙනීයනවා.
මේ සියලු සිදුවීම් අවසානයේ පාකිස්තානය ඉන්දියාව බෙදා වෙන්කලත් බලුකිස්ථානය සහ කාශ්මීරය බෙදා වෙන්කරන්න එකගතාවයන් ඇතිකරගන්න එදා අපොහොසත් වුනා. එදා සිට මේ අද දක්වා..ම ඉංග්‍රීසින් විසින් නොබෙදා ඉතිරි කල කාශ්මීරයත් බලුකිස්තානයත් විටින් විට ඇවිලෙමින් පවතින ගැටුම් වලට මැදිවී තිබෙනවා.
කාශ්මීරය නොබෙදී තිබෙන්න හේතු ගනනාවක් තිබෙනවා. නිදහස ලබාගන්නා අවධියේ කාශ්මීරය පාලනය කලේ හරී සිං නැමැති හිංදු මහාරාජාවරයෙක් නමුත් ඔහු පාලනය කලේ මුස්ලිම් බහුතරයක්. ඔහු කාශ්මීරය වෙනමම රාජ්‍යයක් ලෙස පැවතිය යුතුය යන අදහස ඇතිව සිටියා. නමුත් 1947 දී ඇවිලුනු ඉන්දු පාකිස්ථාන කාශ්මීර යුද්ධයේදී ඔහු ඉන්දීය හමුදාවේ සහයෝගය ලබාගත්තා. නිදහස් ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහල්ලාල් නේරු තුමා කාශ්මීර සම්භවයක් ඇති අයෙක්. කාශ්මීරය හිමාලයේ බටහිර පැත්තට අයිති දර්ශණීය කඳු පන්ති වලින් සහ විල් වලින්සැදි දර්ශනීය පලාතක්.කාශ්මීරයේ ප්‍රධානතම කොටස් වුන ජම්මු කොටස හින්දු බහුතරයකුත් ශ්‍රී නගර් කොටස මුස්ලිම් බහුතරයකුත් සාපේක්ෂව සුළු ජනගහනයක් වස කෙළවරේ ලදාක් කොටස බෞද්ධ බහුතරයකුත් වාසය කරනවා.
ජල යුද්ධය
මේ පිංතූරය මගින් පේනවා ඇති පාකිස්ථානය හරහා ගොස් අරාබි මුහුදට වැටෙන ඉන්දුස් ගංගාවේ ආරම්භයේ පවතින චෙනබ් ජේලුම්,සුට්ලෙජ්,ඉන්ඩොස් කියන ප්‍රධානතම ජල මූලාශ්‍ර සියල්ලම ආරම්භ වන්නේ ඉන්දීය කාශ්මීරයෙන්. පාකිස්ථානයේ කෘෂි කර්මාන්තයටත් ජන ජීවිතයටත් අවශ්‍ය ජලය ලබාගන්නා එක්තරා ප්‍රභවයක් තමයි මේ ඉන්දුස් නදිය. ඉහල කොටසේදී නදිය මත සුවිසල් වේලි ඉදිකොට ජල විදුලියටත් වාරි ජලය ලෙස කෘෂිකර්මාන්තයටත් මේ ජලය ඉන්දීය පාර්ශවය විසින් භාවිත කරනවා. ජනගහනය වැඩිවීමත් එක්ක දෙපාර්ශවයටම මේ ගංගා ජලය බොහෝ වැදගත් කමක් ගත් මූලාශ්‍රයක් බවට පත්වෙලා තියෙනවා.
අමරනාත් යාත්‍රා
කාශ්මීර ගිම්හාන අගනුවර වන ශ්‍රී නගර් හි සිට කිලෝමීටර 141ක් පමණ කඳුකර දෙසට වන්නට අමරනාත් හින්දු දෙවොල පිහිටා තිබෙනවා. සෑම වර්ශයකම ජූලි අගෝස්තු මාස වල කිලෝමීටර සිය ගනන් වූ අමරණාත් යාත්‍රා නම් වූ දීර්ඝ පාගමනට හින්දු බැතිමතුන් වසරකට ලක්ෂ 5කට වඩා සහභාගී වනවා. ශීතල හිම කුට්ටි, දුර්ග කඳුකර මාර්ග පසුකරමින් බැතිමතුන් අමරනාත් ගුහාවට ඇදෙන්නේ ඔවුන්ගේ දෙවියන් වැඳපුදා ගැන්මේ මූලික චේතනාවෙන්. හින්දු ආගමේ මූලික සිද්ධස්ථානයක් ලෙස සැලකෙන අමරනාත් දෙවොල සහ කාශ්මීරය මූලිකකොට වාසය කළ කාශ්මීර පණ්ඩිත් ලෙස හදුන්වන පූජක ප්‍රජාව නිසා හින්දු බැතිමතුන් කාශ්මීරය ඔවුන්ගේ පුදබිමක් ලෙසද සලකනවා.
