වක්කලී තෙරණුවන් දැඩි සේ ගිලන්ව, බුදුන්වහන්සේ දැකීමට ආශාවෙන් සිටි නමුත් ගිලන්බව නිසා එය කරගත නොහැකිව තැවෙමින් රජගහන නුවර අසල අරමක වැඩ සිටි සේක. වක්කලී තෙරණුවන්ගේ උපස්ථායකයින් වහන්සේලා බුදුන්වහන්සේට එය සැළ කළ විට බුදුන් වහන්සේ වක්කලී තෙරණුවෝ සොයා වැඩි සේක. එතැන දී තමන්වහන්සේ දැකීමට හේතු කාරණා කවරේදැ යි වක්කලී තෙරුන්වන්සේගෙන් විමසූ බුදුන් වහන්සේ,
“වක්කලිය, මේ කුණුකය දැකීමෙන් තොපට කවර වැඩෙක් ද? වක්කලි යමෙක් ධර්මය දකී නම් හේ මා දකියි, යමෙක් මා දකී නම් හේ ධර්මය දකියි. වක්කලි, දහම් දක්නේ මා දකියි, මා දක්නේ දහම් දකීයැ” යි පැවසූ සේක .
යමෙකුට බුදුන් දැකීමට අවැසි නම් සද්ධර්මය දැකීම ප්‍රමාණවත් බව බුදුන්වහන්සේ දෙසූ දහමේ සඳහන්ව තිබේ. වක්කලී සූත්‍රයේ සඳහන් මේ දේශනාව සංයුක්ත නිකායට ඇතුලත් වේ.
බෞද්ධයින්ට සංවේග උපදවිය හැකි ස්ථාන සතර
බුදුන් නොමැතිකල දුර බැහැර සිට එන භික්ෂූන්වහන්සේ කුමක් දැක සිත පහදවා ගන්නේදැ යි වරක් ආනන්ද හිමි බුදුන්ගෙන් ඇසීය. එතැන දී බුදුන්වහන්සේ, “ආනන්දය, එවැනි ස්ථාන 4ක් තිබේ. තථාගතයන් වහන්සේ මෙහි උපන් සේකැ, තථාගතයන් වහන්සේ මෙතැන සම්මා සම්බුදු වුණු සේක, තථාගතයන් වහන්සේ මෙතැන ප්‍රථම දහම් දෙසුම පැවැත්වූ සේක, තථාගතයන් වහන්සේ මෙතැන දී පිරිනිවී සැනහුනු සේකැයි යන ස්ථාන බුදුන් නැති කලෙක සැදැහැවත් කුලපුත් හට දැක සංවේග උපදවිය හැකි ස්ථානයැ” යි මහාපරිනිර්වාණ සූත්‍රයේ දක්වා තිබේ.
බුදුන් ජීවමානව සිටි කල වැදගත්ම ස්ථාන හතරක් වූ මේවා දැකබලා, වැඳ පුදාගැනීම බෞද්ධයෙකුගේ සිත සැනහීමට හේතුවන බව කියැවේ. මේ ස්ථාන සතර බුදුන් විසූ දඹදිව හෙවත් උතුරු ඉන්දියාවේ සහ නේපාලයේ පිහිටා තිබේ. ලොව වටා ඉතිහාසඥයින් සහ ජපානය, චීනය, කොරියාව ආදී දියුණු බෞද්ධ රටවල විද්‍යාඥයන් ද මේ ස්ථානයන්හි නිසැකබව තහවුරු කොට තිබේ. බුදුන්වහන්සේ ඉපදුනු තැන නේපාලයේ ලුම්බිණිය, බුදුවුණු වර්ථමාන ගයාවේ බුද්ධගයාව, ප්‍රථම දම් දෙසුම වූ තැන සාරානාත්, සහ පිරිනිවී සැනහුන කුසිනාරාව වර්ථමාන කුශිනගර් ලෙස හඳුනාගෙන තිබේ.
