අපායේ දොරටුව : දර්වසා

අපායේ දොරටුව යැයි පැවසූ සැනෙන් බොහෝ දෙනෙකුගේ මනසේ සිත්තම් වෙන්නේ ඉපැරණි බෞද්ධ විහාරස්ථානයක මකර තොරණ දෙපස සිටින, කටින් ගිනි දලු විහිදුවා ගත් දැවැන්ත ආරක්ෂකයින් දෙපළක් විසින් රැකවල් යොදා ඇති භයංකර දොරටුවක් විය හැකියි. නමුත් මේ කතා කරන්නට යන්නේ ඒ අපාය ගැන නම් නෙමෙයි.

(earthnutshell.com)

මධ්‍යම ආසියාවේ ඉරානයට, ඇෆ්ගනිස්ථානයට, උස්බෙකිස්ථානයට සහ කැස්පියානු මුහුදට යාබද ව පිහිටා ඇති තුර්කිමේනිස්ථානයට අයත් කාරකුම් කාන්තාරයේ හදවත බඳු මැද කොටසේ දශක පහකට ආසන්න කාලයක් තිස්සේ ගිනි ගනිමින් දැවෙන  දැවැන්ත පාපන්දු පිටියක් තරම් විශාල අවාටයක් දක්නට ලැබෙනවා. දර්වසා වායු ආවාටය ලෙස නම් ලබා ඇති එය ස්වදේශිකයන් හඳුන්වනු ලබන්නේ ‘අපායේ දොරටුව’ යන නාමයෙන්.

තුර්කිමේනිස්ථානයේ දී සංචාරකයන්ට දැක ගැනීමට ලැබෙන අසාමාන්‍ය ආකර්ෂණයන් අතරින් ඉහළ ම තැනක වැජඹෙන දර්වසා වායු ආවාටය යමහලක් හෝ මැග්මා කන්දක් නෙමෙයි. මිනිසා විසින් සිදු කරන ලද පර්යේෂණයක අනිසි ප්‍රතිඵලයක් වන එහි මූලාරම්භය පිළිබඳ ව නිශ්චිත තීරණයක් නොතිබුණ ද, වැඩි දෙනෙක් එය සෝවියට් රුසියාව මගින් සිදු කරන ලද වායු විදීම්වලදී අැති වූ අනතුරක් හේතුවෙන් නිර්මාණය වූවක් බව විශ්වාස කරනවා.

(earthnutshell.com)

ස්වභාව ධර්මය ඉක්මවා යාමට තැත් කළ විද්‍යාත්මක පර්යේෂණයක අනිසි ප්‍රතිඵලයක් ලෙස බිහි වී, ගිනි දැල්ලෙන් අලංකාර වෙමින් තුර්කිමේනිස්ථානයේ ඉහළ ම සංචාරක ආකර්ෂණයක් දිනූ ‘අපායේ දොරටුව’ හෙවත් දර්වසා වායු ආවාටය ගැන තොරතුරු යි මේ.

කාරකුම් කාන්තාරයේ හදවත

තුර්කිමේනිස්ථානයේ දකුණු සීමාව ලකුණු කරමින් පිහිටා ඇති අහාල් ප්‍රාන්තයේ උතුරු සීමාවේ පැතිරී ඇති කාරකුම් කාන්තාරය අයත් වන්නේ දෙර්වේස් නොහොත් දර්වසා නම් ගම්මානයට යි. කාන්තාරය මධ්‍යයේ අශ්ගභාත් අගනුවරට කිලෝමීටර් 260 ක් පමණ ඈතින් දක්නට ලැබෙන දර්වසා වායු ආවාටය, දැනට ලොව ඇති විශාලත ම භූගත වායු සංචිතයන්ගෙන් එකක් ලෙස සැලකෙනවා.

(earthnutshell.com)

එහි දක්නට ලැබෙන ගිනි දළු, බුබුළු දමමින් උතුරා යන මඩ සහ දීප්තිමත් තැඹිලි පැහැ අග්නි ජාලාවන් නිසා ස්වදේශිකයන් ‘අපායේ දොරටුව’ ලෙස නම් කර ඇති දර්වසා වායු ආවාටයේ විෂ්කම්භය මීටර් 70 ක් පමණ වෙනවා. එයින් උණු වූ ලක්ෂණ දක්නට ලැබෙන්නේ මීටර් 60 ක පමණ පළලකින් හා ආසන්න වශයෙන් මීටර් 20 ක ගැඹුරෙන් යුතු ප්‍රදේශයක යි. වර්ග මීටර් 5,350 ක භූමියක් පුරාවට පැතිරී ඇති එය දළ වශයෙන් ඇමෙරිකානු පාපන්දු පිටියක් තරම් වෙනවා. එසේ ම දර්වසා වායු ආවාටය අවට ඇති ප්‍රදේශය කාන්තාර කඳවුරු බැඳීම් සඳහා සංචාරකයන් අතර ජනප්‍රිය යි.