කාශ්මීර චාරිකා අත්දැකීම්
පසුගිය වසෙර් අගෝස්තුවේදී මා හට කාශ්මීරයට දින කිහිපයක සංචාරයක යෙදෙන්නට අවස්ථාවක් ලැබුනා. එවිට අපට හමු වූ කාශ්මීර වාසින් සමග කතා කරන්නට අවස්ථාව ලැබුනා. බොහෝ දෙනාගේ අපේක්ෂාව පාකිස්ථානයේ හෝ ඉන්දියාවේ අතපෙවීම් නැති නිදහස් කාශ්මීරයක්. වෙනමම පළාතක් ලෙස සැලකුවොත් කාශ්මීරය මුහුදක් නැති අභ්‍යන්තර භූමියක්. තිබෙන එකම ප්‍රධාන මාර්ග දෙකම වැටී ඇත්තේ ඉන්දියාව හරහා. ඒ මාර්ග වුවද කඳුකර මාර්ග. ඉන්දියාව මගින් කාශ්මීර දුම්රිය මාර්ගය ඉදිකරන්නට ඇත්තේ භාන්ඩ ප්‍රවාහනයේදී ඇතිවන අමතර පිරිවැය අඩුකරන අදහසින්.නමුත් අසාර්ථක ව්‍යාපෘති කළමණාකරණය නිසා කාශ්මීරයට කෝච්චි පාරක් හදාගන්න ඉන්දියාව අසමත් වුනා.
අභ්‍යන්තර රටකට වරායක් සහිත වෙරළාසන්න රටකට වඩා සංවර්ධනයේදී අපහසුතා තිබෙනවා. ලෝකමට්ටමින් ගත්තත් අති බහුතරයක් අභ්‍යන්තර රටවල් මුහුදක් වරායක් සහිත රටවලට වඩා ආර්ථික අතින් පසුගාමීයි. ටිබෙටය මෙවන් අභ්‍යන්තර රටක්. ඒ වගේම කඳුකර පළාතක් නිසා ටිබෙටයට පිවිසීමත් අපහසුයි. චීනය විසින් ටිබෙට් වෙත නව දුම්රිය මාර්ගය ඉදිකිරීමත් සමග කිලෝමීටර සීයක් සඳහා ප්‍රවාහන වියදම යුආන් 38 සිට 12 දක්වා සියයට 60කටත් වඩා අඩු වෙනවා. අභ්‍යන්තර රටක ආර්ථික වර්ධනයට පහසුවෙන් පිවිසීමට පහසු මාර්ග පැවතීම ලොකු පිටුවහලක් වෙනවා.
අනෙක් අතට ජල මූලාශ්‍ර සහ පැතිරුනු මුස්ලිම් අන්තවාදය නිසා කාශ්මීරය ඉන්දියාවෙන් නිදහස් වූවත් පාකිස්ථානයෙන් ගැලවීමක් ලැබේ යැයි සිතන්නට බැහැ.
ත්‍රස්තවාදය උඩගෙඩි දෙන සාධක
ඉන්දියාවේ රැකියා විරහිත භාවය 3.6%ක් වෙද්දී කාශ්මීරයේ එය 17.6%ක් තරම් ඉහල අගයක්. අප සමග කතාකරන්නට යෙදුන කාශ්මීර හිතවතුන් පැවසුවේ සිය තරුණ ප්‍රජාවට රැකියාවන් , ආදායම් මාර්ග නොමැතිවීම විශාල ප්‍රශ්ණයක් විදියට. මේ විදියට විරැකියාව වැඩි වෙද්දි තරුණ අසහනය උත්සන්න වෙනවා. එවිට පහසුවෙන්ම සටන්කාමීන්ට කාශ්මීර තරුණ ප්‍රජාව අවනත කරගන්නට හැකියාවක් ලැබෙනවා.