ලුම්බිණිය
පසුකලෙක සම්බුද්ධත්වයට පත් වූ සිද්ධාර්ථ කුමාරයා උපත ලැබූයේ නේපාලයේ ලුම්බිණියේ දී ය. ඉන්දීය-නේපාල දේශ සීමාව ආසන්නයේම පිහිටා ඇති ලුම්බිණියට දිල්ලි සිට දුම්රියෙන් පැමිණ, සොනෝලි බෝඩරය හරහා පිවිසෙන්නට හැකිය. ලුම්බිනියේ සිදුකරන ලද කැණීම් වලින් මෙම ස්ථානය ක්‍රිස්තු පූර්ව යුගයේ පටන්ම වන්දනාමාන වලට ලක්වූ තැනක් ලෙස හඳුනාගෙන ඇත. පසුකලෙක අශෝක රජු විසින් පිහිටුවන ලද අශෝක ස්ථම්භයක් මෙම ලුම්බිණි පුදබිම අශෝක රජුගේ ද වන්දනාවට පාත්‍ර වූ තැනක් බවට සාධක සපයයි. නේපාලයේ ජනතාව සිය රටට ආඩම්බරයක් ලෙස සැලකෙන ලුම්බිණිය ලොව වටා බෞද්ධයින් රැසකගේ වන්දනාවට පාත්‍ර වන සිද්ධස්ථානයකි. පළාතේ සිදුකරනු ලබන කුඹල් කර්මාන්තය හේතුවෙන් ඇතිවන දුම මෙම පුරාවිද්‍යා පුදබිමේ අනාගතයට තර්ජනයකැයි විද්‍යාඥයන් විසින් සොයාගන තිබේ.
බුද්ධගයාව
“සිංහලයනි නැගිටිව්! බුද්ධගයාව බේරාගනිව්!” යැයි 1900 ගණන්වල මුල් කාලයේ දී අනගාරික ධර්මපාලතුමා විසින් ලංකාවේ ජනයා පුබුදු කරවන ලදී. නිසියාකාරව පුරාවිද්‍යාත්ම සනාථ කිරීම් නොමැතිව වුව ද එදා බෞද්ධයින්ගේ මුදුන්මල්කඩ බඳු වූ බුද්ධගයාව වෙනුවෙන් එතුමා පෙනී සිටියේ ය. එකල හින්දු පුදබිමක් වූ බුද්ධගයාවේ අයිතිය නැවත බෞද්ධයින්ට හිමිකර ගැනීමට නොනවතින සටහනකින් පසු අනගාරික ධර්මපාලතුමාට හැකි විය. එහි දී පළමු, දෙවන අවස්ථාවල දී එතැන පුරාණ හින්දු පුදබිමකැයි අධිකරණයෙන් ද ස්ථිර කළ නමුත් පසුව අනගාරික ධර්මපාල ගාන්ධි ඇතුළු විද්වතුන් ද දැනුවත්කොට, සැබෑ තතු පැහැදිලිකොට නැවත බුද්ධගයා සිද්ධස්ථානය බෞද්ධ පාර්ශවයට ලබාගැනීමට දායක වූයේය.
ඉන්දියාවේ බිහාරයේ ගයාවේ පිහිටා ඇති බුද්ධගයාව ලොව වටා බෞද්ධ බැතිමතුන්ට ලොව ඇති පූජනීය බවින් වැඩිම සිද්ධස්ථානය වේ. ලොව පුරා නන් දෙසින් පැමිණෙන බෞද්ධ ජනයා ගයාවට පැමිණ බුදුන් වහන්සේගේ සම්බුද්ධත්වය සිදුවූ පුදබිම වන්දනාමාන කරති. ගයාවේ පූජාභූමියේ සිට භාවනා කිරීමට, ආගමික වතාවත් කිරීමට ලොව වටා බෞද්ධ ජනයා සැදී පැහැදී සිටිති. ගයාව කෙතරම් ජනප්‍රිය තැනක් ද කිවහොත් ඉන්දියාවේ ප්‍රධාන නගර වන දිල්ලි, කල්කටා, චෙන්නයි සිට ගයා දක්වා දුම්රිය රැසක් ධාවනය වේ. එසේම කුඩා ගුවන් තොටුපලක් ද ගයා ආසන්නයේ පිහිටා තිබේ.
කුසිනාරාව
එදා ලෙඩින් පීඩිතව, සිය සඟ පිරිස සමග කුසිනාරාවට වැඩම කළ බුදුන්වහන්සේ සල් ගස් දෙකක් මැද වූ සයනයක සැතපුන සේක. රජගහනුවර, පාඨලීපුත්‍රය, බරණැස ආදී එදා තිබූ ප්‍රකට නගර වල ඉසුරුමතුන්, රජවරුන් සපිරි නාගරික වටපිටාවෙන් මිදුනු බුදුන්වහන්සේ අවසාන මොහොත සොබාදහම සමග ගත කිරීමට කැමති විය. උන්වහන්සේ පිරිණිවන් පාන බව දැනගත් අග්‍ර උපස්ථායක ආනන්ද තෙරණුවෝ පසෙකට ගොස් හඬන්නට විය. පන්සාලිස් වසක් තිස්සේ ලොවට මඟ කියාදුන් ගෞතම බුදුන්වහන්සේ එදා වෙසක් පුන් පොහෝ දින පිරිනිවන් පෑවෝ ය.
