උතුරු යුරෝපයට අයත් වන ඩෙන්මාර්කය අධික ශීතල දේශගුණයකින් යුක්ත රටක්. වර්ග කිලෝ මීටර 42,933ක භූමි ප්‍රමාණයක් පුරා විසිරී පවතින මෙම රාජ්‍යයේ ආසන්න වශයෙන් මිලියන 5.8ක ජනගහනයක් ජීවත් වෙනවා. යුරෝපයේ තිබෙන ස්වයංපෝෂිත රටවල් අතුරින් එකක් වන ඩෙන්මාර්කය මිනිසුන්ට ජීවත් වීමට වඩාත් සුදුසු පරිසරයක් තිබෙන රටක් ලෙසින් හඳුනා ගෙන තිබෙනවා. පසුගිය වසරේ ලොව සතුටින් ම සිටින රටවල් ලැයිස්තුවේ 2 වන ස්ථානයත් ඩෙන්මාර්කයට හිමි වුණා.
ඩෙන්මාර්කය යුරෝපයේ තිබෙන වඩාත් සුන්දර රටවල් අතුරින් එකක්. එනිසා මෙම අපූරු රාජ්‍යයේ සුන්දර ස්ථාන දැක බලා ගැනීමට බොහෝ සංචාරකයන් එහි පැමිණෙනවා. ඩෙන්මාර්කයට පැමිණෙන සංචාරකයන් අනිවාර්යයෙන් ම නරඹන මනස්කාන්ත සංචාරක ඉසව් 5ක් පිළිබඳ තොරතුරුයි මේ.
1). ජෙගස්බර්ග් මුව උද්‍යානය (Jægersborg Deer Park)
තුන්වන ෆෙඩ්‍රික් රජතුමා 1648-1670 කාල සමයේ ඩෙන්මාර්කය පාලනය කළා. ඔහුගේ අදහසකට අනුව 1669 දී මෙම Jægersborg Deer Park නිර්මාණය වුණා. 1670 දී ෆෙඩ්‍රික් රජතුමා හදිසියේ මියගිය නිසා උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු අතරමඟ නතර වුණා. ඉන් අනතුරුව බලයට පත්වුණු පාලකයන් එහි ඉදිකිරීම් කටයුතු අවසන් කළා.
එකල රාජ්‍ය අනුග්‍රහය ඇතිව රටේ විවිධ ප්‍රදේශවලින් අල්ලාගෙන ආ මුවන් මෙම උද්‍යානය තුළ ගාල් කළා. වර්ග කිලෝමීටර් 11ක් පුරා පැතිරී ඇති මෙම උද්‍යානය තුළ වනාන්තර ප්‍රදේශ, විල්, කුඩා දිය කඩිති පිහිටා තිබෙන නිසා මුවන්ට නිදහසේ සැරිසරන්නට අවස්ථාව ලැබී තිබෙනවා.
Jægersborg Deer Park තුළ ආසන්න වශයෙන් මුවන් 2200ක් පමණ ජීවත් වන බව වාර්තාවල සටහන් වී තිබෙනවා. ඒ අතුරින් 1600ක් පුරන් නම් මුව විශේෂයට අයත් වෙනවා. එම මුව විශේෂය ග්ලැසියර් යුගයේ දී ඩෙන්මාර්කයෙන් අතුරුදන් වී ගියා. 13 වන සියවසේ දී එම මුව විශේෂය ඩෙන්මාර්කයට නැවතත් හඳුන්වා දුන්නා.
පුරන් මුවන්ට අමතර ව රතු මුවන් සහ සිකා 300 මුවන් බැගින් ද මෙහි ජීවත් වෙනවා. රතු මුවන් ඩෙන්මාර්කයට සංක්‍රමණය වුණේ මීට වසර 10,000කට පමණ පෙර යි. ඒ වාගේම නැගෙනහිර ආසියාව නිජබිම කරගත් සිකා මුවන් 20 වන සියවසේ දී ඩෙන්මාර්කයට හඳුන්වා දුන්නා.
ඈත අතීතයේ දී ඩෙන්මාර්කය පලනය කළ රජවරුන් මෙම වනෝද්‍යානය ආශ්‍රිත ව දඩ කෙළියේ නිරත වුණු බව පැවසෙනවා. 1960 දී මෙම වනෝද්‍යානය තුළ මුවන් දඩයම් කිරීම සම්පූර්ණයෙන් ම තහනම් කළා.
දඩ කෙළියේ එදා යෙදුණු රජවරුන්ට විවේක ගැනීම සඳහා ඉදි කර තිබුණු දඩයම් ලැගුම්හල අදටත් මෙම වනෝද්‍යාන භූමිය තුළ දක්නට ලැබෙනවා. මෙම අපූරු මුව උද්‍යානය ඓතිහාසික මෙන් ම ස්වභාවික වශයෙන් ද වැදගත් භූමියක් වන නිසා 2015 දී එය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින් ප්‍රකාශයට පත් කළා.