අප කාශ්මීරයට ගිය කාලයේ පවා ඉන්දීය හමුදා භටයින් බොහෝ ස්ථානවල මුරට සිටියා. කාශ්මීරයන්ට පසුගිය වසරේදී පවා අන්තර්ජාල පහසුකම් ලබාගැනීම දුරකථන ලබාගැනීම ආදියට දැඩි සීමා පැනවී තිබුනා. ඔවුන්ගේ පලාතේ පිහිටීම අනුවම ඔවුන් සාමාන්‍ය ලෝකයෙන් ඈත් වෙලා..මිලිටරි බලය විසින් සහ දේශපාලන බලයෙන් ඔවුන් තවදුරටත් පීඩනයට ලක් කරන විට එහි ප්‍රථිපලයක් තමයි ජනයා සුළු සිදුවීමකදි පවා හමුදාවට එරෙහිව තමුන්ට හැකි පමණ ගල් මුල් හෝ අතට ගැනීම.
ලංකාව සහ කාශ්මීරය
ඉන්දීය ජනයා ඇතැම් විට ලංකාව සිතියමකින් වත් හරිහැටි දැකගන්නට නැතුව ඇති. නමුත් ඔවුන් අපගේ ක්‍රිකට් ක්‍රීඩකයින් හොඳින්ම අඳුනනවා. බොහෝ කාශ්මීර පුද්ගලයින් ශ්‍රී ලංකාවට කැමතියි.ඇතැම් අය පැවසූ පරිදි ඉන්දීය ලංකා ක්‍රිකට් තරඟ වලදී කාශ්මීරයන් සහාය දක්වන්නේ ලංකාවට. ඔවුන් අපෙන් ඇසුවේ ඉන්දියාවට ලංව නමුත් වෙනම රටක් ලෙස ලංකාවට පැවතිය හැකිනම් ඔවුන්ට එසේ නොහැකි වන්නේ ඇයිදැයි යන ප්‍රශ්ණයයි. ප්‍රශ්ණය තර්කානුකූළව ඔවුන්ගේ මනස් මට්ටමට අනුව සාධාරනයි. නමුත් ලංකාව කියන්නේ ඉතිහාසයේ පටන්ම ඉන්දියාවට ආසන්නව තිබුනත් වෙනමම රටක්.
කලාපයේ සාමය
කාශ්මීරය සැබැවින්ම දර්ශනීය පලාතක්..ජලය සහිත මනරම් කඳුකර වටපිටාව දැකීමම සිතට සහනයක්. ජනගහනය වැඩිවීමත් සමඟ මුළුමහත් දකුණු ආසියාවටම ඉදිරියේදී ස්වාභාවික භූමිය සහ ජලය සම්බන්ධ ගැටළු වලට මුහුනදෙන්නට සිදු වෙනවා. මෙයින් රටවල් දෙකක ජල මූලාශ්‍රයක පිහිටි කාශ්මීරයට තවත් තත්වය උත්සන්න වෙනවා. කෙසේ නමුත් ඉන්දියාව සහ පාකිස්ථානය අවස්ථා කීපයකදීම මේ කාශ්මීරය වෙනුවෙන් සටන් වැදී තිබෙනවා. තවමත් තත්වය සුවපත් වී නැහැ.. කලාපයක් ලෙස දකුණු ආසියාවේ සාමයට නිරන්තරයෙන් හරස් වෙන කාශ්මීර ගැටළුව කලාපීය දේශ සීමා ලිහිල් කරගැන්මේ එකඟතාවයන් බොහෝවිට හරස් වන ගැටළුවක්..
මුස්ලිම් වුවත් කාශ්මීර ජනතාව මිත්‍රශීලි ජනතාවක්. අපි එහි ගිය පසුගිය වසරේ අගෝස්තුව වනවිටත් කාශ්මීර ජනතාව ඉන්දියානු මිලිටරි බලයට එරෙහිව දැඩි මත දැරීම හැර බොහෝ තැන් හිදී අපිට පෙනුන විදියට සාමකාමීයි. ඔවුන්ගේ මුහුන නොවැසූ අලංකාර වෛර්ණ සේලයෙන් සැරසූනු දිගටි මුහුන සහිත ළඳුන්ද ප්‍රදේශයටම එක් කරන්නේ ආලෝකයක්. නෙතට සිතට සිසිල ගේන අපිට ආසන්නයේම තියෙන ස්විට්සර්ලන්තය වැනි වූ කාශ්මීරය, ඔබට ඉක්මනින්ම සාමය උදා වේවා යයි අපි ප්‍රාර්ථනා කරනවා.
කවරයේ පින්තුරය: goldenresidency.in