(earthnutshell.com)

දර්වසා වායු ආවාටයේ ඉතිහාස කතාව

තුර්කිමේනිස්ථානු ජාතික භූ විද්‍යාඥයෙකු වන ඇනටෝලි බුෂ්මේකින් විශ්වාස කරන අන්දමට දර්වසා වායු ආවාටය පිහිටි ස්ථානය මුල් වරට අනාවරණය කරගෙන ඇත්තේ සෝවියට් ඉංජිනේරුවන් විසින්. ඒ 1971 වසරේ දි යී. එය සැලකිය යුතු තරම් විශාල තෙල් ආකර සහිත භූමියක් ලෙස සැක කළ ඔවුන් අදාළ තෙල් නිධි කරා ළඟා වීමට මෙහෙයුමක් දියත් කරමින් භූමිය විදීම ආරම්භ කර තිබෙනවා. එම මෙහෙයුම් කටයුතු ඇරඹී කෙටි කලක් තුළ දී සිදු කරන ලද මූලික මිනුම්වල දී එය ස්වභාවික වායු සහිත බිම් කඩක් බව හෙළිදරව් වූ අතර ඒ වන විටත් සිදු කර තිබුණු විදීම්වල ප්‍රතිඵලයක් ලෙස අනපේක්ෂිත අාකාරයෙන් පොළොව මත ආවාටයක් මතු වූයේ මෙහෙයුම් මධ්‍යස්ථානය ද ගිල ගනිමින්.

(earthnutshell.com)

ආවාටය තුළින් විෂ සහිත වායුන් නිකුත් විය හැකි බව උපකල්පනය කළ ඉංජිනේරුවන් ඒ හේතුවෙන් අවට පිහිටි ගම්මාන සහ නගරවලට සිදු වන හානිය වැළැක්වීම සඳහා ආවාටයෙන් නිකුත් වන වායු දහනය කිරීමට තීරණය කර තිබුණා. ඔවුන් බලාපොරොත්තු වූයේ සති කිහිපයක් තුළ දී සම්පූර්ණයෙන් ම වායු දහනය වී අවසන් වන ඇති බව යි. නමුත් සැමගේ බලාපොරොත්තු සුන් කරමින් දශක පහකට ආසන්න කාලයක් තිස්සේ අදටත් දර්වසා වායු ආවාටය ගිනිගෙන දැවෙනවා.

ආවාටය ගැන ඉතිහාස කතාවේ හිස්තැන් බොහෝම යි. දේශීය භූ විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ ආවාටය නිර්මාණය වීම හැටේ දශකයේ දී සිදු වුවත් වායු ගිනි ගැනීම සිදු වූයේ අසූව දශකයේ දී බව යි. නමුත් මේ කරුණුවල සත්‍යතාවය තහවුරු කිරීම සඳහා මොන ම ආකාරයේ හෝ සාක්ෂි සොයා ගැනීමට හැකි වී නැහැ.

(earthnutshell.com)

‘අපායේ දොරටුව’ අද

2010 වසරේ දී තුර්කිමේනිස්ථාන ජනපති ගර්බැංගලි බර්ඩිමුකාමෙඩොව්, දර්වසා වායු ආවාටයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර ආරක්ෂක හේතූන් මත දෙර්වේස් ගම්මානය වෙනත් ස්ථානයකට රැගෙන යාමට සහ ආවාටය වසා දැමීමට නියෝග කළා. නමුත් එම අදහස ක්‍රියාත්මක නොවූ අතර 2013 වසරේ දී කාරකුම් කාන්තාරයේ දර්වසා වායු ආවාටය පිහිටා ඇති ප්‍රදේශය ස්වභාවික රක්ෂිතයක් ලෙස නම් කර තිබෙනවා.

(earthnutshell.com)

2014 වසරේ දී National Geographic Channel වෙනුවෙන් එහි ගවේෂක ජෝර්ජ් කවුරොව්නීස් දර්වසා වායු ආවාටය පිළිබඳ ව වාර්තා වැඩසටහනක් සකස් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආවාටයේ පතුලට අඩිය තබන ලද ප්‍රථම පුද්ගලයා වීමේ අවස්ථාව ඔහුට හිමි වුණා. අදාළ වැඩසටහන අතරතුර දී ආවාටයේ ජීවත් වන ආකීය ක්ෂුද්‍ර ජීවීන් විශේෂයක් හඳුනා ගැනීමට හැකි වූ අතර එම සත්ත්වයින් පිළිබඳ ව තවමත් නිශ්චිත තොරතුරු ලැබී නැහැ.

කවරයේ පින්තූරය : (en.wikipedia.org)

මූලාශ්‍ර :

  1. en.wikipedia.org
  2. advantour.com
  3. earthnutshell.com
  4. businessinsider.de
  5. smithsonianmag.com
  6. lonelyplanet.com

Related Articles

Exit mobile version