2). ෆෙඩ්‍රික්ස්බර්ග් රජ මාලිගය
මීට සියවස් ගණනාවකට පෙර විවිධ රජවරුන් සහ රැජනන් ඩෙන්මාර්කය පාලනය කළා. එම යුගයන් හි ඉදිවුණු රජ මාලිගා රැසක් අදටත් ඩෙන්මාර්කය තුළ පිහිටා තිබෙනවා. ඒවා අතුරින් හිලෙරොඩ් ප්‍රදේශයේ පිහිටා ඇති ෆෙඩ්‍රික්ස්බර්ග් රජ මාලිගයට විශේෂ ස්ථානයක් හිමි වෙනවා. ඒ එහි තිබෙන සුන්දරත්වය නිසා යි. කාසල් විලේ දූපත් තුනක් යා මත පිහිටා ඇති මෙම මාලිගය 16 වන සියවසේ දී දෙවන ෆෙඩ්‍රික් රජතුමන් අත්පත් කරගත් බළකොටුවක්.
පසුව ඩෙන්මාර්කයේ රජ කළ 4 වන ක්‍රිස්ටියන් රජතුමා 17 වන සියවසේ මුල් භාගයේ දී එම බළකොටුව වෙනස් කරමින් මෙම මාලිගය නිර්මාණය කළා. මාලිගයේ ඉදිකිරීම් බැරොක් ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයට අනුව සිදු වුණා. 1859 දී ඇති වුණු දරුණු ගින්නක් නිසා මෙම මාලිගයේ විශාල කොටසක් විනාශයට පත් වුණා. ඉන් පසුව මාලිගය නැවත නිර්මාණය කිරීමට එකල සිටි පාලකයන් කටයුතු කළා. අද මෙහි දක්නට ලැබෙන්නේ අලුතින් නිර්මාණය කළ මාලිගය යි.
ගින්නෙන් විනාශ වුණු මාලිගය පෙර තිබුණු තත්ත්වයට සකස් කිරීමට සඳහා දශක දෙකකට ආසන්න කාලයක් ගත වුණා. ඒ සඳහා ඩෙන්මාර්කයේ දානපතියෙක් වුණු ක්‍රිස්ටියන් ජාකොබ්සන් විශාල සහායක් ලබා දුන්නා.
මහජනතාව ද මාලිගයේ ඉදිකිරීම් කටයුතු සඳහා අරමුදල් රැස් කළා. එසේ අලුතින් ඉදි කළ මාලිගය 1878 අප්‍රේල් 5 වැනිදා කෞතුකාගාරයක් ලෙසින් ප්‍රකාශයට පත්කිරීමට එරට රාජකීයයන් කටයුතු කළා. 1882 පෙබරවාරි 1 වැනිදා එය මහජනයා සඳහා විවෘත වුණා.
එම කෞතුකාගාරය තුළ පැරණි සිතුවම් එකතුවක්, ඩෙන්මාර්කයේ වාසය කළ රාජකීයයන් භාවිත කළ ආභරණ, බඩු භාණ්ඩ, ඇඳුම් පැළඳුම්, දේවස්ථානයක්, විසිතුරු ලෙස නිර්මාණය කර තිබෙන ශාලා ආදිය දක්නට ලැබෙනවා. එම කෞතුකාගාරය හරහා එරට ඉතිහාසය ලොවට ම ප්‍රදර්ශනය කරනවා.
ඩෙන්මාර්කයට පැමිණෙන විශාල පිරිසක් මෙම කෞතුකාගාරය නැරඹීමට අමතක කරන්නේ නැහැ. මෙම භූමියේ පිහිටි අලංකාර උද්‍යානය සංචාරකයන්ගේ ආකර්ෂණය නොඅඩුව දිනා ගෙන තිබෙන බවත් මෙහි දී කිව යුතු යි.
3). ටිවොලි විනෝද උද්‍යානය
මෙම අපූරු විනෝද උද්‍යානය ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් හි පිහිටා තිබෙනවා. 1843 අගෝස්තු 15 වැනිදා ආරම්භ වුණු මෙම උද්‍යානය යුරෝපයේ තිබෙන පැරණිත ම විනෝද උද්‍යානවලින් එකක්. ටිවොලි විනෝද උද්‍යානය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ජෝර්ජ් කාස්ටෙන්සන් නම් හමුදා නිලධාරියාට යි.
ඔහුට මෙය ඉදිකිරීම සඳහා 8 වන ක්‍රිස්ටියන් රජුගේ අනුග්‍රහය ද නොඅඩුව ලැබුණා. වර්තමානය වන විට ලෝකයේ තිබෙන වඩාත් ම ජනප්‍රිය විනෝද උද්‍යාන අතරට ටිවොලි උද්‍යානය ද අයත්. 2017 දී මිලියන 4.6ක ජනගහනයක් මෙම උද්‍යානය නැරඹීමට පැමිණීම ඒ සඳහා වන කදිම සාක්ෂියක්.
