ලෝක ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී විවිධ රටවල් ආශ්‍රිත ව නිර්මාණය වුණු දියුණු ශිෂ්ටාචාර රැසක් අපට හමුවනවා. දකුණු අමෙරිකාවේ පේරු රාජ්‍යය ආශ්‍රිත ව බිහිවුණු ඉන්කා ශිෂ්ටාචාරයත් ඒ වගේ ඉතාමත් දියුණු මට්ටමක පැවති ශිෂ්ටාචාරයක්. එදා ඉන්කාවරුන් පේරු රාජ්‍ය මත ඉදි කළ නගරවල නටබුන් තවමත් ඉතිරි ව පවතිනවා. එනිසා පේරු රාජ්‍යය සංචාරකයන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් ව තිබෙනවා. එසේ ම තවත් අපූරු සංචාරක ඉසව් රැසක් පේරු රාජ්‍යය ආශ්‍රිත ව දක්නට ලැබෙනවා. ඒ අතුරින් ස්ථාන 5ක් පිළිබඳ ව තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.
1) පැරණි මාචු පීචු නගරය
පේරු යන නම ඇසුණු සැනින් බොහෝ දෙනකුගේ මතකයට නැගෙන්නේ පෞරාණික මාචු පීචු නගරය යි. ඉන්කාවරුන් 15 වන සියවසේ දී ගොඩනැගූ මෙම අපූරු නගරය උරුබම්බා නිම්නයේ අඩි 8000ක උස කඳු මුදුනක පිහිටා තිබෙනවා.
1438-1472 කාල සමයේ ඉන්කා දේශය පාලනය කළ පචාකුටි නම් අධිරාජ්‍යයා මෙම නගරය නිර්මාණය කළ බව පුරා විද්‍යාඥයන්ගේ මතය යි. ඉන්කා ගෘහ නිර්මාණ ශිල්පයට අනු ව මදින ලද වියළි ගඩොල් භාවිත කරමින් මෙහි ගොඩනැඟිලි නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
එහි දී දක්නට ලැබෙන අනික් විශේෂත්වය වන්නේ ගඩොල් එකිනෙකට සවි කිරීම සඳහා බදාම භාවිත කර නොතිබීම යි. ඉන්ටි වටානා, සූර්ය දේවාලය සහ ජනෙල් තුනේ කාමරය මෙම නගරයේ ඇති විශිෂ්ටත ම නිර්මාණ ලෙසින් සැලකෙනවා. එකල ඉන්කාවරුන් මෙම නගරය ඉදි කිරීම සඳහා අවශ්‍ය වුණු අමුද්‍රව්‍ය කඳු මුදුනට රැගෙන ගියේ කෙසේද යන්න අදටත් අභිරහසක්.
එසේම මාචු පීචු ආගමික නගරයක් ද, එසේ නැතිනම් සතුරු ආක්‍රමණවල දී සැඟ වී ආරක්ෂා වීමට නිර්මාණය කළ නගරයක් ද යන්න තවමත් නිශ්චිත ව තහවුරු කරගෙන නැහැ.
16 වන සියවසේ දී එල්ල වුණු ස්පාඤ්ඤ ආක්‍රමණයත් සමඟින් ඉන්කාවරු මෙම නගරය අතහැර දැමුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 20 වන සියවසේ ආරම්භය වන තුරු මාචු පීචු නගරය සැඟ වී තිබුණා. 1911 ජූලි මාසයේ දී අමෙරිකානු ඉතිහාසඥයකු වුණු හිරාම් බිංග්හැම්, සැඟ වී තිබුණු පෞරාණික මාචු පීචු නගරය සොයා ගත්තා.
එලෙස සොයාගත් නගරය පිළිබඳ ව 1913 වසරේ දී National Geographic සඟරාවේ පළ කිරීමත් සමඟ ම බොහෝ දෙනකු මාචු පීචු පිළිබඳ ව උනන්දුවක් දක්වන්නට පටන් ගත්තා. පසු කලෙක මෙම භූමිය ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් වුණු යුනෙස්කෝව 1983 ලෝක උරුම ලැයිස්තුවට මාචු පීචු නගරය ද ඇතුළත් කළා. එසේම 2007 වසරේ දී නම් කළ නව ලෝක පුදුම අතරට පෞරාණික මාචු පීචු නගරය ද ඇතුළත් වුණා. එනිසා පේරු රටට පැමිණෙන සංචාරකයන් අනිවාර්යයෙන් ම යන ස්ථාන අතර ඉදිරියෙන් ම තිබෙන්නේ මාචු පීචු නගරය යි.
2) ටිටිකාකා විල
ලොව වැඩි ම උසකින් පිහිටා තිබෙන විලක් වන ටිටිකාකා විල ඇන්ඩීස් කඳුවැටිය ආසන්නයේ ඇල්ටිප්ලානෝ ද්‍රෝණියේ උතුරු දෙසට වන්නට ස්ථානගත ව තිබෙනවා. වර්ග කිලෝ මීටර් 8372ක් තරම් විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ඇති මෙම විලේ නැගෙනහිර කොටස බොලිවියාවට ද බටහිර කොටස පේරු රාජ්‍යයට ද අයත් වෙනවා.