එදා බුදුන් පිරිණිවී සැනහුනු කුසිනාරාව අද කුශිනගර් ලෙස හැඳින්වේ. කුශිනගර්හි ඇති සම්බුද්ධ පරිනිර්වාණය දැක්වෙන පිළිමය 19 වන සියවසේ කරන ලද කැණීම් වලින් සොයාගන්නා ලද්දකි. එම භූමිය වටා ඇති පළාතේ කැනීම් වලින් පුරාවිද්‍යාත්මක තොරතුරු රැසක් මතුකරගෙන තිබේ. කුශිනගර් ඉන්දියාවේ දීර්ඝතම දුම්රියපොලක් වන ගොරක්පූර් දුම්රිය නැවතුමේ සිට කිලෝමීටර 55ක් ඈතින් පිහිටා තිබේ. 19 වන සියවසේ මුල් භාගයේ මෙම පුරාවිද්‍යා ස්ථානය වල් බිහිවී කැලෑ වැදී තිබුණත්, අද වනවිට එම ස්ථානය හොදින් එළිපෙහෙළි කොට උද්‍යානයක් පරිද්දෙන් සංවර්ධනය කොට තිබේ.
සාරානාත්
සිදුහතුන් බුදුවීමෙන් පසුව පළමු දහම් දෙසුම පස්වග මහනුන් උදෙසා සිදුකළේ සාරානාත් නමින් අද හැඳින්වෙන ස්ථානයේ දී ය. බුදුන්වහන්සේගේ පළමු දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රයෙන් කියවෙන පරිද්දෙන් එකල බරණැස ඉසිපතන මිගදායේ දී උන්වහන්සේ එම පළමු දෙසුම ලොවට බෙදාහැර තිබේ.
ඉන්දියාවේ එදා සිට තවමත් ජනප්‍රිය හින්දු පුදබිමක් වන වාරණාසී හෙවත් එදා බරණැස සිට සාරානාත් පුදබිමට දුර කිලෝමීටර 11ක් පමණි. මෙහි පිහිටා ඇති ප්‍රධානතම ස්මාරකය වන සෑය අශෝක රජතුමාගේ කාලයේ ඉදිකළේයැ යි සැලකේ. මූලගන්ධ කුටි විහාරය සහ සාරානාත් කෞතුකාගාරය බැතිමතුන්ගේ පහස ලබන සාරානාත් අසල තවත් ස්ථාන දෙකකි. සාරානාත්හි ගුප්ත යුගයේ නිමැවුනු මුල් කාලීන බුදුපිළිමයක් සොයාගෙන තිබුණි. දැනට එය බරණැස කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.
දඹදිව සිද්ධස්ථාන
මේ ස්ථාන සතර මෙන්ම බුදුන්වහන්සේගේ ජීවිතයේ වැදගත් වූ ස්ථානයන් රැසක් ඉන්දියාවේ පිහිටා තිබේ. පසුකලෙක ඉදිවූ සාංචි ස්තූපය වැනි ස්ථාන ද බෞද්ධයින් අතර ප්‍රකට වේ. යුරෝපීයයන් සමුදුරු තරණයට බොහෝ කලකට පෙර චීනය සහ පර්සියාව යා කරන සේද මාවත හරහා ලෝකය එකිනෙකා යා විය. ජාත්‍යන්තර වෙළදාම පැමිණියේ ය. එකල ඒ සේද මාවත ඔස්සේ බෞද්ධ ආගම ඉන්දියාවේ ඉහළ කෙළවර සිට චීනය ජපානය, ඉන්දුනීසියාව, සහ පර්සියාව ආදී දුරබැහැර පළාත් කරා සංක්‍රමණය විය. ලොව ප්‍රථම ජාත්‍යන්තර වශයෙන් පතල වූ දර්ශනය හා ආගම බුදුදහම විය.
බුදුන් විසූ ඉන්දීය බිම අද වනවිට බෞද්ධයින් සුළුතරයක් සිටින බිමකි. එහෙත් බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදාගැනීමට වසරකට මිලියන ගණනක් සෙනග ඉන්දියාවට පැමිණේ. නේපාලයට 2017 වර්ෂයේ ලාංකික සංචාරකයින් 45,000කට අධික පිරිසක් ගොස් තිබේ. ඒ අනුව ජනප්‍රිය සංචාරක රටක් වූ නේපාලයේ 5 වැනි තැනට වැඩිම පිරිසක් ගොස් ඇත්තේ ලාංකිකයින් ය. ලුම්බිණිය වැඳ පුදාගැනීම ඒ බොහෝ පිරිසගේ අරමුණ වන්නට ඇත. ලාංකික බෞද්ධ බැතිමතුන් විශාල ප්‍රමාණයක් බුදුන් වැඩවිසූ පින්බිම් නැරඹීමට යන බව ඉන් පෙනේ.