ටිවොලි උද්‍යානයට පැමිණෙන සංචාරකයන් වඩාත් කැමැත්තක් දක්වන්නේ මෙහි ඇති රෝලර් කෝස්ටර්වල ගමන් කරමින් විනෝද වීමට යි. අද වන විට මෙම උද්‍යානය තුළ රෝලර් කෝස්ටර් 4ක් ස්ථාපිත කර තිබෙනවා. ඒ අතුරින් පැරණිත ම රෝලර් කෝස්ටරය 1914 දී ස්ථාපිත කළ ලී රෝලර් කෝස්ටරයක්.
එය අදටත් ක්‍රියාත්මක වන ලොව පැරණිත ම රෝලර් කෝස්ටර්වලින් එකක්. ඒ වාගේම 2004 දී ස්ථාපිත කළ රෝලර් කෝස්ටරයක් මෙහි දක්නට ලැබෙනවා. ඊට අමතර ව 2019 දී ස්ථාපිත කළ නවීන පන්නයේ රෝලර් කෝස්ටර් දෙකක් මෙම උද්‍යානය තුළ පිහිටා තිබෙනවා.
මෙහි පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් විනෝද ක්‍රීඩාවලට අමතර ව සංගීත සංදර්ශන, නැටුම් සංදර්ශන, දුම්රිය ගමන්, බෝට්ටු සවාරි, චිත්‍රපට සංදර්ශන වැනි විශේෂාංගත් මෙහි ක්‍රියාත්මක වෙනවා. කුඩා දරුවන්ට විවිධ ක්‍රියාකාරකම්වල නිරත වීම සඳහා වෙන් වුණු ප්‍රදේශයක් මෙම උද්‍යානය තුළ පිහිටා තිබෙනවා.
උද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට ආහාරපාන ලබාගැනීම සඳහා අවන්හල් සහ හෝටල් මෙහි ඉදි ව තිබෙනවා. එනිසා මෙහි පැමිණෙන උදවියට දවස පුරා ම හොඳින් විනෝද වන්නට පුළුවන්.
4). Skjoldungernes Land ජාතික උද්‍යානය
Skjoldungernes Land ජාතික උද්‍යානය ඩෙන්මාර්කයේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ සාක්ෂි තවමත් ඉතිරි ව තිබෙන ස්ථානයක්. ගල් යුගයේ මිනිසුන් භාවිත කළ මෙවලම්, ඔවුන්ගේ ස්මාරක ආදී දේවල් වරින් වර මෙම ප්‍රදේශයෙන් හමු ව තිබෙනවා.
වයිකිංවරුන්ගේ සොහොන් ගෙවල් ද මෙහි දී දැකගන්නට පුළුවන්. ඒවා වැඩි වශයෙන් පිහිටා තිබෙන්නේ උද්‍යානය තුළ පිහිටි ලෙජ්රේ නගරය ආශ්‍රිතව යි.
මෙහි තිබෙන රොස්කිල්ඩ් නගරය සහ රොස්කිල්ඩ් ආසන දෙව්මැදුර සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් තවත් ස්ථාන 2ක්. Skjoldungernes Land ජාතික උද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට එහි තිබෙන සුන්දර වනාන්තර පද්ධතිය, එහි දිවි ගෙවන සත්ත්ව විශේෂ, කුඩා විල් සහ දිය ඇලි වැනි දේවල් නැරඹීමට අවස්ථාව ලැබෙනවා.
එනිසා ඩෙන්මාර්කයට පැමිණෙන සංචාරකයන් අනිවාර්යයෙන්ම යන ස්ථාන අතරට Skjoldungernes Land ජාතික උද්‍යානය ද අයත් වෙනවා.
5). ඇරෙසෝ විල
ඩෙන්මාර්කයේ විශාලත ම විල වන ඇරෙසෝ වර්ග කිලෝමීටර් 41ක භුමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතිනවා. මෙම විල පෝෂණය කරන ප්‍රධාන ජල මූලාශ්‍රය වන්නේ පොලියා ගංගාව යි. ඇරෙසෝ විල ආශ්‍රිත ව ඉතාමත් සුන්දර පරිසර පද්ධතියක් නිර්මාණය වී තිබෙනවා. ඒ ආශ්‍රිත ව බොහෝ පක්ෂි විශේෂ ජීවත් වෙනවා. මුහුදු රාජාලියා, ලාර්ක්ස්, යුරේසියා වෝබ්ලර්, යුරේසියා පෙන්ඩුලයි, රෝලර්, ෂේක් වැනි පක්ෂීන් ඒ අතරට අයත්.
මෙම අපූරු විල නැරඹීමට එන සංචාරකයන් මසුන් ඇල්ලීම සඳහා විශේෂ බලපත්‍රයක් ලබාගත යුතු යි. මෙම විල ආශ්‍රිත ව මෝටර් බෝට්ටු ධාවනය තහනම්. එපමණක් නොව ඇල්ගී වර්ධනය වීම හේතුවෙන් මෙහි දිය නෑම ද තහනම් කර තිබෙනවා. මෙහි පැමිණෙන සංචාරකයන්ට නීතිරීති පද්ධතියකට යටත්ව විනෝද වීමට සිදුව තිබෙනවා.