ටිටිකාකා විල පෝෂණය කිරීම සඳහා විශාල දායකත්වයක් ලබාදෙන්නේ ඉලේව්, කෝටා, සුචෙස්, හුවෙන්කානේ සහ රමිස් යන ප්‍රධාන ගංගා පද්ධති පහ යි. ටිටිකාකා විල මධ්‍යයේ දූපත් 41ක් පමණ පිහිටා තිබෙනවා. ඉන් ප්‍රධාන දූපත් වන්නේ ඉස්ලා ඩා ලූනා, ඉස්ලා ඩෙල් සෝ, ටකීල්, අමන්ටනි, සහ සුරිකි යන දූපත් පහ යි.
ඒවා අතුරින් සමහර දූපත් කෘත්‍රිම ව නිර්මාණය කර තිබෙනවා. පාවෙන දූපත් ලෙසින් හඳුන්වන එවැනි කෘත්‍රිම දූපත් නිර්මාණය කිරීම සඳහා ටොටෝරා ශාකයේ බට යොදාගන්නවා. ඒ අයුරින් පාවෙන දූපත් නිර්මාණය කිරීම සිදු කරන්නේ උරු නම් ජන වර්ගය යි. ඇමසන් ද්‍රෝණියේ සිට ටිටිකාකා විල පිහිටි ප්‍රදේශයට සංක්‍රමණය වී ඇති උරු ජන කොට්ඨාසයට එම ප්‍රදේශයේ ස්වදේශික ජනයාගෙන් විවිධ හිරිහැර එල්ල වුණා.
එනිසා උරු ජනයාට ජීවත් වීමට ප්‍රමාණවත් තරම් ඉඩම් ලැබුණේ නැහැ. එනිසා ඔවුන් ටොටෝරා බට භාවිත කරමින් විල මැද කෘත්‍රිම දූපත් නිර්මාණය කළා. ඒ අයුරින් උරු ජනයා ඉදි කළ දූපත් අද වන විට සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය වී තිබෙන නිසා එම දූපත් වෙත යාම සඳහා වෙන ම බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක වෙනවා. ටිටිකාකා විලේ තිබෙන වැදගත්කම නිසා 1998 දී මෙය රැම්සා තෙත්බිමක් ලෙසින් නම් කළ බවත් මෙහි දී කිව යුතු යි.
3) මනූ ජාතික වනෝද්‍යානය
හෙක්ටයාර මිලියන 1.5ක් තරම් විශාලත්වයකින් යුත් මනූ ජාතික වනෝද්‍යානය ජෛව විවිධත්වය අතින් ලොව ප්‍රසිද්ධ ම ස්ථානයක්. ඇන්ඩීස් කඳුවලට සහ ඇමසන් ද්‍රෝණියට මායිම් ව පිහිටා තිබෙන මෙම සුවිශේෂී පරිසර පද්ධතිය මුහුදු මට්ටමේ සිට මීටර් 150-4200 අතර භූමි ප්‍රදේශයක් පුරා විහිදී පවතිනවා.
එනිසා තණබිම්, කඳු, වලාකුළු වනාන්තර, නිවර්තන වැසි වනාන්තර, පහළ නිවර්තන වනාන්තර වැනි විවිධ පරිසර පද්ධති මෙහි දී දැක ගන්නට පුළුවන්. මෙහි තිබෙන එකිනෙකට වෙනස් පරිසර පද්ධති ආශ්‍රිත ව සංචාරයේ යෙදෙන කෙනකුට තමන් රටවල් කිහිපයක සංචාරය කළා වැනි හැඟීමක් ඇතිවීම බොහොම සාමාන්‍ය දෙයක්.
මෙහි පැමිණෙන සංචාරකයකුට විවිධ වර්ගයේ සතුන් නැරඹීමට අවස්ථාව ලැබෙනවා. මෙම වනෝද්‍යානය තුළ පක්ෂි විශේෂ 800ක්, ක්ෂීරපායි විශේෂ 200ක්, උරග විශේෂ 68ක්, උභය ජීවීන් විශේෂ 77ක්, සමනළ විශේෂ 1300ක් පමණ වාසය කරන බව හඳුනාගෙන තිබෙනවා.
ඒ අතරට යෝධ ඔටර්, ජගුවාර්, ආමඩිල්ලෝ, පූමා, ඇන්ඩියන් කඳුකර පූසා, හාපි ඊගල් වැනි දුර්ලභ සත්ත්ව විශේෂ ද අයත්. පේරු රාජ්‍යයට අයත් වන මෙම අපූරු පරිසර පද්ධතියේ වටිනාකම තේරුම් ගත් යුනෙස්කෝ සංවිධානය 1987 වසරේ දී මෙය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කළා. ලෝක උරුම සුරකින යුනෙස්කෝ ලෝක උරුම ව්‍යාපෘතිය ගැන මෙතනින් දැනගන්න.
4) කොල්කා කැනියොන්
පේරු රාජ්‍යයට අයත් විශාලත ම නගර අතුරින් එකක් වන අරූකිපා සිට දකුණු දෙසට කිලෝ මීටර් 160ක පමණ දුරක් ගිය විට මනස්කාන්ත කොල්කා කැනියොන් ප්‍රදේශය වෙත ළඟා වන්නට පුළුවන්. මීටර් 3400ක් පමණ ගැඹුරු මෙම නිම්නය ප්‍රදේශයේ මීට වසර 1500කට පමණ පෙරත් ජනාවාස පැවති බවට සාධක හමු වී තිබෙනවා. මුලින් ම කොලෙගුවාස් සහ කබානා වැනි ගෝත්‍රික ජන වර්ග ජීවත් වුණු මෙම නිම්නය පසු කලෙක ඉන්කා ජනාවාස පැවතුණා. ඒ අයුරින් මෙහි ජනාවාස ඇතිවුණේ නිම්නය පිහිටි භූමි ප්‍රදේශය කෘෂිකර්මාන්තයට වඩාත් යෝග්‍ය වුණු නිසා යි.
අදටත් එහි යන සංචාරකයකුට නිම්නයේ තිබෙන සරුසාර වගා බිම් දැක බලා ගන්නට පුළුවන්. එලෙස මෙම නිම්නය ආශ්‍රිත ව ජීවත් වුණු විවිධ ජන කොටස් නිර්මාණය කළ පල්ලි සහ නගරවල නටබුන් අදටත් ඉතිරි ව තිබෙනවා. කිලෝ මීටර් 100ක් පුරාවට විහි දී ඇති මෙම මිටියාවතේ ඉහළ ම ස්ථානය වන්නේ දැනට අක්‍රිය තත්ත්වයේ පවතින අම්පාටෝ ගිනි කන්ද යි. පහළ ම ස්ථානය වන්නේ කොල්කා සහ අන්දමායෝ ගංගා එකතු වන ස්ථානය යි. කොල්කා කැනියොන් ආශ්‍රිත ප්‍රදේශය සුන්දරත්වයෙන් අනූන නිසා පේරු රටට පැමිණෙන බොහෝ සංචාරකයන් මෙම ප්‍රදේශයට ගොස් එහි සුන්දරත්වය විඳ ගන්නට අමතක කරන්නේ නැහැ.
5) දේදුනු කඳුවැටිය
විනිකුන්කා හෙවත් දේදුනු කඳුවැටිය පේරු රටේ තිබෙන තවත් මනස්කාන්ත ස්ථානයක්. වසර දහස් ගණනක් පුරාවට හිමෙන් වැසී ගොස් තිබුණු මෙම අපූරු කඳුවැටියේ අපූරු භූවිෂමතා ලක්ෂණ පිළිබඳ ව අනාවරණය වුණේ මීට වසර 6කට පමණ පෙර යි. මෙයට දේදුනු කඳුවැටිය යන නම ලැබී ඇත්තේ එහි අඩංගු වන ඛනිජ සංයුතිය නිසා අපූරු වර්ණ රටා මැවී තිබීම යි. පහතින් දක්වා තිබෙන්නේ කඳුවැටියට විවිධ වර්ණ ලැබීමට හේතු වන ඛනිජ වර්ග පිළිබඳ ව යි.
රෝස වර්ණය- රතු මැටි, මඩ, වැලි
සුදු වර්ණය- වැලි ගල් සහ හුණුගල්
දම් වර්ණය- මාල්ස්ටෝන්
රතු වර්ණය- යකඩ අඩංගු මැටි
කොළ වර්ණය- ෆෙරෝ මැග්නීසියන් බහුල ෆයිලයිට් සහ මැටි
දුඹුරු වර්ණය- ෆැන්ග්ලෝමරේට්
කහ වර්ණය- සල්ෆරස් බහුලව අඩංගු කැල්සියස් වැලිගල් සහ හුණුගල්
මෙම කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශයේ කාලගුණය ඉතාමත් ඉක්මනින් වෙනස් වෙනවා. එනිසා මෙම කඳුවැටිය නැරඹීමට යන සංචාරකයන්ට හිම පතනය, වර්ෂාව, අධික හිරු එළිය වැනි කාලගුණික වෙනස්වීම්වලට මුහුණ දීමට සිදුවනවා. විනිකුන්කා කන්ද තරණය කිරීමට යෝග්‍ය වන්නේ මාර්තු සිට නොවැම්බර් දක්වා ගෙවෙන කාලය යි.
ඒ අතුරින් වඩාත් ම සුදුසු මාස වන්නේ ජූනි, ජූලි සහ අගෝස්තු යන මාස තුන යි. සොබාදහමේ අපූරු නිර්මාණයක් වන දේදුනු කඳුවැටියේ ඇති අලංකාර බව නිසා සෑම වසරක ම වාගේ සැලකිය යුතු තරම් සංචාරකයන් පිරිසක් මෙහි පැමිණෙනවා. ඒ අනුව අද වන විට පේරු රටේ තිබෙන වඩාත් ජනප්‍රිය සංචාරක ඉසව් අතරට විනිකුන්කා කඳුවැටිය ද ඇතුළත් ව තිබෙනවා.